2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

දැහැන

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

මේ ලෝකයේ හැම පාරක් දිගේම ඇවිදින්න හිතෙනවා මට... මට මොනවද ඕනෑ... මොකක්ද මගේ අවශ්‍යතාවය.... මම අහනවා මගෙන්ම... මම කාවවත් හොයන්නෙ නෑ... ඒත් මම මාවම හොයනවා... මට ආසයි මාව දකින්න... මාව හොයන්න... මේ ලෝකේ කවුරුත් තමන්ට අයිති නෑ... හැමකෙනෙක්ම තව කාගෙ හරි අයිතියක්... ඒ අයිතිය ඇතුළෙ මම කියන මම මියගිහින් හුඟක් කල්... ජීවිතේ මහ පුදුම ගමනක්... ප්‍රේමය මහා ගැඹුරු රිදුමක්... සැනසීම මුණගැහෙන්න මුනිවර ජීවිතයක විතරයි... ඒත් තටු නැති වුණත් ඉගිල්ලෙන්න හදන කුරුල්ලන් අපි.... තටු කැඩුණත් කැඩුණු තටු පිරිමදිමින් අලුත් තටු හොයන කුරුල්ලන් අපි... තටු තෙමුණත් තෙමුණු තටු ගසාදාගෙන ඉගිල්ලෙන්න අහසක් ඉල්ලන කුරැල්ලන් අපි....

ජීවිතේ රහ, රිදුණු යටිපතුල් අනේක වාරයක් මට කියා දෙන්න ඇති.... බුමුතුරුණුවලත් පය ගහපු හැමතැනකමත් තිබුණෙ කඩතොළු... ඒත් මේ මහපොළොව හරි සුන්දරයි... අමාවක ලෝකයම කළුවර කරද්දී හඳ කවදා නමුත් අහස හොයාගෙන එන බව මම කියාදුන්නේ මගේ ඇස් දෙකට.... ජීවිතේ අඬන්න කැමති අපි කවුද? හිනාව ඉල්ලන ජීවිතයට කඳුළු අකැප වුණත් කඳුළු අකමැතියි ජීවිත අත්හරින්න... යටිපතුල් අස්සෙ ඇනුණු කටුවක රිදුම වගේම ඇස් අග තෙත් කරපු කඳුළුත් ජීවිතය ගැන හුඟක් දේවල් කියලා දුන්නා...
ඉල්ලන්න එපා ඉවසන්න....

ඒ හැමදාම මම මට කියාදෙන පාඩමක්... මම හුඟක් පාඩම් ඉගෙන ගත්තේ පොත්පත් වලින් නෙවෙයි සංසිද්ධි වලින්.... සිද්ධාන්ත වලින් කවදාවත් ජීවිතය ඉගෙන ගන්න බෑ... අත්තටු වලට රිදෙනකම් ඉගිල්ලෙන්න ඕනෑ... දෙපතුල් වලට රිදෙනකම් ඇවිදින්න ඕනෑ... හිස් මුදුන හිරිවැටෙනකම් හැම වැස්සකටම තෙමෙන්න ඕනෑ... ජීවිතේ අල්ලා ගන්න හැම අතක්ම අපි අල්ලගන්නේ ආත්මාර්ථයේ උපරිමය තුළ... අපි කියන ආදරය ප්‍රේමය යුතුකම් වගකීම් ඒ සියල්ල ඒ ආත්මාර්ථයේ ප්‍රභේද....

ඒ හැම අතක්ම අත්හරින්න....
ඔයා ඔයාගේ අත අල්ලගන්න...

වැටෙන හැම තැනකදීම ඔයා ඔයාව නැගිට්ටවයි....
තමන්ට තමන් මිසක කොහිද තවත් සෙවණැල්ලක්....

ඒ ඇත්තට මනස සුවපත් කරන්න ඉඩ හරින්න
ඔබට ඔබ හමුවේවි
ඔබට ජීවිතය හමුවේවි
ඔබට සැනසිල්ල හමුවේවි