2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

දවල් කෑමට වෑංජන 22ක් උයන නියඹලාව

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 322

මෙදා සැරේ ඔයත් එක්ක අපි යන්න හිතුවේ අමුතුම රසක් එක්ක රසක් විතරක් නෙවෙයි වින්දනයක් එක්ක කාලා බීලා එන්න පුළුවන් තැනකට. ඒ තැන නම තමයි නියඹලාව. හරියටම පාර කිව්වොත් මාලඹේ හන්දියෙන් හැරිලා අතුරුගිරිය පාරේ ටික දුරක් යද්දි තමා මැටියෙන් නිර්මාණාත්මක ගෘහ නිර්මාණ ශිල්පයක් එක්ක ගොඩනගපු මද අඳුරේ වට්ටියකට නෙළුම් කොළයකට බෙදපු කෑම එකක් හිතත් එක්ක බඩත් පිරෙන්නම කන්න දෙන මේ අපූරු බොජුන් හල හමුවෙන්නේ.

අවුරුදු දෙකකට විතර ඉස්සර පටන්ගත්තු මේ බොජුන්හලේ කළමනාකාරීත්වය දරන්නේ දේව කියලා මහත්මයෙක්. දේව කියපු විදිහට උදේ 10.30 ඉඳන් හවස 5.00 වෙනකම් නියඹලාවේ දවල් කෑම වෙලාවයි. හවස 6.00 ඉඳන් රූ 10.30 ‍වෙනකම් නියඹලාවේ දොර ඇරෙන්නේ රාත්‍රී රස බොජුන් වෙනුවෙන්. හැබැයි දේව කියපු විදිහට විශේෂත්වය තමයි මේ කෑම රස කරන්න කරාබු නැටි, එනසාල්, කරපිංචා, රම්පේ, සුදුලූනු වගේ අපේ දේශීය රසකාරක ඇරෙන්න වස විස, කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් පාවිච්චි නොකිරීම. නියඹලාවට ගිය අපි දැක්ක දෙයක් තමයි එහි කෑමට පුරුදුම වෙච්ච නිතරම යන එන කට්ටියක් ඉන්න විත්තිය. සමහරැ ඇවිත් උණු උණුවේ රස වෑහෙන වෑංජන වට්ටියට එලූ නෙළුම් පතේ බෙදා දුන්නම ඇතිවෙන්න නිවීහැනහිල්ලේ කාලා යනවා. සමහරු ඇවිත් පවුලටම හරියන්න කෑම අරන් යනවා. ඇත්තටම නියඹලාවේ නෙළුම් කොළේකට බෙදන එක බත් පතක් දෙන්නෙකුට පමණ සෑහෙන තරම්. රසත් එක්ක ප්‍රමාණය බලද්දි හරි ලාබයි කියලා හිතෙයි ඔයාටත් ගියොත් එතනට. 

මස්, මාළු ඇඹුල්තියල්, ඉස්සො, දැල්ලො, බිත්තර, පපඩම්, බැදපු මිරිස් එක්ක බෝංචි, මෑකරල්, පොළොස්, මඤ්ඤොක්කා, කෙසෙල්මුව, පරිප්පු, කරවිල මේ විදිහට එක එක රසට කිරට, මිරිසට, බැදුමට පිළියෙල කරපු වෑංජන ගණනාවක් දවල් කෑම වෙනුවෙන් නියඹලාවේ ලෑස්තියි. හැමදාම දහවලට වෑංජන 22ක් පිළියෙල කරනවා. හැමදේම සිද්ධ වෙන්නේ නියඹලාවට අයිති මුළුතැන්ගෙයි තුළමයි. ඔබ ගෙවන මිළට අනුව ඔබට වෑංජන කිහිපයක් බත් පත සඳහා තෝරගන්න පුළුවන්. ඊට අමතරව ෆ්‍රයිඩ්රයිස් ඇතුළු බත් වර්ග කිහිපයකුත් එතන පිළියෙල වෙනවා.

රාත්‍රියට ෆ්‍රයිඩ් රයිස්, බත්, ඉඳි ආප්ප, කොත්තු, පැස්ටා වගේ කෑම ඔයා වෙනුවෙන් ලෑස්තියි. රෑට බත් කනවනම් එළවළු 10ක් පිළියෙල කරනවා. ඒ 10 අතරින් කැමති දේ තෝරගන්න එක ඔයාගෙ වැඩක්. දේවනම් කිව්වේ තව ටික කාලයකින් අතුරැපසත් එයාලම පිළියෙල කරන්න තමා සූදානම කියලා.

විවාහ මංගල උත්සව, උපන්දින සාද ඇතුළු ඕනෑම උත්සව අවස්ථා සඳහත් නියඹලාව කෑම අනවුම් බාරගන්නවා. දිනාගත්ත විශ්වාසය උඩ මේ හැමදේකදිම නියඹලාව අත්නොහැර යන පාරිභෝගික පිරිසක් ඉන්න විත්තිය තමා දේව අපිත් එක්ක කිව්වේ. එක දවසක් ගියොත් නොවැරදීම බත් පත රස විඳින්න ඔයාටත් එතනට යන්න හිතෙයි. සති අන්තෙදි ගියොත් සංගීත කණ්ඩායමක් එතනට ඇවිත් ගයන, වයන මියුරු ගීයක් විඳින ගමන්ම කාලා, බීලා එන්නත් ඔයාට පුළුවන්.
එන සතියෙත් WALK 111 එක්ක කොහෙහරි ඇවිදින්න යමු.

 

► Text Sanju / pic – Channa Kassapa Koralearachchi