2019 ජනවාරි 12 වන සෙනසුරාදා

මම නැටුවෙම වන්නම්ලු.........

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 262

හර්ෂි.. අපිට මුලින්ම ඔයා ගැන ටිකක් විස්තර කියන්න..?
මගේ නම හර්ෂි අංජුමාලා. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි මමයි. අපේ ගම රත්නපුරය.

පුංචි කාලේ ඉඳන් හීන දැක්කෙ කවුරු වෙන්නද..?
පුංචි කාලේ ඉඳන්ම මම ආසාවෙන් හිටියෙ නර්තනය පැත්තට. ඉස්සර ටී.වී. එකේ මොනවහරි නර්තනයක් දැක්කම මමත් ඒවා බලාගෙන නටනවා කියලා අම්මා කියනවා. පුංචි කාලේ ඉඳන් ඒ නැටුම් නටන්න මම ට්‍රයි කරනවලු. ඔය නිසාම මම ළදරු පාසල් යන කාලෙදීම මගේ අම්මා මාව නැටුම් පන්තියකට දාලා තිබුණා. ඒ ක්ලාස් එකේදීත් මගේ වයසේ ළමයි එක්ක මම නටන්නෙ නැහැලු. ඒ කාලෙදීත් මම ගොඩක් ට්‍රයි කරලා තියෙන්නෙ ඒලෙවල් ක්ලාස් එකේ අක්කලා එක්ක වන්නම් නටන්නලු. නැටුම් ගුරුතුමියත් මගේ යම්කිසි දක්ෂතාවයක් දැකලා තිබුණා.

ඊටපස්සෙ අංජු දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ඉදිරිපත් වෙනවා..?
ඔව්.. මට අවුරුදු එකොළහ වෙද්දී මම දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට සම්බන්ධ වුණා. ඒකට ඇප්ලිකේෂන් දාලා තිබුණේ මගේ ලොකු අක්කයි අම්මයි එකතුවෙලා. 2008 මාර්තු මාසෙදී මම ලිට්ල් ස්ටාර් දොළහෙන් පහළ නර්තන අංශයෙන් ජනප්‍රිය තරුව වුණා.

ඉගෙනගත්තෙ මොන පාසලේද..?
රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. පාසලේදීනම් මම වැඩිය නර්තනය පැත්තට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි පාසල් වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වුණා. මුලින්ම මම ඉදිරිපත් වුණු පාසල් වේදිකා නාට්‍යයෙන්ම මට සහතිකයක් ලැබුණා. එතනින් පස්සෙ පාසල් වේදිකාව මට හුරුපුරුදු තැනක් වුණා.

ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වුණේ කොහොමද..?
මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවුණාට පස්සෙයි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රෑපවාහිනී අධ්‍යාපනය පිළිබඳව ඉගෙනීමේ කටයුතුවල නිරත වෙනවා. ඒ ඉඳිද්දී තමයි මට සිඳූ ටෙලිනාට්‍යයේ ගයනිගේ චරිතයෙන් රංගනයට යොමුවෙන්න අවස්ථාව උදාවුණේ.

කොහොමද සිඳූ ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර..?
ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉස්සරනම් චරිතය නිසා සමහරු මට බැන්නා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් ඒ චරිතය ගොඩක් හොඳයි. ඒ වෙනුවෙන් අධ්‍යක්ෂක ඇතුළු හැමෝම මට උදව් කරනවා. මේ දවස්වල සිඳූ ටෙලිනාට්‍යයේ ගයනිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවලට රංගනය බාධාවක් වෙන්නෙ නැද්ද..?
ඇත්තටම ඒ දෙක සමබරව තියාගෙන යන එක හරි අමාරු දෙයක්. මම සිඳූ ටෙලිනාට්‍යයට අමතරව කනාමැදිරියෝ ටෙලිනාට්‍යයෙත් රඟපෑවා. ඒකෙ මම රඟපෑවේ ප්‍රධාන චරිතයක්. සමහරදාට එකදිගට ෂූටින් තියෙන දවස් තිබුණා. ඒ වගේ වෙලාවට මට උදව් කරන්නෙ විශ්වවිද්‍යාලයේ මගේ යාළුවෝ. ඒ අයව මම ඉතා ආදරයෙන් මතක් කරන්න ඕනෙ. විභාග ළංවෙද්දී වුණත් ඒ අය මට නෝට්ස් පවා දීලා උදව් කරනවා. කොච්චර පාඩම් මඟහැරුණත් මගේ යාළුවන්ගේ උදව්වෙන් මම කොහොමහරි විභාග ටික කරගන්නවා.

රංගනය, නර්තනයට අමතරව ඔබට තියෙන වෙනත් හැකියාවන් මොනවද..?
මට හිතෙනවා නිවේදනයටත් මට යම් හැකියාවක් තියෙනවා කියලා. ඒ වෙනුවෙන් හොඳ අවස්ථාවකුත් ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතුයි රංගන කටයුතුයි නිසා ඒ අවස්ථාව මට බාරගන්න බැරිවුණා. මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් පෙනී සිටින්න මට අවස්ථාව ලැබුණා.

අංජු විලාසිතා කරන්න ආසයි නේද..?
ඔව්.. මේ වයසට විලාසිතා කරන එක හොඳයිනෙ.. නේද..? මම විලාසිතා කරනවා. විලාසිතාවලට හරි ආසයි. මට ගැලපෙන, තැනට ගැලපෙන විලාසිතා මම කරනවා. ලස්සනට ඉන්න මම හරි ආසයි.

ළඟදී රත්නපුරේ ගියේ නැද්ද..?
ගියා.. මගේ තාත්තා අක්කලා ඉන්නෙ රත්නපුරේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. අධ්‍යාපන කටයුතුයි රංගන කටයුතුයි නිසා මමයි අම්මයි කැලණියේ නතරවෙලයි ඉන්නෙ. මේ ගමන අම්මගෙයි තාත්තගෙයි මගේ අක්කලාගෙයි මහන්සියෙන් ආපු ගමනක්. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ අය නෙමෙයි. මගේ අම්මයි තාත්තයි මගේ හැකියාව හඳුනාගත්ත නිසා මගේ හැකියාවන් ඔස්සේ යන්න පුළුවන් මාර්ගය මට පෙන්නුවා. මම අද මේ තැන ඉන්නෙ මගේ අම්මගෙයි තාත්තගෙයි මහන්සිය නිසා. ඒ යන ගමනේදී මට ගොඩක් හොඳ අය මුණගැහුණා. ඒ අයත් මට ඉදිරියට යන්න උදව් කළා.

ඊළඟට අංජුගේ තියෙන බලාපොරොත්තු මොනවද..?
ලොකුම බලාපොරොත්තුව තමයි මගේ උපාධිය. අපේ වයසේ බොහෝ ටෙලිනාට්‍ය නිළියන් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඉතින්.. ඒ අය අතරින් මට මා ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. මම බොහොම සීමිත නිර්මාණ ප්‍රමාණයකට විතරයි දායකවෙලා තියෙන්නෙ. මගේ ලොකුම බලාපොරොත්තුව මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳින් අවසන් කිරීමයි.

 

► Text - Dishani   /   Pic - Sumudu