2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ඒ මනුස්සකමේ සුවඳට මම හරි ආසයි

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

සාර, සසාර, අසාර මතක මහමෙරක එකතුවක් ජීවිතය....
මම එහෙම කිව්වොත් ඔයා එකඟද මාත් එක්ක. මහ කඳු සදිසි දුක් පිරිපත දරාගෙන ජීවිතේ අනේක පාරවල් දිගේ ඇවිදින යටිපතුල් සිපගන්න ගල්බොරලු වගේම දියසීරාවන් අහම්බකාරක කුසුම් බලාගෙන ඉන්නවා...
තැන තැන ඉරණමත් එක්කම...

සාරංගගේ ජීවිතෙත් එහෙම තැන් නොතිබුණාම නෙවෙයි නේද කියලා මම ඇහුවොත් එයාගේ උත්තරයත් ඔව් කියන එක වෙයි. මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිත ඒ වගෙයි. එක දවසකදි හරි සාරංගට එන්න කිව්වේ එයාගේ ජිවිතේ එහෙම වෙච්ච දවස් ගැන අහන්න නම් නෙමේ... හිත නැවතිච්ච කලාවේ ඉසව්වක් ගැන කතාකරන්න... 
ඉතින් අපි කතා කරමු...

ඊට කලින් සාරංග මේ දවස්වල මොනවද කරන්නෙ කියලා අහලා හිටියොත් නරකද?
සාරංග... කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම.....?
මේ දවස්වල ටිකක් විතර වැඩ අධිකයි.. පටන්ගත්ත ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරගෙන යනවා.. අලුත් වේදිකා නාට්‍යයකටත් දායක වෙන්න අවස්ථාව හම්බවුණා... ඒ නාට්‍යයේ නම තමයි පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්. පහුගිය දිනවල ඒකෙ මංගල දර්ශනය තිබුණා.. තව තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන ආශාවරී කියන චිත්‍රපටයෙත් මේ දවස්වල වැඩ කරගෙන යනවා... ඕවා තමයි ඉතින් විස්තර. 
ඒ තමයි සාරංග වැඩකරන විදිය..

සාරංග දිසාසේකර කියන්නෙ අපිට ඉන්න දක්ෂයෙක්,  නිවේදනය, රංගනය, ගීතය ඔය මොන ක්ෂේත්‍රය ගත්තත් එයා ඉහළින්ම ඉන්නවා..    ඇහෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු, ජීවිතේම පැය දෙක තුනක රූප රාමු කිහිපයකට  කැටිවුණු නිර්මාණයක් ගැන... පොඩ්ඩක් කතාකරමුද...? ඒක තව කෙනෙකුට විඳින්න තරම් වටින එකක් නම් මරු... අපි ඇහුවා සාරංගගෙන්.
හැබැයි... ඒ නිර්මාණයට සාරංගගේ සම්බන්ධයක් තියෙන්න බෑ...

හරි එකඟයි... අපි කතාකරමු....

සාරංගගෙන් දුන්න කෙළින් උත්තරෙත් එක්ක අපි වැඩේට බැස්සා... 
මට දැනිච්ච නිර්මාණ නම් ගොඩක් තියෙනවා... ඒත්  මෑතකදී බලපු චිත්‍රපට අතරින් මට ගොඩක්ම හිතට වැදිලා රසවින්දේ බොහිමියන් රැප්සඩි කියන නිර්මාණය තමයි.

බොහිමියන් රැප්සඩි කියන නිර්මාණය සාරංගට මෙච්චරම විශේෂ වෙන්න හේතුවක් ඇති නේද?
බොහිමියන් රැප්සඩි කියන චිත්‍රපටයට පාදක වෙන්නෙ ෆ්රේඩී මර්කරි කියන සුප්‍රසිද්ධ ගායකයාගේ ජීවිතය සහ ඔහුගේ සමීපතමයන්ගේ ජීවිත අත්දැකීම්. මේ චිත්‍රපටය බොහිමයන් රැප්සඩි කියන්න නම යොදන්න හේතුවෙන්නෙ ෆ්රේඩී මර්කරි ඇතුළු ඔහුගේ ක්වීන්ස් කියන සංගීතය කණ්ඩායම නිර්මාණය කරපු සුප්‍රසිද්ධ ජනප්‍රිය ගීතය. ඒ ගීතයේ නමම තමයි චිත්‍රපටයට යොදන්නෙ. මේ වගේ චිත්‍රපට ගොඩක් තිබුණත් මේ චිත්‍රපටයට මම ආදරය කරන්න හේතු කිහිපයක් තියෙනවා... එකක් තමයි මම පොඩි කාලේ ඉඳන්ම කැමති, ආසාවෙන් රසවිඳපු සංගීතය කණ්ඩායමක් තමයි Queen කියන්නෙ. ඒක නිසාම මම ගොඩක් වුවමනාවෙන් කැමැත්තෙන් මේ චිත්‍රපටය නැරඹුවා. අනිත් හේතු තමයි... මේ චිත්‍රපටය හරිම සමබර නිර්මාණයක් විදියට මම දකිනවා. හේතුව තමයි ෆ්රේඩී මර්කරි කියන සුවිශේෂ පුද්ගලගේ චරිතයටත් හානියක් නොවන අයුරින් ඒත් ඔහුගේ ඇතුළාන්තය තුළටම කිඳාබැහැලා එහි තියෙන කළු සුදු හැම පැත්තක්ම හරියාකාරව ආවරණය කරපු සිනමා පටයක් කියලා මම විශ්වාස කිරීම. තව හේතුවක් තමයි මේ චිත්‍රපටයේ ෆ්රේඩීගේ චරිතය රඟපාන්නේ රමී මලික් කියන සුවිශේෂ නළුවා. ඔහු ඉතාම දක්ෂ විදියට ෆ්රේඩීගේ චරිතයට පණ පොවනවා. ඒ රංඟනයට GOLDEN GLOBE සම්මානය පවා රමී මලික්ට හිමි වුණා. ඒකත් ලොකු හේතුවුණා මේ නිර්මාණයට මම ගොඩක් ආදරය කරන්න.

එහෙනම් සාරංග මේ නිර්මාණයේ කැමති චරිතය රමී මලික් රඟපාන ෆ්රේඩීගේ චරිතය වෙන්න ඇති නේද?
ඔව් අනිවාර්යයෙන්ම රමී මලික් රඟපාන ෆ්රේඩීගේ චරිතයට තමයි මම කැමති. මොකද ගොඩක් දෙනෙක් දන්න ජනප්‍රිය චරිත රඟපාන එක අනුකරණය කරන එක ලේසි දෙයක් නෙමේ. විශේෂයෙන් ෆ්රේඩී මර්කරි කියන කෙනාව. එයා එක එක කාලවලදී එක එක අවස්ථාවලදී වෙනස් විදියට හැසිරුණ කෙනෙක්. ඔහුගේ පෙනුම හැසිරීම, ඔහු ගීත ගායන කරන විදිය, ජනප්‍රිය කෙනෙක් විදියට ඔහු සමාන ජීවිතය ගතකරන විදිය සහ වේදිකාවේ හැසිරෙන විදිය එකිනෙකට ගොඩක් වෙනස්... ඒ වෙනස්කම් හොඳින් අඳුනගෙන අධ්‍යයනය කරමින් චරිතයට ඉතා හොඳ සාධාරණයක් කරනවා කියන එක ලේසි නෑ... එත් රමී මලික් ඒක අපූරැවට කලා කියලා මට හිතෙනවා.

බොහිමියන් රැප්සඩි නැත්නම් ෆ්රේඩී මර්කරීගේ චරිතය නැත්නම් ඔහුගේ ජීවිත අත්දැකීම් ඔබේ ජීවිතයත් එක්ක සමීප බවක් තියෙනවාද? 
මෙහෙමයි... මමත් කලාවේ නිරතවෙලා ඉන්න කෙනෙක්... ෆරේඩී මර්කරීත් කලාකරුවෙක්... ඒ පැත්තෙන් බලනකොට අපි සාමාන්‍ය සමාජයත් එකක් ගැටෙන කොට සමහර අත්දැකීම්වල පුංචි පුංචි සමානතාවක් තියෙනවා... ඒත් අපේ සංස්කෘතියයි, ඔවුන්ගේ සංස්කෘතියයි අතර ලොකු පරතරයක් තියෙනවා. ඒත් පුංචි කාලේ ඉඳන් ෆ්රේඩී මර්කරිගේ රසිකයෙක් විදියට, ඔහුගේ මම ආස කරන ජනප්‍රිය ගීත නිර්මාණය වුණ හැටි ඒ චිත්‍රපටය ඇතුළේ කතාවෙන කොට හරි ආස්වාදනීයයි... අපේ පරම්පරාවෙන් පස්සේ බිහිවුණු අය ෆ්රේඩි මර්කරී, Queen කියන බෑන්ඩ් එක ගැන ලොකුවට දන්නෙ නැතුව ඇති. ඒත් Queen ලාගේ ගීත අහල ඔවුන් ගැන හොයන්න උනන්දුවෙන් ඉන්න කෙනෙකුට මේ නිර්මාණ තුළින් ගොඩක් දේවල් ඔවුන් ගැන දැනගන්න පුළුවන්.. 

සාරංග මෙච්චරම කැමති ෆරේඩීගේ චරිතයට පන පොවන්න ඔයාට අවස්ථාවක් ආවොත් මොකක් වෙයිද?
ඒක නම් මාරම ලොකු චැලෙන්ජ් එකක්... හැබැයි වෘත්තීමය රංගන ශිල්පියෙක්ට ඒ වගේ අභියෝග බාරගන්න වෙනවා... ඒ චරිතය කෙසේ වෙතත් අපේ රටේ අපිට ළඟ ජනප්‍රිය චරිතයකට කිට්ටු කරන එක ඊට වඩා ලේසිවෙයි කියලා මට හිතෙනවා.. මේක නම් ලොකුම ලොකු අභියෝගයක්...

මේ නිර්මාණය ඇතුළේ සාරංගව වැඩියෙන්ම සංවේදී කරපු තැන් දෙක තුනක් මතක් කරමුද?
ඔව් එහෙම තැන් කිහිපයක් තියෙනවා. ඒ අතරින් මම ගොඩක්ම සංවේදී වුණේ ෆ්රේඩි මර්කරි එච්.අයි.වී. ආසාධිතයෙක් කියලා දැනගන්න මොහොත.... පෙම්වතිය සහ මුළු සමාජයට මේ කාරණාව කොහොමද කියන්නෙ කියන එකත් එක්ක ඔහු පත්වන අපහසුතාව හරිම සංවේදියි. මොකද ඔහු ඒ වෙනකොට මුළු ලෝකයේම ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙ හිටපු තරුවක්... එහෙම කෙනෙක් කොහොම තමන්ගේ පවුලේ උදවියට රසිකයන්ට කියන්නෙ කියන එක සහ අනපේක්ෂිත විදියට ඔහු ඒ තැනට පත්වීම පිළිබඳව ඔහු තුළම තිබෙන කනස්සල්ල ගොඩක් මට දැනුණු තැනක් වුණා...

මේ සුවිශේෂි ගායකයාගේ ජීවිත කතාව තුළින් අපිට ගන්න තියෙන්නෙ මොනව වගේ දෙයක් කියලද සාරංග හිතන්නේ..?
කලා නිර්මාණයක් රසවිඳලා, තවත් කෙනෙක්ගේ ජීවිත අත්දැකීමක් අධ්‍යනය කරලා හොඳ හෝ නරක කාරණාව තුළ තර්කයක් ගොඩනගලා හිතන්න පෙළඹෙනව නම් ඒක තමයි ඕනම නිර්මාණයකින් වෙන්න ඕන කාරණාව... මේ චිත්‍රපටයේ තියෙන්නෙ අපිට ඈත සංස්කෘතියක්... ඒත් මේ නිර්මාණය ඇතුළෙත් හොඳ මනුස්සකම් ගොඩක් තියෙනවා. සමහරවිට සමහර සිද්ධි අපේ ජීවිතවලට කවදාවත් මුහුණපාන්න නොලැබෙන පුළුවන්.  ඒත් තවත් කෙනෙක් ඒ සිද්ධීන්වලට මුහුණදීලා ඒ අත්දැකීම් ගන්න විදිය දැකලා, ඔහුගේ ආත්මශක්තිය බලලා අපේ ජීවිතේටත් ඒ කාරණා හොඳ විදියට පාවිච්චි කරන්න පුළුවන් මානසික මට්ටමක් හදාගන්න පුළුවන්.. හැබැයි එක එක්කෙනාගේ නැණ පමණින් ඒක බලලා රසවිඳින විදියට ඒ කාරණා වෙනස් වෙනවා. මේ නිර්මාණය බලලා සමහරවිට මට දැනෙන දේ වෙන කෙනෙකුට නොදැනෙන්න පුළුවන්...

සාරංග මේ චිත්‍රපටයේ එන්ඩ් එකේදි ඔයාට මොනවාද හිතුණේ..?
මට ඇත්තටම හිතුණේ ෆ්රේඩී මර්කරි කියන චරිතය ගැන නොදන්න ගොඩක් දේවල් දැනගත්තා කියන එක. ඒත් එක්කම කෙනෙක් දිහා මතුපිටින් බලනවට වඩා මොනතරම් දේවල් ඒ ජීවිත ඇතුළේ තියෙනවාද? විශේෂයෙන් ජනප්‍රිය පුද්ගලයන්ගේ දේවල් කනින් කොනින් අහලා ඒ චරිත ගැන කොච්චර වැරදි අර්ථකථන අපි ඇති කරගන්නවද කියන එක... මට හිතුණා මූලික කාරණාව තමයි මතුපිටින් බලලා කිසිම කෙනෙක් ගැන නිගමනවලට නොයා යුතුයි  කියන එක.. 
සාරංග එහෙම තමයි කතාව නැවැත්තුවේ....

 

► Text - Danushka Wijesiri   /   Pic-Sumudu & Internet