2019 ජනවාරි 12 වන සෙනසුරාදා

රජ පවුලේ අමුතු සපත්තු

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

මේ කතාබහ පාවහන් ගැනයි. හැබැයි නිකම්ම නිකම් පාවහන් නෙමෙයි, රාජකීය පාවහන් ගැනයි. බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ කොයිවෙලාවෙත් රස කතා මැවෙන මවන තැනක්. ඉතින් රාජකීයයන්ගේ පාවහන් විලාසිතා ගැන පහුගියදාක ඩේලිමේල් වෙබ් සඟරාව රසවත් ලිපියක් පළකරලා තිබුණා. ඒකෙන් කියැවුණේ, බ්‍රිතාන්‍ය රැජන ඇතුළු රාජකීයයෝ තමන්ගේ පාවහන් තෝරාගැනීමේදී පෙන්නුම් කරන සාම්ප්‍රදායිකත්වය එහෙමත් නැත්නම් ඒකාකාරීත්වය ගැනයි. 

ඒ ලිපියට අනුව දෙවැනි එළිසබෙත් රැජන අවුරුදු පනහක් තිස්සේ පාවිච්චි කරන්නේ එකම නිෂ්පාදන සන්නාමයකට එහෙමත් නැත්නම් එකම බ්‍රෑන්ඩ් එකකට අයිති සපත්තු විතරයි. ඒ Anello & Davide කියන සපත්තු බ්‍රෑන්ඩ් එකයි. 
රජ පවුලට අලුතින් එකතු වුණු ලේලිය මේගන් කියන්නේ හොලිවුඩ් තාරකාවක්. ඉතින් ඇයගෙන් පාවහන් විලාසිතා බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයක්. ඒත් රජ පවුලට එකතුවීමෙන් පස්සෙ ඇයත් ගොඩක් දුරට එකම ආකාරයේ පාවහන් පළඳින්න හුරැවෙලා තියෙන බවක් පේනවා. ඇගේ ප්‍රියතම පාවහන් වර්ගය වෙලා තියෙන්නේ, ඉතාලියේ Aquazzura  සමාගමේ සපත්තුයි. 

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පිනියකට අනුව රාජකීයයන් කිසිම විටෙක පාඇඟිලි පිටතට පෙනෙන විදිහේ පාවහන් පළඳින්නේ නැහැ. ඒ ආකාරයට පැළඳීම අවිධිමත් විදිහට සැරසී සිටීමක් විදිහටයි ඔවුන් දකින්නෙ. 
කේට් කුමරියගේ පාවහන් ගැන කතාකිරීමේදී Gianvito Rossi කියන පම්ප්ස් වර්ගයේ පාවහන් යුවල ඇගේ ප්‍රියතම පාවහන් යුගලය විදිහට හැඳින්වෙනවා. රෝස පැහැයටත් පීච් පැහැයටත් අතර පැහැයකින් යුත් මේ පාවහන් යුගල ඈ නිතරම පැළඳ සිටින අයුරු දකින්න පුළුවන්. හැබැයි ඇය නිතරම පාගමනේ යෙදීමත්, ජනතාව අතරට යාමට හුරැව සිටීමත් නිසා ළා පැහැයක් ගන්නා ඇගේ පාවහන් නිතර කිළුටු වීම සාමාන්‍යයි. නමුත් සෑම මොහොතකම වාගේ ඇගේ පාවහන් අලුත් පෙනුමින් යුතු වීම නිසා ඈ එකම වර්ගයේ එකම පැහැයේ පාවහන් නිතර මිලදීගන්නා බවත් සිතිය හැකියි.

කොහොම නමුත් රැජන අවුරුදු පනහක් තිස්සේ පළඳින ලන්ඩනයේ Anello & Davide පාවහන් ඈ වෙනුවෙන්ම නිර්මාණය කෙරෙන පාවහන් වීමත් විශේෂත්වයක්. උසස්ම ගව හමින් සාදන මේ සපත්තුවේ පිත්තල ගාංචුවක් හෝ පිත්තල බෝ එකක් යොදා හැඩකර තිබෙනවා. 

රජ පවුලේ සාමාජිකයන් විවිධ ඇඳුම් විලාසිතා කළත් අලුත්ම පාවහන් විලාසිතා තෝරානොගන්න විවිධ හේතු බලපාන බවට සමහරු මත පළකරනවා. එයින් එක් මතයක් තමයි තමන්ගේ නිහතමානීත්වය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහට පාවහන් පාවිච්චි කරන්න රාජකීයයන් හුරු වෙලා ඉන්නවා කියන අදහස. තවත් අදහසක් තමයි, තමන්ගේ අරපිරිමැස්ම ලෝකයට පෙන්වන්න පාවහන් හොඳ සාධකයක් විදිහට පාවහන් විලාසිතාව පාවිච්චි කරනවා කියන කතාව. ඒ කොයි දේ වුණත් උසස් ප්‍රමිතියෙන් යුතු මේ රාජකීයයන් පළඳින පාවහන් ඔවුන්ගේ දෙපාවල පහසුවට මුල්තැනක් දෙමින් පළඳින බව ගැන නම් සැකයක් නැහැ.

 

► Text - Suranga