2019 ජනවාරි 12 වන සෙනසුරාදා

කූඩැල්ලො කනවෝ..

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

හපුතලේ පැත්තෙ සති දෙක තුනක් චිත්‍රපටයක් රූපගත වෙමින් තිබුණා. ඒ අවට එළිමහනේ දර්ශන රාශියකුත් රූපගත කරන්න සිදුවුණා.

ඔන්න දවසක් ෂූටින් තිබුණෙ දියඇල්ලක් කිට්ටුව. ෂූටින්නම් තිබුණෙ කොල්ලටයි කෙල්ලටයි විතරයි. ඒත් ඒ කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ශිල්පියෙකුත් දර්ශන තලයට ගියාලු නිෂ්පාදක කණ්ඩායමත් එක්ක.
ෂූටින් අතරතුර මේ රංගන ශිල්පියා අවට සිරි නරඹමින් එහෙ මෙහෙ ඇවිදගෙන ඉඳලා එකපාරටම කෑමොර දෙන්න පටන් ගත්තලු.

රිංගුවා... රිංගුවා.. කූඩැල්ලො කනවෝ..

සෙට් එකේ කොල්ලො දෙතුන් දෙනෙක් මෙයා ළඟට දුවගෙන එනකොටත් මෙයා කලිසම බාගෙට ගලවලා.
ඔන්න එකපාරටම මෙයා කෑගහනවලු එයාට ළඟට එන්න එපා කියන්න. එයාව නවත්තන්න, කියලා.
බැලින්නම් මේ කලබලේ මොකක්ද කියලා බලන්න අර තරුණ නිළියත් සිද්ධිය වුණු තැනට එනවා මේ ශිල්පියා දැකලා.

 

කනට ගහයි හලෝ......

එක්තරා ගායන ශිල්පියෙකුගේ සුවිශේෂී උත්සවයක්. ප්‍රධාන පෙළේ ශාලාවක පැවති ඒ උත්සවයට සමගාමීව ඔහුගේ සංගීත ප්‍රසංගයකුත් පැවැත්වුණාලු.
මුල් පේළි හතරම වෙන්කරලා තිබුණෙ සුවිශේෂී ආරාධිතයන්ට. පුටුවල ආරාධිතයන්ගෙ නම් ගහලා සෙලෝටේප්වලින් අලවලා තිබුණෙ. 

ඔන්න දෙවැනි පේළියෙ ඉන්නවා ජනප්‍රිය කලා ශිල්පියෙක්. ඔහු ළඟම තියෙන පුටුව හිස්. ඒක වෙන්කරලා තිබුණෙ තවත් තරුණ ශිල්පියෙකුගෙ නමින්. ඔන්න ඔය හිස් පුටුවෙ වාඩිවෙන්න එනවා ජනප්‍රිය ගායිකාවක්. ඒත් අර කලා ශිල්පියා ඇයට කිව්වා මේක අහවලාට වෙන්කරලා තියෙන්නෙ කියලා.

අපෝ ඒ පොර එන්නෙ නෑ මේ උත්සවේට. එයාගෙ වැඩේ ඉතින් අපේ මේ ගායකයාට කපන එකනෙ. එයා ආවොත් අපේ ගායකයා ස්ටේජ් එකෙන් බැහැලා ඇවිත් එයාගෙ කනට ගහයි.
මේ සිද්ධිය වුණේ ලංකාවෙ නෙවෙයි, අපේ අසල්වැසි ඉන්දියාවෙ. ඒත් මේක ලංකාවෙත් වෙන්න බැරි නැහැ.

 

සෙල්ෆි නළුවා ‍බේරුණෙත් නූලෙන්ලු

ටෙලිනාට්‍යයක වැඩ කරන කට්ටියක්, වැඩේ ඉවර කරලා ගාලු පාරෙ මුහුද අයිනෙ ලස්සන තැනක සෙට්වුණාලු රෑ වෙලා. ඒ සෙට් එකේ එක්කෙනෙක් ඉන්නවලු මාර සෙල්ෆි උණක් තියෙන කෙනෙක්
ඔන්න පොඩ්ඩක් රත්වීගෙන එනකොටම සෙල්ෆි ගහන්න පටන් ගත්තලු. මුහුදු වෙරළට දුවනවා සෙල්ෆි ගන්නවා, එනවා. ආයිත් යනවා.

ඔන්න ඔය වෙලේ අර අවන්හල ඉස්සරහෙන් කෝච්චියක් එනවලු. මෙයාට දැන් කෝච්චිය පසුබිම් කරලා සෙල්ෆියක් ගහන්නම ඕනෙලු.
එයාගෙ යාළුවො සෙට් එක විතරක් නෙවෙයි, අර අවන්හලේ වැඩ කරපු කොල්ලො සෙට් එකත් ඇවිල්ලා තමයි අරයව සෙල්ෆියක් නොගෙන බේරගෙන තියෙන්නෙ.

 

► Text - Mithra