2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ටවුමෙ ඉස්කෝලෙ නැගලා යනවා.....

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 159

ටවුමෙ ඉස්කෝලෙට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි
මේ දිනවල සාර්ථකව තිරගත වන ටවුමෙ ඉස්කෝලෙ ළමා චිත්‍රපටය හරහා සිංහල සිනමාවට අලුත්ම නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් හා පසුබිම් ගායිකාවක් පා තබනවා.

මේ පිළිබඳව අප හා සංවාදයකට එකතු වූ චිත්‍රපටයේ නිෂ්පාදක ධම්මික අතපත්තු කියා සිටියේ හොඳ චිත්‍රපටවලට අප රටේ ප්‍රේක්ෂකයන් සුභවාදීව ප්‍රතිචාර දක්වන බව ඔහු දැඩි ලෙස විශ්වාස කරන බවය.
ධම්මික අතපත්තු නිෂ්පාදනය කළ ඔහුගේ මුල්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නය. සංගීත අධ්‍යක්ෂක දර්ශන වික්‍රමතුංගය. ඔහුගේ ප්‍රිය බිරිය සුසන්තා කුමාරි දසනායක ද පසුබිම් ගායිකාවක් ලෙස දොරට වඩිනුයේ ටවුමේ ඉස්කෝලෙ හරහාය.

ඔබේ මුල්ම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට පෙර ඔබ තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා?
ඒකත් අධ්‍යක්ෂණය කළේ සුනිල් ප්‍රේමරත්න. ටවුමේ ඉස්කෝලෙ වගේ මේ චිත්‍රපටයට පාදක වන්නෙත් අනුවේදනීය කතාවක්.

පළමු නිර්මාණය ප්‍රදර්ශනයට පෙර තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් ඔබ ගත්තේ අවදානමක් නොවේද?
මුදල් යටකිරීම අවදානමක් වෙන්න පුළුවන්. ඒත් මේ රටේ සිනමා ප්‍රේක්ෂකයන් ගැන මා තුළ තියෙන්නෙ ලොකු විශ්වාසයක්. හොඳ නිර්මාණයක් ඒ අයට දුන්නොත් ප්‍රේක්ෂකයා හොඳ ප්‍රතිචාර දක්වනවා. අපි ඉතිහාසය බැලුවත් ඒක ඔප්පුවෙලා තියෙනවා.

ඔබ කුරුණෑගල ප්‍රකට ව්‍යාපාරිකයෙක්. සිනමාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද..?
මම ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක්. ඉයෝන් සවුන්ඩ් තුළින් අපි ලංකාවෙ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලට ලොව සුපතල නවීනතම තාක්ෂණයෙන් යුතු ශබ්ද උපකරණ, වේදිකා ආලෝකකරණ උපකරණ මෙන්ම ජෙනරේටර් ද සපයනවා. මම ඉගෙනගත්තෙ කුරුණෑගල මලියදේව මහ විදුහලේ. පාසල් කාලයේ මම තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. බාලදක්ෂ හා කැඩෙට් කණ්ඩායම්වලද සාමාජිකත්වය දැරුවා.

ඔබ ඉන් පසු හමුදාවට බැඳෙනවා?
ඔව්. 1990දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී තූර්ය වාදක කණ්ඩායමට සම්බන්ධ වුණා. වසර 22ක කාලයක් නිමකර මම හමුදා සේවයෙන් විශ්‍රාම ලැබුවා. ළමා කාලයේ පටන්ම මා තුළ කලා හැකියාවන් වගේම කලාවට ලොකු ආසාවක් තිබුණා. හමුදාවෙන් විශ්‍රාම ගියාට පස්සේ මම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණා. ඕනෑම අභියෝගයක් ජයගැනීම සඳහා කැපවී වැඩ කරන්න මා තුළ දැඩි ආත්මශක්තියක් තිබෙනවා. හමුදාවෙන් ලැබූ පන්නරය ඊට හොඳ පිටුවහලක් වුණා.

ඔබේ ආදරණීය බිරිය කුමාරි දසනායක ටවුමෙ ඉස්කෝලෙ චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් දායක වෙනවා?
ඔව්. ඒකට හේතුව ඇය මගේ බිරිය වීම නොවේ. ඇයට හොඳ ගායන හැකියාවක් තිබෙනවා. ගීතය ගායනා කරන්න ඇයට යෝජනා කළේ අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නයි. ඇය එක අත්තක මල් දහසක් ගීතය ගායනා කළේ හර්ෂණ දිසානායක සමඟ. සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග. බිරියගෙන් මගේ සියලුම කටයුතුවලට ලැබෙන සහයෝගය මම මේ වෙලාවෙ ස්තූති පූර්වකට සිහිපත් කරනවා.

ටවුමෙ ඉස්කෝලෙ ගැන කියනවනම්?
මෙය ඉතාම ලස්සන, ආදර්ශමත් ළමා චිත්‍රපටයක්. ඒ වුණාට වැඩිහිටියන්ටත් ලබාගත හැකි පාඩම් බොහෝයි. ගමේ පාසලකින් පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා නගරයේ ජනප්‍රිය පාසලකට එන දැරියකගේ අනුවේදනීය කතාවක් තමයි මේකට පාදක වෙන්නෙ. බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, සුසිලා කෝට්ටගේ ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. ප්‍රභාෂි පල්ලියගේ සහ මෙලිෂා යෙනුලි තමයි ප්‍රධාන ළමා චරිත දෙක නිරෑපණය කරන්නෙ. ලොකු පොඩි කවුරුත් මේ චිත්‍රපටය නැරඹිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

 

► Text -  Ramesh Uvais  /  Pic - Internet