2019 ජනවාරි 05 වන සෙනසුරාදා

අපට ගහන්න කොස්සක් අරගෙන අම්මා ගේවටේ දිව්වා

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 181

චන්දීප... මේ දවස්වල මොනවද කරන්නේ...?
මේ දවස්වල නිරාෂා ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඒ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ සඳරැවන් ජයවික්‍රම මහතායි. ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ලංකාවේ වගේම ඕස්ට්‍රේලියාවෙන් මේ ටෙලිනාට්‍යය රූගත කිරීම් කරනවා. ඒ වගේම ගායක කළ සංගීතය සැපයූ “වයන්නේ කියන ගීතය එළිදක්වන්න සූදානම් වෙනවා. ඒක පද රචනා කළේ දයානන්ද රත්නායක කියන මාමායි. ඉතින් ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල වැඩිපුරම කරන්නේ.

චන්දීප ළමා කාලයේදීත් නිර්මාණ කිහිපයක රඟපෑවානේ. නිරාෂා වැනි නිර්මාණයකට ආරාධනා ලැබෙද්දී මොකද හිතුණේ...?
ලංකාවට ආපූ අලුත තමයි සඳරුවන් ජයවික්‍රම මහතා මේ නිර්මාණය වෙනුවෙන් මට කතා කළේ. ලංකාවට මම ආවෙත් සංගීතය කරනවා කියලා හිතාගෙනම තමයි. තාමත් සංගීතය තමයි කරන්නේ. මියුසික් ඇල්බම් එකක් කරන්න හිතාගෙන තමයි මම ලංකාවට ආවේ. ඒ අතරතුර තමයි සඳරුවන් ජයවික්‍රම මහතා මට මේ චරිතය පිළිබඳව විස්තර කිව්වේ. ඒ වෙනකොට ඒ චරිතය වෙනුවෙන් කීපදෙනෙක් බලලා තිබ්බට මේ චරිතය සඳහා සඳරුවන් මහතා මටම කතා කළා.

ඒ චරිතය ටිකක් චන්දීපට ටිකක් සමීපයි නේද...?
ඔව්... ඒ චරිතයත් සංගීතයට නැඹුරුවුණු තරුණයෙක්. සින්දු කියන චරිතයක් නිසා මට ලේසි වුණා. අනෙක් ගිටාර් උගන්වන්නත් තියෙන නිසා “මම බලමු කියලා තමයි මුලින්ම කිව්වේ නම්. ඒ වෙද්දී තවත් පිටපත් කිහිපයකටවත් අධ්‍යක්ෂකවරැ කීපදෙනෙක් කතා කරලයි තිබුණේ. සමහර ඒවා කාර්යබහුල වීමත් එක්ක මට කරන්න බැරිවුණා. සමහර ඒවාට මම කැමති වුණේ නැහැ. හැබැයි සඳරුවන් මහතා මට මේ කතාව ගැන කියද්දී මට ආසාවක් ඇතිවුණා. මේ පිටපත වුණත් ලංකාවේ රැල්ලට යන ආදර කතාවක්වත්, අවසන් නොවන පිටපතක් තියෙන කතාවක්වත් නොවෙයි කියලා මට තේරුණා. වෙන මෙගා නාට්‍යවල වගේ මේකේ අවසාන් නොවුණු පිටපතක් තිබුණේ නැහැ. සඳරුවන් මහතා මට දුන්නෙත් ආරම්භය සහ අවසාන් වුණු පිටපතයි. කතාවේ හොඳ පටන් ගැන්මක් සහ හොඳ අවසානයක් තිබුණා. ඒ නිසා මම ඒකට කැමති වුණා.

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න අතරතුර චන්දීප කළේ මොනවාද...?
ඕස්ට්‍රේලියාවේ මම මූල්‍ය කළමනාකරණ උපාධිය ඉගෙනගත්තා. ඒ අතරතුර සංගීතය මම අමතර රැකියාවක් විදිහට කළා. මම සංගීතය ඉගැන්වූවා. ඉගෙන ගත්තා. ඒකත් නිරාෂා ටෙලිනාට්‍යයයේ චරිතය කරන්න මට උදවු වුණා.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගියේ කොයි කාලේද...?
ලංකාවෙන් මම ඕස්ට්‍රේලියාවට ගියේ 2013 ජනවාරි මාසේදී. කොහොමත් අවුරුදු පහකට ළංවෙන්න කාලයක් මම ඕස්ට්‍රේලියාවේ හිටියා. ඒ ජීවිතේ හොඳයි. ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට මම ගියෙත් තනිවම. මම හිටියෙත් තනිවමයි. තනියම යාළුවෝ හොයාගෙන ඕස්ට්‍රේලියාවේ ගොඩනැගුණු ජීවිතයක් තමයි මට තිබුණේ. අම්මයි, තාත්තයි ලංකාවේ ඉඳන් පුළුවන් පුළුවන් විදිහට මට උදව් කළා. ඉතින් කොහොම හරි මම තනියම ජීවත් වෙන්න හුරැවුණා. ඒ හුරුවීම ඕනෑම කෙනෙක් හරි වැදගත් වෙනවා. ලංකාවේ ඉඳන් ඒ වගේ රටකට ගිහින් දන්න කියන කිසිම කෙනෙක් ළඟපාතක නැතිව තනියම ජීවත් වෙන්න ඉගෙන ගැනීමත් හරි වැදගත් වෙනවා. භාෂාව කතා කරලා යාළුවන්ට හඳුනාගැනීම වගේ දේවල් එක්ක ඒ අත්දැකීම් හරි අපූරුයි.

මුල්කාලේදී හිතන තරම් ලේසී නැතිව ඇති...?
ඔව්... ඒක ඇත්ත. අම්මා, තාත්තා, නංගීව ලංකාවේ දාලා යද්දී ගොඩාක් දුක හිතුණා. මුල් කාලේදී ඒ ඇත්තට මුහුණ දෙන්න ගොඩාක් අමාරු වුණා. ලංකාවේ තිබෙන සංස්කෘතියට වඩා හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් තමයි ඒ රටේ තියෙන්නේ. අපි යුනිවසිටි ගියත් ලංකාවේ යුනිවසිටි යනවා වගේ නොවේ. ඒ රටේ ගොඩාක් කට්ටිය හරි කාර්යබහුලයි. හැමවෙලේම ඒ මිනිස්සු වැඩම තමයි කරන්නේ. විනෝද වෙන්න ලොකු විවේක කාලයක් ඒ මිනිසුන්ට නැහැ. ඉතින් අපි ඒ රටට ගියත් විනෝදවෙන්න ලොකු කාලයක් නැහැ. කැම්පස් යන්න ඕනේ. රැකියාවක් කරන්න ඕනේ. ඒ හැම බාහිර දේවල් ටික කරද්දී විනෝද වෙන්න ලොකු කාලයක් නැහැ. හැබැයි මම එහේ අවුරුදු පහම රැකියාවක් කළා. මම මියුසික් ඉගැන්නුවා වගේම ප්‍රසංගවලට සංගීතය සැපයුවා. ඒවා කරද්දී අවුරුසු පහ ගෙවිලම ගියා.

චන්දීප හීන දැක්කේ කවුරු වෙන්නද...?
මම ඉගෙනගත්තේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ. ඉස්සර මම ආසාවෙන් හිටියේ බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වෙන්න හරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නයි. ඒ වගේම මළල ක්‍රීඩකයෙක් වෙන්නත් ආස කළා. ඒ ක්‍රීඩා තුනටම මගේ දක්ෂතාවයන් තිබුණා. පුංචි කාලේදීත් රඟපෑමට කැමැත්තක් තිබුණා. හැබැයි ඉස්කෝලේදී ක්‍රීඩා දක්ෂතා පෙන්නපු නිසාම මට ක්‍රීඩකයෙක් වෙන්න ඕන වුණා. හැබැයි උසස් පෙළ විභාගයෙන් පස්සේ මට තේරුණු දෙයක් තමයි මටත් ඕවවෙන්නේ සංගීතයම තමයි කියලා. ඒක තමයි මගේ ඇගෙත් තිබුණේ. කවදාවත් අම්මවත්, තාත්තවත් මමවත් නංගීටවත් මියුසික් කරන්න කියලා බලකරලා නැහැ. මම උසස් පෙළ කරන කාලේදීත් මෙහේ තිබුණ එළිමහන් ප්‍රසංගවල බෑන්ඩ් එක හදාගෙන ගහන කාලයක් තිබුණා. අපේ වයසේ යාළුවෝ කිහිපදෙනෙක් එකතුවෙලා තමයි ඒ සංගීත කණ්ඩායම පටන්ගත්තේ. මම ඒ කාලේ රිදම් ගිටාර් එක තමයි වාදනය කළේ.

තාත්තාත් එක්ක මුලින්ම චන්දීප ගීතයක් ගායනා කළේ කොයි කාලේද...?
මම පළවෙනි වතාවට තාත්තාත් එක්ක ගීත ගායනා කළේනම් ලංකාවේ නෙවෙයි. අපි දන්නා අංකල් කෙනෙක් තමයි පහුකාලීනව ඒ මතකය අපිට කිව්වෙත්. තාත්තයි අම්මයි වේදිකාවේ ගීත ගායනා කරද්දී මම වේදිකාවේ පැත්තක පුටුවක් තියාගෙන වාඩිවෙලා ඉන්නවා. ඒක පුංචි කාලේ ඉඳන් මගේ සිරිතක්ලු. මම හැමදාම ඉඳලා තියෙන්නේ ස්ටේජ් එකේ පිටිපස්සේ අයිනකට වෙන්නයි. ඉතින් අම්මයි තාත්තයි සින්දු කියද්දී දවසක් මටයි, අම්මයි, තාත්තායි ළඟට ගිහින්. ඒවෙලාවේ මගේ තාත්තා මයික් එක මගේ අතට දීලා තියෙනවා. එදා මම පුංචිකමට තාත්තා එක්ක ඒ ගීතයක් ගායනා කරලා තියෙනවා.

දැන්නම් චන්දීපයි, තාත්තයි ගීත ගායනා කරනවානේ...?
ඔව්... දැන්නම් ගායනා කරනනවා. තාත්තා එක්ක හරියටම මම ගායනා කළේ “මේ මල්යායේ සහ මුව මුක්තා ලතා පිපි කියන රීමෙක් එකයි. ඒක මම ලංකාවට ඇවිත් හදපු රීමේක් එක එක්තරා ටෙලි සම්මාන උළෙලකදී මටයි, තාත්තටයි එකතු වෙලා නිර්මාණයක් කරන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඒ වෙලාවේදී තමයි මම තාත්තට හැමදාම එකම විදිහට ගීත ගායනා කරනවාට වඩා අලුත් විදිහට නිර්මාණයක් කරමුද කියලා යෝජනා කරද්දී තාත්තාත් ඒකට කැමැති වුණා. ඒ විදිහට තමයි මේ මල්යායේ ගීතයත් මුව මුක්තා ලතා පිපි හංසයාංගනා කියන ගීත දෙක එකතු කරලා රීමේක් එකත් හැදුවේ. ඒ වෙනුවෙන් අපිට පහන් වික්‍රමසංහ මහතා ගොඩාක් උදව් කළා. ඒ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

නංගියි, චන්දීපයි අතරේ තියෙන බැඳීම කොහොමද...?
නංගී කියන්නේ හරිම ආදරණීය නංගී කෙනෙක්. පුංචි කාලේ නම් අපි දෙන්නා ඉතින් ඇතිතරම් සෙල්ලම් කළා. ඒ වගේම රණ්ඩුවක් වුණා. පුංචි කාලේ තරහත් වුණා. හැබැයි ඉතින් ඒවා බොහෝම පොඩි කාලයයි. පුංචි කාලේ මගේ හොඳම යාළුවා තමයි මගේ නංගී. මම ඕස්ට්‍රේලියාවට ගියාම නංගීත් මාත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා. හැබැයි මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේදී තමයි නංගීගේ O/L විභාගය තිබුණේ. ඉතින් එයාට පුළු පුළුවන් විදිහට එයා මටත් කතා කළා. ඒ කාලේදී මාත් හරි කාර්යබහුල වෙලා හිටියේ. ඉතින් දැන්නම් ආයෙත් ලංකාවට ආවට පස්සේ ඉස්සර වගේම තමයි.

ඒ කියන්නේ දැනුත් ඉස්සර වාගේ දෙන්නා රණ්ඩු වෙනවාද...?
නැහැ... එහෙම නැහැ... දැන් අපි ලොකුයිනේ. දැන් වෙලාවට අපි දෙන්නා හොඳ යාළුවෝ දෙන්නෙක් වගේ. එයා යන තැන්වල මාත් යනවා. මම යන තැන්වල එයත් එනවා. දැන් ඉතින් අපි දෙන්නා එකටම තමයි වැඩ කරන්නේ.

හතරදෙනාම කාර්යබහුලයිනේ. හතර දෙනාට එකතුවෙලා කතාබහ කරන්න හුවමාරු කරගන්න වෙලාවක් හොයාගන්නේ කොහොමද...?
ඔව්... අම්මයි තාත්තායි සංගීතය නිසා කාර්යබහුලයි. නංගීගේ අධ්‍යාපන කටයුතු නිසාත් එයා කාර්යබහුලයි. සමහරදාට ඒ වෙලාව හොයාගන්න ටිකක් අමාරැ වෙන වෙලාවලුත් තිබෙනවා. හැබැයි කොහොම හරි පුළුවන් විදිහට සතියකට දෙකක් තුනක් විතර රෑ වෙලාව හරි උදේ වෙලාව හරි වෙන් කරගන්නවා.

ආදරණීය කලාකරුවකුගේ සහ කලාකාරියකගේ දරැවන් වීම ගැන මොකද හිතෙන්නේ...?
ගොඩාක් සතුටුයි... මගේ අම්මා තාත්තාට මේ රටේ මිනිස්සු හරි ආදරෙයි. ඒ ආදරේ නිසාම තමයි අද ඒ ආදරය අපිට ලැබෙන්නේත්. කවදාවත් මගේ අම්මා තාත්තා මටවත් නංගීටවත් කිසිම දේකට බලකළේ නැහැ. මොනතරම් කාර්යබහුල වුණත් ඒ දෙන්නා අපි දෙන්නා ගැන හැමවෙලේම හොයලා බලනවා. ඉතින් ඒ වගේ ආදරණීය මව්පියන් දෙන්නෙක්ගේ දරැවන් වෙන්න ලැබීම මගෙයි නංගිගේ වාසනාවක්. 

ඊළඟට චන්දීපගේ තියෙන බලාපොරොත්තු මොනවාද...?
මම කවදාවත් ලොකුවට බලාපොරොත්තු තියාගත්තේ නැහැ. බලාපොරොත්තු ගොඩාක් ඇතිකර ගත්තොත් අන්තිමට ඉතිරි වෙන්නේ දුකක් විතරයි. ඒ නිසා මම හැමවෙලේම ජීවත් වෙන්නේ මේ මොහොතේ. අද කළයුතු දේ මම අද කරනවා. තියන වැඩකටයුතු කරගෙන ඉදිරියට යන්න තමයි මගේ උත්සහාය වෙන්නේ.
ඔන්න ඒ චන්දීප ගැනනේ. එඩ්වඩ්ගේත් චරිතාගේත් දියණිය එක්කත් අපි ටිකක් කතා කළා. අයියා වැඩිපුර අධ්‍යාපනය හදාරනා ලංකාවට එද්දී නංගී උසස් අධ්‍යාපනයට විදෙස්ගත වෙන්නයි බලාපොරොත්තුව.

මේ දවස්වල ශෙරන්‍යා මොනවද කරන්නේ...?
ඔව්... මේ දවස්වල වැඩිදුර අධ්‍යාපනයට විදෙස් ගත වෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. අයියා ලංකාවට ආවට පස්සේ අතින් කෙනා ලංකාවෙන් යන්න හදන්නේ. බොහෝ වෙලාවට පෙබරවාරි අන්තිම වෙද්දී විදෙස් ගතවේවී.

පුංචි කාලේ හීනය වුණේ කවුරු වෙන්නද...?
පුංචිකාලේ ඉඳන්ම මට නිතරම ඇහුණේ සංගීතයයි. ඉතින් මියුසික්වල ආභාෂය තිබුණු නිසා සංගීතය පැත්තට නැඹුරු නොවී ඉන්න තමයි ට්‍රයි කළේ. මට ඕනේ වුණේ වෙනස් දෙයක් කරන්නයි. නමුත් ලොකු වුණාට පස්සේ ඒකටම මගේ හිත ගියා. දැන් වැඩිදුර අධ්‍යාපනය හදාරන්නෙත් සංගීතය පැත්තෙනුයි. 

චූටි කාලේ වැඩියෙන් දඟ අයියද... ඔයාද...?
දෙන්නම දඟයි. අයියා තමයි මගේ හොඳම යාළුවා. අපි දෙන්නා එකට තමයි සෙල්ලම් කරන්නේ. මට මතකයි එක දවසක් අපි දෙන්නා එක වැරැද්දක් කරලා මගේ අම්මා කොස්ස අරගෙන අපි දෙන්නටම ගේ වටේම එළවගෙන ගියා. අපි දෙන්නා දෙපැත්තකට දිව්වා. ඉතින් අන්තිමේදී කා පස්සෙත් එළවගෙන යන්න ද කියලා අම්මට හිතාගන්න බැරිව අම්මා පස්සෙන් එළවන එක නතර කළා.

දැනුත් දෙන්නා රණ්ඩු කරනවාද...?
අනේ... නැහැ... දැන් අපි දෙන්නා ගොඩාක් හොඳයි. අයියා තමයි මගේ හොඳම යාළුවා. මියුසික් පැත්තෙන් මට අයියාගෙන් ලොකු ස්පෝට් එකක් ලැබෙනවා. මාව පුහුණු කරන්නේ මගේ අයියයි. මගේ උසස් අධ්‍යාපන කටයුතු ගැන පවා හොයලා බලන්නේ මගේ අයියා. ඉතින්... අම්මා, තාත්තා, අයියා තමයි මගේ ලෝකේ.  

 

► Text - Dishani  /  Pic – Sumudu 

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30