2019 ජනවාරි 05 වන සෙනසුරාදා

එක තැනකදී මගේ ජීවිතය ගිනි කන්දක් වගේ පිපිරුවා!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 126

- අනුරුද්ධ ජයසිංහ

2019 වසර ලබද්දීම ඔබේ අලුත් නිර්මාණ “ගින්නෙන් උපන් සීතල තිරගත වෙන්නට නියමිතයි. මොකද හිතෙන්නේ...?
ඔව්... එක එක්කෙනාගේ ජීවිතේ එක එක කාලවලදී හොඳ කාල වෙනවානේ. ඉතින් අපිත් දැන් අවුරුදු ගාණක් තිස්සේම යම්කිසි නිර්මාණයක් වෙනුවෙන් ලකලෑස්ති වුණා. ඒ වෙනුවෙන් ලොකු කැපවීම් කළා. ඒකේ ප්‍රතිඵලය 2019 වසරේ දී ලැබෙන්න යනවා. ඉතින් “ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ වැඩකටයුතු අවසාන කරලා ජනවාරි මාසේ 18 වෙනිදා සිට ප්‍රදර්ශනය කරන්න ලෑස්තිවෙලා තියෙනවා. ඒ නිසා 2019 වසර අධ්‍යක්ෂකවරයෙකු විදිහට මමත් නිෂ්පාදන ආයතනයක් ඇතුළු මේ චිත්‍රපටයේ වැඩකරපු සියලු දෙනාටම මේ අවුරුද්ද හොඳ අවුරුද්දක් වේවී.

2019 වසරේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වනවා වගේම ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්නත් අවස්ථාව ලැබුණා නේද...?
ඔව්... මෙවර 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ලංකාවෙන් චිත්‍රපට දෙකක් තෝරාගෙන තියෙනවා. ඒ “මැතිව් චිත්‍රපටය සහ “ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයයි. මුළු ඉතිහාසයෙන්ම සිංහල භාෂක ප්‍රථම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන එකම චිත්‍රපටය ලෙස “ගින්නෙන් උපන් සීතල ප්‍රධාන ධාරාවේ තරගාවලියට ඔස්කාර් සම්මාන උළෙලේ ඇතුළත් වෙනවා. ඒකත් අපට සුවිශේෂියි.

මෙවැනි චිත්‍රපටයක් කරන්න අනුරුද්ධට හිතුණේ ඇයි...?
ඔය අදහස එකපාරටම ඇතිවුණු අදහසක් නෙමේ. අපි තරුණයෝ විදිහට 1988 – 89 කාලයේදී අපිත් මේ ශිෂ්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ වෙන චරිතයි. ජනතා විමුක්ති පෙරමුණ කියන දේ දැනගෙන අපි ඒවාට යොමුවුණේ නැහැ. නමුත් ඒ කාලේ තිබුණු ආර්ථික, සාමාජීය වටපිටාව ගත්තාහම විප්ලවකාරී කණ්ඩායමක් විසින් යම්කිසි ඉල්ලීම් දිනාගන්න රජයක් එක්ක ගැටුණු අවදියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒකාලේ අපිටත් මෙවැනි උණුසුම් අරගලකාරී සංවිධානයක් අත්දැකීම් ලබන්න හිතුණා. ඒ කාලේ ශිෂ්‍යයෝ විදිහට තැන් තැන්වල පෝස්ටර් ගැහුවා. උද්ඝෝෂණවල යෙදුණා. අපිත් මේ ව්‍යාපාරයේ යම් කොටසකට සම්බන්ධ අයයි.

ඒ කොටස්කරුවකු විදිහට පාසල් ශිෂ්‍යයකු ලෙස සිටි අවදියේදී වරක් අනුරුද්ධ අත්අඩංගුවට පවා පත්වෙනවා නේද...?
ඔව්... මම ගියේ කුරුණෑගල සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට. 1986 පස්සේ මම කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඉතින් අර විශාල ව්‍යාපාර අරගලයේ මුල් කාලයේදී අපිත් යම් කොටස්කරුවෝ වුණා. මූලික අවදියේදී යම් යම් දේ අතපතගාපූ යුගයක තැන් තැන්වල රහසිගතව පවත්වපු දේශපාලන පන්තිවලට අපි සහභාගී වුණා. එතකොට මම O/L පන්තියේ ඉගෙන ගන්න කාලේ. ඒ කාලේ වැඩිපුරම රුසියානු සාහිත්‍ය පොත්පත් කියෙව්වා. ඉතින් ඒ පොත්පත්වලින්ද අපි බොහෝ ආශ්චර්යමත් දේ වින්දා. ඒ හරහා බොහෝ දේ අත්දකින්න අපි තුළ කුකුසක් ඇතිවුණා. ඉතින් ඒ කාලේ තිබුණු යම්කිසි උද්වේගකාරී හැඟීම් එක්ක නිරන්තරෙන්ම මෙවැනි විප්ලවකාරී ව්‍යාපාරයක් එක්ක එකතු වෙන්න උවමනාවක් ඇතිවුණා. දේශපාලන පන්තිවලින් ශ්‍රී ලංකා වාමාංශික ව්‍යාපාරවල මඟ ගැන අපි ඉගෙනගත්තා. ඒවත් එක්ක අපි අපූරු උත්තේජනයක් ලැබුවා. අපි ජීවිතේට විජේවීර දැකලා තිබුණේ නැහැ. ඒ කාලේ ලොකුම ඉලක්කය වෙලා තිබුණේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාව. ඉතින් එක අවධියක “ජේ.ආර්. මරමු කියලා පෝස්ටර් ව්‍යාපාරයක් මේ තුළ කරගෙන ගියා. ඉතින් මමත් ඒ පෝස්ටර් ටිකත් අතේ තියාගෙන පාප් බාල්දියකුත් අරගෙන තාප්පවල පෝස්ටර් ගහන්න ගියා. එතකොට මම අවුරුදු දාසයක ශිෂ්‍යයෙක්. ජේ.ආර්. පෝස්ටර් මිටියකුත් එක්ක මම පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ වරදට මම මාස දෙකක පමණ කාලයක් අත්අඩංගුවට පත්වුණා. කුරුණෑගල පාසල්වලින් මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ මමයි. ඒ සිරගත ජීවිතේ දී මට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනෙක්වම ළඟින් ඇසුරු කරන්න අවස්ථාව ලැබෙනවා.

අවුරුදු දාසයක පාසල් ශිෂ්‍යයෙක්ව සිරගත කරද්දී අනුරුද්ධගේ මව්පියන් ඒ සිදුවීමට මුහුණ දුන්නේ කොහොමද...?
ඒ කාලේ සාමාජය හරි විවෘතයි. දැන් වගේ ළමයින්ව ඒ කාලේ කොටුකරලා තියලා තිබුණේ නැහැ. ඒ නිසා ගෙවල්වල ඉඳන් බස් එකේ ඉස්කෝලේ යද්දී අපේ අම්මලා, තාත්තාතලා ඉස්කෝලෙට, ටියුෂන් පන්තියට අපේ පස්සෙන් ආවේ නැහැ. අපි වැරදි වැඩකරයි කියලා සමාජයේ මතයක් තිබුණේ නැහැ. වැඩිම වුණොත් පිරිමි ළමයෙක් සිගරට් එකක් බොයි. එහෙමත් නැත්නම් බීඩියක් බොයි. එහෙම නැතිව කුඩුවත්, ගංජාවත් ඒ කාලේ ළමයි බිව්වේ නැහැ. ගෑනුන් එක්ක කාමරවලට යන යුගයක් ඒ කාලේ තිබුණේ නැහැ. ගෑනු ළමයි එක්ක පිරිමි ළමයි රූම්වලට යනවා අපි දැකලාවත් තිබුණේ නැහැ.

අපි ඉගෙනගන්න ශිෂ්‍යයෝ විදිහට හොඳ ගරුත්වයක් අපේ විද්‍යාලය තුළ තුබුණා. අපි යාළුවෝ එකතුවෙලා ඉස්කෝලේදී නාට්‍ය කළා. ඒ වගේ දේවල් එක්ක අපිට පාසලේදී යම් පිළිගැනීමක් තිබුණා. ඒනිසා ඉස්කෝලේදී පිළිගැනීමක් තිබුණු නිසාත් ගෙදරදී වුණත් අපිට තහංචි දැම්මේ නැහැ. අපිට අපේ නිදහස ගෙවල්වලිනුත් ලබලා දුන්නා. අපි කවදාවත් මේ ශිෂ්‍ය ව්‍යාපාරය නරක දෙයක් කියලා හිතුවේ නැහැ. අපි හැමවෙලේම ලෝකේ වෙනස් කරන්න ඕන කියලා තමයි හිතුවේ. ඒක වෙනස් කරන්න පාවිච්චි කරපු ක්‍රමවේදවල වැරදීම් තියෙන්න පුළුවන්. නමුත් ඒ ගත්ත උත්සාහය අපි නිවැරදිව ගත්තා.

පාසලේදී වුණත් අනුරුද්ධ අධ්‍යාපනයට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වුණාද...?
ඔව්... පාසලේදී මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ නිසා අපි ගෙදර රැදෙනවා හරිම අඩුයි. පන්ති කාමරෙන් පස්සේ වැඩිපුරම හිටියේ ක්‍රීඩාපිට්ටනියෙයි. ඒ නිසා කාටවත් අපි මෙවැනි ශිෂ්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ වෙනවා කියලා හිතන්නවත් බැහැ. මට තාම මතකයි එක කාලයක් රෑ එකොළහාමාරට දොළහට පාසලට පැණලා මුළු පාසල් භූමිය පුරාම රෑ හඳපානේ පෝස්ටර් ගහනවා. මම පාසල් ශිෂ්‍ය නායකයෙක් වෙලත් හිටියා. ඉතින් පහුවදා පාසලේ විදුහල්පති පාසලේ පොස්ටර් ගැහුවේ කවුද කියලා හොයලා බලන්න දෙන්නෙත් අපිටමයි. එතකොට මගේ වයස අවුරුදු දාසයි. 

එක දවසක් මහ රෑ ඉස්කෝලෙට පැනලා මගේ පන්ති කාමරය වටේම පෝස්ටර් අලවලා පන්තිය ඉස්සරහ තියෙන පොකුණෙන් පාප්ප ගෑවිච්චි අත්දෙක හෝදලා පන්ති කාමරය දිහා බලාගෙන හිටපු හැඟීම හරි පුදුමයි. අද ඒ අතීතය ආවර්ජනය කර බලද්දී අපිට ඒ කිසිම දෙයක් කරන්න බැහැ. මුරකාරයෙක් ඉන්න ඉස්කෝලෙකට පැනලා පෝස්ටර් ගහලා මහ රෑ හඳපානේ පාසල දිහා බලාගෙන හිටපු හැඟීම් සියල්ලට තාරුණ්‍යයට උචිත හැඟීම් විතරයි. ඒවා කවදාවත් අපිට නැවත කරන්න බැහැ. පහුවදා ඒ දේ කළේ කවුද කියලා බලන්නත් කියලා පහුවදා බාර දුන්නෙත් අපිටමයි. 

පහුකාලයේදී ගමෙන් කොළඹට එන අනුරුද්ධට මේ අත්දැකීම් එක්ක මේ නිර්මාණය කරන්න හිතුණේ ඇයි...?
ඔව්... පහුකාලීනව අපි ගමෙන් කොළඹට ඇවිත් නාට්‍ය කළා. තුවාලයක් තියෙන මනුස්සයා තමයි ඒකේ වේදනාව දන්නේ. තුවාලය පැසවන්නාසේම මේ චරිතය හැමවෙලේම හිතේ තියෙනවා. ඒ නිසා පහුකාලීනව අපි දේශපාලනයට සම්බන්ධ වුණා. ඒ හරහා ජීවිතයේ එකතු කරගත්තු දේ ගිනි කන්දක් පුපුරනවා සේ පිපිරිලා ගියා. ඒ ගිනිකන්දත් තියාගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවානේ. ඉතින් ගිනි කන්දත් පිපිරිලා යන්න හොඳම කාලයි තමයි මේ. අවුරුදු දහසය දහතකින් ඇතිවෙච්චි ගිනිකන්ද අවුරුදු හතළිහ ගෙවුණාට පස්සේ පිපිරිලා ගියා. එක්කෝ අපි ඒකත් එක්ක මිය යන්නෝනේ. එහෙම නැත්නම් ඒක පුපුරලා යන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ “ගින්නෙන් උපන් සීතල නමින් චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ. ඒක දැවැන්ත නිර්මාණයක්. 

නිර්මාණය වෙනුවෙන් කොපමණ කලක් ගතවුණාද...?
අවුරුදු දෙකක් තොරතුරු එකතු කරන්න ගතවුණා. මේ වෙනුවෙන් මාධ්‍යවේදී බොහෝ දෙනෙක් සම්බන්ධයි. ඔවුන්ගේ තොරතුරු අරගෙන ඊට පස්සේ අපි ඒ තැන් සොයාගෙන ගිහිල්ලා ඒ ඒ තැන්වල ඉන්න පුද්ගලයින් මුණගැහුණා. විජේවීර එක්ක හිටපු සමකාලීනයන් අදටත් ජීවත් වෙනවා. ඔවුන් එක්ක කතාබහ කරලා තමයි මේ පිටපත කළේ. පිටපත අවසන් වශයෙන් ලිව්වේ ආරියවංශ ධම්මගේ. ඒ පිටපත ලියන්න කිහිපදෙනෙක්ම එකතු වුණා.

නිර්මාණය කරද්දී බොහෝ අභියෝගවලටත් මුහුණ දෙන්න ඇති...?
ඔව්... බොහෝ කරුණු පරස්පර වුණානේ. ඒවගේ අවස්ථාවලදී හැම පැත්තක් ගැනම හිතන්න සිද්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ අවසන් කාලයේදී නායකයින් අත්අඩංගුවට ගන්නේ පණිවිඩ හරහායි. ඒනිසා බොහෝ ගැටළුවල අපිට කිමිදෙන්න සිද්ධ වුණා. ඇත්තටම නිර්මාණයට ලොකු අභියෝගයක් වුණා. මානව සමාජය තුළ කම්පනයක් ඇති කළ සිදුවීම් අපිට අහක බලාගෙන බොහෝම සරල සුන්දර දේවල් පමණක් අරගෙන පෙන්නනවාට වඩා අවුරුදු ගාණක් තිස්සේ වලලපු සිදුවීම් එකතු කරගෙන නිර්මාණය කරන එක තමයි වටින්නේ.

අනුරුද්ධ කලා කටයුතුවලට එකතු වුණේ කොහොමද...?
තර්ස්ටන් විද්‍යාලය කියන්නේ කලාවට සම්බන්ධ බොහෝ පිරිසක් බිහිකරපු පාසලක්. ඉතින් අපි කලා උළෙලවල් කරද්දී කලා ශ්‍රේස්ත්‍රයට ආදී ශිෂ්‍යයෝ බොහෝමයක් පාසලට ආවා ගියා. ඒ නිසා මටත් කලාවට ආසාවක් ඇතිවුණා. ඒ කලාවට දායක වුණා. ඉතින් මම මගේ නැන්දාගෙන් සල්ලි ඉල්ලගෙන දැහැන චිත්‍රපටය කළා. ඒක අධ්‍යක්ෂණය කළේ ප්‍රියන්ත කොළඹගේ. ඒකේදී මට නළු නිළියන්ව කැමරා ශිල්පීන්ව මුණගැහුණා. ඒ වගේම තවත් දැවැන්ත අධ්‍යක්ෂකවරයෙක් මුණගැහුණා. ඒ සුදත් රෝහණ මහතා. ඊට පස්සේ සුදත් අයියා “අවිඳු අඳුර කියලා නාට්‍යයක් කළා. ඒකෙදී මම සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කළා. එතැනින් ඇරඹුණු ගමනේදී සුදත් අයියා එක්ක නිර්මාණ කිහිපයකටම දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මම පෞද්ගලික නාළිකාවක වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස වසර කිහිපයක් කටයුතු කළා. එහෙම තමයි මගේ කලා ජීවිතය ඇරඹුණේ. 

 

► Text - Dishani  /   Pic -  Sumudu

 

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30