2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ඒවා බැලුවේ මූණ වහගෙන අතේ ඇඟිලි අස්සෙන්

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 75

මුදලිගේ දොන් මහින්දපාල සිනමා කැමරා අධ්‍යක්ෂක, අපි මුලින්ම ඔබේ ළමා කාලය පිළිබඳව මතකය අවදි කරමු...?
මම ඉගෙනගත්තෙ කොළඹ ඉසිපතන විද්‍යාලයෙ. අපේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධකම් කියන්නෙ නැහැ. මගේ පවුලේ හත්දෙනෙක් ඉන්නවා. ඒ අතරින් මම හය වැනියා. මගේ පියා විදුලි කොන්ත්‍රාත්කරුවෙක්. මගේ අයියත් තාත්තගේ රස්සාවම තමයි කළේ. මගේ එක සොහොයුරියක් චිත්‍රවලට දස්කම් දැක්වුවා. තව සහෝදරියක් ලේඛන කලාවට දක්ෂ වුණත් එයාලගේ හැකියාව වැඩිදියුණු වුණේ නැහැ.

ඔබ චිත්‍රපටවලට ආසාවක් දැක්වුවේ කුඩා කල සිටමද...?
ඔව්.. මගේ තාත්තා අපි පුංචි කාලේ ඉඳලාම අපිව චිත්‍රපට බලන්න එක්කගෙන යනවා. පහළ මධ්‍යම පන්තියේ මිනිසුන්ගේ එකම විනෝදාත්මක මාධ්‍ය වුණේ චිත්‍රපට බැලීම තමයි. ඉතින් තාත්තත් එක්ක අපි චිත්‍රපට බලන්න ගියේ වන්දනා ගමනක් යනවා වගෙයි. මගේ තාත්තගේ ගම ගම්පල. මට හොඳට මතකයි ඩිංගිරි මැණිකා කියන කතාවට පසුබිම් වෙන්නෙ ගම්පලයි. ඒ නිසා මේ චිත්‍රපටය තිරගත වෙද්දී අපේ තාත්තගේ නෑදෑයෝ ඔක්කොම ගම්පල ඉඳලා කිරුළපන අපේ ගෙදරට ඇවිත් අපි හැමෝම එකතුවෙලා වන්දනා ගමනක් යනවා වගේ ෆිල්ම් හෝල් එකට ගිහින් ඩිංගිරි මැණිකා බැලුවා. ඒ නිසාම පුංචි කාලේ ඉඳලාම සිනමාවට මගේ හිත ඇදිලා ගියා. තිරයේ අර තරම් ආශ්චර්යයක් වෙන්නෙ කොහොමද කියලා බලන්න මට ලොකු ඕනැකමක් ඇතිවුණා. මට මතකයි අපි පුංචි කාලේ චිත්‍රපටවල තියෙන සටන් ජවනිකා, අඬන දර්ශනවලට හරිම බයයි. අපි ඒවා බැලුවේ මූණ වහගෙන අතේ ඇඟිලි අස්සෙන්. නමුත් ඒ හැමදෙයක් අතරේම මම සිනමාවට ඇළුම් කළා.

සිනමාවට තිබුණු ආසාව නිසාමද කැමරාවට හිත යොමුවුණේ..?
ඔව්.. ඒකට මූලික හේතුව තමයි චිත්‍රපට රූපගත කිරීමක් දකින්න ලැබීම. මුල්ම වරට මම ඒ අවස්ථාව උදාකරගත්තෙ අපේ පාසලෙන්. සොහොයුරෝ කියන චිත්‍රපටය ඉසිපතන විද්‍යාලයේ තමයි රූපගත කිරීම් කළේ. හැබැයි ඉතින් අපිට ළඟට එන්න දෙන්නෙ නැහැ. ඈතින් ඉඳගෙන කකුලේ ඇඟිලිවලින් ඉස්සි ඉස්සි මම ඒ රූපගත කිරීම් හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඒ රූපගත කිරීමේදී නළු නිළියන්ට අමතරව කැපීපෙනුණේ චිත්‍රපටයේ කැමරා ශිල්පියාව. කැමරාවට ඇහැ තියමින් බලන විදිහ මට හරි පුදුමයක් වුණා. කැමරාව තැනින් තැනට අරගෙන යමින් කරන වික්‍රමය මාව පුදුම කළා. ඔය වගේ චිත්‍රපට කිහිපයක්ම අපේ පාසලේදී රූපගත කිරීම් කළා. ඒ හැමදෙයක්ම මම ආසාවෙන් බලාගෙන හිටියා. අපේ පාසල ළඟමයි ලංකා චිත්‍රාගාරය පිහිටලා තිබුණේ. එතැන ඉස්සරහ බාල්දිවල පටලපට කැබැලි තිබුණා. මම ඒවාත් ගෙදර ගිහින් ටෝච් එක බිත්තියට ගහලා බලනවා. කිසිම දෙයක් පේන්නෙ නැහැ. ඒ කුතුහලය මට හැමවෙලේම තිබුණා.

ඒ කියන්නෙ ඒ තරමට චිත්‍රපටවලට ආසා කළා...?
ඔව්.. ඒ හැමවෙලේම මගේ අවධානය තිබුණේ ප්‍රොජෙක්ටරයටයි. මම හැමවෙලේම එතැන තමයි ඉඳගන්නෙ. ඒකෙ ෆිල්ම් එක යද්දී ඇහෙන සද්දය පවා මාව තවත් උනන්දු කළා. ඒ කාලේ නුගේගොඩ නළු නිළියන් කිහිපදෙනෙක්ම පදිංචිවෙලා හිටියා. ඒ අය පාරේ දකිද්දී බොහොම සාමාන්‍ය මිනිස්සු. හැබැයි චිත්‍රපටවලදී ඒ අය වීරයෝ වුණා. ඒ නිසා මගේ හිතට මේක මෙහෙම වෙන්නෙ මේ කැමරාව නිසා කියන අදහස ඇතිවුණා. මේ මැජික් එක කරන්නෙ කැමරාව කියලා මට හිතුණා. ඒ නිසාම මගේ හිත තදබල විදිහට කැමරාවට යොමුවුණා. ඒ කාලෙදී අපි පදිංචිවෙලා හිටියෙ නුගේගොඩ ජම්බුගස්මුල්ලෙ. අපේ ගේ ළඟම ගෙදරක පිනිබිඳු කියන චිත්‍රපටය රූපගත කිරීම් කළා. ඒකෙදීත් මගේ වීරයා වුණේ ඒ චිත්‍රපටයේ කැමරා ශිල්පියා වුණු තිමති වීරරත්නයි. ඔය කාලෙදී මේ පිළිබඳව මම පොත්පත් කියවන්න පටන් ගත්තා. සිනමා ඡායාරූප සම්බන්ධ පොත්පත් විශාල සංඛ්‍යාවක් මම කියෙව්වා.

ගෙදරින් චිත්‍රපට බලන්න එක්කගෙන ගියා වගේම පාසල් යහළුවන් එක්කත් මහින්දපාල චිත්‍රපට බැලුවද..?
ඔව්.. ඔව්.. ඉස්සර අපේ පාසලේ ආධාර දර්ශනයක් තිබුණා. එතකොට මම ගොඩක් පොඩි කොල්ලා කාලෙ. අපිව පෝලිමේ සැවෝයි සිනමාහලට එක්කගෙන ගිහින් චිත්‍රපටය පෙන්නුවා මට තාම මතකයි. චිත්‍රපටවලට තියෙන ආසාව නිසාම මම පෝලිමේ මුලටම තමයි යන්නෙ. ඒ කාලේ ඉතින් ඒවා ගැන එච්චර තේරෙන්නෙ නැහැනෙ. අර දැවැන්ත තිරය ඉස්සරහ ගැලරියේ වාඩිවෙලා බෙල්ල දික්කරගෙන හරිම ආසාවෙන් මම ෆිල්ම් බැලුවා. හර්කියුලිස් ෆිල්ම් එක බලද්දී පිටිපස්සෙ හිටපු අපේ ඉස්කෝලෙ ලොකු අයියලා හූ කියලා කෑගහද්දී මම පුදුම සතුටක් අත්වින්ඳා. ඔය කාලෙදී මම ඉංග්‍රීසි චිත්‍රපට බලන්නත් ආසා කළා. ඉස්සර ගැලරියේ මිල සත පනස් පහයි. ඉතින් සිනමාවට තියෙන ආසාව නිසාම ගැලරියේ වාඩිවෙලා ඇති තරම් ෆිල්ම් බැලුවා.

ඉසිපතනයේ ඔබ හොඳ ගෝලයෙක්.. එහෙම නේද..?
ම්.. ඔව්.. මම උසස් පෙළට හැදෑරුවේ විද්‍යා අංශය. වෛද්‍යවරයෙක් වෙන්න තමයි ඉගෙන ගත්තෙ. හැබැයි ඔය අතරේ සිනමාව මගේ ආසාව වෙනස් කළා. උසස් පෙළ විෂය හතරෙන් එක විෂයක් මම අසමත් වුණා. ඒ නිසා වෛද්‍ය විද්‍යාලයට යන හීනය කැඩිලා ගියා. මම පාසලේදී හොකී ක්‍රීඩාවත් කළා.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් පස්සෙ මහින්දපාලගෙ ඊළඟ ඉලක්කය වුණේ මොකක්ද..?
ඔය අතරේ මගේ හිත රජයේ චිත්‍රපට අංශයට ඇදිලා ගියා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටවල අනිත් චිත්‍රපටවල නැති මොකක්දෝ හැඩයක් මම දැක්කා. ඔහුගේ දෙලොවක් අතර චිත්‍රපටයට මගේ හිත තදබල විදිහට ඇදිලා ගියා. ඒ වගේ වෙනස් චිත්‍රපට කිහිපයක්ම මම දැක්කා. ඒ වෙනකොට මට කිසිම රස්සාවක් නැහැ. ඉගෙනගත්තට උඩට යන්න බැරිවුණා. ගෙදරත් ප්‍රශ්න. මගේ තාත්තත් නැතිවුණා. ඒ නිසා රස්සාවක අවශ්‍යතාවය මට තදින්ම දැනුණා. ඉතින් බොහෝ රස්සාවලට අයදුම්පත් දැම්මත් මගේ වෙලාවට ඒ එක රස්සාවක්වත් මට ලැබුණේ නැහැ. ඒ නිසා දවසක් මම ගම්සභා හන්දියේ උප තැපැල් කාර්යාලයට ගිහින් ගැසට් එක බැලුවා. ඔන්න ඒ වෙලාවේ තමයි රජයේ චිත්‍රපට ආයතනයට ආධුනිකයන් බඳවාගැනීම පිළිබඳව සඳහන් කරලා තිබුණේ. ඉතින් මගේ හිතේ මලක් පිපුණා.

හිතපු විදිහට රස්සාව ලැබුණද..?
අයදුම්පත දාලා කොච්චරනම් කාලයක් බලාගෙන හිටියද..? ඒ කාලේ ඩී.බී. නිහාල්සිංහගේ ළඟම හිතවතෙක් තමයි කේ.ඩී. දයානන්ද කියන්නෙ. ඒ නිසා දයානන්දට මම මේ රැකියාව ගැන කිව්වා. ඔය අතරේදී තමයි අපිට ආරංචි වුණේ ඒ පුරප්පාඩුවලට තවමත් කට්ටිය අරගෙන නැහැ කියලා. ඔන්න ඉතින් ආයේ කාලයකට පස්සෙ ඒ රැකියාවටම මම අයදුම්පත් දාලා දෙවැනි වතාවේ මට ඒ රැකියාව ලැබුණා. හැබැයි ඒක වසර තුනක පුහුණුවක් විතරයි. ජර්මනි රටෙන් ආපු පෝල් ස්මිත් මේකෙ උපදේශකයෙක් විදිහට කටයුතු කළා. ඔහුට අපිව බාර කළා. අපිට හොඳ පසුබිමක් ලැබුණා. රජයේ චිත්‍රපට අංශය හරි සුන්දර තැනක් වුණා. රජයේ චිත්‍රපට අංශයේ අවුරුදු දහයකට ආසන්න කාලයක් සේවය කළා.

ඊටපස්සෙ ඔබ සේවය කළේ කොහෙද..?
රජයේ චිත්‍රපට අංශයේ ඉන්න අයට කාලෙන් කාලෙට ශිෂ්‍යත්ව ලැබුණා. මට ජපානයට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඔය කාලෙදී රූපවාහිනිය ආරම්භ කිරීමට සාකච්ඡා පැවැත්වෙන කාලය. ජපානයට ගිහින් එද්දී රූපවාහිනිය ආරම්භ කරන්න සියල්ලම සූදානම්. ඒ නිසා මම රූපවාහිනියට එකතු වුණා. ඒ කාලෙදී මම ගම්පෙරළිය, පිටගම්කාරයෝ, කඩඉම වැනි ටෙලිනාට්‍ය කැමරා අධ්‍යක්ෂණය කළා. සම්මානත් ලැබුණා. හැබැයි මගේ හිත සිනමාවට ඇදිලා ගියා. ඒ නිසා මම රූපවාහිනී අභ්‍යාස ආයතනයට සම්බන්ධ වුණා.

එතැනදී ඔබ එහි ගුරුවරයෙක් විදිහටත් කටයුතු කළා..?
ඔව්.. මම පාඨමාලා සම්බන්ධීකාරකවරයකු ලෙස තමයි එම ආයතනයට සම්බන්ධ වුණේ. එතැනදී මම ඉගැන්වුවා. මමත් ඉගෙන ගත්තා. විදෙස් රටවලට යන්න අවස්ථාව ලැබුණා. සිනමා කැමරාකරණ පාඨමාලා පැවැත්වුවා. මේ හැමදෙයක්ම අතරේ මගේ හිත තිබුණේම චිත්‍රපට කැමරාකරණ පිපාසයෙන්මයි.

ඒ හීනය හැබෑකරගත්තා නේද..?
ඔව්.. රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී සුදත් දේවප්‍රිය හඳුනාගන්න අවස්ථාව ලැබුණා. ඔහු සමඟ තරණය චිත්‍රපටයේ කැමරාකරුවා ලෙස මම එකතු වුණා. එතැනින් තමයි සිනමාවේ මගේ ආරම්භය සිදුවුණේ. ඊටපස්සෙ මම අවුරුද්දකට වතාවක් බොහෝවිට චිත්‍රපටයක් කැමරාකරණය සිදුකළා.

ඉර මැදියම, ආකාස කුසුම්, පුරහඳ කළුවර, ඔබ නැතිව ඔබ එක්ක වැනි චිත්‍රපට ඔබේ කැමරා ඇසෙන් නිමවුණු චිත්‍රපටයි..?
ඔව්.. මම ඇත්තටම ආසාවට චිත්‍රපට කරපු කෙනෙක්. 2006 වනතුරු මම ආණ්ඩුවේ රස්සාවේ හිටියා. දැන් මගේ වයස අවුරුදු හැට නවයයි. දැනුත් මම යම් යම් චිත්‍රපටවලට සම්බන්ධව කටයුතු කරනවා. මම වැඩ කරන්නෙ මගේ ආත්ම තෘප්තියටයි.

ඔය අතරේ ඔබ ලේඛන කලාවෙත් නියැලිලා සිටිනවා..?
ඔව්.. රූපවාහිනී අභ්‍යාස ආයතනයට ගියාට පස්සෙ මට ලේඛන කලාවෙත් නියැලෙන්න අවස්ථාව ලැබුණා.  සිනමාව හා ජන සමාජය, පුංචි කෝච්චිය, අහසින් පොළොවට තිරරචනය, මැජික් ලන්තෑරුම, මාලන් බ්‍රැන්ඩෝගේ ස්වයං චරිතාපදානය වැනි පොත් පරිවර්තනයක් විදිහටත්, රූප රාමුව තුළ ලෝකය, සිනමාරූප වැනි පොතුත් මගේ අතින් ලියැවුණා.

මහින්දපාල අද ආදරණීය සීයා කෙනෙක්.. එහෙම නේද..?
ඔව්.. මගේ බිරියගේ නම ශාන්තා අත්තනායක. ඇය මට මුණගැහෙන්නෙ රූපවාහිනී අභ්‍යාස ආයතනයෙදීමයි. අපිට එක පුතෙක් ඉන්නවා. එයාගේ නම ගිහාන් මුදලිගේ. පුතා සිනමාවටවත් කැමරාකරණයටවත් සම්බන්ධ නැහැ. පුතා පරිගණක විද්‍යාව හදාරලා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් විදිහට දැන් එංගලන්තයෙ අවුරුදු දාහතරක ඉඳලා පදිංචිවෙලා ඉන්නවා. පුතා විවාහකයි. දැන් එයාලට පුංචි පුතෙක් ඉන්නවා. ඉතින් දැන් මම සීයා කෙනෙක්.

 

► Text - Dishani   /   Pic - Sumudu   

 

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30