2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මගෙ දුවේ ඔබ අවදියෙන්නම් මේ රැයේ මිහිරිම වෙලාවයි

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 140

 මගෙ දුවේ ඔබ අවදියෙන්නම් 
මේ රුයේ මිහිරිම වෙලාවයි 
දොර ඇරන් එළියට ආවොතින් 
මේ මිහිරි දේවල් නුඹටමයි 

සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි 
නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි 
මේ පොළොව කෙතරම් සුන්දරද 
මගෙ දූත් තනියම හිනාවෙයි 

ඝන කළුවරට අප පෙම් කළොත් 
ඉර හඳ තරුවලට ණය ගැතියි 
ලොව දුන්නු දේවල් අද අපිට හෙට 
ලොවට පෙරළා දිය යුතුයි 
ඔබ මේ ලොවට ආදරේනම් 
මුළු ලොවම ඔබටත් ආදරෙයි 

ගී පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ 
සංගීතය        - රෝහණ වීරසිංහ 
ගායනය     - කරුණාරත්න දිවුල්ගනේ

සොබාදහමට අපමණක් ආදරය කළ රතු ඉන්දියානු නායක සියැටෙල් 1854 වසරේදී කළ දිගු කතාවක පරිච්ඡේද කිහිපයක් මම නැවත කියවමි.

නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළඟේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.

මේ මිහිතලයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වූ වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මවුබිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහ පොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලේ කොටසක් වන්නෙමු. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහා රාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. 

ගිරි ශිඛර ද තණ බිම්වල තෙතමනය ද පෝනියාගේත්, මිනිසාගේත් සිරුරේ උණුසම ද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.

ගංඟා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබාගත මැනවි. පොකුණුවල පැහැදිලි ජල තලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම කියා පාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන්මිත්තන්ගේ කඩහඬ වන්නේය. 

ගංඟාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපගේ ඔරු ද, පාරු ද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංඟා අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ට ද එය කියා දෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංඟාවලට ද දක්වනු මැනවි.

ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම උදාවන හිරු ඉදිරියේ පලා යන්නා සේ සුදු මිනිසාගේ ආක්‍රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම අපට පූජනීය භූමි වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැප වූ භූමියකි.

සිරි පොද වැස්සේ තෙමෙන දේවදාර තුරැ මුදුනින් නැගෙන සුවඳ මද මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු, තුරැලිය, මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගතිමු. ඔබගේ මිනිස්සු තමන් මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. පවුලේ සියලු දෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලු දෙයම එකට බැඳී තිබෙන බව අප දනිමු.

ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි.

අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය තණ බිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම තැනිතලා වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවකු තම මවගේ හදවතේ රිද්මයට ආදරයට කරන්නාක් මෙනි.
ඒ සියැටල් මේ මහපොළොවට දැක්වූ අනන්ත ස්නේහයයි.

මට තාත්තායැයි කියන්නට දියණියක නොසිටියත් දියණියකු ඇති පියෙකුගේ හද ස්වරයේ ආදරණීය ගැඹුර මම මගේ නොවන මගේම අත්දැකීම්වලින් දැන හඳුනමි. පොහොට්ටුව සුපිෂ්පත මලක් වී හැම අත සුවඳ විහිදනු දකින්නට, ළදල්ලක් විහිදමින් ඇස් හරින පොඩි පැලය මහා වනස්පතියක වනු දකින්නට, කොහේ කොතැනක ඉපදුණත් හැම ගංඟා අතු රිකිල්ලක්ම වැඩී සයුර තෙක් ඇදී යනු දකින්නට මිහි මඬලනම් තාත්තාට ඇති නොහිම් ආසාව බලාපොරොත්තුවේ සේයාව දියණියකුට ආදරණීය තාත්තා වූ හැම තාත්තා කෙනකුගේම පපු පතු‍ලෙන්  මම දකිමි.

මගෙ දුවේ ඔබ අවදියෙන්නම් 
මේ රැයේ මිහිරිම වෙලාවයි 
දොර ඇරන් එළියට ආවොතින් 
මේ මිහිරි දේවල් නුඹටමයි 

දියණියගේ නිදි සුව බිඳ බලෙන් දුව ඇහැරවන සිතුවිල්ලක් තාත්තාගේ ඒ සිතේ නූපදියි. එහෙත් මේ සඳ සමුගන්නට සූදානම් පැහැසර අරුණයයි මට සිතේ. කළුවරට තුරුල් වී නෙත් වසන දියණිය මූ දේවියක ලෙසින් හිරු පහන් දොරින් එබිකම් කරන තෙක් නිදනු දකින්නට තාත්තාගේ හිත අකමැතිය. හිරු කවුළු දොර හැර වඩින්නට පෙර නිවෙසටම ලක්ෂ්මී දෙවඟනක් වී පිබිදෙන සිරියාවන්ත දුවක් තාත්තාගේ පැතුමය. දිනෙක බිරියක ලෙසින් මවක ලෙසින් කඩිසර සකසුරුවම් දෑතින් නිවෙසක වගකීම් යුතුකම් අතට ගන්න දියණියකගේ අධ්‍යාත්මයේ සොඳුරු ගුණාත්මක හැඩතල ආදරයෙන් මටසිලිටු ලෙස කැටයම් කරන්නට තාත්තාට සිත්වන්නේ අපූරු ගුරුවරයකු ඇසුරේ දූ නලවමිනි. ඒ ගුරුවරයා සොබාදහමයි.
තරු වියන යට සේද කළුවර සේ ඉහිරුණ සඳ පහන් රැයක අසිරිය දකින්නට තාත්තා දූට අඬගසයි.

මගෙ දුවේ ඔබ අවදියෙන්නම් 
මේ රැයේ මිහිරිම වෙලාවයි 

සීතල මැදියමේ නිදා වැටෙන තාරුකා සඳ අහස් තලයෙන් සමුගන්න පෙර ඇස් හරියි. වැවේ වැව් දිය රත්තරන් කුඩු දෝතින් ගෙන විසිර වූ කලෙක මෙන් රන් පැහැයෙන් පලින් පල දිලිසෙයි. සේපාලිකා මල්  අතු රිකිලි මතින් ගිලිහී නටුවෙන් ගැලවී විත් මහපොළොවට අඩි තියන්නේ මහපොළොව  සුවඳවත් කරන්නටය. සොබාදහම ජීවය දුන් ළදල්ලකට පොහොට්ටුවකට පවා සොබාදහම වෙනුවෙන් ඉටු කරන්නට යුතුකම් සමුදායක් තිබේ. සොබදහම අසිරිමත් සිත්තමකි. ඒ සිත්තමේ ගැල්වුණු හැම වර්ණයක්ම සොබාදහමේ අයිතියකි.

තවත් වෙසෙකින් සොබාදහම අපට ජීවිතය කියාදෙයි. ජීවිතය විඳින්නට මං ළකුණු කියාදෙයි. තවත් වෙසෙකින් සොබාදහම මහා දර්ශනවාදියෙකි. ජීවිතයේ අනිත්‍යතාව යථාර්ථය සොබාදහම අපට උගන්වයි. මලක් පොහොට්ටුවෙන් ඇස් හරින විට උපත ගැන කියාදෙන සොබාදහම මලක් පරවී පෙති හැලී පොළොව සිඹින විට මරණය ගැන කියාදෙයි. ළදළු විහිදන පැලයක් වතුර පොහොර දමද්දී වැඩෙන විට ආදරයත්, සැලකිල්ලත්, සත්කාරයත් ජීවනයකට මං පාදන බව සොබාදහම අපට කියාදෙයි. වඳ පීදුණු ගසක් ඇති ඉසව්වක හෝ අඩු ඵල ඇති ඉසව්වක ඇති ගසකට මිනිස් කටහඬක පහස ලැබෙද්දී ඒ ගස් වැල් කොළයක් කොළයක් ගානේ ඵල දරද්දී කරුණාවට ළෙන්ගතුකමට ආදරයට ජීවිත සුවපත් කළ හැකි බව සොබාදහම කියා දෙයි.

මේ පොළොව කෙතරම් සුන්දරද?
අකම්පාව මේ මහා පොළොව බොහෝ දේ දරාගෙන උසුලාගෙන සිටියි. අහස හෙලන අකුණු සර, හිටිවනම අතහරින උල්කාපාත, කෝටි ගණනක ගස් මුල් තුරු වදුලු මහා ගල් මේ සියල්ලකගේ බර මේ මහපොළොව උසුලාගෙන සිටියි. ඒ මහපොළොව ඉවසීම, දරාගැනීම, අකම්පාව ගැන දුවකට කියාදෙයි. දවසක ගැහැනියක වන උඹ ඒ මහපොළොවක් සේ වියයුතු බව තාත්තා දූට කියයි.

ඝන කළුවරට අප පෙම් කළොත් 
ඉර හඳ තරුවලට ණයගැතියි 

දුවේ ආලෝකය නොදුටුවොත් ඝන කළුවරට පමණක් පෙම් කළොත් අනාගතයට අඳුරක සේයාව හැරෙන්න ආලෝක පුංජයක්වත් ඉතිරි වෙන එකක් නෑ. ඝන කළුවර හරි භාවාත්මකයි. අපි අපි එක්කම ජීවිතය ගැන කතා කරන්නේ ඒ කළුවරේදී. ඒත් දුවේ ඒ කළුවරට පෙම් කරන ගමන් ඉර හඳ තාරුකාවල වටිනාකම් මඟ හැරෙයි... තාත්තා දුවට කියන්නට හදන්නේ ජීවිතය සමබර වන්නේ භෞතික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද පූර්ණත්වයට පත්වූ විට බවද? මට එලෙසින් සිත්වෙයි.
සොබාදහම ඇසුරේ ජීවිතය උගන්වන තාත්තා දුවට යුතුකම් වගකීම් ද උගන්වයි.

ලොව දුන්නු දේවල් අද අපිට හෙට 
ලොවට පෙරළා දිය යුතුයි 
ඔබ මේ ලොවට ආදරේනම් 
මුළු ලොවම ඔබටත් ආදරෙයි 

දුවේ යුතුකම් වගකීම් අපිට ඉගැන්නුවේ සමාජය, සංස්කෘතිය, ආගම විසින් විතරක් නෙවෙයි. සිඟාලෝවාදය වැනි සූත්‍රවලින් විතරක් නෙවෙයි. බයිබලය, කුරාණය විතරක් නෙවෙයි. මේ සොබාදහමත් අපට යුතුකම් වගකීම් ගැන කියාදෙනවා. අපි ආදරේ කළොත් අපිට පෙරළා ආදරය ලැබෙනවා. දුවේ සොබාදහමට ආදරය නොකළොත් ඉවසීමේ අන්තිම සීමාව බිඳී ගිය විට සොබාදහමත් අපට උත්තර දෙන්නෙ නපුරු විදිහකට. ඒ නපුරුකම් මැද්දේ වුණත් තමන්ට ආදරය කළ මිනිසුන්ව සොබාදහම රකිනවා. මහා ගංවතුර සුලිසුළං මැද්දෙ ගහක අත්තක එල්ලිලා හරි ජීවත් වෙන්න ලැබෙන්නේ සොබාදහමට ආදරණීය වූ ඒ මිනිසුන්ට...
සොබාදහම ඇසුරින් තාත්තා දුවට කියන්නේ පරිණත ජීවන න්‍යායකි. දර්ශනයකි.

කොන්දේසි විරහිත ආදරයක් කොහෙද? කොතැනකද?
කොන්දේසි විරහිත බැඳීමක් කොහේද? කොතැනකද?

කවුරුන් කෙසේ කීවත් පූජා කරන තරම් ආදරයක් පෙරළා දෙන්නේ කවුරුන්ද?
දෙවියන් ළඟවත් ඒ සා ප්‍රේමයක් ඇත්දැයි විමසන්නට මට අවසානයේ සිත්වෙයි. 

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30