2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ජීවිතේ ගැටගහගන්න කාණු පල්ලෙත් වැඩකළා.....

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 90

- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

අපි ඔබේ ගම්පළාතේ ඉඳන් මේ කතාබහ පටන්ගමු... ඔබ පවුලේ තුන්වෙනියා. එහෙම නේද...?
ඔව්... මම කලා පරපුරකට උරුමකම් කියපු කෙනෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි. අපි අපේ ළමා කාලයේදී රස විඳින්න පුළුවන් උපරිමයෙන් ඒ රසය වින්දා. අපේ ගමේ ඇළදොල, ගංගා, වතුර වළවල් වගේ හැම සම්පතක්ම තිබුණා. අපිට වරකා කෑල්ලක් කන්න හිතුණොත් ඇතිතරම් වරකා කන්න ගමේ වරකා තිබුණා. සමහර දවස්වලට අපි වැල වරකා කෑවේ ගහේ තියාගෙනමයි. අපි ගංවතුරට ඔරු පැද්දා. පහුරු පැද්දා. වැහි කාලේ එද්දී අපි වේලාසනම පහුරු හදාගෙනමයි හිටියේ. අපේ ගේ පිටිපස්සේ කැලණි ගඟින් එන අත්තක් ගලාගෙන ගියා. මගේ ගම යටියන්තොට ගරාගොඩ කියන ප්‍රදේශයේ. ඉස්සර අපේ ගෙදර කොච්චර අඟහිගකම් තිබුණත් සතුට කියන දේ උපරිමයෙන් තිබුණා. සංගීතය කියන කලාව මට මගේ අම්මයි තාත්තයි තමයි දුන්නේ. ඒ අතීතය මතක් වෙන හැම වතාවකම මම මගේ ජීවිතේ විඳිනවා. අපේ පවුලේ අම්මයි තාත්තායි එක්ක ඔක්කොම අට දෙනයි.

ඒ අට දෙනාගේ කුස පුරවන්න සතුට දෙන්න ඒ මව්පියන් දෙන්නා ලොකු රැකියා කළේ නැහැ නේද...?
නැහැ... මගේ තාත්තා යටියන්තොට ගරාගොඩ ගමේ බාස්සුන්නැහේ කෙනෙක්. මගේ තාත්තාගේ නම හෙට්ටිආරච්චිගේ ගුණවර්ධන. අපිට ලොකු සල්ලියක් තිබුණේ නැහැ. අපි බොහෝම දුප්පත් අය. තාත්තා මේසන් වැඩ විතරක් කරපු කෙනෙක් නෙමේ. සමහර වෙලාවට තාත්තා මේසන් වැඩ කළා. සමහර වෙලාවට වඩු වැඩ කළා. ගෙවල් තීන්ත ගාන්න ගියා. ඒ හැම දෙයක්ම තාත්තා කළේ අපිව රැකගන්නයි. තාත්තාගේ මහන්සියට සරිලන වැටුපක් නොලැබෙද්දී මගේ අම්මත් රස්සාවල් කළා. “දෙකල්වත්ත කියන වත්තේ නියර සුද්ද කළා. පිල්ලු කැපුවා. රබර් කිරි කැපුවා. මට මතකයි මගේ අම්මට කුණකටුවා කියන සර්පයා දෂ්ඨ කරලා එයා ගොඩක් දුක් වින්දා. ඊට පස්සේ මගේ අම්මව රබර් ෆැක්ටරියේ වැඩට මාරු කළා.

ඒකත් ඒ තරම් ලේසිපාසු වුණේ නැතිව ඇති නේද...?
නැහැ... රබර් කිරි වැටිලා මගේ අම්මගේ කකුල් දෙක වණ වෙලා තිබුණා. එතකොට මම ගොඩාක් පොඩියි. හැබැයි අම්මට රෑ වැඩමුර පවා තිබුණා. ඒ හැම දවසකම අම්මාව ෆැක්ටරියෙන් එක්කන් එන්න මම තමයි ගියේ. හුළුඅත්තක් පත්තු කරගෙන ගෙදර ඉඳන් තනියම මම රබර් ෆැක්ටරියට ගියා. මට බයක් දැනුණේ නැහැ. සොහොන් පිට්ටනිය ගාවින් ගිහින් අම්මා වැඩ ඇරිලා එනකන් මම ඒ ෆැක්ටරිය ඉස්සරහ තිබුණු මේසේ උඩ නිදාගත්තා. අම්මා ඇවිත් නැගිට්ටවලා ආයෙත් හුළුඅත්ත පත්තු කරගෙන මාත් එක්ක ගෙදර ආවා. අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි.

ඔබ ගියේ මොන පාසැලටද...?
මම ඉගෙන ගත්තේ ගරාගොඩ සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ. මට තාම මතකයි මම මුලින්ම ඒ පාසැලට ගිය දවසත්. ඒ දවසට කලින් දවසේ රෑ තාත්තා ගෙදර ආවේ කැඩිච්ච පරණ පොඩි බයිසිකලයකුත් කර තියාගෙනයි. ඒකේ එක රෝදයක් තිබුණේ නැහැ. මට ඒකත් හරිම සතුටක්. මොකක් වුණත් බයිසිකලයක්නේ. ඉතින් තාත්තා මාවත් ළඟින් තියාගෙන අර බයිසිකලයට ලීවලින් රෝදයක් කැපුවා. හැබැයි රෝදේ හයි කරනකන් මට නැගිටලා ඉන්න බැරි වුණා. මට හොඳටම නින්ද ගිහින්. පහුවදා උදේ මම ඇහැරෙද්දී තාත්තා රෝදයකුත් හයිකරලා. මම නිදාගෙන හිටපු තැන බයිසිකලේ තියලා තිබුණා. මට පුදුමාකාර සතුටක් දැනුණේ. ජීවිතේ මම කවදාවත් සල්ලිවලට අරන් දීපු සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරලා නැහැ. ඒ හැම දෙයක්ම අපිට හදලා දුන්නේ මගේ තාත්තයි. ඉතින් මම බයිසිකලේට නැගලා හරිම අමාරුවෙන් අර බයිසිකලේ පැද්දා.

ගෙයක් ගානේ ගිහින් බඩු වික්කා

බයිසිකලේ පැදලා මුල්ම පාසැල් ගමන ගියේ...?
ඔව්නේ... ටික වේලාවකින් තාත්තා “අපි පොඩි ගමනක් යමු පුතේ. කියලා මට කිව්වා. මම හරි ආසයි තාත්තයි අම්මයි එක්ක ගමන් යන්න. ඒ නිසාම දුවලා ගිහින් මූණ හෝදලා අම්මා දීපූ ඇඳුමකුත් ඇඳගෙන තාත්තා එක්ක ගමනක් ගියා. ඒ මගේ මුල්ම පාසැල් ගමනයි. එදා මම මුලින්ම “අ “ආ යන්න කිව්වා. මට තාම මතකයි එදා පාසැල අවසානයේදී රැස්වීමක් තිබුණා. ඒකට කට්ටිය සින්දු කිව්වා. මම ඉස්කෝලේ ඇරුණත් බලෙන්ම වගේ නතර වෙලා ඒ රැස්වීම දිහා බලාගෙන හිටියා. මගේ අයියා කොච්චර මාව එලෙව්වත් මම එදා ගෙදර ගියේ නැහැ. විශ්වාස කරන්න දෙවැනි රැස්වීමේදී මම බලෙන් වගේ ඉස්සරහට ගිහින් සභාවෙන් අවසර අරගෙන “පොල් පොල්... පොපොල්... පොල්* කියන සින්දුව කිව්වා. ඒකෙදී “පොල් කියන වචනය පැටැලැවිලා ළමයි හිනාවෙලා හරිම සුන්දර අත්දැකීමක් මම එදා වින්දා. මට ඕන වුණේ කොහොම හරි ඒ රැස්වීමේදී සින්දුවක් කියන එක විතරයි.

සින්දු කියන හැකියාව චන්ද්‍රසේනට ලැබුණේ ගෙදරින්ම නේද...?
ඔව්... මාව ගායනයට යොමු කළේ මගේ තාත්තා තමයි. මගේ තාත්තා වගේම අම්මටත් හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. මගේ තාත්තා එක දවසක් හරි දිග පාන්ගෙඩියක් අරගෙන ආවා. හැබැයි එදා තාත්තා ගෙනාවේ පාන්ගෙඩියක් නම් නෙමේ. ඒක මැන්ඩලින් එකක්. ඊට කලින් මම කිසිම සංගීත භාණ්ඩයක් දැකලා තිබුණෙත් නැහැ. ඉතින් තාත්තයි අම්මයි හවසට අපි කට්ටියම වටකරගෙන බිම වාඩිවෙලා සින්දු කිව්වා. අම්මත් හැඳි දෙකක් අරගෙන ඒකෙන් සංගීතය දුන්නා. තාත්තට ඩොල්කියකුත් තිබුණා. තාත්තා පුළුපුළුවන් විදිහට මට සින්දු කියලා දුන්නා. මට තාම මතකයි ඉස්සර අපිට රේඩියෝවක්වත් තිබුණේ නැහැ. අපේ කඩමණ්ඩියේ කඩයක රේඩියෝවක් තිබුණා. මම සින්දු ඇහුවේ ඒ රේඩියෝ එකෙන්. පැය ගණන් ඒ පුංචි කඩ කෑල්ල ළඟ වාඩිවෙලා සින්දු ඇහුවා. සමහරදාට කාටවත් කරදරයක් නැතිව පාඩුවේ සින්දු අහපු මාව කරදරයක් වෙච්චි මුදලාලි අර රේඩියෝ එක වහලා දැම්මා. හැබැයි ඒ කිසිම දේකින් මම කේන්ති ගත්තේ නැහැ. ඔහොම කාලයක් යද්දී මට හොඳටම සින්දු කියන්න පුළුවන් වුණා. අපි ගමේ සල්පිල්වල, තොරණ්වල පවා සින්දු කිව්වා. 

චන්ද්‍රසේනගේ මුල්ම රුකියාව වුණේ මොකක්ද...?
කවදාවත් අමතක වෙන්නේ නැහැ. සමහරදාට මම තාත්තාට උදව්වට වැඩටත් ගියා. ඔය අතරේ පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මට දවසකටවත් නිකම් නිකරුණේ ගෙදර ඉන්න ඕන වුණේ නැහැ. ඒ නිසා මම මහවැලි සංවර්ධන මණ්ඩලයේ රැකියාවකට ගියා. බතලයායේ තමයි අපි වැඩ කළේ. අපිට කැලෑවල්, පාරවල්, කාණු කපන්න තමයි තිබුණේ. කොහොම හරි හරිම දුක් විඳලා මම එතන මාසයක් වැඩ කළා. හැබැයි කවදාවත් මම ඒ රැකියාවට ආස කළේ නැහැ. ඒ නිසා මම මගේ පළමුවෙනි පඩිය අතට ගත්තා. රුපියල් දෙසීය විස්සක් මුල්ම වැටුප විදිහට ලැබුණා.

ඊට පස්සේ චන්ද්‍රසේන මොකද කළේ...?
මුල්ම රැකියාවට යන්න කලින් යොවුන් සංගීත පුරයට මම අයදුම්පතක් දාලයි තිබුණේ... කොහොම හරි පළමු රැකියාවට ආයුබෝවන් කියලා ගෙදර එද්දී මගේ අතේ රුපියල් එකසිය අසූවක් ඉතුරු වෙලා තිබුණා. දවසක් මම ටවුමේ ඉද්දී ප්ලාස්ටික් බඩු අරගෙන යන කෙනෙක් මුණගැහිලා මගෙන් පාරක් අහුවා. මම පාරේ විස්තර කියලා අර ප්ලාස්ටික් බඩු ගැන තොරතුරු ඇහුවා. පිටකොටුවේ විස්තරය කියද්දී මගේ හිතේ අපූරු අදහසක් ඇතිවුණා. පහුවදාව උදේම අර රුපියල් එකසිය අසූවක් අරගෙන මම කොළඹට ආවා. පිටකොටුව ප්ලාස්ටික් බඩු කඩවල්වලින් ප්ලාස්ටික් බඩු අරගත්තා. පෙට්ටි දෙකක බඩු පුරෝගෙන යටියන්තොට ගියපු මම ඊළඟ දවසේ පෙට්ටියක බඩු පුරෝගෙන ගෙයක් ගෙයක් ගානේ ගිහින් ප්ලාස්ටික් බඩු විකිණුවා. මගේ මොකක්දෝ වාසනාවකට මම ගියපු හැම ගෙදරකින්ම පනාවක් හරි මොකක් හරි දෙයක් ගත්තා. ඒ නිසා මට හරි ආස හිතුණා. හවස හයාහමාර වෙද්දී ම අයේ ගෙදරත් ආවා. ඉතින් ඔය විදිහට හැමදාමත් මම ඒ පුංචි ව්‍යාපාරය කරගෙන ගියා.්‍

සංගීතයට එකතු වුණේ කොහොමද...?
මම ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයට අනුව ලියුමක් ගෙදරට ආවා. “ඔබේ ඉල්ලීම අනුව ඔබ ඉදිරිපත් කරනා ගීතය එවන්න කියලා. හැබැයි ඒ වෙද්දී මගේ නිර්මාණයක් තිබුණේ නැහැ. ඒ නිසාම මම “ජය භූමි ශ්‍රී ලංකා... රැකගන්න ජය භූමි ලංකා කියලා පදවැල් ටිකක් නිර්මාණය කළා. ඒ වෙද්දී ගීතයක් ලියාගන්න තරම් කෙනෙක්වත් මට හිටියේ නැහැ. ඒ නිසා මට පුළුවන් විදිහට මමම ගීතයක් ලිව්වා. ලස්සන තාලයකුත් දැම්මා. ඒක අහලා මගේ අම්මයි, තාත්තයි ගොඩාක් සතුටු වුණා. ඒ නිසා මම සින්දුව තැපෑල් කරලා යැව්වා. ඔය අතරේ යොවුන් ගී කණ්ඩායමේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට මට අවස්ථාව ලැබුණා. මම ඒකටත් ගියා. ඒකට මාව තේරුණේ නැහැ. හැබැයි මම කවදාවත් අධෛර්යමත් වුණේ නම් නැහැ. 
ඔය අතරේ මගේ තව නිර්මාණයක් තේරිලා තිබුණා. ඒක ඉදිරිපත් කරන්න තිබුණේ කෑගල්ල බාලිකා විද්‍යාලයේයි. එදා කට්ටිය ගොඩාක් හිටියා. උදේ ගියාට මට හවස හතරට විතර තමයි අවස්ථාව ලැබුණේ. එදා මම හරි අපූරුවට ඒ ගීතය ගායනා කළා. සතියකට පස්සේ කෑගල්ල දිස්ත්‍රික්ක තරගයෙන් පළමුවෙනියා බවට පත්වෙලා කියලා මට ලියමනක් ගෙදරට ආවා. ඔය අතරේ ප්ලාස්ටික් බඩු ව්‍යාපාරයත් මම කරගෙන ගියා. ටික කාලයක් ගියාට පස්සේ මම ගෝලයෙකුත් ළං කරගත්තා. යොවුන් සම්මාන උළෙලේ අවසන් තරගයේදී ජෝන් ද සිල්වා රඟහලේදී මට සම්මානය ලැබුණා. එදා මට රුපියල් දෙසීය පනහක මුදල්මය ත්‍යාගයක් ද ලැබුණා. ඊට පස්සේ මම තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමට එකතු වුණා.

සංගීත දිවියට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් ඔබ සංගීත ප්‍රසංගයක් පැවැත්වූවා...?
ඔව්... මගේ ගීත සැමරුම් කිහිපයක්ම මම පවත්වලා තියෙනවා. ඒක කරන්නේ මගේ ආදරණීය රසික රසිකාවියන්ටයි. ඉතින් මෙවර සැප්තැම්බර් 07 වෙනිදා මගේ උපන් දිනයත් නිමිති කරගෙන “තවලම කියලා ප්‍රසංගයක් මහරගම යොවුන් රඟහලේදී පැවැත්වූවා. ඊට අමතරව සැප්තැම්බර් 19 වැනි බදාදා උදේ හතේ සිට මහරගම යොවුන් රඟහලේදී ලේ දන්දීමේ පිංකමක්ද පවත්වනවා. මෙවැනි ලේ දන්දීමේ පිංකම් කිහිපයක්ම මම පැවැත්වූවා. ඒ හැම එකකටම බොහෝ රසික රසිකාවියන් මාත් එක්ක අත්වැල් බැඳගත්තා. ඉතින් මෙවර ලේ දන් දීමේ පිංකමටත් මම මගේ ආදරණීය රසික රසිකාවියන්ට ඉතා ආදරයෙන් ආරාධනා කරනවා.

මේ හැම දේකදීම ඔබේ ජීවිතේ පිටුපස මව්පියන් මෙන්ම ඔබේ ආදරණීය පවුලේ අයත් ඉන්නවා නේද...?
ඔව්... මගේ තාත්තා අද ජීවතුන් අතරේ නැහැ. අදටත් මට මගේ අම්මාගේ ආශිර්වාදය මට ලැබෙනවා. ඒ වගේම මගේ ආදරණීය බිරිඳ මංගලිකා හෙට්ටිආරච්චි. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි හතර දෙනා හරිම සතුටින් ජීවත් වෙනවා. අදටත් මගේ ජීවිතේ හරි සරලයි. ඒ සැහැල්ලුවට ඒ සරලකමට මම හරි ආදරෙයි. 

 

► Text - Dishani  /   Pic - Sumudu   

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00