2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

වැව් පතුලේ කාසි ගරන ඉසුරුමුණිය

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 118

අපිට හිතුණා ඔයත් එක්ක අනුරාධපුරයේ ඇවිදින්න යන්න.

අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසිකළා

කසුන් කල්හාර එහෙම ගැයුවට ආදරයක අතීතය දෝතට අරන් විසි කරන්න පුළුවන් වුණාට දේශයක අතීතය දෝතට අරන් විසි කරන්න අපට බෑ. සොබාදහම, ඇළ, දොළ, ගංඟා, ගහ කොළ අතරේ ඇවිදින ගමන් ඉතිහාසයේ පාරවල් දිගෙත් ඔයත් එක්ක ඇවිදින්න අපි කල්පනා කළේ ඒකයි.

අනුරාධපුරයට කිට්ටු වෙද්දී හරියටම වෙලාව උදේ 9.30යි. අපේ නවාතැනට සේන්දු වෙලා ගිමන් හැරලා ඔන්න අපි අපේ චාරිකාව පටන් ගත්තා ඉසුරුමුණියෙන්. 
අනුරාධපුරයේ වන්දනාවක යන ඕනෑම භක්තිකයෙක් ඉසුරුමුණියේ යන්න අමතක කරන්නෙත් නෑ. ඒ තරම් සංචාරක ආකර්ෂණයක් ඒ ඉතිහාස උරුමයේ තියෙනවා කීවොත් මම හිතන්නේ මම නිවැරදියි.

දුටුගැමුණු රජහුගේ රජයෙහි ජනයා පිනා ගියෝවූහ. සාලිරාජ කුමාරයයි ප්‍රසිද්ධ වූ පුතෙක් ඒ රජහට ඇතිවිය. අතිශයින් වාසනාවන්තය. හැමකල පින්කම්හි ඇළුනේවි. හේ ඉතා ලාවන්‍ය රූ ඇති චණ්ඩාලියක් කෙරෙහි ඇලුණේය. පූර්ව ජාතියෙහි සම්බන්ධ වූ ඒ අශෝකමාලා දේවිය රූ බැවින් අතිශයින් ප්‍රිය කරන්නේ රජය නොම පැතීය.

(මහා වංශය - 33 වැනි පරිච්ඡේදය - 1 – 3 ගාථා)
අන්න එහෙමයි මහා වංශය සාලිය අශෝකමාලා ස්නේහය ගැන අනාගතය උදෙසා සාක්ෂි තියලා තියෙන්නේ. ඉසුරුමුණියේ පෙම් යුවල ඉසුරුමුණිය කියන බිමේ මහ මැණිකක් කියලා කියන්න හිතෙන තරම්. මහ කළු ගල් තරම් සියුමැලි වස්තුවක් සොබාදහම තවත් නිර්මාණය කරලා නැහැ කියලා කියන්න හිතෙන තරම් කළු ගල්වලට එදා කලාකරුවන් හුස්ම කවලා තියෙනවා.

19 වැනි සියවසේ මැද භාගය වනතෙක්ම ඉසුරැමුණිය තිබුණේ මහ ඝන කැලෑවෙන් වැසිලා. H.W.Cawe කියන විදේශීය පඬිවරයා 1897 දී The ruined cities of Ceylon නැමැති ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා පසුගිය ශත වර්ෂයේ අගභාගයේ එහි යද්දිත් ඉසුරුමුණිය අවට කුඹුරු හා වැව් බැමිවල කිඹුලන් හරි හරියට හිටියා කියලා.

1213දී මාඝ ආක්‍රමණයෙන් පසුව සිංහලයන් නිරිතට සංක්‍රමණය වුණා. රජරට වල් බිහිවුණා. ඉසුරුමුණිය වන සතුන්ගේ කෙළි බිමක් වුණා. ඒත් අනුරාධපුර, පොළොන්නරු යුගවලදී ඉසුරුමුණිය සිංහලයන් අතර හුඟාක් ජනප්‍රිය ස්ථානයක් වුණා.
ආචාර්ය ඩී. ඇම්. ඩී. එස්. වික්‍රමසිංහ නම් කියන්නේ ඉසුරුමුණි විහාරය ක්‍රි. පූ. යුගයේදී මහ රහතුන් වැඩ සිටි වෙස්සගිරි විහාර පද්ධතියේම කොටසක් ලෙස පැවති බවයි.
මහා වංශය කියන විදිහට ඉසුරුමුණිය මුලින්ම බෞද්ධ විහාරයක් කළේ දේවානම්පියතිස්ස රජු. ඒ ක්‍රි. පූ. 250 – 210 යුගයේදී. 

වසභ රජතුමා ඉසුරුමුණි විහාරයේ පොහෝ ගෙයක් කරවූවා. ඒ ක්‍රි. ව. 67 – 111 දී. ක්‍රි. ව. 209 – 231 කාලයේදී වෝහාරික තිස්ස රජු ඉසුරුමුණිය වටා පවුරක් ඉදිකර තියෙනවා.
ක්‍රි.ව. 473 – 491 සියවසේදී මහා කාශ්‍යප රජු ඉසුරුමුණියේ ඉසුරු පිණිස මහා මෙහෙවරක් කළ බවට මහා වංශය දෙස් දෙනවා. පිය රජු ඝාතනයේ පව් සමාකරගනු රිසින් පින්දහම්හි යෙදුණු කාශ්‍යප රජු ඉසුරුමුණියේ මළුව විශාල කර, අවට තිබූ ගම් මෙම විහාරයට පූජා කරලා තියෙනවා.

මහා වංශය කියන්නේ කාශ්‍යප රජු තමන්ගේ දියණියන් වූ බෝධි හා උප්පලවන්නා යන දියණිවරු දෙදෙනාගේ නම් ද තමාගේ නම ද මේ විහාරයට තබා එය බුද්ධ ශාසනයට පූජා කළ බවයි. ඉසුරුමුණියේ චිත්තාකර්ෂණීය බව ඔප්නංවන්නට රමණීය වටපිටාවත් එක හේතුවක් නෙවෙයි ප්‍රබලම හේතුවක් වී තිබෙනවා.

එක පසෙකින් දෙවන පෑතිස් රජු කරපු තිසා වැව, අනෙස් පසින් මඟුල් උයන. රන්මසු උයන ලෙස හඳුන්වන්නේත් ඒ මඟුල් උයනම තමා. අනෙක් පසින් වෙස්සගිරිය. තවත් දෙසකින් නිලට නිලේ දිලෙන මහා කුඹුරු යායක්. ඇත්තටම ඉසුරුමුණිය කියන්නේ කලා කෞශල්‍යන්ගෙන් පිරුණු මහා කේන්ද්‍රස්ථානයක්.

ඉසුරුමුණියේ දක්නට තියෙන මිනිසා සහ අශ්ව හිස කියන කැටයම ජාත්‍යන්තර කීර්තියට පත් වූ කලා කෘතියක්. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි නම් කියන්නේ මේ කැටයමින් මූර්තිමත් කර ඇත්තේ කපිල සෘෂිවරයා කියලා. ඒත් මහාචාර්ය වොගල් හා ආචාර්ය විලියම් කෝන් ඒ මතයට එකඟ නෑ.

ඒත් මහාචාර්ය සෙනරත් පරණවිතාන නම් කියන්නේ වෙනස්ම මතයක්. මෙය කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය කලට වැසි හා හිරැ එළිය ලැබීම සංකේතවත් කරනා පර්ජන්‍ය හා අග්නි බවයි ඔහුගේ මතය.
මෙම කැටයමත්, දිය කෙළිනා හස්තීන්ගේ කැටයම් දෙකත් භාරතයේ පල්ලව කලා සම්ප්‍රදායේ ලක්ෂණ දරනවා. පුරාවිද්‍යා කොමසාරිස්වරයකුව සිටි හොකාර්ටි කියන්නේ මේ කතාවල පැහැදිලිවම මහබලිපුරම් කලා කෘතිවල ලක්ෂණ දක්නට තියෙනවා කියලා.

සද්ධර්මාලංකාරය හරි අපූරු කතාවක් කියනවනේ. දුටුගැමුණු රජු එයාගේ පුතා සාලිය කුමරු අශෝකමාලාට තමන්ගේ පතිනිය කරගත් පසුව මුලින් අමනාපව සිටියත් පසුව පුතු ස්නේහයෙන් සාලිය කුමරුටත් ලේලියටත් ආශිර්වාද කළා කියලා. ඉසුරුමුණියේ දක්නට ලැබෙන දුටුගැමුණු රජ පවුල දක්වන කැටයම මුලින් මඟුල් උයනේ තිබූ කැටයමක් බවත් පසුව මෙහි ගෙනැවිත් සවි කළ බවත් විශ්වාස කරනවා.

ඉසුරුමුනියේ මිනිසා සහ අශ්ව හිස කියන කැටයම නෙළා ඇති ගල්පර්වතය පාමුලට මිනිස්සු විසිකරන කාසි වැටෙන්නේ වැවට. වැවට වැටෙන ඒ කාසි බාල්දිවලට එකතු කරන්න වෙනම කට්ටියක් එතන ඉන්නවා. ඒ අයගේ රාජකාරිය තමා ඒ කාසි එකතු කිරිල්ල.

ඉසුරුමුණියේ සුළඟ විඳිමින් ගෙවූ පැය ගණන හිතට ආයෙත් බල කළේ ඉසුරුමුණියට ඇවිත් යන්න කියලා.
අනුරාධපුරයේම තවත් තැනක ඉඳන් අපි හමුවෙමු ලබන සතියෙත් walk 111 එක්ක.

 

 ► Text -Saa / Pic - Channa Kassapa Koralearachchi

 

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00