2018 ජුලි 07 වන සෙනසුරාදා

මේනකා මාව තුන්පාරක් නැටෙව්වා

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

රනිල්... මේ දවස්වල වැඩිපුරම කාලය ගතකරන්නේ පූරි එක්ක කියලයි ආරංචිය...?
ඔව්... ඒක ඇත්ත... පූරි කියන්නේ මගේ පළවෙනි නිර්මාණය. මේ ටෙලිනාට්‍යයේ පිටපත වගේම අධ්‍යක්ෂණයත් මගේමයි. මෙය නිෂ්පාදනය කරන්නේ මගේම අයියා කෙනෙක්. එයා තමයි ජනක සම්පත්. ඉතින් මේ තමයි මගේ ජීවිතේ මම දකින්න උත්සාහ කරපු ලොකුම හීනය. ඇත්තටම මම කලාවට එකතුවෙන්නේත් අධ්‍යක්ෂකවරයෙක් වෙනවා කියන හීනයත් එක්කම තමයි. 

පූරිගේ හීනය දකින්නට මේනකා උදව් වුණා නේද...?
ඔව්... ඒක ඇත්ත... මේනකා මගේ ජීවිතයට ළංවීමත් එක්කම තව අවුරුදු ගාණකට පස්සේ දකින්න මම උත්සාහ කරපු හීනය ඉක්මනින් දකින්න මට පුළුවන් වුණා. පූරි පිටපත ලියනකොට මේනකා මට මුණගැහිලා තිබුණේ නැහැ. ඇත්තටම පූරි පිටපත ලියද්දී මට චිත්‍රපටයක් කරන්න ඕනේ කියන අදහස තමයි තිබුණේ. පූරි පිටපත කියවන බොහෝ දෙනා කියපු දෙයක් තමයි “පූරි කියන්නේ චිත්‍රපටයකට හොඳ පිටපතක් කියලා. හැබැයි ඉතින් ලංකාවේ චිත්‍රපටයක් කරන්න තියෙන අපහසුතාවයත් එක්ක මුලින්ම ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ඕනේ කියන අදහසක් එක්ක මගේ මුල්ම පිටපත මම ටෙලිනාට්‍යයක් විදිහට හැදුවා. 

ප්‍රධාන චරිතය වුණු පූරිට රනිල් තෝරාගෙන තියෙන්නේත් මේනකාව...?
මම හිතනවා පූරිගේ චරිතයට හොඳටම ගැලපෙන්නේ මේනකා කියලමයි. මම නැතත් මේ නිර්මාණය වෙන කෙනෙක් අධ්‍යක්ෂණය කරන්න හැදුවත් ඒ චරිතයට මේනකාව තෝරාගන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. පූරිට මේනකාව තෝරගන්න කවුරුවත් ආයේ අඩියක් පස්සට තියන්නේ නැහැ. හැබැයි හැමවෙලේම මම කියන දෙයක් තමයි මගේ ජීවිතේ මම තනියම හිටියානම් පූරි මේ තරම් ඉක්මනට කරන්න ලැබෙන්නේ නැහැ. පූරි ස්වාධීන රූපවාහිනියේ ජූලි මස විසිඅට වැනිදා සිට සෙනසුරාදා ඉරිදා දැකබලාගන්නට පුළුවන් වේවි.

ඔබ රටේ ප්‍රවීණ අයව අධ්‍යක්ෂණය කරනවා. අත්දැකීම් අඩු අධ්‍යක්ෂකවරයෙක් හැටියට මේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද...?
ඒ ගැනනම් කියන්නම ඕනේ. මේනකාට අමතරව මේ රටේ ප්‍රවීණ කලාකරුවන්, කලාකාරියන් බොහෝ දෙනෙක් රඟපානවා. ඒ අතරින් ලංකාවේ පළමු ටෙලිනාට්‍යය වුණු “දිමුතු මුතු නාට්‍යයේ රඟපෑ අමරසිරි කලංසූරිය මහතා කලකට පස්සේ අපේ නාට්‍යයේ රඟපානවා. ඒක මට ලොකු සතුටක්. ඒ වගේම දමිතා අබේරත්න, ක්ලීටස් මෙන්ඩිස්, නිරෝෂන් විජේසිංහ, නිලන්ති විජේසිංහ, ලූෂන් බුලත්සිංහල, ජනක් කුඹුකගේ, නදීශා අලහපෙරුම, විල්මන් සිරිමාන්න වැනි බොහෝ පිරිසක් මෙහි රඟපානවා. මගේ කලා ජීවිතේ මම රඟපෑවේ හරිම හරි පොඩි ප්‍රමාණයක්. මොකක්දෝ පිනකට මට මේ රටේ ප්‍රවීණයන්ගේ සහයෝගය මට ලැබුණා. මේ නාට්‍යයේදීත් එහෙමයි. ලංකාවේ කලාකරුවන් අතරේ ඉන්න හොඳම සහ නිහතමානීම කලාකාරියක් තමයි දමිතා අක්කා. ඉතින් දමිතා අක්කාට මම “අක්කේ... අපි මෙහෙම කරමුද... කියලා කියද්දී “හරි මල්ලී... උඹට ඕන දේ ගමු... කියලා කියනවා. ඇත්තටම පූරි කණ්ඩායම මට ලොකු සහයෝගයක් ලබලා දෙනවා.

දැන් රනිල් රඟපාන්නේ නැද්ද...?
රඟපාන්න අහම්බෙන් ලැබුණු දෙයක්. ඒ ලැබුණු දේ මම පුළුවන් උපරිමයෙන් කළා. හැබැයි මගේ සිහිනය වුණේ අධ්‍යක්ෂණයයි. ඒ නිසා මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරපුදාට කලාවට මම යමක් කළා කියලා මට දැනෙන්න පුළුවන් වෙන්නේ. මම මට රඟපාන්න ආරාධනා ලැබුණු අවස්ථා කිහිපයක්ම අතහැරියා. මම මීට කලින් රඟපාලා තිබුණා... ඉතින් සමහරු “රනිල් ඇයි මේකේ රඟපාන්නේ නැත්තේ. කියලා ඇහුවා. ඒත් මම විශ්වාස කරන දෙයක් තමයි රංගනය වගේම අධ්‍යක්ෂණයත් හරි අමාරැ දෙයක්. ඒ නිසා හැමදෙයක්ම බදාගන්නවාට වඩා කරන දේ හරියට කරන්න මට ඕන වුණා.

මේනකා රනිල්ව කීපාරක් දැන් නැටෙව්වද...?
මේනකා මාව තුන්පාරක් නැටෙව්වනේ... හැබැයි ඉතින් ඒකත් මේ රියලැටි වැඩසටහනක. ඒකත් මගේ ජීවිතයට අලුත් අත්දැකීමක්. මගේ තාත්තා නර්තන ගුරුවරයෙක්. මගේ අයියලාටත් නර්තනය පුළුවන්. හැබැයි මම ඒක ඉගෙන ගත්තේ නැහැ. හැබැයි මේනකා මාව කොහොමහරි නැටෙව්වා. ඉතින් එයාත් එක්ක ෂේප් එකේ ඒ නැටුම කරගෙන යනවා.

එයා පූරි ගැන ඉස්සරලම කීවේ අපි යාළුවෙලා ඉන්න කාලේ

මේනකාගේයි රනිල්ගෙයි ජීවිතවල තියෙන බලාපොරොත්තු මොනවාද...?
කලා ජීවිතය ගැන කතාකළොත් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි කොහොමහරි හොඳ පිටපතකට චිත්‍රපටයක් කරලීම. කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු හීනයක් පිටිපස්සේ දැන් මේනකාත් ඉන්නවා. ඊළඟට ඉතින් අපි දෙන්නට පුළුවන් හැටියට අපි පොඩි ගෙයක් හදාගෙන යනවා. ඉතින් ඒ ගෙයයි දරු පැටියෙකුයි තමයි අපේ පෞද්ගලික ජීවිතේ තියෙන බලාපොරොත්තු වෙන්නේ.
රනිල් එක්ක කතා කරපු එකේ අපි මේනකා එක්ක කතානොකළොත් ඒක ලොකු අඩුවක්නේ. ඒනිසා අපි මේනකා එක්කත් පොඩ්ඩක් කතා කළා...

මේනකා... කොහොමද ඉතින් ජීවිතේ...?
ජීවිතේ හොඳින්... නටනවා, රඟපානවා. ඒ දේවලුත් එක්ක හරිම සතුටින් කාලය ගෙවිලා යනවා. මේ දවස්වල මම රඟපාපු ටෙලිනාට්‍යය කිහිපයක්ම විකාශනය වෙනවා. ඒවාවල තවමත් ෂූටිං එහෙමත් තියෙනවා. වැඩත් එක්ක ටිකක් කාර්යබහුලයි. හැබැයි ඉතින් මම වැඩකරන්න ආසයි.

මේ දවස්වල රූපවාහිනි නාළිකා කිහිපයකම විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයකම මේනකා රඟපානවා...?
ඔව්.. ඒ ගැනනම් සතුටුයි... සිතින් පියවර, කිරුලී, උරුමයක අරගලය, මිනිගන්දෑල වගේ නාට්‍යවල මම රඟපානවා. ඒවා විකාශනය වෙනවා වගේම තවමත් ෂූටිං තියෙනවා. ඉතින් හැම දවසකම වැඩ. ඒ චරිත වුණත් එකිනෙකට වෙනස්. ඉතින් ඒ නිසාත් මම ඒ චරිතවලට ආසයි.

ඔය මොන වැඩේ තිබුණත් මහත්තයාගේ අධ්‍යක්ෂණයටත් මුල්තැන දුන්නා නේද...?
මෙහෙමයි... පූරි ලියද්දී මට අයියාව මුණගැහිලා තිබුණෙත් නැහැ. ඉතින් අපි යාළුවුණාට පස්සේ අයියා ඒ කතාව මට පෙන්නුවා. ඒත් එක්කම එයා කියපු දෙයක් තමයි මේ කතාව කරනවා නම් ඔයා මේකේ පූරි වෙන්න කියලා. හැබැයි ඉතින් දැන් හැමෝම කියන්නේ අයියා දවසක හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙයි කියලා.

අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්

මේනකා මොන වැඩ තිබුණත් පුංචි එවුන් වටකරගෙන නටන එකනම් නතර කරලා නැහැ වගෙයි...?
අනේ ඔව්... ඒක මගේ සතුටක්. පුංචි පැටව්න්ට නැටුම් කියලා දෙන එක තරම් සතුටක් තවත් නැහැ. මම සෙනසුරාදා ඉරිදා ගල්කිස්සේ නැටුම් පන්ති කරනවා. මම එනකම් ඒ දරුවෝ බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. ඇත්තටම පුංචි දරුවන් එක්ක කාලය ගතකරද්දී අපිත් ඒ දරුවන්ගේ ලෝකේට යනවා. මොන වැඩ තිබුණත් ඒ දරුවන්ට නැටුම් කියලා දෙන කටයුත්ත මම කරන්නේ ආසාවෙන්.

ඔය අතරේ මේනකාගේ හොඳම ගෝලයකුත් දැන් රියැලිටි වැඩසටහනක නටනවනේ. ඒ ගෝලයා ගැන මොකද හිතෙන්නේ...?
ඔය කියන්නේ රනිල් අයියා ගැනනේ. මේ වැඩසටහන අපි දෙන්නට ආරාධනා කරද්දී නටන්න බැරි නිසා අයියා මුලින් ටිකක් අකමැති වුණා... ඉතින් පස්සේ කොහොම හරි කැමති කරගෙන අපි පුහුණුවීම් එහෙමත් කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා. වට තුනක් ජයග්‍රහණය කළා. ඇත්තටම ඒ ගැන සතුටුයි.

රනිල් කියන්නේ අද වෙද්දී රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. මේනකා වැඩියෙන්ම රනිල්ව දකින්න කැමති කවුරු විදිහටද...?
අයියා අධ්‍යක්ෂණයට හරි කැමතියි. ඒක කාලයක් තිස්සේ එයාගේ හිතේ තිබුණු හීනයක්. ඉතින්... ඒ වගේම අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්. අයියා එක්ක අද මම ජීවිතේ හරි අපූරුවට විඳිනවා.

► Text – Dishani   /  Pic - Sumudu

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00