2018 ජුලි 07 වන සෙනසුරාදා

කලකිරීමකට වඩා තියෙන්නේ මාර කේන්තියක්

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

තාරාවෝ ඉඟිලෙති, රතු හැට්ටකාරි වැනි අපූරු වේදිකා නාට්‍ය කරපු ඔබ දිගු නිහඬතාවයකට පසුව “වෙස්මූණු ගලවන්න හදනවා...?
ඔව්... ගුවන් විදුලි ජීවිතෙන් පස්සේ මට නාට්‍යයක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. කොහොමටත් දශක තුනක් විතර මම නිර්මාණයක් නොකර නිහඬව හිටියා. රෑපවාහිනියේ සේවයට ආවට පස්සේ එහි තිබුණු රාජකාරි බහුලකම නිසාත් රාජ්‍ය සේවයෙන් මාව පහකළ නිසාත් මගේ අතින් නිරිමාණ බිහිවුණේ නැහැ. මනුස්සයෙක්ව රාජ්‍ය සේවයෙන් ඉවත් කළාට පස්සේ අවලංගු වෙච්චි කාසියක් බවට පත්වුණේ. ඊට පසුවමා එක්ක හිටපු බොහෝ දෙනා ඈත් වුණා. අපිට රාජ්‍ය විරෝධි අයට වගෙයි සැලකුවේ. ඒ නිසා බොහෝ තැන්වලින් අපි කරන දේවල් ප්‍රතික්ෂේප වුණා.

“වෙස්මූණු ගලවන්න ඔබ අතින් ලියවිලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා නේද...?
ඔව්... “වෙස්මූණු ගලවන්න මගේ අතින් ලියවිලා දැන් අවුරුදු පහකටත් වැඩියි. හැබැයි කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ සඳහා මානව සම්පත් වගේම භෞතික සම්පත් තිබුණේත් නැහැ. අද වේදිකා නාට්‍ය පුහුණුවීමකට නළු නිළියන් ගෙන්වා ගැනීමත් අමාරැ කාර්යයක්. වෘත්තීය නළු නිළියන් වුණත් නාට්‍යයක් වේදිකාගත කරන්න කලින් සති අටක්වත් පුහුණුවීම් කරන්න ඕනේ. අද නාට්‍යය කලාවට වෘත්තීය මට්ටමක් නැහැ. මේ වෙනුවෙන්ම කැපවුණු පිරිස අපිට හරි අඩුයි. ඉස්සර නාට්‍ය කලාවෙන් බිහිවුණු බොහෝ දෙනාගේ මූලික අරමුණ වුණේ සිනමාවට පය තැබීමයි. නමුත් දැන් ලංකාවේ හොඳ සිනමාවක් නැතිවීම නිසාම බොහෝ දෙනාගේ මූලික අරමුණ වෙන්නේ කොහොම හරි ටෙලිවිෂන් නාට්‍යයකට පය තියාගන්නයි. මම වුණත් මගේ ජීවිතේ කිසිම දෙයක් නොකරපු කාලේ කරන්න දෙයක් නැතිකමට මාත් ටෙලිනාට්‍යවල රඟපෑවා. මම කැමති හොඳ නිර්මාණයක් ලැබුණොත් මමත් ඒවායේ රඟපෑවා. ඒ නිසා හැමෝටම ලංකාවේ මේ ප්‍රශ්නේ තියෙනවා.

ඔබ අද ඉන්නේ කලකිරීමෙන්ද...?
නැහැ... කලකිරීමකටත් වඩා අද මට කේන්තියි. ලංකාවේ නාට්‍ය කලා සංස්කෘතියක් බිහිවුණේ නැහැ. වෘත්තීය ආචාර ධර්ම ආරක්ෂා කරමින් කලා සංස්කෘතියක් රකින කිසිම කලා ක්ෂේත්‍රයක් මම මේ රටේ දැකලා නැහැ. අද රාජ්‍ය කලාව අතහැරලා තමයි කතා කරන්නේ. කලා සංස්කෘතියට රාජ්‍ය මැදිහත් වෙන්නේ නැහැ. වෙනත් රටවල්වල කලා මාධ්‍ය කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදනයට කටයුතු කරන පිරිසක්. නමුත් අද මේ කලාවෙන් ජීවත් වෙන්නේ මේ රටේ කලාකරුවන් නොවේ. මේ රටේ වෙනත් පිරිසකුයි. කලා සංස්කෘතිය පිරිහිච්චි රටක්, කලා සංස්කෘතියට ගෞරව නොකරන රටක් තමයි මේ. ඒ නිසා මේ දේට මම තද විරෝධියි. මම ඒ දිහා බලන්නේ තද කෝපයකිනුයි. අපි අද ජීවත් වෙන්නේ අවුරුදු දෙසීයක් ආපස්සට ගිය රටකයි. මේ මොහොතෙත් මට “වෙස්මූණු ගලවන්න නාට්‍ය කරන්න ධෛර්යයක් ලැබුණේ අපි වගේම කලාවට මැදිහත් වෙච්චි ස්වල්ප දෙනෙකුගේ මැදිහත් වීමකිනුයි. මට භෞතික මූල්‍ය වශයෙන් මේකට වියදම් කරන්න ඉදිරිපත් වුණු වෛද්‍ය රංජිත් පතිරණ කියන කාරුණික මනුස්සයාව මතක් කරන්නම ඕනේ. ඉතින් “වෙස් මූණු ගලවන්න මේ මස 12 වැනිදා සහ 13 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී සවස හතට වේදිකා ගත කරනවා.

“වෙස් මූණු ගලවන්න අලුත් මුහුණු කිහිපයක්ම දකින්නට ලැබෙනවා නේද...?
ඔව්... මුලින් කිව්වා වගේම මේකට නළු නිළියන්ව එකතු කරගන්නට ගැටලුවක් මතු වුණා. නළු නිළියන්ව විතරක් නෙමේ අද මේ රටේ ගොඩනැගිලි කර්මාන්තය කරන පෙදරේරුවන්, වඩු කාර්මිකයින්ට පවා මානව සම්පත් නැති රටක් තමයි මේක. අද අපේ රටේ පෙදරේරුවත්, වඩු කාර්මිකයත් වෙනුවෙන් බංගලාදේශය, ඉන්දියාව, චීනයෙත් වගේ රටවලින් ගෙන්වන්න වෙලා තියෙනවා. අද මේ වෘත්තීය ගෞරවයක් ලැබෙන්නේ නැහැ. මනුස්සයාට විතරයි හිතන්න පුළුවන්කමක් තියෙන්නේ. සතුන්ට හිතන්න හැකියාවක් නැහැ. සතුන් වැඩකරන්නේ ඉවෙන්නේ. නමුත් අද අපේ රටේ මිනිස්සු වැඩ කරන්නේ ඉවෙන්. කීයක් හරි හම්බකරන්න පුළුවන්ය කියලා හිතන ඉවට හැම ගෞරව පූර්ව දෙයක්ම දාලා අර ඉව පස්සේ යනවා. මේක ඇත්තටම රටේ අවාසනාවක්. ඉස්සර මිනිස්සුන්ට රැකියාවල් දුන්නේ සුදුසුකම් අනුවයි. නමුත් අද දෙන්නේ ඇමැතිවරයෙක්ගේ, මන්ත්‍රීවරයෙක්ගේ ලියුමකටයි. කලාවට වෙලා තියෙන්නේත් ඒකමයි. සල්ලි නැත්නම් කවුරුවත් මේ කලාවට එන්නේ නැහැ. ඒ නිසා අපිට ලොකු සල්ලියක් නැති නිසා මේ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් අලුත් තරුණ මුහුණු කිහිපයක් මේ “වෙස්මූණු ගලවන්න එකතු කරගත්තා. මේ නාට්‍යය වෙනුවෙන් මම මාස හයක් ගතකළා. ඒ ලේසිපහසු කටයුත්තක් නොවේ.

ඔබ ඉපදුණේ රත්මලාන ප්‍රදේශයේ. ඉගෙනුම ලැබුවේ රත්මලාන ශ්‍රී ධර්මාලෝක විදුහලේ. කොහොමද පාසැල් ජීවිතය...?
ධර්මාලෝක විද්‍යාලය කියන්නේ බෞද්ධ මිශ්‍ර පාසැලක්. ඒකේදී කලා විෂය තමයි මම කළේ. ඉංග්‍රීසි ඉස්කෝලෙකට මාව යවලා උගන්වන්න මගේ තාත්තාට මුදල් තිබුණේ නැහැ. මගේ තාත්තා වරායේ කොමිෂන් සභාවේ තමයි වැඩ කළේ. තාත්තා ලොකු තනතුරක් කරපු කෙනෙක් නොවේ. ඔහු කම්කරු වෘත්තීයේ හිටපු සාමාන්‍ය කෙනෙක්. නමුත් ඔහු හොඳ සමසමාජකාරයෙක්. ඒ නිසා අපිවත් ඒ විදිහට තමයි ගොඩනැගුවේ. අරයා දෙමළ, මෙයා බෞද්ධ කියන ආකල්ප අපිට තාත්තා ඉගැන්නුවේ නැහැ. හැම හොඳ මනුස්සයෙක්ම මනුස්සයෝ විදිහට තමයි තාත්තා කියලා දුන්නේ. මගේ බෞද්ධ පාසලේ මගේ පන්තියේ මට දෙමළ යාළුවෝ වගේම මුස්ලිම් යාළුවෝ හිටියා. අපි හැමෝම එකට සිංහල ඉගෙනගත්තා. එහෙම හිටපු සමාජයක් තමයි අද මෙහෙම කුණුවෙලා තියෙන්නේ. අපි පුංචි කාලේ එකට හිටපු මිනිස්සු ටික විසිරිලා ගියා. එදා එකට හිටපු අපි වර්ග වාදයෙන්, නීති වාදයෙන් සහ ආගම් වාදයෙන් අද බෙදිලා.

ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා නේද...? කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ...?
මට එකපාරටම විශ්වවිද්‍යාලයට යන්න ලැබුණේ නැහැ. ධර්මාලෝක විද්‍යාලයෙන් එස්.එස්.සී. විභාගය කළාට පස්සේ ලලිත කලා විද්‍යාලයට චිත්‍ර ශිල්පය ඉගෙනගන්න ගියා. මාස හය හතක් ඉගෙන ගනිද්දී මට ඒකට කරන්න තියෙන වියදම් මගේ තාත්තාට දරාගන්න බැරිවුණා. ඒනිසා “උඹට මේකට වියදම් කරන්න මට බැහැ. උඹ ආපහු ඉස්කෝලේ පලයං... කියලා තාත්තා කිව්වා. ඊට පස්සේ මම දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට ඉගෙන ගන්න ගියා. ඒකෙදී මම එච්.එස්.සී. විභාගය ගත්තා. ඒ වෙලාවෙත් තාත්තා කියපු දෙයක් තමයි. “පුතේ... උඹ ඉගෙනගෙන විභාග පාස්වුණත් උඹව විශ්වවිද්‍යාලයට යවලා මට උගන්වන්න සල්ලි නැහැ. ඒ නිසා ඔය ඉගෙන ගත්ත ගමන් මොකක්හරි රස්සාවක් කරපන් කියලා... විභාගයේදී මම පළවෙනි පාර විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. දෙවනි වතාවේ මම කොහොම හරි විභාගය ඉහළින් සමත් වුණා.

ඒ වෙනකොටත් ඔබ රැකියාවක් කරන කෙනෙක්...?
ඔව්... පළවැනි පාර අසමත් වෙද්දී මම ඒ කාලේ තිබුණු රජයේ ලිපිකාර විභාගයට ඉල්ලුම් පතක් දැම්මා මට මතකයි. ඒ වෙනකොටත් විභාගයට රුපියල් විස්සක මුද්දරය ගහන්න තිබුණත් මට ඒකට රුපියල් විස්සක්වත් තිබුණේ නැහැ. මගේ මිත්‍රයෙක් තමයි ඒකට මුදල් දුන්නේ. ඒ විභාගයෙන් මම සමත් වුණා. ඔය වෙද්දී මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බාහිර ශිෂ්‍යයෙක් විදිහට අයඳුම්පතක් දැම්මා. නමුත් ඒ වෙනුවෙන් මට සෑහෙන මහන්සි වෙන්න වුණා. ඒ වෙනුවෙන් මට දෙමළ මහත්තයෙක් ගොඩාක් උදව් කළා. මට මුලින්ම ලිපිකරුවෙක් විදිහට පත්වීම ලැබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. නමුත් මේ අය මාව අඹේවෙල සත්ව ගොවිපොළට තමයි මාරු කළේ. ඒ තරම් සමහර සිංහල බෞද්ධ අය අපිට හොඳට සැලකුවා. මේ දේවල්වලින් මම අනන්තවත් කලකිරුණා. අඹේවෙල ගිහිල්ලත් මම විශ්වවිද්‍යාල සිහිනය අත්හැරියේ නැහැ. මම මගේ බාහිර ශිෂ්‍ය ඉල්ලීම ලියලා හැම මාසෙම ලියුමක් යැව්වා. ඒක අනුමත කළේ ඔය ගොවිපළේ කළමනාකාර මහතායි. ඔහු වේළුපිල්ලේ ආරැමුගම් කියලා දෙමළ මහත්තයෙක්. ඔහු මට හරි ආදරෙයි. මම මුළු ගොවිපළට හිටපු එකම ලිපිකරුවා. වැඩකරන ගමන් මම ඉගෙන ගන්න දරන උත්සාහයට ඔහු හරි කැමතියි. ඉතින් අවසානයේදී ඔහුගේ මැදිහත්වීමෙන් මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බාහිර ශිෂ්‍යයෙක් විදිහට ඇතුළත් වෙන්න හැකියාව ලැබුණා.

ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරපු ඔබ පහුකාලීනව රුපවාහිනියට සම්බන්ධ වෙනවනේ... ඒ මතකය ගැන කතා කළොත්...?
ඔව්... මම මුලින්ම 1971 දී ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වුණා. එදා සිට 1981 දක්වා මම ගුවන් විදුලියේ සේවය කළා. ඒ වෙනකොට රූපවාහිනි සංස්ථාව ගොඩනගමින් තමයි තිබුණේ. රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස තේවිස් ගුරුගේ මහතා පත්වෙන්නයි හිටියේ. එවකට ඔහු ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තනතුර දැරුවා. ඉතින් ඔහු ගුවන් විදුලියේ හිටපු දක්ෂයන් කණ්ඩායමක් තෝරලා මැලේසියාවේ ටෙලිවිෂන් සෙන්ටර් එකකට පුහුණුවීම් සඳහා යන්න අවස්ථාව ලබලා දුන්නා. ඒ කණ්ඩායමට මාත් ඇතුළත් වුණා. මාසයක පුහුණුවකින් පසුව අපි ලංකාවට එද්දී අපිට කෙලින්ම රෑපවාහිනියට මාරු කළා. රූපවාහිනියේ අපි පුරෝගාමියෝ වුණා. ඒ නිසා අපේ රූපවාහිනිය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. නමුත් අවසානයේදී අපව ඒ ආයතනයෙන් පළවාහැරියා. ඒකට හේතුව වුණේ තේවිස් ගුරුගේ මහතා වෙනුවට වෙන කෙනෙක්ගේ පැමිණීම ඉන්පසු අපිට මේ ආයතනයෙන් කුඩඅම්මාගේ සැලකිල්ල ලැබුණා. විවිධ දේශපාලන තනතුරු නිසා වැරදි නොකර අපිට බොහෝ පීඩා විඳින්න සිද්ධ වුණා.

රජ මැදුරක ඉපදී, දම්පාටින් ළා සඳ, සිරියහනේ ලණු ඉහිරේ, කන්‍යාවී, පිපුණු මලේ රුව එමල දනීදෝ, වැනි හරි අපූරු ගී නිර්මාණ ඔබ අතින් ලියවුණා. නමුත් මෑත කාලයේදී එවැනි පද රචනාවක් නිර්මාණය වුණේ නැහැ... ඇයි ඒ...?
මගේ බොහෝ ගීත ගුවන්විදුලියේ ඉන්නකොට තමයි ලියවුණේ. රෑපවාහිනියට ආවට පස්සේ ඒවායේ යෙදෙන්න කාලය නැති වුණා. ඒ වගේම හිතට නිදහසක් තිබුණේ නැහැ. ඉඳහිට ලියවුණාට වැඩිය ලියවුණේ නැහැ. මම ඒකාලේ සින්දු ලිව්වේ සල්ලිවලට නොවේ. නමුත් අද අපිව කාටත් අමතකයි. අද අපේ ජනප්‍රිය ගීතවලින් අපිට යමක් ලැබෙන්නේ නැහැ. අද ඒවායෙන් සල්ලි හම්බකරන්නේ ඒවා කියන ගායක, ගායිකාවන්. ඒවා ප්‍රචාරය කරන ජනමාධ්‍ය ආයතන. ඒ ගීත ගයන අලුත් පරපුරේ අය. මේ රටේ බුද්ධිමය දේපල පනත ක්‍රියාත්මක කරන්න මේ රටේ මෙතෙක් පහල වුණු කිසිම ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ. නිර්මාණ හොරකම් කරන්න ඉඩ දීලා අපිට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. මුළු දකුණු ආසියාවේම බුද්ධිමය දේපල රැකවරණය නැති එකම රට ලංකාවයි. වෙන රටවල බුද්ධිමය දේපල කියන්නේ විශ්වවිද්‍යාල විෂයක්. සංගීතය උගන්වන හැම විශ්වවිද්‍යාලයකම, ආයතනයකම බුද්ධිමය දේපල වෙනස උගන්වනවා. අපේ රටේ කලාකරුවා මිය යන්නේ මේ මානව හිමිකම නැතිවයි. ඔවුන්ගේ නිර්මාණවල ආරක්ෂාව දෙන්න කෙනෙක් නැහැ. 

ඉතින් එහෙම රටක මේ කලාව කරන එක ඇත්තටම දුකක්. මේ රටේ කලාකරුවන් කලාකාරියක් ගැන ඇත්තටම මගේ හිතේ තියෙන්නේ දුකක්. අද අපි වියපත් මිනිස්සුනේ. ඒනිසා අද ඉන්න තරුණ පරපුර මේ මම කළ නිර්මාණ, ගීත රචනා පිළිබඳ දන්නේවත් නැතිව ඇති. අන්තර්ජාලයේ මේ ගීත තිබුණාට ගායනා කරන ගායකයා හෝ ගායිකාවගේ නම පමණයි පළකරලා තියෙන්නේ. ගීත රචකයාගේ, සංගීතවත් කළ සංගීතවේදියාගේ නමක් සඳහන් කරන්නේ නැහැ. ඉතින් අලුත් පරපුර අපේ නිර්මාණ ගැන දන්නේ කොහොමද...?

 

► Text - Dishani  /  Pic – Sumudu

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30