2018 ජුලි 07 වන සෙනසුරාදා

සුදු ඇතා තරම් එක ඇතෙක්වත් වැදුණෙ නෑ.....

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

Art එකේ කැරට්ටුව.. 
- Janak 

වැහිළිහිණියන් අහසට ඇවිත්... ළා රත්තරන් පාට වලාකුළු අහස හැර ගිහින්... අළු පාට වලාකුළු ඉල්ලන්නේ මහ පොළොව ඉඹගන්න ඉඩහසරක්ද කොහෙද.. ළිහිණියන් වැහි ළිහිණියන් වුණේ වැස්ස ගැන කියන පණිවිඩකාරයෝ වේචච නිසාමද? කලා භවන ළඟට බර අඩි තිය තියා සිරුර මාව ඇදගෙන යද්දි හිත හුදෙකලාවක සිතුවිලි අතර සැරිසැරුවේ ඔන්න ඔය විදිහට. 
හරියටම අපි කලාභවන ඉස්සරහා දැන්.. අපි කීවේ.. හරි තව මොහොතකින් මම - අපි කළේ කවුද කියලා මම කියන්නම්.

වික්ටෝරියා පාර්ක් එකට පේනමානේ... අපි...
කලාභවනට ටිකක් වම්පැත්තට වෙන්න තියෙන බංකුවකට සිරුරේ වාරුව දෙමුද අහගෙනම..
තරගයට දුවන මිනිස්සු ළඟ නතර වෙච්ච ඔහුගේ නෙත් දැහැන මම මොහොතකට පොඩ්ඩක් පළුදු කළා. ඒ සහෘද ඔබ වෙනුවෙන්...
ආයුබෝවන්...

මම මෙහෙම නිර්වචනයක් දුන්නොත්...! රාජ කපුරු මගේ ළඟ..
චරිතයක ඇති මනෝභාවයන් සියුම්ව හඳුනාගෙන.. ඊට සාධාරණ උත්තරයක් උපරිමයෙන් කාන්දු කරන, හද ගැස්මකට සුසුමක් සරි කළ හැකි, ලෙයින් ගැහෙන මනුස්ස හිතක් හිමි වේදිකාවේ යෝධයෙකි ඔහු! 
​වෙන මොන කතාද..  ජනක් ප්‍රේමලාල්. ඒ තමා අද අපේ කැරට්ටුව..
මූණ පුරා කට කපලා හිනාව... ටිකක් බරට කියනවනම් අව්‍යාජ හිනාවක්...
සිමෙන්ති බංකුවක් වරෙන් ඉඳගනින් කියන න්‍යායෙන් අපි දිහා බලනවද කියලත් මට හිතුණා...
ජීවිතය කලා කටයුතුත් එක්කම තමා ඉතින් ගෙවෙන්නේ.. ප්‍රශ්නයකටත් පෙර උත්තරයක්.
අපි ටිකක් වෙනස් විදිහට කතා කරමුද? අපිට ඕනෑ එහෙම... 

මෙහෙමයි.. ඔයාගේ හදවතට හුඟාක් දැනුණු, හිතන්න හැඟීම් සීරාවක්ම ඔයාගේ හිතට කාවද්දපු,  ඔයා හැඟීම්බර ලෝකයකට අරගෙන ගිය,  මෙහෙම කීවොත් ඔයාව ප්‍රකම්පනය කරපු, කලා කෘතියක රස දහරාවෙන් ඔයා උච්චතම රසයක් කරා කැඳවාගෙන ගියා කියලා හිතෙන නිර්මාණයක් ගැන අපි කතා කරමු. හැබැයි ඒක ගීතයක් වෙන්නත් බෑ  ජනක් පේමලාල්ගේ නිර්මාණයක් වෙන්නත් බෑ.. එකඟද?
ආයෙත් අර හිනාව...
එකඟයි.

ප්‍රශ්නයක් අහන්න ඉස්සරම ජනක් ඇරඹුම පටන්ගත්තා.
මෙහෙමයි. ජීවිතයට සමීප නිර්මාණ ගොඩක් තියෙනවා, ඒ අතරින් මගේ කලා ජීවිතයට විශේෂ බලපෑම් කරපු නිර්මාණයක් තියෙනවා.. ඒක පාසල් නාට්‍යයක්.   මම හොරණ ශීපාලි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු  කාලේ .. හොරණ  විද්‍යාරත්න විදුහලෙන්  තමා ඒක නිර්මාණය වුණේ.. එකෙ නම තමා  නාඩගම් හෙවත් සුදු ඇතා ආවාට පස්සේ. කෙටියෙන් කවුරුත් කිව්වේ ඒකට සුදු ඇතා කියලා..  ඒ නාට්‍ය නිර්මාණ කළේ  හේමසිරි ලියනගේ,  එවකට හේමසිරි ලියනගේ විද්‍යාරත්න විදුහලේ ගුරුවරයෙක්.   ඔහු මේ නාට්‍යය ඒ අවුරුද්දෙ පාසල් නාට්‍ය තරගයට ඉදිරිපත් කළා..  විනිශ්චය මණ්ඩලය විසින් ඒක  වසරේ හොඳම පාසල් නාට්‍ය විදියට තොරාගත්තත්.. එවකට හිටිය රාජ්‍ය තන්ත්‍රය එචචර කැමැත්තක් තිබුණේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට මේ නාට්‍යට දෙවැනි තැන තමා ලැබුණේ.  මම නාට්‍ය කලාවට ඇබ්බැහි වෙන්න මූලික හේතුවක් වුණා..මේ නාට්‍යය.
ඔබ ඔච්චරම වර්ණනාත්මකව කතා කරන සුදු ඇතා නාට්‍යයේ අන්තර්ගතයට එබිලා බලමුද.. මොනවගේද කියලා..
බංකුවේ ටිකක් හරිබරි ගැහිලා.. ඔහු කතාව ආයෙත් දිග්ගැස්සුවා.. 

මේ නාට්‍යයෙන් කියවෙන්නේ 1948 සුදු අධිරාජ්‍යවාදීන් අපිට දුන්න පාර්ලිමේන්තු ක්‍රමය, ව්‍යවස්ථා දායකය, විධායකය සහ අධිකරණය ගැන.   හේමසිරි ලියනගේ නම් නිර්මාණවේදියා මේ සිද්ධිය දැක්කේ ඉතා වෙනස් විදියකට. වෙස්සන්තර රජතුමා  රාජකීය ඇළි ඇතා  මිනිස්සුන්ට දන්දුන්නා හා සමාන ආකාරයට.  ඒ කාලේ සියලු වැඩ කටයුතු කරගත්තේ සත්තුන්ගෙන්, ඒ අතරින් සියලු බර වැඩ කළේ අලි ඇතුන් විසින් තමා.  ගමේ අය ආසාවෙන් හිටියේ මේ  ඇතා තමන්ගේ ගමට අරන් ආවාම සියලු ප්‍රශ්න විසිඳෙයි..  සෞභග්‍ය උදාවෙයි, ගමේ දියුණුවට මේ ඇතා උපකාරීවෙයි කියලා හිතලා  ගම්වැසියෝ මේ ඇළි ඇතාව අරගෙන යනවා තමන්ගේ ගමට.. ඊට පස්සෙ තමා තේරෙන්නේ මේ ඇතා කිසිම වැඩක් ගන්න බැරි සතෙක් කියලා... මොකද මේ ඇතා රජතුමාගේ ඇත්ගාලේ මංගල හස්තියානෙ.. ඌ දන්නේ පෙරහරේ යන්න විතරයි. අන්තිමට ගමේ අයට සිද්ධ වුණේ ඇතාව නඩත්තු කරන්න... උෟට කෑම හොයලා දෙන්න.. වතුර දෙන්න..  ඌව නාවන්න.. දෛනික ජීවිතයේ වැඩ අතපසුකරගෙන ඇතාව පෝෂණය කරන්න මිනිස්සුන්ට සිද්ධ වුණා.. අවසානයේ ඇතාට මද කිපෙනවා. මුලු ගමම මේ ඇලි ඇතාගෙන් විනාශවෙනවා. මිනිසුන්ගේ බලාපොරොත්තු නැතිවෙනවා..   හේමසිරි මේ ඇතාට සමාන කළේ පාර්ලිමේන්තු ක්‍රමය.  අන්තිමට පාර්ලිමේන්තුව සුදු ඇතෙක් බවට පත් වුණා.

ඕන තරම් හොඳ නිර්මාණ ඇස ගැටිලා ඇති. ඇයි ඔබේ මතකය පාසල් කාලේ නාට්‍යයක් පස්සෙ දිව්වේ..?
ඇත්තටම මගේ හිත ගියේ ඒ නාට්‍ය නිර්මාණය කරලා තිබුණු ශෛලියට.  නිදහසේ ගලා යන නිදස් රටාවක් ඒ නාට්‍ය පුරා තිබුණා...  අපේ ගැමි ජනවහරට සමීප නිර්මාණයක් ඒක. සංගීත භාණ්ඩ විදියට පාවිච්චි කරලා තිබුණේ පහතර රට බෙරයයි තාලම්පටයි විතරයි. මේ සියලුදේටම මම හරි කැමතියි. ඒක විශ්ව කර්ම වැඩක්.  අනිත් එක මේ නාට්‍යයෙන් තමා ධර්මසිරි බණ්ඩාරනායක, ලාල් කුලාංග වැනි නළුවන් ඉදිරියට ආවේ...  දැන් ඒ අය විශිෂ්ඨ තැන්වල ඉන්නවා...


වේදිකාවේ සියලු චරිත රඟ දක්වද්දි... හිත ඇදිලා ගිය චරිතෙකුත් තියෙන්න ඇති නේ...
අනිවාර් යෙන්ම... මගේ හිත වැඩියෙන්ම ඇදිලා ගියේ නෑනිස් සහ නෝනිස් කියන ප්‍රධාන චරිත දෙකට.. මොකද මේ කියන්නෙ අපේ පන්තියේ මිනිස්සු ගැන... මොකද නෑනිස්  නෝනිස් කියන්නෙ නැති බැරි මිනිස්සු කියන එකටයි. ඒ මිනිස්සුන්ව රවට්ටන්න හරි පහසුයි‍නේ. 

ඔහු සිනාසෙමින් තමා එහෙම කිව්වේ... 
මේ නාට්‍යයේ  ඔබේ හිත ගිය දෙබසක් එහෙම කියමුද බලන්න...
මිනිස්සු තේරුම් ගන්නවා අපි රැවටුණු බව,  අන්න ඒ වෙලාවේ ඔවුන් කියනවා.. 
අපි නැතුවට වෙනත් කෙනෙකුට වැඩක් ඇති සුදු ඇතෙක් වාගේ.. ඒ දෙබසේ ලොකු ගැඹුරු අදහසක් තියෙනවා....

ඉස්කොලෙ යන කාලේ කීවතාවක් මේ නාට්‍ය බැලුවද කියලා මතකද...?
මම හිතනේ හත් අට පාරක් බැලුවා...

ඉස්සර නෑනිස්ලා නෝනිස්ලා වගේම දැනුත් ඒවගේ අය ඕන තරම් ඉන්නවා.. එහෙම ඇහුවොත් මොකද්ද ජනක් මට දෙන උත්තරේ? 
නෑනිස් නොනිස්ලා යථාර්ථය තේරුම් ගන්න ඕනෙ.. නැති බැරිකම්වලින් පාලකයෝ ප්‍රයෝජන අරගෙන පැත්තට විසිකරනවා... එහෙම නොවී මොළේ පාවිච්චි කරලා වැඩකටයුතු කරන්න ඕනේ. අපි ආරාධනා කරමු හේමසිරි ලියනගේට නැවත මේ නාඩගම් හෙවත් සුදු ඇතා ආවාට පස්සේ කියන නාට්‍ය කරළියට ගේන්න කියලා.. මේක ඒ කාලෙට වඩා මේ කාලෙට තමා ගැලපෙන්නේ.
ජනක් කතාව ඉවරකළා... 

හැබැයි සුදු ඇතා තවමත් ජීවමානයි....
මගේ හද ගැස්ම මට එහෙම කියනවා...
ඔයාගේ හද ගැස්ම?

හරි උත්තරේ හොයන්න පමා වෙන්න එපා කියලත් මට කියන්න හිතෙනවා ඉතින්...
මොකද හේතුව...
කාලය ඉගිලී යයි... ඉගිලී යයි...


Danushka 

 

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00