2018 ජුනි 09 වන සෙනසුරාදා

මතු ආත්මයේ හමුවෙන පැතුමින්  යමු වෙන්වී හිමිදිරියේ

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 182

අපි හැඟුම්වලට ඉඩදී මොහොතක් 
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් 
හඳපානේ මඳ අඳුරේ 
අත් පටලා යමු ආයේ 
අත් පටලා යමු ආයේ 

ඔබ ඔබෙ සෙවණැල්ලෙන් මිදී 
මම මගෙ සෙවණැල්ලෙන් මිදී 
අවුදින් හෙමින් රහසින් මුමුණා 
හඳපානේ මඳ අඳුරේ 
අත් පටලා යමු  ආයේ 

හිරකර හසරැල්ලෙන් හැඬුම් 
අපි හිනැහෙමු සපුරා පැතුම් 
මතු ආත්මයේ හමුවෙන පැතුමින් 
යමු වෙන්වී හිමිදිරියේ 
හඳපානේ මඳ අඳුරේ 
අත් පටලා යමු ආයේ 

ගීපද - ප්‍රේමකීර්තිද අල්විස් 
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක 

ඔහුත් ඇයත් එදවස එකම මාවතක ඇවිද ගියෝය. ඒ ඔහුගේත් ඇයගේත් පාසල් කාලයයි. ගමේ ඉස්කෝලේ එකම පන්තියක අකුරු ඇහිඳින්නට ඉර එළිය පොළොව සිඹින සෑම උදෑසනකම පාහේ දෙදෙනාම පාසල් ගියේ එකම වෙලාවකය. ඈ පියවර ගණනක් ඉදිරියෙන් යන දවසක ඔහු පියවර ගණනක් පසුපසින් යයි. ඔහු පියවර ගණනක් ඉදිරියෙන් ගිය දිනෙක ඇය පියවර ගණනක් පසුපසින් එයි. ගම් මැද්දෙන් වැටුණු වැලි පාර දිගේ ඇවිද යද්දී මඟ දෙපස ගසක අත්තක වසා සිටි කුරුල්ලන්ගේ කුරුලු  අල්ලාප සල්ලාප මිස නිහඬ බව බිඳින වෙනත් හඬක් ඇසුණේත් නැත. ඈතින් බලා හිඳි කඳු ගැටයක් මිස උන් යනෙන දෙස බලා සිටි අන් අයෙක් උන්නේ ද නැත. ඒත් ඒ අසීමිත නිහඬ බව තුළම වදනින් නොකියන කුමක්දෝ අවිහිංසකම ප්‍රේමයක විදුලියක් එහෙන් මෙහෙන් ඉඳහිට  වැස්ස දවසක ඒ හදවත් අතර කෙටුවේය. වැස්ස දාට ඇය ඇගේ  මල් වැටුණු කුඩය යටින් යන්නට ඔහුටත් කතා කළාය. ඔහු වැහි දියෙන් තෙමෙනු බලන්නට බැරි ඇගේ ලෝභ සිතිවිල්ලේ කොතනක හෝ ආදරයේ වත්සුණු සුවඳක් තැවරී තිබෙන්නට ඇත. ඇගේ මල් කුඩය යටින් යන්නට ඉස්කෝලේ යන උදෑසනක  වහින්නේ කවදාදැයි බලා සිටි ඔහුගේ සිතේත් කොතනක හෝ ආදරයේ නෑඹුල් සුවඳක් තැවරී තියෙන්නට ඇත. 

එහෙත් ප්‍රේමණීය වදන් බවට, ස්පර්ශයක් බවට නොපෙරළීම කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ඒ ප්‍රේමය ඔහුට අදටත් ඉඳහිට සිහිපත් වෙන  සොඳුරු අතීත මතකයක් පමණි. සිහිපත් වෙන විටෙක හැමදාමත් හැමදාමත් හිත ළඟ සුවඳක් දනවන මෙවැනි සෙනෙහෙබර  මතක ඔබේ ජීවිතයේත් කොතැනක හෝ ඇතැයි මම සිතමි. ආදරණීය ලෙස ජීවිතයට එක්කරගත් බැඳීම් හිත රිදවන මොහොතක, ඒ බැඳීම් තෙත් ගතියකින් තොර වියළි හැඟුම් සිතට දනවන මොහොතක, සිත විඩාපත් බවකින් ඇදුම් දෙන මොහොතක එවැනි සුන්දර අතීත මතක සිතේ කොතැනක හෝ දොරක් ඇරගෙන වර්තමානයේ ඉස්තෝප්පුවට ගොඩ විය හැක. ඇතැම් මොහොතක ජීවිතයේ මඟ හැරුණු ඒ බැඳීම් මඟ නොහැරී මගේම කරගන්න තිබුණානම් අද දවසේ දෝර ගලන සතුටක් මගේ ළඟ තියේවී වැනි හැඟීමක් සිතේ නලියන්නට පුළුවන.


අපි හැඟුම්වලට ඉඩදී මොහොතක් 
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් 
හඳපානේ මඳ අඳුරේ 
අත් පටලා යමු ආයේ 
අත් පටලා යමු ආයේ 

එවන් සිතුවිලි සිතක උපදින්නේ ප්‍රේමය ආදරය හා රමණය වැනි භාවාත්මක විය යුතු හැඟීම් තෙත් බව වියැකුණු හුදු ගනුදෙනුවක්, යුතුකම් ඉටුකිරීමක්, වගකීමක් පමණක් ලෙසින් කලක් මුළුල්ලේ දැනුණු සිතුවිල්ලක ඉවසා දරාගැනීමේ අවසන් රේඛාව කෙළවරදී විය හැක. ඔබ එන්න ආයෙත්.. ඒත් හැමදාටම හැම මොහොතකටම නෙවෙයි... අපි කොහොමද ආයෙත් එහෙම හමුවෙන්නේ, අපේ ජීවිතවලට අයිතිකාරයෝ ඇවිත්.. ඒත් එන්න ඇවිත් යන්න.. අපි පුංචි ඉඩක් හොයාගමු අපේ හිත්වල වෙහෙස නිවාගන්න... අපි අපේ හැඟුම්වලට මොහොතක් ඉඩ හරිමු... අපේ හැඟුම් ළඟ අපි තවම තරුණයි.. ජීවිතය වියපත් වෙන්නේ වයසින් විතරයි.. හදවත්වලින් අපි තවමත් තරුණයි... උරහිසේ හිස තියාගෙන අඬන්නමත් නෙවෙයි.. මගේ ළමැදේ හිස තියාගෙන ආදරේ සුව විඳින්නමත් 

නෙවෙයි... හඳ එළිය තිත්ත කළුවර දුරකට ගිහින් ඇරලපු ළා කළුවරේ.. අපි අපේ ඇඟිලි පටලාගෙන ඔහේ කොහේ හරි ඇවිද යමු... ඒ හඳපානේ වැව් ඉස්මත්තක ප්‍රේමණීය මොහොතක් අපි ගෙවෙන්න දෙමු... ගීත රචකයා කියන්නට වෑයම් කරන්නේ එවන්නකැයි මට සිතේ. අයිතිකාර බැඳීමක කොතෙකුත් සිත, කය සිරවී සිටියත් තමන්ගේ හදවත, ජීවිතය ආත්මය, ලේ, නහර පවා විනිවිද ආත්මගත බැඳීමෙන් සියුම් ලෙස කියවන ගැහැනිය හෝ පිරිමියා ඇය හෝ ඔහු නොවිය හැක. ඒ අයුරින් තමා කියවන ඇය හෝ ඔහු ඔහුට මුණගැහෙන්නේ පසු කලෙක අසම්මතයේ ජීවිත ගිම්හානයේදී විය හැක. කවදා කොතැනකදී හමුවුවත් සියලු සමාජ සම්මතයන් වැට කඩොලු බිඳගෙන එවන් හදවත් බැඳී යන්නේ ඇයි? එතන ඇති සිද්ධාන්තය වන්නේ ආදරය දැනෙන තැන, තමන් කියවිය හැකි කෙනකු ළඟ නවතින්නට ඕනෑම හිතකට දැනෙන වුවමනාවයි.

හඳපානේ මඳ අඳුරේ...

අත් පටලාගෙන යන්නට අඬ ගසන්නේ රාත්‍රියකය. අරැම මහ වැහි ඇද වැටෙන රාත්‍රියක නොව තරු විහිදුවාලන නිල් එළිය නිහඬ  වැව් දියත් කළඹන රාත්‍රියකය. අරුම වැස්ස රාග සිත් දල්වයි. එහෙත් මේ අවැසි වී ඇත්තේ එවන් ගින්දර රාත්‍රියක් නොව සඳ එළියෙන් සිතත් ජීවිතයත් නිවන සුවබර රාත්‍රියකි. රාත්‍රිය ආදරයට ආශිර්වාදයකි. රාත්‍රිය අපට අප සමඟම කතා කරන්නට ඉඩ හරියි. අපේ දුක් වේදනා මොහොතකට ඉල්ලා සිටියි. ඒ දුක් වේදනා සෙමින් ගෙන තම ඇකයේ හොවා ගනියි. අතීත මතක පාර දිගේ අප කැටුව යයි. ඉඳින් ජීවිතය විඳින්නට රාත්‍රිය කදිමය. එපමණක්ද? නැත. රාත්‍රියට ලෝකය ඇස් වසයි. ඔබ ඔහුගේ නම් මම ඇයගේ නම් අපි ඒ ඇස් වසන රාත්‍රියක, එක ඉසිඹුවක් ඉඩ හසර සොයාගෙන මිස හමුවෙනු කෙලෙසද?

ඔබ ඔබෙ සෙවණැල්ලෙන් මිදී 
මම මගෙ සෙවණැල්ලෙන් මිදී 

ඔබටත් ජීවිතය උදෙසා නිත්‍යනුකුල අයිතිකාරයෙක් සිටියි. මටත් මගේ ජීවිතය උදෙසා නිත්‍යනුකුල අයිතිකාරයෙක් සිටියි. ඒ ඔබේ සෙවණැල්ලයි. මේ මගේ සෙවණැල්ලයි. ඒත් අපි මොහොතකට ඒ සෙවණැලිවලින් මිදී ආයෙත් හමුවෙමු.. අතීත ප්‍රේමයක සිසිලසින් ගිනිගත්ත හිත් නිවාගන්නට අපි ආයෙත් මොහොතක් හමුවෙමු..

එසේ කියන්නට සිත්වන්නේ ඇයි?

වැරැද්දක් දකින්නට යුහුසුලු වෙන ලෝකය   වැරැද්දට හේතුව නොසොයයි. ඇයි එහෙම වුණේ අසන මිනිසුන් වෙනුවට අපට ජීවිතයේ බොහෝ තැන්වලදී මුණගැසෙන්නේ සම්මතයේ රේල් පීල්ලෙන් එපිටට එක පා ඇඟිල්ලක් තැබුවත් උඹ මහ වැරදිකාරයෙක්, උඹ සමාජයෙන් එන විරෝධයට වග උත්තරකරුවකු වී බෙල්ල තියලා මැරියන් එහෙනම් යැයි පිළිවදන් දෙන මිනිසුන්ය. සම්මතයේ රාමුවෙන් පිටස්තර අසම්මතයේ සුළඟක සිසිලස, සුවය, සෞන්දර්යාත්මකව විඳින, ඒ  දෙස මානුෂිකව සංවේදීව බලන මිනිසුන් අපට මුණගැසෙන්නේ ඉතා කලාතුරකිනි. ජීවිතය නිවාලන මොහොතක හමුවීමක් වෙනුවෙන් දෙදෙනෙක් කල්පයක් තරම් කාලයක්  බලා හිඳින්නේ එහෙයිනි.

ප්‍රේමයට නිශ්චිත නිර්වචනයක් ලොව ඇතැයි මම විශ්වාස නොකරමි. මක්නිසාදයත් එය සීමාවකින් තොර අනන්තයක්ම වන බැවිනි. එහෙත් එක් කලෙක ජීවිතයට තෙතමනයක් දනවන සඳක් සේ ජීවිතය නිවන වැස්සක් සේ ජීවිතය තෙමන ප්‍රේමවන්ත ආදරයම විවාහය නැමැති බැඳීමෙන් බැඳුණු කල හුදෙක් යාන්ත්‍රික ගනුදෙනුවක් පමණක්ම බවට පත් විය හැක.

ජීවිතයෙන් අප කෙතරම් පරිණත වුවද ප්‍රේමය ආදරය ළඟ හැමදාමත් හදවත තරුණනම් ළතෙත් බවින් යුතුනම් ඒ ආදරය හැමදාමත් සුවඳ දිදී දැනෙන්නට පටන් ගනියි. බොළඳ බව ප්‍රේමය නැමැති කේක් ගෙඩියේ අයිසින් තැවරුමක් ලෙස රුඳී ඇත්නම් ඒ ප්‍රේමය හිත ළඟ හැමදාමත් සොඳුරුය. ජීවිතයේ හා ආදරයේ හිස්තැන් දැනෙන්නට පටන් ගන්නේ ඒ ළතෙත් බව සුමට බව ආදරණීය බව පලා ගිය විටය. හිස්තැන් දැනෙන විට.. ඒ හිස්තැනේ කුඩා සිදුර ටිකෙන් ටික පුළුල් වී එය හිතට දැනෙන සිදුරක් බවට පත් වූ විට ඒ හිස්තැන් මඟහරවා ගන්නට හදවත ආදරය දැනෙන තැනක නවතින්නට හදයි.

ඔබ ඔබෙ සෙවණැල්ලෙන් මිදී 
මා මගෙ සෙවණැල්ලෙන් මිදී 
අවුදින් හෙමින් රහසින් මුමුණා 
හඳපානේ මඳ අඳුරේ 
අත් පටලා යමු ආයේ...

යැයි කියන්නට සිත්වෙන්නේ ඇයි දැයි ගී පද රචකයා අපට කියන්නේ එවන් සහේතුක පසුබිමකය.

හිරකර හසරැල්ලෙන් හැඬුම් 
අපි හිනැහෙමු සපුරා පැතුම් 
මතු ආත්මයේ හමුවෙන පැතුමින් 
යමු වෙන්වී හිමිදිරියේ
 

ඒ හැඬුම් පිටුපස ජීවිතයේ මෙතෙක් නොකී කතා බොහෝ තිබෙන්නට පිළිවන. මෙතුවක් කා සමඟවත් බෙදා හදා නොගත් බොහෝ වේදනාවන් සංවේදීතාවයන්, හැඟීම්, කම්පනයන් තිබෙන්නට පිළිවන. අතීත වේදනාවන් සමුගැනීම් සොඳුරු මතක ශේෂ තිබෙන්නට පිළිවන.

සනාතන ඉසිඹුවට සහන් එළියක් වන්න ඔබ එන්න - යමෙකුට එවන් ඇයදුමක් කරන්න ඔබට සිත් වෙන්නේ ඇයි?

ඔබ මරණය තෙක් ඉල්ලා හිඳි ආදරයේ නොසලකාහැරීම්, තේරුම් නොගැනීම්, මඟහැරීම් ඒ ඉල්ලීම පසුපස තිබෙන්නට පුළුවන. 

සිරකර හසරැල්ලෙන් හැඬුම්..

හසරැල්ලකින් සිරකරගන්නට වෑයම් කරන්නේ නිරන්තරයෙන් ආත්මයේ පතුලම රිද්දන ඒ හැඬුම්ය. හැඬුමක් හසරැල්ලකින් හිරකළ හැකි බව ගී සිතුවිල්ලක්ම මිස අන් කවරක්දැයි සිතෙන තරම්ය.

ඔබ අසල කොතෙක් මා නිවී සැනසුණත් ජීවිතයේ කටුක ඇත්ත ළඟ අප දෙදෙනෙකි. එහෙත් ඒ ඇත්ත තුන් හිතම හිරිවට්ටද්දීත් හිත හදාගන්නට කරන වෑයම කොතෙක්නම් සොඳුරු වෙත්ද?

මතු ආත්මයේ හමුවෙන පැතුමින් 
යමු වෙන්වී හිමිදිරියේ.....

ප්‍රේමය ප්‍රේමයම මිස අන් කවරක්ද? ඒ ආදරණීය සමීකරණය මේ මොහොතේ මගේ මතකයට නගන්නේ ජීවිතය ගැන දැක්මක් ඇති කවියකුගේ ගසක් හා ගඟක් නම් කවියයි. ඒ කවියා මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයි. 

මා පාමුලින් ලැසි ගමනින් යන පාවී
නුඹ ළඟදී සෙනේ තව තව දලු දාවි
මුහුදට ගියොත් ලුණු වී නැති වී යාවි
නවතිනු බැරිද මගේ සීතල සී දේවී.. 

ගඟුලක විදිහ අද මේ විලසම වේවී
ආයෙත් පින් ලබා අහසක උපදීවී
වැහි බිංදුවක් වී ගඟකට මුහුවී
ඉන්පසු කොහේ හරි ඉවුරක හමුවේවී.. 

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00