2018 මැයි 12 වන සෙනසුරාදා

වේදිකාවේ පිටුපසට ඇවිත් එදා මට අතදුන්නේ ලෙස්ටර් සර්

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

ප්‍රවීණ නළු  රවින්ද්‍ර රන්දෙණිය සිහිපත් කරන හැඟුම්බර මතකය

රවින්ද්‍රට මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස්ව මුණගැහුණු මතකය අවදි කළොත්...?

ඔව්... තාමත් මට ඒ අපූරු සිදුවීම හොඳට මතකයි. 1971 අවුරුද්දේ තමයි එතුමාව මට මුලින්ම මුණගැසුණේ. ලයනල් වෙන්ඩ්ට් රංගශිල්පී ශාලිකාවෙන් මම පළවෙනි වතාවට ඉදිරිපත් කරපු මගේ පළමු වේදිකා නාට්‍යය වුණු “මුහුදු පුත්තු නාට්‍යයේ මංගල දර්ශනය බලන්න එතුමා ඇවිත් හිටියා. නාට්‍යය ඉවරවෙලා එතුමා වේදිකාව පිටුපසට ඇවිත් සම්බන්ධ වුණු අයට සුභ පැතුවා. ඒ වෙලාවේ ඒ අපූරු මිනිසා මටත් අතට අත දීලා සුභපැතුවා.

එවැනි ප්‍රතාපවත් සිනමාවේදියකු ආධුනික ශිල්පියෙක් වුණු ඔබට අතට අතදීලා සුභ පතද්දී මොකද හිතුණේ...?
ඒ වෙද්දී ඔහු අතිශයින්ම ප්‍රතාපවත් අධ්‍යක්ෂවරයෙක්. ඒ වෙද්දී එතුමා ගම්පෙරළිය, දොලොවක් අතර, රන්සළු, නිධානය වැනි දැවැන්ත නිර්මාණ අධ්‍යක්ෂණය කරලයි තිබුණේ. ඉහළම මට්ටමේ හිටපු එතුමාව පෞද්ගලිකව හඳුනාගෙන නොසිටියාට එතුමාගේ චිත්‍රපට නිසා අපි එතුමාට දේවත්වයෙන් වගේ ගරු කරපු අයයි. ඒතරමටම උසස්ම නිර්මාණ ඒ යුගයේදී එතුමාගෙන් බිහිවුණා. ඉතින් එතුමාගේ අත අල්ලන්න ලැබීමත් මහත් භාග්‍යයක්.

ඒ මුණගැසීමෙන් පසුව ඔහුගේ නිර්මාණයකට රවීන්ද්‍රට ඇරයුමක් ලැබුණා... එහෙම නේද...?
ඔව්... ඒකත් පුදුමයක්. ඊට අවුරුද්දකට විතර පස්සේ එතුමා දෑස නිසා කියන චිත්‍රපටය නිෂ්පාදනය කළා. මේ දෑස නිසා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට එතුමා මාව තෝරාගත්තා. ඒ වෙද්දී මම ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවට බැඳුණා විතරයි. පළමු වේදිකා නාට්‍යය වේදිකා ගත වුණාට ඒ වෙද්දී මගේ එකම සිනමා නිර්මාණයක් ප්‍රදර්ශනය වෙලා තිබුණේ නැහැ. ඒ වෙද්දී මම චිත්‍රපට කිහිපයකම රඟපාලානම් තිබුණා. හැබැයි ඒ එක චිත්‍රපටයක්වත් තිරගත වෙලා නොතිබුණු නළුවෙක්ව එතුමා ප්‍රධාන චරිතයකට යොදා ගැනීමත් අභියෝගයක්. “දෑස නිසා චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනක් තිබ්බා. ජෝ අබේවික්‍රම මහතා, ශ්‍රියානි අමරසේන මහත්මිය සහ මම තමයි ඒ චරිත තුන රඟපෑවේ.

“දෑස නිසා චිත්‍රපටය රූගත කරද්දී එතුමා මොන වගේ පුද්ගලයෙක්ද...?
සිනමාවේ ඉහළම තැන හිටපු එතුමා මම වගේ නවක නළුවෙක්ව ප්‍රධාන චරිතයකට තෝරාගැනීමට මට නළුවෙක් විදිහට වෙනත් සහතිකයක් මට තව ඕනේ වුණේ නැහැ. මේ මහා සිනමාවේදියා එක්ක වැඩ කරද්දි මගේ දර්ශන ගන්නට සතියකට කලින් ඒ රූගත කරන තැනට ගිහින් මම බලාගෙන හිටියා. ඒකට හේතුව වුණේ එතුමා වැඩකරන හැටි බලන්න මට ඕන වුණා. මගේ ආධුනිකකමයි මේ දැවැන්තයා මාව තෝරාගැනීමයි මට චකිතයක් වුණා. මාව මටම අභියෝගයක් වුණා. සතියකට කලින් ගිහින් එතුමා වැඩකරන පිළිවෙළ මම තනියම නිරීක්ෂණය කළා. 

වැඩ කරද්දී එතුමා මොනවගේ අධ්‍යක්ෂවරයෙක්ද...?
එතුමා පුදුමාකාර විදිහට සංයමයකින් සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන කෙනෙක් විදිහටයි මම දැක්කේ. එතුමා දර්ශන තලයේ ඉන්නවාද කියලා හැඟීමක් නැහැ. බැලූ බැලීමට එතුමා බොහෝම පිළිවෙළට ඇඳුම් පැළඳුම් ඇඳගෙන තමයි දර්ශන තලයට එන්නේ. ගොල්ෆ් තොප්පියක් දාගෙන, අත් නැති ජැකට් එකක් දාගෙන, බොහෝ විට සපත්තු පැළඳගෙන තමයි එතුමා දර්ශන තලයට ආවේ. ඒ ඇඳුම් පැළඳුම් හරි පිළිවෙළයි. ඇඳුම්වල වර්ණ පවා හොඳට ගැලපුවා. ඒ පිළිවෙළ හරි අපූරුයි. දර්ශන තලයේ කටයුතු කරද්දී ඇතිකරන සංයමය හරි සුවිශේෂීයි. එතුමා ඉන්නවාද කියලවත් දැනෙන්නේ නැහැ. 

බැලූ බැල්මට මේ මහා සිනමාවේදියා එතන ඉන්නවා අපිට පේනවා. නමුත් ඒක අනිත් අයට “මමයි මෙතෙන ඉන්න ප්‍රධානියා කියන හැඟීමක්වත් නැති විදිහටයි ඉන්නේ. එක තැනකවත් ඔහු උස් හඬින් කතා කරලා නැහැ. කැමරාවට විධාන දෙද්දී, අනිත් කටයුතු සංවිධාන කරද්දී, නළු නිළියන් මෙහෙයවද්දී ඔහු ඉතා මෘදුව, ඉතාම ළෙංගතුව තමන්ගේ ශිල්පීන්ට කතා කරන අධ්‍යක්ෂකවරයෙක්. හැබැයි කවදාවත් ඇඟිල්ලෙන් ඇනලා මෙහෙම රඟපාන්න කියලා කියන්නේ නැහැ. ඔහු ඒ හැඟීම ඒ පරිසරය උචිත අයුරින් ඔහුගේ කතාබහෙන් මැව්වා. කවදාවත් ඔහු රඟපාලා පෙන්නුවේ නැහැ. ඉතාම සියුම්ව පොඩි පොඩි නිවැරදි කිරීම් කළා. ඔහුගේ ඇඳුම් පැළඳුමෙන් පවා ඔහු සිනමාවේ මේ හැම කටයුත්තක්ම ගෞරවපූර්ව සැලකුවා. මේ කලාකරුට අපේ සිනමාවට දායද වීම අපේ සිනමාවට භාග්‍යයක්. ජාත්‍යන්තර වශයෙන් ඇතිකළ පිළිගැනීම කොයිතරම්ද...? පසුගියදා “New York times පුවත්පතේ එතුමා ගැන ප්‍රධාන පුවතක් පළවෙලා තිබුණා.

ලෙස්ටර් ජීවත්ව ඉන්න අවසන් කාලයේදී ඔහුගේ දුක සැප බලන්න නිතරම ගිය කලාකරුවන් කලාකාරියන් අතරේ ඔබත් ඉන්නවා. අවසන් කාලේදී එතුමා මොනව ගැන ද කතා කළේ...?
එතුමා අවසන් අවුරුදු පහේදී වගේ ශාරීරිකව ඉතාම දුර්වල තත්ත්වයක හිටියේ. එතුමා තත්ත්පර පහක් කාඑක්ක හරි කතා කර කර ඉදිද්දී වෙහෙසෙට පත්වුණා. නමුත් ඒ හැරෙන්න මානසික වශයෙන් තිබුණු තියුණු මතකය අවුරුදු අනූනවය නොවේ. අවුරුදු පනහ හැටක කෙනෙකුටවත් නැහැ. ඒක එතුමාගේ අසමසම ලක්ෂණයක් වුණා. ශාරීරිකව දුර්වල තත්ත්වයේ ඉන්දෙද්දී ඔහුට චිත්‍රපට පිළිබඳ තිබුණු මතකය හරි අමුතුයි. ඕනෑම වසරක තිරගත වුණු ප්‍රධාන පෙළේ චිත්‍රපටයක් ගැන ඇහුවොත් චිත්‍රපටයේ නම නොවේ, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, කලා අධ්‍යක්ෂක, කැමරා අධ්‍යක්ෂක, නළු නිළි කැළ, ගැන ඔහුට මතකයි. අපෙන් වැරදිලාවත් වැරදි නමක් කිව්වොත් “නෑ එයා නෙමෙයි.. ඒකේ කැමරා අධ්‍යක්ෂක මෙයා... රවී ඔන්න ඔතන තියන පොතේ බලන්න. කියලා. අපිට නිවැරදි කළා. ඒ වගේ පුදුමාකාර තියුණු මතකයක් තිබුණා. ඔහුගේ උපන්දිනය යෙදිලා තිබුණේ අප්‍රේල් මාසේ 05 වෙනිදා... ඒ දක්වා ඔහු ඉතාම මෑතකදී නිපද වූ චිත්‍රපට පවා ඔහු බොහෝ කැමැත්තෙන් බලන ටී.වී. චැනල් එකේ බොහෝම ආසාවෙන් බැලුවා. ඒවා ගැන කතා කළා. ඒවාවල අඩුපාඩුකම් හොඳ නරක අපිත් එක්ක කතා කළා. ඒක පුදුමාකාර දෙයක්. ඔහු අවසන් කාලයේදී පුටුවේ ඉඳගෙන සිනමාව ගැන හැදෑරුවා.

නිතර නිතර ඔහු ගැන බලන්න පැමිණීම ගැන ඔහු සතුටු වෙන්න ඇති නේද...?
ඔව් සැබැවින්ම... මම මට පුළුවන් හැම අවස්ථාවෙම එතුමා බලන්න ගියා. බොහෝ කලාකරුවන් කලාකාරියන් එතුමා බලන්න ගියා. 1971 ඉඳන් අද දක්වාම එතුමා එක්ක ගතකරන මිනිත්තු පහ තුළ පවා ලොකු පාඩමක්, ලොකු අභ්‍යාසයක් අපිට ලැබුණා. ඔහු කවදාවත් වල්පල් කතා කළේ නැහැ. එතුමාට පුදුමාකාර විදිහට විහිළු කිරීමේ හැකියාවක් තිබුණා. ඕනෑම කතාවක් මිනිත්තු දෙකතුනක් කතා කරගෙන යද්දී ඔහු ලස්සන විහිළු කතාවක් කිව්වා. එතුමාට චිත්‍රපටයක් හදන්න ලොකු උනන්දුවක් තිබ්බා. ශාරීරිකව එතුමා දුර්වලව ඉන්න කාලේදී එතුමා ටික වේලාවක් සාලෙට ඇවිත් ඉන්නවා. නැත්නම් එතුමාට සුපුරුදු සුවපහසු අසුනක් තියෙනවා. ඒකේ ඉඳගෙන පත්තර කියෙව්වා. දේශපාලන, රටේ සිදුවන දේ ගැන දැනුමක් තිබුණා. නමුත් ඒවා ගැන දිගින් දිගට කතා කරන්නේ නැහැ. කිසිම විදිහට දේශපාලන කතා ගැන වාද විවාද කරන්නේ නැහැ.

 

► Text -Dishani  

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00