2018 මැයි 12 වන සෙනසුරාදා

කකුල් දෙකට විතරක් දෙන සංගීතයක් මගේ ළඟ නෑ.......

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

සමන්... ළඟ ළඟම තියෙන ප්‍රසංගය නිසා ඔබ හරි කාර්යබහුලයි. ටිකක් කියමුකො ඒ ප්‍රසංගය ගැන...?
ඔව්... මේ දවස්වල අලුත් කලා කටයුතු කිහිපයකටම සූදානම් වෙනවා. ඒ අතරින් ප්‍රධානම දේ තමයි මැයි මස දහඅටවැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන Three face නම් ප්‍රසංගය. ඒ ප්‍රසංගය රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර සහ මම එකතුවෙලා තමයි පවත්වන්නෙ. වේදිකාවේ පන්නරයක් ලැබූ දෙදෙනෙක් එක්ක මේ වගේ ප්‍රසංගයක් කිරීමට ලැබීමත් සතුටක්. අපි තුන්දෙනාම ගායන ක්ෂේත්‍රයෙත්, වේදිකාවෙත් බොහෝ ඉසව්වල සැරිසැරූ අය. එහෙම වේදිකාවෙන් ආපු ගායකයන්ගේ ගීත අපි එදිනට ගායනා කරනවා. මිනිසුන්ට වැඩි රසාස්වාදයක් දිය හැකි ක්‍රමවේද මොනවද කියලා සොයාබැලීමෙහි මේ දවස්වල අපි නියැලෙනවා. මේ මුහුණු තුන තුන් පැත්තකට හැරුණු මුහුණු තුනක් හැටියට වේදිකාවේ නිර්මාණ තුළින් අපි එළිදක්වන්න උත්සාහ කරනවා. මගේ ජනආරයේ ගීතත්, ජන සාහිත්‍යයෙන් පන්නරය ලබාපු ගීතත්, සම්මානවලට පාත්‍රවුණු ගීතත් එදිනට සජීවීව ගායනා කරනවා. ජනකවියේ මිහිර සොයා යන වැඩිහිටියන්ටත්, දරුවන්ටත් මෙම ප්‍රසංගය වැදගත් වෙයි කියලා හිතනවා.

Three face ප්‍රසංගයට අමතරව ඔබ තවත් අපූරු ප්‍රසංගයකටත් සූදානම් වෙනවා...?
ඔව්... අනිත් අපූරු ප්‍රසංගය තමයි පංචමකරන්ද කියන ප්‍රසංගය. ඒ ප්‍රසංගයේ මූලිකත්වය දරන්නෙ නිශ්ශංක දිද්දෙණිය මහතා. ඒකත් ගීත ප්‍රසංගයක්. මෙම ප්‍රසංගය වේදිකාවේ හිටපු කලාකරුවන් කලාකාරියන් පස්දෙනෙක් එකතුව තමයි පවත්වන්නෙ. එය නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, නිලක්ෂි හැලපිටිය, ඉන්දිකා උපමාලි සහ මම එකතුව තමයි පවත්වන්නෙ. මේ සඳහා පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. මේ ප්‍රසංගය පැවැත්වෙන්නෙ ජූනි මස නවවැනිදා සවස හයට නෙළුම් පොකුණ රංග ශාලාවේදී. වේදිකාවේ දිග පළල හොඳින් හඳුනන පිරිසක් මෙයට සහභාගි වෙනවා. එන ප්‍රේක්ෂකයන්ට වඩා වැඩි යමක් ගෙනයන්න පුළුවන් වන ආකාරයේ ප්‍රසංග දෙකක් ලෙස මම මේ ප්‍රසංග දෙක හඳුන්වනවා.

ඔබ වැඩිපුරම සම්බන්ධ වෙන්නෙ ගෘහස්ථ ප්‍රසංග සඳහා... ඒකට හේතුවක් තියෙනවද..?
ප්‍රසංග වේදිකා දෙකක් තියෙනවනෙ. ඒ එළිමහන් ප්‍රසංග සහ ගෘහස්ථ ප්‍රසංග කියලා. සාමාන්‍යයෙන් මම මේ එළිමහන් ප්‍රසංග වර්ජනය කරනවා. දැනට මේ තියෙන තත්ත්වය මත, මිනිසුන්ගේ ඔළුව සකස්වෙලා තියෙන තත්ත්වය මත, ඒ මිනිසුන් ඉස්සරහට ගිහින් මම මගේ කලාව බාල්දු කරන්න කැමති නෑ. බොහෝ වෙලාවට එළිමහන් ප්‍රසංගවලට එන්නෙ නටන්න බලාගෙන එන බහුතරය. ඉතින් මා ළඟ කකුල් දෙකට විතරක් දෙන සංගීතයක් නෑ. සින්දුවක් ඉවරවුණු සැණින් හූ කියන ප්‍රේක්ෂකයන්ව අපි වෙනස් කරන්න ඕනෙ. මම පොඩි මනුස්සයෙක් වෙන්න පුළුවන්. නමුත් අනාදිමත් කාලයක් තිස්සෙ ලොකු අය ඒ වැරැද්ද කරලා තියෙන නිසා ඒ වැරැද්ද හදන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ දරන උත්සාහය ගැන යම්කිසි හැඟීමක් රටේ කෙළවරක ඉන්න මනුස්සයකුට හරි තියෙනවනම් ඇවිත් අපේ ප්‍රසංගයක් බලන්න.

ඔබ එළිමහන් ප්‍රසංගයකට සහභාගිවෙලාම නැද්ද...?
ප්‍රසංගවලට මම ගිහින් තියෙනවා. ඒ ගිහින්ම තමයි මම මේ දේවල් තේරුම් ගත්තෙ. මේක මගේ කුඩා කාලේ ඉඳන්ම තිබුණු ප්‍රශ්නයක්. මම නවය වසරේ පන්තියේ ඉගෙන ගනිද්දී ගාල්ලේ කොටුවේදී එළිමහන් ප්‍රසංගයක් බලන්න යාළුවෝ එක්ක ගියා. මට තාම මතකයි මගේ ඉස්සරහ එකපාරටම රණ්ඩුවක් ඇතිවෙලා එකපාරටම එක මනුස්සයෙක් තව මනුස්සයෙක්ට පිහියකින් ඇනලා මගේ ඇඟේ හැප්පීගෙන දිව්වා. මගේ ඇසේ ඉදිරියෙදීම අර මනුස්සයා මැරුණා. ඒ අයගෙ කෝන්තරයක් අර ප්‍රසංගයේදී පිරිමහගත්තා. කලාකරුවා කියන්නෙ සමාජයේ පෙරගමන්කරුවෙක්. අද ගමන් බිමන් යන බස් එකේ පවා අපිට ඇහෙන්නෙ නීරස සංගීතය.

ඔබටත් ඒ වගේ අකරතැබ්බයක් වුණා කියලයි ආරංචි...?
ඔව්නෙ... ඉස්සර මම ගාල්ලේ ඉඳන් කොළඹ එන්නෙ හයිවේ එකේ. අද ඒවායෙත් ඇහෙන්නෙ අර නීරස සංගීතය. දවසක් මම පාන්දර පහයි කාලට ගාල්ලෙන් බස් එකේ නැඟලා හයිවේ එකේ එනවා. ඒ බස් එකේ ටී.වී. එකෙන් පාන්දර පහ හමාරට දාන්නෙ රාත්‍රී කාලවල එළිමහන් ප්‍රසංගවල ගායනා කළ වීඩියෝ. ඒවායේ වැරදි ගායනා බොහොමයක් තියෙනවා. ඇත්තටම මේවා අන්තිම වැරදි වැඩ. එදා මගේම ගීතයක් බෑන්ඩ් එකේ කෙනෙක් ගායනා කරනවා. මට මගේ ගීතය අහගෙන ඉන්න බෑ. ඒ තරමටම වැරදි ගොඩයි. මම කොන්දොස්තර මහත්තයට මේක පොඩ්ඩක් අඩු කරනවද... මේක අහන්න බැහැනෙ කියලා කිව්වා. ඒ පිරිමි ළමයා මහත්තයට රසවින්දනය නැතිවුණාට අනිත් අයට රසවින්දනය තියෙනවා කියලා කිව්වා. ඒ වෙලාවේ මේ කන්නෙ මගේ සින්දුවක් කියලා මම කිව්වා. ඒ වෙලාවේ මම වෙනුවෙන් කතා කරන්න එක මනුස්සයෙක් බස් එකේ හිටියෙ නෑ. හැබැයි මහරගමින් බස් එක නවත්වද්දී ළඟට ඇවිත් ඔයා නේද සමන් ලෙනින් කියලා කිහිපදෙනෙක් ඇහුවා. ඒකයි අද තත්ත්වය.

සමන් ලෙනින් බිහිවුණේ ගාල්ලෙන්... එහෙම නේද...?
ඔව්... මම ගාල්ලේ උණවටුනේ ඉපදුණු කෙනෙක්. මම ඉගෙන ගත්තෙ ගාල්ලෙ ශාන්ත ඇලෝසියස් විදුහලේ. ඒ පාසලේ ඉගෙන ගන්න කාලේ ඉඳන්ම මම කලාවට ළැදියි. ඒක මට ලැබුණේ මගේ පවුල් වටපිටාවෙන්. මගේ තාත්තා දකුණු පළාතේ ප්‍රසිද්ධ කලාකරුවෙක්. චිත්‍ර ශිල්පියෙක්. කුඩා කල සිටම ජනකවියට, උසස් රසවින්දනයට ගෙදර ලොකු හයියක් වුණා. ඊටපස්සෙ උසස් අධ්‍යාපනය ලබන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පනාපිටිය, ආචාර්ය රෝහණ බැද්දගේ ගුරුන්නාන්සේ වගේ අය යටතේ මේ දේවල් හදාරන්න ලැබුණට පස්සෙ බලහත්කාරයෙන් වගේ මම මේ ක්ෂේත්‍රයට යොමුවුණා. අද වෙද්දී මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මානව වංශ සංගීත විද්‍යාව හදාරලා එම විෂය දරුවන්ට උගන්වනවා.

මේ දක්වා ආ ගමන තුළ ඔබ බොහෝ දුක් විඳින්න ඇති...?
අනේ ඔව්... පත්තරයක් එලාගෙන මම දුම්රිය ස්ථානවල නිදාගෙනත් තියෙනවා. දැන්නම් මම වාහනයක යන්නෙ. බස්වල යන්න බැරිකමටම බොහොම අමාරුවෙන් ණයවෙලා වාහනයක් ගත්තා. අහස අල්ලන්න සල්ලි නැතිවුණාට ජීවත්වෙන්න සෑහීමකට පත්වෙන්න පුළුවන් ජීවිතයක් අද මට තියෙනවා. අද මම සතුටින් ජීවත්වෙනවා. මේ දේවල් ලබාගන්න විඳපු දුක්ගැහැට සෑහෙන්න තියෙනවා. ඉගෙන ගන්න, පොතපත කියවන්න මම ලොකු ඇල්මක් තිබුණු කෙනෙක්. කොහොම වුණත් අද කලාකරැවෙක් විදිහට මම ජීවිතේ ලොකු සතුටක් විඳිනවා.

 

► Text — Dishani  /  Pic -   Internet

 

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30