2018 අප්‍රේල් 13 වන සිකුරාදා

රෑ තිස්සේ ප්‍රසංගවලට යන්න මට කවුරුත් නැහැ

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 199

අපි ඒ ළමා කාලයේ ඉඳන් කතාව පටන් ගමු... ඔබේ ගම්පළාත වැඩි ඈතක නෙමෙයි...?
ඔව්... මගේ ගමේ තමයි මම තාමත් ජීවත් වෙන්නේ. මොරටුව තමයි මගේ අම්මාගේ ගම ඉතින්... අපි අදටත් ජීවත් වෙන්නේ එහේ. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හතර දෙනෙක් ඉන්නවා... මම තමයි පවුලේ වැඩිමලා.

පවුලේ වැඩිමලාට වගකීම් තදින්ම දැනෙන්න ඇති නේද...?
ඔව්... ඔව්... මගේ තාත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තමයි රාජකාරී කළේ. අම්මා රැකියාවක් කළේ නැහැ. අපේ ගෙදර විනායානූකූල පරිසරයක් තමයි තිබුණේ. ඒකට හේතුව පිළිවෙළකට තමයි තාත්තා අපිව හැදුවේ. තාත්තා පන්සල් ආශ්‍රිතවත් ගොඩාක් වැඩ කරපු කෙනෙක්. මගේ තාත්තා මර්වින් ජයසූරිය. අම්මාගේ නම සෝමා ද සිල්වා. තාත්තාගේ රාජකාරියත් එක්ක තාත්තා අපිට බොහෝ දේවල් ඉගැන්වූවා. මම පවුලේ වැඩිමලා විදියට ලොකු වගකීම් සම්භාරයක් පැවරිලා තිබුණා. උදේට හරියට එලාම් එක කියලා අපි නැගිට්ටා. ඒ නැගිට්ට වෙලාවේ ඉඳන් තාත්තා හදලා දීපු කාල සටහනට තමයි අපි වැඩ කළේ. ඉරිදාට අපි අනිවාර්යයෙන්ම දහම් පාසල් ගියා. පෝය දවසට අනිවාර්යයෙන්ම සිල් සමාදන් වුණා. ඒ විදිහේ පරිසරයක් අපට හදලා දුන්නේ අපේ තාත්තා.

• පුංචි කාලේ ඔබ දඟ චරිතයක් ද...?
නෑ... ඇත්තටම මම එහෙම දඟ නැහැ. පුංචි කාලේ ඉඳන් තාත්තා “වැඩිමලා කියන වගකීම් ගොන්නක් මගේ ඔළුව දැම්මට පස්සේ මම ඒ වගකීම් අකුරට ඉටු කළා. හැබැයි ඒ වගකීම් දරාගැනීමෙන් ඕනෑම දේකට මුහුණ දීමේ ආත්මශක්තියක් මට ඇතිවුණා. මට මතකයි මගේ අම්මා ගෙදරට ඕනකරන බඩු ලිස්ට්එක ලියලා දුන්නාම ඒක තනියම හන්දියට ගිහින් බඩු අරගෙන එන්න තරම් මගේ හිත ශක්තිමත් වුණා. ඒ නිසා පුංචි කාලේ ඉඳන් ගෙදරක කළයුතු වැඩ පවා මට හුරුවුණා. අපේ වැඩ අපි කර ගත්තා. අද වෙද්දී ඒ ශක්තිය මට ගොඩාක් උදව් වුණා. ගෙදර ලයිට් බිල, වතුර බිල වෙලාවට ගෙවන්න, ඒවාට වෙන වෙනම ෆයිල් එකක් තියාගන්න එක පවා මට හුරුකළේ මගේ තාත්තයි අම්මයි. ඒ පුරුද්ද මට තාමත් තියෙනවා.

• පාසලේදී දමයන්ති මොන වගේ චරිතයක් ද...?
මම එක වසරේ ඉඳන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ ගල්කිස්ස උසස් බාලිකා පාසැලේ දී. මම හරි ක්‍රියාශීලී චරිතයක් වුණා. හැම ගුරුවරියක්ම මට පුදුමාකාර විදිහට ආදරේ කළා. ගායන විෂයට වගේම නෙට්බොල් ක්‍රීඩාව වගේ බාහිර ක්‍රියාකාරකම්වලටත් සහභාගී වුණා. මළල ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණ ලබාගත්තා. ඕනෑම තැනකදී මම නායකත්වය ගත්තා. ගෙදර දී වගේම පාසැලේදීත් මම වගකීම් දැරිය හැති චරිතයක් වුණා. පාසැල් සමිතිවල මම ක්‍රියාශීලී චරිතයක් වුණා. කාලයක් පාසැලේ බලදක්ෂිකා කණ්ඩායමේ නායිකාව විදිහටත් කටයුතු කළා.

• පුංචි කාලේ කවුරු වෙන්නද ආස කළේ...?
මට එහෙම ලොකුවට හීනයක් තිබුණේ නැහැ. හැබැයි මොකක්දෝ හේතුවක් නිසා මට නීතිඥවරියක් වෙන්න ආසාවක් තිබුණා. ඔය අතරේදී අම්මා ரමාව සංගීතය පැත්තට යොමුකළා. අම්මට එයා ඉස්කෝලේ යන කාලේදී ඔය රැක්මණී දේවී වගේ අයගේ සින්දු හරි අපූරැවට ගායනා කරන්න පුළුවන්කම තිබුණා. ඉස්කෝලේ ගායනා කණ්ඩායම්වල අම්මා ඉඳලා තිබුණා. ඉතින් අම්මට දකින්න බැරිවුණු ගීතය මගෙන් දකින්න අම්මා ආසා කළා. මාව ගායිකාවක් කරන්න ඕන වුණා.

• කොහොමද අම්මාගේ ඒ හීනය හැබෑ වුණේ...?
අපේ පවුලේ හිතවතෙක් තමයි ලලිත් එස්. මෛත්‍රීපාල මහත්තයා. ඉතින් දවසක් ඔහු තාත්තා මුණගැහෙන්න ආපු වෙලාවක “අනේ මට ආසයි මෙයාව සින්දු කියන්න යවන්න. කියලා අම්මා කිව්වා. ඒ ඉල්ලීම මත තමයි ලලිත් එස්. මෛත්‍රීපාල මහතා මාව ගුවන් විදුලියේ පරීක්ෂණයකට යොමු කළේ. ඒකෙන් මාව තේරුණා. එදා ඉඳන් මම ළමා පිටියේ සින්දු කියන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් මගේ පාසැලෙන් ද මට ලොකු සහයෝගයක් ලැබුණා. ගුවන්විදුලියේ ළමා නාට්‍ය, ළමා රංග පීඨය, ළමා සඟරාමය වැඩසටහන් වගේ දේවල්වලටත් මම සහභාගී වුණා. ගුවන් විදුලියෙන් මම බොහෝ දේවල් ඉගෙනගත්තා. හැම “සංගීත සන්දෑවට සහභාගි වුණා. එතන නන්දා මාලනී, සනත් නන්දසිරි, සරත් දසනායක වගේ ඒකල දැවැන්තයින්ද ආවා. ඔවුන්ගෙන් ළමා පිටියේ බොහෝ දේවල් ඉගෙනගත්තා. ඒ ආසාව නිසාම හිතේ තිබුණු නීතිඥවරිය ඉබේම අයින්වෙලා මාව ගායිකාවක් වුණා.

• ගායිකාවන් වෙලා හිටිය දමයන්තිගේ ජීවිතේ ඒ.ඩී. රංජන් කුමාර නම් මාධ්‍යවේදියාගේ මුණගැසීමත් එක්ක ජීවිතය වෙනස් වුණා නේද...?
ඔව්... ඒ වෙද්දී ඔහු සරසවි පත්තරේ මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කළා. අපි මුණගැසුණා. ඒ වෙනකොට මම සරල ගී පරීක්ෂණයෙන් A ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් විදිහට තේරිලා සරල ගීත ගායනා කරමිනුයි හිටියේ. ඔය කාලේදීම අපේ විවාහය සිද්ධ වුණා. විවාහයත් සමඟ මම ඒ සියලු කලා කටයුතුවලින් ඈත් වුණා. පුතාගේ වැඩත් එක්ක අපි දෙන්නම කාර්යබහුල වුණා. ඔය කාලේදී සහාය නිවේදිකාවන් සඳහා ඉල්ලුම් කැඳවලායි තිබුණේ. නමුත් පුතාගේ වැඩයි, ගෙදර වැඩයි නිසා මම ඒකට ඉදිරිපත් වුණේ නැහැ. රංජිත් වුණත් මම රුකියාවක් කරනවාට කැමති වුණෙ නැහැ. රංජිත් හරිම කාර්යබහුල කෙනෙක්. ඒ නිසා හැමදේම හොඳ අවබෝධයක් ඇතිව කලා කටයුතුවලින් ඈත්වෙන්න මම තීරණය කළා. අම්මා කෙනෙක් නම් අම්මා කෙනෙක්ගේ වගකීම් හරියට කරන්න ඕනේ. නැත්නම් කවදාවත් එයාට තමන්ගේ  හෘර්දසාක්ෂියෙන් ගැලවෙන්න බෑ. බිරිඳක් නම් යුතුකම් කරන්න ඕනේ. ඇත්තටම ඒ පරිත්‍යාගය පවුලේ අනාගතය වෙනුවෙන් මම කළේ හරිම කැමැත්තෙන්.

• අදටත් දමයන්ති ජයසූරිය කියන්නේ එළිමහන් ප්‍රසංග වේදිකාවට වුණත් ගොඩනොවදින නිහඬ කලාකාරියෙක්...?
ඔව්... ඒක ඇත්ත... මම එළිමහන් ප්‍රසංග වේදිකාවට යන්න හරිම අකමැතියි. රෑ තිස්සේ ඒවාට යන්න මට කවුරුත් නැහැ. රංජිත් මාව එක්කගෙන සංදර්ශන වේදිකාවේ පොලිම්වල තියාගෙන ඉන්න කොහොමටවත් කැමති නැහැ.

• කාලයක් නිහඬ වෙලා හිටපු දමයන්ති ආයෙමත් කලාවට එකතු වුණානේ... ඒ දෙවැනි ඇරඹුම වුණේ කොහොමද...?
අපේ නුවන් පුතාව පොඩි කාලේ හේමසිරි සෙල්ලජිපෙරුම බලන්න ආවා. ඒ වෙද්දී “සත්වෙනි දවස චිත්‍රපටය පටන් අරගෙනයි තිබුණේ. ඉතින් ඔවුන් මට ඒ චිත්‍රපටයේ ගීතයක් කරන්න ආරාධනා කළා. “ඒ කුමාරයෙක් ආවා සින්දුව මාලනී ෆොන්සේකාට ගායනා කරන්න. කේමදාස මාස්ටර්ගේ සංගීත අධ්‍යක්ෂණයක්. ඒකෙන් තමයි මම ආයෙමත් ගායනයට එකතු වුණේ. නිහඬ වෙලා හිටපු මට එයින් පස්සේ දිගින් දිගටම චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට අවස්ථාව ලැබුණා. “ආරාධනා “බිනරි සහ සුදු බණ්ඩා, “ආදර හසුන, “සප්තකන්‍යා වැනි චිත්‍රපට තිහකටත් අධික ප්‍රමාණයක මම පසුබිම් ගායිකාවක් විදිහට වැඩකළා. ඊට පස්සේ “හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යයේ ගීතයක් ගායනා කරන්න හර්බට් රංජිත් පීරිස්ගේ ආරාධනාවෙන් මට අවස්ථාව ලැබුණා. කිසිම දේකට බලෙන් නොගිය මට බොහෝ අවස්ථා උදාවුණා. ඇත්තටම ඒ ගැන සතුටුයි. මම හැමදේකින්ම සෑහීමකට පත්වෙන කෙනෙක්.

• “සිත නිවන කතා සංගීත සුයාමය සහ සංගීත තැටිය දොරට වඩිනවා. මේක ටිකක් විශේෂයි නේද...?
ඔව්... අපි බෞද්ධ ගීත ගායනා කරනවා ගොඩාක් අඩුයි. ඒ නිසා මේ කලබලකාරී මිනිසුන්ගේ හිත් වෙනුවෙන් යමක් කළයුතුව කියලා මට හිතුණා. මේ සංගීත තැටියේ බෞද්ධ ගීත දොළහක් අඩංගුව තිබෙනවා. රඹුක්කන සිද්ධාර්ථ හිමි, තිරිකුණාමලේ ආනන්ද මහ හිමි, මඩපාත ධම්මසාර හිමි, වෙන්නප්පුවේ චන්දානන්ද හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර, ජයම්පති අල්ගම මෙයට ගීත රචනා කරලා තියෙනවා. මෙහි සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය ලයනල් අල්ගම, ආචාර්ය නන්දා මාලනී, එච්.එම්. ජයවර්ධන, එම්.වයි. චූලසිංහ. අජිත් දර්ශන ජයවීර, දර්ශන වික්‍රමතුංග, ඉන්ද්‍රජිත් පරිනාතය. මෙම සංගීත තැටිය දොරට වැඩුම අප්‍රේල් මස 23 වැනිදා සවස 5.00ට හැව්ලොක් පාරේ සම්බුද්ධ මාවතේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. මේ වෙනුවෙන් මට බොහෝ දෙනෙක් උදවු කළා. අවුරුදු දොළහකට පස්සේ තමයි මේ සංගීත තැටිය කළේ. මේ වෙනුවෙන් සියඹලාපේ සිතුම් පියස බෞද්ධ මධ්‍යස්ථානයේ කළ්‍යාණ මිතුරු මිතුරියන් මට උදවු කළා.

• ඔබ නිහඬ කලාකාරියක්. ඔබේ අද දවස ගෙවෙන්නෙ කොහොමද...?
දැන් මම මේ ක්ෂේත්‍රයට ඇවිත් වසර පනහක් වෙනවා. ඇත්තටම අද මට මේ කරපු දේ ඇති කියලා තමයි හිතෙන්නෙ. ඒ නිසා මම දැන් සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් ගැන හිතන්න තීරණය කළා. ජීවිතේ හැම දවසකම මේ බැඳීම් තියාගන්න බෑ. ඒ නිසා මම දැන් භාවනා පැත්තට යොමුවෙන්න තීරණය කළා. ජීවිතේ අපිට දීලා තියෙන්නෙ බොහොම පොඩි කාලයක්. මම හිතනවා මම මේ ආත්මේදී කළ යුතු දේ කරලා හමාරයි කියලා. මේ සංසාරේ හරිම දිග සංසාරයක්. ඒ සංසාරයෙන් ගැලවෙන්න යමක් කළ යුතු වෙනවා. මම බොහෝ මෙහෙණින් වහන්සේලා සහ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. උන්වහන්සේලාගෙන් ධර්මය පිළිබඳව ඉගෙන ගන්නවා. අද වෙද්දී ධර්මය පිළිබඳව අවබෝධයක් මට තියෙනවා.

මම කාත් එක්කවත් කවදාවත් තරග කළේ නෑ. මම හැමවෙලේම මට ලැබුණු දෙයින් සෑහීමට පත්වුණා. මම මගේ යුතුකම් පුළුවන් උපරිමයෙන් කළා. බැඳීම් අඩුකරගන්න, ආසාවල් අඩුකරගන්න මම උත්සාහ කරනවා. මට ලොකු ශල්‍යකර්මයකට මුහුණදෙන්න වුණා. ඒ වෙද්දී මට දිග හරි ලස්සන කොණ්ඩයක් තිබ්බා. ශල්‍යකර්මය කරන්න සූදානම් වෙද්දී මාව ට්‍රොලියේ තියාගෙන හෙදි සොහොයුරිය මගේ ළඟට පහත්වෙලා අපිට ඔයාගේ කොණ්ඩේ කපන්න වෙනවා කියලා කිව්වා. මම ඒ වෙලාවේ කිව්වෙත් කමක් නෑ කියලා. මගේ කොණ්ඩේ කපලා මගේ අතට දෙද්දිත් මට හිතුණේ ජීවිතේ කියන්නෙ මේක නේද කියලයි. කිසිම දෙයක් අපිට අයිති නැහැ. ක්ෂණිකයෙන් හැමදේම නැතිවෙනවා. ඇත්තටම මේ හැමදේම බොහොම තාවකාලිකයි.

► Text – Dishani  /   Pic - Sumudu

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30