2018 මාර්තු 10 වන සෙනසුරාදා

ඒ මචං....මෙන්න සත් සමුදුරේ කොල්ලා ඒයි.. මූ පෙන්දෙක්නේ බං....

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

මේ දවස්ලවල මොනවද කරන අලුත් නිර්මාණ එහෙම?
ඇත්තම කිව්වොත් එහෙම අලුත් නිර්මාණ කිසිම දෙයක් බාරගත්තේ නැහැ. නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. හැබැයි දැන් මම ඒ සියලු වැඩකටයුතුවලින් අයින් වෙලා ඉන්නේ. නිර්මාණවලට දායක වෙලා ඒවාට මහන්සි වෙන්න තරම් හොඳ සුවයක් දැන් මට නැහැ. මහන්සි වෙන්න අමාරුයි. මම අන්තිමට රඟපෑවේ බන්ධන චිත්‍රපටයේ. ඒ චිත්‍රපටයත් පහුගිය කාලේදී තිරගත වුණා.

දැන් ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද?
දැන් මගේ වැඩිපුරම දවස ගෙවෙන්නේ ගෙදර ඉන්නම තමයි. ගෙදර ඉඳිද්දී මම පොත්පත් කියවනවා. පත්තර බලනවා. තව මගේ පොඩි මුණපුරෙකුත් ගෙදර ඉන්නවා. ඉතින් දැන් වැඩිපුරම දවස ගෙවෙන්නේ ඒ පුංචි පුතාත් එක්ක තමයි. එයත් එක්ක දවස ගෙවෙද්දී දැන් තේරෙන්නේ නැහැ.

ඔබේ ජීවිතේ ආරම්භ වෙන්නේ කුරුණෑගල ප්‍රදේශයෙන්... එහෙම නේද?
ඔව්...... කුරුණෑගල නගරයේ ඉඳන් තවත් හැතැප්ම දහයක් විතර ඈතකට වෙන්න තිබුණ පුංචි පිටිසර ගමකින් තමයි මගේ ජීවිතේ ආරම්භ වෙන්නේ. මම ඉපදුණේ 1932 ජනවාරි මාසේදී. ඒ කාලේදී ඒ ප්‍රදේශය බොහෝම නොදියුණු අතිශය දුෂ්කර ගමක්. ගමේ මිනිස්සු ජීවත් වෙන්න කළේ කෘෂිකර්මය විතරමයි. වී ගොවිතැනින් තමයි ඒ කාලේ අපි ජීවත් වුණේ. කුඹුරු වගාව, පොල්, බෝග ජාති වගා කරලා ඒ කාලේ මිනිස්සු ජීවත් වුණා. මගේ තාත්තා හොඳ ගොවියෙක්. මගේ අම්මා හොඳ ගෙවිලියක්. මම ගොවි පවුලක පුතෙක්.

ඔබත් සමඟ තවත් පවුලේ අට දෙනෙක් හිටියා නේද?
ඔව්... අද වෙද්දී ජීවත් වෙලා ඉන්නේ තුන් දෙනයි. අනිත් හැමෝම කාලෙත් එක්ක ජීවිතෙන් සමුගත්තා. මගේ අක්කලා දෙන්නම ගුරුවරියන්. මගේ ලොකු අයියා ගුරුවරයෙක් වගේම පූජකවරයෙක්. ඊළඟ අයියා විදුහල්පතිවරයෙක්. මල්ලිත් ගුරුවරයෙක්. අපි හැමෝම ගුරුවරු තමයි.

දැන් රඟපාන්න තරම් හයියක් නෑ. දවසම ගෙවන්නේ මුණුපුරත් එක්ක

ගොවි පරිසරයක ජීවත් වුණු ළමා කාලය හරි අපූරු ඇති නේද?
අම්මෝ ඔව්... මම ඉගෙනගත්තේ ගමේ තිබුණ පොඩි සිංහල ඉස්කෝලෙක. ඒකේ ගුරුවරු අට දෙනයි හිටියේ. ළමයි හිටියෙත් දෙසීයක් විතර තමයි. සමහර දවස්වල ළමයි ඉස්කෝලේ ආවා. සමහර කාලවලදී ආවේ නෑ. ඉස්කෝලේ යන කාලේ හරි අපූරුයි තමයි. ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත් ටික පැත්තක තියලා අපි ඇති තරම් සෙල්ලම් කළා. හැංගිමුත්තම් සෙල්ලමට ඉස්සර අපි ආසයි. හැංගෙන්න ඕන තරම් තැන් ඒ කාලේ තිබුණා. ගොයම් කැපුවහම ඉපනැල්ලේ අපි ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ අපි කිව්වේ බැට් ගහනවා කියලයි. ඉතින් පිට ලෑලිවලින් පිති හදාගෙන රබර්වලින් බෝල හදාගෙන ඉපනැල්ලේ රෑ වෙනකල් අපි සෙල්ලම් කළා.

අද ඉන්න දරුවන්ට කොහෙද එහෙම ළමා කාලයක් නේද?
ඒකනම් ඇත්ත. අද ඉන්න දරුවන්ගේ අතේම ෆෝන්, ගේම්. ඒ කාලේ ඒ මොනවත් තිබුණේ නැහැ. ඒ කාලේ දුව පැනපු ගස් නැගපු ජීවිතයක් තමයි තිබුණේ. ඒ කාලේ හරි සුන්දරයි. ගස්වල අපිට බඩගින්නට ඇති තරම් පළතුරු තිබුණා. තිබහට ඇල දොලවල ඇති තරම් වතුර තිබුණා. ඒ කාලේ ටී.වී, රේඩියෝ තිබුණේ නැහැ. අපිට ඇසුණෙම පැල් කවි විතරමයි.

කොහොමද ඒ පැල් කවිවල මතකයන්?
හරිම අපූරුයි... හරිම අපූරුයි. ඉස්සර අපිට රෑ වෙද්දී ඈතින් හැම තැනින්ම කවි කියනවා ඇහෙනවා. මගේ තාත්තා හොඳ උඩරට නැට්ටුවෙක්. ඒ වගේම බෙර වාදකයෙක්. ගමේ තැනින් තැන උඩරට නැටුම් කලාව තිබුණා. සොකරි නාට්‍ය්‍ය ඒ කාලේ අපේ ගමේ හරි ජනප්‍රියයි. අලුත් අවුරුදු කාලෙට අපේ ගමේ සොකරි නාට්‍යයක් කරනවාමයි. ඒ කාලේ ටීටර් කියලා නාට්‍ය කලාවක් තිබුණා. ඒ කාලෙට දිග මඩුවක් හදනවා. පුවක් ගස් කලපා පොල් කොටන් දාලා පස් පුරෝලා එළිමහන් තැනක ස්ටේජ් එකක් හදනවා. ඒ නාට්‍යය බලන්න ගමේ හැමෝම එතනට එකතු වෙනවා. ඒ කාලේ අපේ ගමේ හිටපු ගුණයා කියලා තබ්ලා වාදකයා හරි අපූරුවට ඒ ටීටරයට සංගීතය සැපයුවා. මුල් කාලෙදී අපි ස්ටේජ් එක ඉස්සරහ ඉඳන් කටවල් ඇරගෙන ටීටර් බැලුවා. විසිල් ගැහුවා. අත්පුඩි ගැහුවා. ටික ටික ලොකු වෙද්දී අපිටත් ඒ ටීටරයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. කොහොමහරි ඒ ටීටර රෑ නවය වෙද්දී පටන් අරගෙන පහුවදා පාන්දර වෙනකල් තියෙනවා. පැදුරු ගෙනල්ලා ඒවාවල වාඩිවෙලා තමයි අපි බලන්නේ. පන්සලේ තිබුණ පිංකම්වලටත් අපි සහභාගී වුණා. නැටුම් තරග තිබුණා. ඒවා තමයි ඒ කාලේ අපේ ජීවිතේ වෙලා තිබුණේ.

ඔබේ මුල්ම රැකියාව ගුරු වෘත්තියද?
ඔව්... ඔව්... ඒ කාලේ ඉස්කෝලේ අවසන් විභාගයට පස්සේ පාරම්භය විභාගය තිබුණා. ඒ පාරම්භය විභාගයට අපි ගමේ ඉඳන් ටවුමට එන්න ඕනේ. ඒ විභාගයෙන් මම 1948 අවුරුද්දේ සමත් වුණා. ඉතින් ඊළඟ අරමුණු වුණේ පුහුණු ගුරු සේවයයි. ඒ කාලේ පේරාදෙණිය ගුරු පුහුණු විද්‍යාලයක් තිබුණා. 1953 වෙද්දී මම ඕකට ඇතුළත් වුණා. අවුරුදු දෙකක් ඉගෙනගෙන ඒ විද්‍යාලයේම ගුරුවරයෙක් විදහට මට පත්වීමකුත් ලැබුණා. ඒ කාලේ නුවර සංගීත විද්‍යාලයකුත් තිබුණා. ඒකටත් මම බැඳුණා. මම වයලීන් වාදනය ඉගෙන ගත්තා. මේ ඉගෙනගැනීමෙන් සංගීතය ගැන මගේ ආසාව තවත් වැඩි වුණා. ඒ නිසා මම සංගීතය හදාරන්න කොළඹට ආවා. එහෙම ඉදිද්දී බොරැල්ල වෙස්ලි විද්‍යාලයට මට ගුරු පත්වීමක් ලැබුණා.

මූදු පුත්තු නාට්‍යය සිරිල් වික්‍රමගේ නම් නිර්මාණවේදියාව වෙනස් කරපු නිර්මාණයක් නේද?
ඔව්... ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යය 1960 දී තමයි නිර්මාණය වුණේ. ඊට පස්සේ ඔහුගේ නාට්‍යවල, හෙන්රි ජයසේනයන්ගේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයන් දක්වා නාට්‍යය කිහිපයකටම මම සම්බන්ධ වුණා. මූදු පුත්තු නාට්‍යය කරන කාලෙදී හර්බට් එම්. සෙනවිරත්නයන්ගේ හඳපානේ චිත්‍රපටයට මාව තෝරගත්තා. ඒ අනුව ඒ නිර්මාණයෙන් 1963දී මම සිනමාවටත් සම්බන්ධ වුණා.

සත් සමුදුර ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා නේද?
ඇත්තටම ඔව්.. මූදු පුත්තු නාට්‍යය චිත්‍රපටයක් කරමු කියලා ඒ කාලේ අපි කතා වෙවියි හිටියේ. මමත් මහගම සේකරත්, ගුණසේන ගලප්පත්තිත් ඒ කතාබහේ හිටියා. කොහොමහරි ‍මේ කාලෙදී පබාවතී නාට්‍ය්‍ය මගේ තිරගත වෙනවා. ඒ දැකපු Dr. ලිනුස් දිසානායක තමයි මාව මේ නිර්මාණයට තෝරගත්තේ. ගලප්පත්තියි, සේකරයි දෙන්නම මූදු පුත්තු නාට්‍යය චිත්‍රපටයක් කරන්න උත්සාහ කළා. සේකරගේ ගෙදරදීම තමයි මුලින්ම පිටපත ලියන්න පටන් ගත්තේ. කොහොමහරි නොකයෙකුත් හේතූන් මත ඒක ටික ටික පස්සට ගියා. අවසානයේදී සත් සමුදුර කියලා මේක පිටපතක් වුණා.

සත් සමුදුර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වුණේ ඔබයි?
ඔව්.. ඒක ඇත්ත. ඒ කාලේ සිනමාවේ ප්‍රධාන චරිතය වුණේ කොල්ලනේ. හැබැයි එහෙම ඒ කාලේ සිනමාවේ තිබුණ කොලු ලක්ෂණ මගේ තිබුණේ නැහැ. ඒ කාලේ හිටියේ හොඳට උසට මහතට හැඩිදැඩි ඉලන්දාරියෝ. හැබැයි ඒ ලක්ෂණ මට තිබුණේ නැහැ. මට මතකයි මම බොරැල්ලේ ඉඳන් නුගේගොඩ යන්න බස් හෝල්ට් එකේ ඉඳිද්දී කොල්ලෝ දෙන්නෙක් මගේ ළඟින් යද්දී එක පිරිමි ළමයෙක් මගේ දිහා හොඳට බැලුවා. ඒ මචං.. මෙන්න සත් සමුදුරේ කොල්ලා කියලා අනිත් පිරිමි ළමයට පෙන්නුවා. ඒයි.. මූ පෙන්දෙක්නේ බං.. කියලා අනිත් කොල්ලා කිව්වා. ඒ කාලේ ඒ හැඩිදැඩි පෙනුම මම ගාව තිබුණේ නැහැ. හැබැයි සත් සමුදුර චිත්‍රපටය විචාර සම්මාන රැසක් ලැබුවා.

එතනින් නොනැවතුණු සිරිල් වික්‍රමගේ නම් නිර්මාණවේදියා බොහෝ චිත්‍රපටවල රඟපෑවාද? 
ඔව්... මම හිතන්නේ චිත්‍රපට හැට ගණනාවක රඟපෑවා. බඹරු ඇවිත්, අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, සුද්දිලාගේ කතාව, කරුමක්කාරයෝ, සෙයිලම වගේම බොහෝ චිත්‍රපට ගණනාවකම රඟපෑවා.
එතනින් නොනැවතුණු ඔබ පුංචි තිරයටත් ගොඩවැදුණා....

ඒක ඇත්ත. මම මුලින්ම පුංචි තිරයේ රඟපෑවේ ළාහිරු දහසක් ටෙලි නාට්‍යයේ. ඒක තමයි පුංචි තිරය කරපු දෙවැනි ටෙලිනාට්‍ය වුණේ. ඊට පස්සේ සසර සයුර, පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වළව්ව, නුඹ නාඩන් සෙනෙහෙලතා, ගව්වෙන් ගව්ව වගේ නිර්මාණ කිහිපයකටම දායක වුණා.

ඔබේ දරුවන් ද කුඩා කාලයේදී කලාවට සම්බන්ධ වුණා. අද ඔවුන් කලාවෙන් ඈත් වෙලා නේද?
අපිට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. හැබැයි ඒ අය වැඩියෙන් කලාවට එකතු වුණේ නැහැ. පුතා රට ගිහින් දැන් ඇවිත් ඉන්නේ. ඒ කවුරුවත් එහෙම කලාවට එකතු වෙන්න කැමති වුණේ නැහැ. මාත් බල කළේ නැහැ. මම දැන් ඒ අයගේ දරුවන්ගේ සතුට දිහා බලාගෙන සුවසේ ජීවිතේ ගත කරනවා. කලා නිර්මාණවලට ආරාධනා ලැබුණට දැන් මට ඒවාට යන්න එදා තරම් හයියක් නැහැ. ඒ නිසා මම විවේකීව ජීවිතේ ගත කරනවා.


► Text – Dishani /   Pic - Sumudu

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00