2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ඉන්නෙ කුලී ගෙදරක සල්ලි ගාෙඩක් නෑ.....

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

ඒත් අපි දෙන්නට හැමදාම වැලන්ටයින්

සුමනා - රෝයි කියන අපූරු චරිත දෙක මුලින්ම මුණගැහුණේ කොයි කාලේදී ද...?
අපි දෙන්නා මුලින්ම මුණගැහුණේ 1967 – 68 වගේ කාලවලදී. ඒ “හතර පෙරළිය කියන චිත්‍රපටය කරන කාලේදී. ඒ චිත්‍රපටයේ දී තමයි මට සුමනාව මුලින්ම දැක්කේ. ඒ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒක තමයි ලංකාවේ නිෂ්පාදනය කරපු පළවෙනි ඔපෙරාව.

එතකොට සුමනා බොහෝම ළාබාල වයසේ පසුවෙන්න ඇති නේද...?
ඔව්... ඔව්... එතකොට මෙයා ඉස්කෝලේ යන කාලේදී වගේ. ඒ චිත්‍රපටයේ හුඟාක් පුහුණුවීම් තිබුණා. ඒ පුහුණුවීම් තිබුණේ කොළඹ. ඒ කාලේ මම තරුණ නළුවෙක් හැටියට හරිම ජනප්‍රියයි. මාව කෙල්ලෝ බලන්න ආස කරපු කාලයක් තමයි ඒ. ඒ ඔපෙරාවේ ගැහැනු ළමයි විසිපහක් තිහක් වගේ ගණනක් ඉන්න ඇති. ඒ අතරේ තමයි සුමනාත් හිටියේ. ඉතින් මම එතනට ගියාම අර කෙල්ලෝ ටිකම මම ළඟට ඇවිත් මාව වට කරගත්තා. හැබැයි මෙයා විතරක් ළඟට ආවේ නෑ. මාව ගණන් ගත්තෙත් නෑ. හැබැයි හිත ඇතුළෙන් මම ගැන ආසාවක් තියෙන්නත් ඇති. ඒ ගණන් නොගැන සිටීම මට ටිකක් විශේෂ වුණා.

ඇත්ත කියන්න ඇයි එහෙම ගණන් ගත්තේ නැත්තේ...?
සුමනා :- ඉස්සෙල්ලාම මම රෝයිව දැක්කේ “සැනසිලි සුවය කියන චිත්‍රපටයේ දී. ඒ කාලේ මම ඉස්කෝලේ යනවා. අම්මලාත් එක්ක ගිහින් තමයි මම ඒ චිත්‍රපටය බැලුවේ. ඒ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, ජීවරානි වගේ දැවැන්ත සිනමාවේදීන් කීපදෙනෙක් එක්ක හැඩකාර නළුවෙකුත් රඟපෑවා. ඒ තමයි රෝයි. හරි ආකර්ෂණීයයි. රඟපෑම හොඳයි. ඉතින් මම ඒ චිත්‍රපටය ආසාවෙන් බැලුවා. ඒ චිත්‍රපටයෙන් පස්සේ තමයි මම මේ “හතර පෙරළිය චිත්‍රපටය දැක්කේ. ඉතින් මම පුදුමයකට පත්වුණාට මම කාගේවත් පස්සේ යන්නේ නෑ. ඈත තියාම මම මෙයා දිහා බලද්දී මෙයා මම දිහා බැලුවා මට අද වගේ මතකයි. ඒ බැල්ම මට විශේෂ වුණා. මෙයා එක්ක රඟපාපු නිළියත් ඇවිත් නැති නිසා මෙයා එක්ක චරිතය පුහුණුවීම් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒකෙන් තමයි අපිට කතාබහ කරලා හඳුනාගන්න අවස්ථාව ලැබුණේ. හැබැයි ඉතින් එහෙමත් වැඩිය කතා කළෙත් නෑ... ඒවාත් මෙයාගේ ලකුණු වැඩි වෙන්න තවත් හේතුවක් වුණා.

ඔය දැනහැඳුනුම්කම ප්‍රේමයක් වුණේ කොයි කාලේදී ද...?
ඒකටත් හරි අපූරු සිද්ධියක් මුල් වුණා. පෙබරවාරි 21 වෙනිදා මගේ උපන් දිනේ. එදා මම ඔක්කොටම කේක් ගෙනත් දුන්නා. මම හැමෝටම කේක් ඇල්ලුවා. හැමෝම ගත්තා. මෙයාටත් අල්ලද්දී “මට දෙන්න... මම ලන්ච්වලින් පස්සේ කන්නම්... කොහෙන් හරි අරන් තියන්න... කියලා කිව්වා. ඉතින් මාත් හරිම පරිස්සමට කේක් කෑල්ලක් ඔතලා මෙයා ලන්ච් ගත්තාට පස්සේ ගිහින් මෙයාට දුන්නා. අනිත් අයට වඩා ඒකත් මෙයාට විශේෂ වුණා.

මේ ගැන රෝයි කිව්වේ මෙන්න මේවගේ අදහසක්...?
ඒ දවස්වල මගේ හොඳම යාළුවෙක් තමයි ස්ටැන්ලි පෙරේරා. ඉතින් මේ චිත්‍රපටයේ ස්ටැන්ලිත් රඟපෑවා. සුමනා කේක් දුන්නාට පස්සේ ස්ටැන්ලි මගෙන් ඇහුවා “දැන් බර්ත් ඩේ එකට මොනවාද දෙන්නේ කියලා. ඒ වෙලාවේ මම ස්ටැන්ලිට කිව්වා “මොකද්ද ඉතින් බදාගෙන කිස් එකක් දෙනවා... කියලා. හැබැයි ඒකට සුමනාට තරහ ගිහින් තිබුණා. තරහටත් වඩා මෙයාට කට්ටිය විහිළු කරපු නිසා එදා ගොඩාක් ලජ්ජා හිතිලා. හැබැයි ඉතින් මම කිස් එකක් දුන්නේ නෑ. අපි යාළුවෙලා අවුරුදු හයක් විතර යනතුරු මේ ගැන කවුරුවත් දැනගෙන හිටියේ නෑ.

කොහොමද ආදර යෝජනාව ගෙනාවේ...?
දැන් කාලේ වගේ හිතුණා කිව්වා, යාළු වුණා, කසාද බැන්දා මාස ගාණකින් දික්කසාද වුණා වගේ කාලයක් නෙමෙයි එදා තිබුණේ. ඒ නිසා මම මුලින්ම සුමනාට හොඳ යාළුවෙක් වුණා. ඒ ඇය හොඳම මිතුරිය වීමෙන්. මෙයා ගැන සම්පූර්ණ විස්තර මට දැනගන්න පුළුවන් වුණා. මෙයා හරි වසයි. හැබැයි ඒ වස නරක වසක් නෙමේ. මෙයා අනිත් අය වැඩිය ගණන් ගන්නේ නෑ. මෙයා එක්ක හැම තැනකම මෙයාගේ අම්මාත් ආවා. අම්මා නැත්නම් සුමනාගේ ලොකු අක්කා මෙයාගේ තනි නොතනියට ආවා. මෙයා ගැන ආදරයක් කොච්චර තිබ්බත් මම මෙයා ගැන මෙයාට හො‍ෙරන් හොයලා බැලුවා. ඒ සෙවිල්ලෙන් සුමනා මට හොඳට ගැලපෙනවා කියලා මට තේරුණා. ඊට පස්සේ ඒ මිතුරිය මගේ ආදරවන්තිය වුණා. ඒ කිසිම දේකට මමවත් සුමනාවත් ඉක්මන් වුණේ නෑ. මම අධෛර්යමත් වෙන වෙලාවල් ජීවිතේ ගොඩාක් වැඩියි. ඒ හැමවෙලේම මාව ධෛර්යමත් කළේ සුමනායි. එදා ඉඳන් අද දක්වා අපි දෙන්නා අතරේ කවදාවත් හොර රහස්, හොර වැඩ කිසිම දෙයක් නෑ. අපි අපිව සැක කරන්නේ නෑ. කාලයක් ගියාට පස්සේ ඒ පෙම්වතිය 1975 අවුරුද්දේ මගේ බිරිඳ වුණා.

ඒකත් හරි අපූරු අවස්ථාවකදී නේද...?
සුමනා :- ඔව්... ඒ “සූකිරි කෙල්ල චිත්‍රපටය රූගත කිරීම් කරන දවස්වලදී. ඒ ජේ. දෙවානන්දගේ. ඒ කාලේ “සිලෝන් ස්ටූඩියෝ එකේ සිතාරය වාදනය කරමින් ගීතයක් කරන්න තිබුණා. මම ඒ චිත්‍රපටයේ චරිත දෙකක් කළා. එදා මම චරිතයට උඩරට සාරිය ඇඳලා මාල හත දාලා තමයි සිතාර් එක වාදනය කළේ. එදා චරිතයට රෝයි ඇඳලා හිටියේ ඉන්දියන් විදිහට ක්‍රීම් පාට ඇඳුමක්. ෆිල්ම් එකේ ලන්ච් බ්‍රේක් එකේදී රෝයි මම ළඟට ඇවිත් “පොඩි ගමනක් තියනවා යමු... කියලා කිව්වා. ඉතින් අපි දෙන්නා මිස්ටර් දේව් එක්ක වාහනේ ගිහින් තැනකින් බැස්සා. ඇතුළට යන්න කලින් රෝයි මාව පැත්තකට කතා කරලා “අපි බඳිමු ද කියලා ඇහුවා. මටත් රෝයිට අකමැති වෙන්න කාරණවක් තිබුණේ නෑ. 

ඒනිසා මාත් “හා බඳිමු කිව්වා. එදා අපි කසාද බැන්දා. එදා අපි රුපියල් විසිපහකට විවාහ වුණා. කොහොමටත් කලින් ඉඳන්ම අපේ තාත්තා රෝයිට අකමැති වුණා. ඒකට එකම හේතුව වුණේ අපි බෞද්ධ. රෝයි කතෝලික. විවාහ වුණාට පස්සේ අපි දෙන්නා ටික දවසකින් ගෙවල්වලට කිව්වා. තාත්තා පසු කාලයේදී අපිට කැමැත්ත දුන්නා. ඊට පස්සේ අපේ ගෙදරින් පොඩි උත්සවයක් ගත්තා. අද කාලේ මඟුල් ගේකට කොයිතරම් නම් වියදම් කරනවා ද? හැබැයි ඒ වගේ අපි අපේ මඟුලට වියදම් කළේම නෑ. හැබැයි එදා තිබුණු ආදරය අපි දෙන්නාගෙන් අඩුවෙලත් නෑ.

විවාහ වෙලා සුමනා - රෝයි පදිංචි වුණේ කොහේද...?
විවාහ වෙලා ටික කාලයක් මම අපේ අම්මලා එක්ක හිටියා. ඊට පස්සේ අපි මොරටුවේ ගෙයක් කුලියට අරගෙන ගියා. අපේ අක්කත් අපිත් එක්ක ගියා. ඊට පස්සේ අපි ගෙයක් ගත්තා. ටික කාලයකින් අපිට ප්‍රශ්න වගයක් ආවා. අපි දෙන්නා අතරේ ප්‍රශ්න නෙමේ. බාහිර ප්‍රශ්න. ඒනිසා අපි ඒ ගේ වික්කා. එතනින් පස්සේ අපි දෙන්නාගේ ජීවිතේ ගෙවුණේ කුලී ගෙවල්වලයි. අදටත් අපි දෙන්නා ජීවත් වෙන්නේ කුලී ගෙයකයි.

කාලයක් ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කාර්යබහුල වුණා නේද...?
ඔව්... මම මුලින්ම මොරටුවේ රෑපලාවන්‍යාගාරයක් දැම්මා. ඊට පස්සේ තව සැලූන් දෙකක් එක්ක රූපලාවන්‍යාගාර තුනක් කළා. ඒ දවස්වල කලා කටයුතු වගේම රූපලාවන්‍යාගාර කටයුතුත් එක්ක මම ගොඩාක් කාර්යබහුල වුණා. ඔය අතරේදී 2014දී මම හොඳටෝම අසනීප වුණා. විසබීජයක් ශරීර ගතවීමෙන් මම දැඩිසත්කාර ඒකකයේ හිටියා. සමහරැ හිතුවේ මම මැරුණා කියලලු. මට සිහිකල්පනාවක් තිබුණේ නෑ. ඒ කාලේදී සැලෝන්වල හිටපු ළමයා හොරකම් කරන්න පටන් ගත්තා. සැලෝන් විනාශ කරන්න පටන් ගත්තා. මගේ අසනීපයත් එක්ක රෝයිට ඒ දේවල් හොයලා බලන්නවත් මානසික තත්ත්වයක් තිබුණේ නෑ. ඒ හැමදෙයක්ම අමතක කරලා රෝයි මේ රටේ හැම පන්සලකටම පල්ලියකටම ගිහින් මගේ ජීවිතේ ඉල්ලුවා. ඒ කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නෑ. මාස ගාණකට පස්සේ ඉස්පිරිතාලෙන් ගෙදර එද්දී මට ඉතිරිවෙලා තිබුණේ රෝයි විතරයි. මගේ සැලෝන් හැම එකක්ම විනාශ වෙලා තිබුණා. කරන්න දෙයක් නැති තැන ඒ හැම සැලෝන් එකක්ම මම වැහුවා.

අද ගෙදර විවේක වෙලාවකදී ඔබලා මොනවගේ දේවල් ද කරන්නේ...?
රෝයි කතා ලියනවා. එයාට ඒ වෙනුවෙන් වෙනම පොඩි කාමරයක් තියනවා. ඒකෙදී එයා ලියද්දී මම යන්නේ නෑ. නිදහසේ එයා ලියනවා. තේ එක මම ගිහින් ළඟටම දෙනවා. උදේට, දවල්ට, රෑට අපි කෑම ගන්නේ එකටමයි. ඒ වෙලාවට අපි බොහෝ දේවල් කතාබහ කරනවා. කරපු ෆිල්ම්ස් ගැන කතා කරනවා. අපි දෙන්නා එකතුවෙලා ටී.වී. බලනවා. ෆිල්ම්ස් බලනවා. කාලය ගෙවෙනවා... ඒ හැම කාලයකදීම අපි දෙන්නා ඉන්නේ ගොඩාක් වෙලාවට එකටමයි.

අමෙරිකාවේදී ඔබ දෙදෙනා වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වුවා නේද...?
ඔව්... ඒක ඇත්ත. අමෙරිකාවේදී අපි දෙන්නා වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වූවා. ඒ අය දැනගෙන හිටියා ලංකාවේ අපි වෙනුවෙන් උපහාර උළෙලක් තිබ්බේ නෑ කියලා. රෝයිගේ ගෝලයෙක් වුණ කීත් රංගගේ මූලිකත්වයෙන් අපි දෙන්නාව එහාට ගෙන්නාගෙන අපි හිතුවේවත් නැති අපූරු උපහාර උළෙලක් පැවැත්වූවා. ඒ අය අපිට එහේ සිංහල ෆිල්ම් එකක් කරන්න ආරාධනා කළා. ඊට පස්සේ අපි “සිහින ලොවක් සොයා* කියන චිත්‍රපටය කළා. ඒ වගේම “ටොම් පචයෝ කියන චිත්‍රපටයත් අපි අමෙරිකාවේ කළේ. ඒක දකින්න ලැබෙන්නේ කවද්ද කියලානම් දන්නේ නැහැ.

තවමත් ඔබ දෙපළ ජීවිතය ගෙවන්නේ කුලී ගෙයක කිව්වා නේද...?
ඔව්... මොනවා කරන්නද...? අපි යට කරපු සල්ලි තවමත් ෆිල්ම්ස්වල. සැලෝන්වලින් කරපු හොරකම් නිසා ඒ හැම දෙයක්ම අපිට නැතිවුණා. අපිට ආදායමක් නැහැ. අපි දෙන්නාට කිසිම ආණ්ඩුවකින් ඉඩමක්වත්, ගෙයක්වත් ලැබුණේ නැහැ. රෝයි අඛණ්ඩව වසර පනස් තුනක් මේ සිනමාවට දායක වුණා. මොනතරම් කම්කටොලු බාධක ආවත් අපි දෙන්නාගේ ආදරය වෙනස් වුණේ නෑ. සල්ලි නැති වුණා කියලා අපි දෙන්නාගෙන් කවුරුවත් වෙන අයව හොයාගෙන ගියේ නෑ. අපි අපිව අගේ කළා. අපි කවදාවත් අපිව සැක කළේ නෑ.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් යමක් කතා කළොත්...?
රෝයි :- කසාද බඳින්න කවදාවත් ඉක්මන් වෙන්න හොඳ නෑ. දෙන්නාට දෙන්නා ගැලපෙයිද කියලා මුලින් හිතන්න ඕනේ. සුමනාව මම ගොඩාක් කාලයක් මිතුරියක් විදිහට ආශ්‍රය කළා. විවාහය කියන බැඳීම ආයෙත් ලිහන්න බැඳෙන්න එපා. විවාහ වුණාට පස්සේ දෙන්නා අතරේ කිසිම අවිශ්වාසයක් සැකයක් තියාගන්න බෑ. සුමනායි මායි අද මේ කුලී ගෙදර මොන අඩුපාඩු ඇතිව ජීවත් වුණත් එදා තිබුණු ආදරේ අදටත් එහෙමමයි. අපේ ආදරේ එදා වගේම පිරිසිදුයි. ඇත්තම කිව්වොත් අපි දෙන්නාට හැමදාම වැලන්ටයින්. අපිට ඒකට දිනයක් ඕනේ නෑ. ජීවිත කාලේම අපි වැලන්ටයින් සමරනවා.     

 

Text – Dishani /  Pic – Sumudu

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00