2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

තාත්තා ඉද්දි අපේ ගෙදර විශ්ව විද්‍යාලයක්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

පසුගිය දිනවල උපුලී පණීභාරත ඇතුළු නර්තන කණ්ඩායම රටවල් කිහිපයක නර්තන ප්‍රසංග ඉදිරිපත් කළා...? කොහොමද ඒ ගමන...?
ඔව්... හැම වසරකදී වගේ නිදහස උත්සවය ළංවෙද්දී අපිට බොහෝ විදෙස් රටවල්වලින් ආරාධනා ලැබෙනවා. ඉතින් මේ වසරේදීත් අපට රටවල් කිහිපයකින්ම ආරාධනා ලැබිලා අපි ඒවාට සහභාගී වුණා. අපේ රටේ සංස්කෘතිය නර්තනයෙන් ඉදිරිපත් කරන්න ඒ ඔස්සේ අපිට පුළුවන්වෙලා තියෙනවා. මෙවරත් අපිට රටවල් හයකින් ආරාධනා ලැබිලා අපි සහභාගී වුණා. මෙවරත් අපේ රටේ උරුමයත්, සංස්කෘතිය අපිට ඒ රටවල්වල නර්තනයෙන් ඉදිරිපත් කළා. මෙවර අපි ජොර්දාන්, කුවේට්, සිංගප්පූරුව, රුසියාව, ඇතුළු රටවල් කිහිපයකට සහභාගී වුණා.

උපුලීගේ උපන් ගම වැඩි ඈතක නෙමෙයි නේද...? කොහොමද පුංචි කාලේ...?
නෑ... මම ඉපදුනේ කොළඹ. මගේ පියාගේ උරුමය තමයි මට තියෙන්නේ. අපේ පවුල්වල පාරම්පරිකව කළේ නර්තන ශිල්පයයි. ඉතින් මගේ තාත්තාගෙන්ම ලැබුණු දායදය තමයි මේ. පුංචි කාලේදීවත් ඉන් එහාට හිතන්න ලැබුණේ නෑ... ඒකෙම තමයි මම ජීවත් වුණේ... ඒ කාලේ අපේ ගෙදර හරියට විශ්වවිද්‍යාලයක් වගෙයි. බොහෝ දෙනා අපේ ගෙදරට එකතු වෙනවා. ඉතින් ඒවා දැකපු, ඒවා අත්විදපු මම පුංචි කාලේ ඉඳන් ගතකළේ හරිම අපූරු වටපිටාවක.
එතනින් එහාට ලෝකයක් ගැන අපිට හිතුණේ නැහැ. බෙර සද්දය, කවි, ගායනා කරපු හැටි වගේම නර්තනයට පාද තියන හැටි පුංචි කාලේ ඉඳන්ම මම අත්වින්දා. ඒ උරුමය ගෙනියන්න තමයි මගේ එකම පරමාර්ථය වුණේත්. වෙන දෙයක් ගැන හිතන්නවත් කාලයක්වත් මට තිබුණේ නැහැ.

උපුලී ඔබ පුංචි කාලේ නිරායාසයෙන්ම නර්තනයට එකතු වුණාද...? එහෙමත් නැත්නම් තාත්තගේ ඉල්ලීමක්ද...?
නෑ... තාත්තා කවදාවත් නර්තනයට මට කතා කළේ නෑ. ඇත්තම කියනවානම් එහෙම කතා කරන්න තරම් කාලයක් තිබුණේ නෑ. නොතේරෙන කාලෙත් ඇහෙන බෙර පදයට මම හුරු වුණා. ඒ දේම තමයි අද අපේ අසේකාටත් උරුම වුණේ. දැන් හැමදාම උදේ දහය වෙද්දී මේ ගේ ඇතුළේ බෙර ගහලා නර්තන අභ්‍යාස කරනවා. ඒ කාලේ මගේ ගෙදරත් එහෙමයි. එතනින් එහාට අපිට හිතන්න දෙයක් තිබුණේ නැහැ. නර්තනයට පුංචි කාලේ ඉඳන්ම ඉබේම මාව ඇදිලා ගියා.

ඔබ පාසැල් කිහිපයකින්ම අධ්‍යාපනය හැදෑරුවා නේද...?
ඔව්... මම මුලින්ම කොළඹ මියුසියස් බාලිකාවෙනුත් ඊටපස්සේ කොළඹ දේවි බාලිකාවෙනුත් අවසානයේ දී කොළඹ විශාකා විද්‍යාලයෙනුත් පාසැල් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා විශේෂවේදී උපාධිය ලබාගත්තා.

පාසල් ජීවිතේදී මොනවගේ චරිතයක් ද...?
ඒකේදීත් හරි ප්‍රසිද්ධ නටන්නම තමයි. දේවී බාලිකාවේදී වැඩිපුරම බිහිවුණේ වෛද්‍යවරුනේ. ඉතින් සමහර ගුරුවරු “ඔයා නටනටාම ඉන්නකෝ කියලා කියපු අවස්ථාත් තියෙනවා. හැබැයි දැන් වෙද්දී ඒ හැම ගුරුවරියක්ම මාව අගේ කරනවා.

උපුලී ඔබට තවත් සහෝදරියන් ඉන්නවා. ඇය හා ඔබ අතර තියෙන බැඳීම කොහොමද...?
මට ඉන්නේ නංගී විතරයි. එයා ජයවන්ති ජයසේකර. එයාට මගේ තාත්තා ඉගෙන ගත්තු ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ගිහින් මනිපූරි නර්තනය ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒක ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රගුණ කරලා නෑ. මගේ පියාගේ කාලෙදී ඒ තරම් යුවතියන් නර්තනයේ යෙදෙන කාලයක් නෙමෙයිනේ. ඉතින් මගේ පියා ඉන්දියාවේ ඒ කලාවත් ඉගෙන ගෙන ඇවිත් මෙරට ඒ කලාව දියුණු කළා. නැත්නම් මේ කලාව ගම්මඩුවට, පෙරහරකට පමණක් සීමා වුණ දෙයක්නේ. ඉතින්... ඒ කලාව වේදිකාවට ගන්න මගේ පියා ගොඩාක් වෙහෙසුණා. ඉතින් මගේයි නංගිගෙයි පුංචි කාලේත් හරිම සුන්දරයි. අපි දෙන්නා බැණුම් අහ අහා තාත්තාගෙන් නැටුම් ඉගෙන ගත්තා. ඒ ජීවිතේ ගැන අදටත් මතක් වෙද්දී පුදුමාකාර සතුටක් දැනෙන්නේ. අපි දෙන්නාගෙන් වැඩියෙන්ම දඟ මගේ නංගියි. පුංචි කාලේ නංගිට පොඩ්ඩක් බැන්නත් එයා ටක්ගාලා අඬනවා. මම හැබැයි වැඩියෙන් හිටියේ තාත්තාගේ පස්සෙන්මයි. මට ඕන වුණේ නැටුම් කලාව ඉගෙන ගන්නයි. නංගීත් ඒ කලාව ඉගෙනගත්තා.

ජීවිතේ සොඳුරුතම කාලයේදී පියාගේ හොඳම ගෝලයා ඔබේ ජීවිතේ තවත් සොඳුරු කළා නේද...?
ඔව්... ඒක ඇත්ත. ඒක ඉතින් සංසාරගත බැඳීමක්දෝ කියලා වෙලාවකට මට හිතෙනවා. මගේ පියාම තමයි මාව චන්නට බාර දුන්නේ. ඒ බැඳීම තුළින් තමයි චන්නයි මායි මෙච්චර ගමනක් ආවේ. චන්නට තියෙන්නේ නිර්මාණශීලී අදහස්. අද හිතන විදිහට නොවේ චන්න හෙට හිතන්නේ. එයා ලෝකය වෙනස් විදිහට දකින කෙනෙක්. අපේ නර්තනයෙත් තියෙන්නේ ඒ නැවුම් බවයි. ඒක තමයි මුළු ලෝකයෙන්ම අපේ නර්තනයට පිළිගැනීමක් තියෙන්නේ. මායි චන්නයි විවාහ වුණේ 1990 අවුරුද්දේ.

අද අසේකාත් අම්මා තාත්තාගේ අඩිපාරේ යන දරැවෙක් වෙලා...?
අපි විවාහ වෙලා වසර දෙකකට පස්සේ අසේකා ඉපදුණා. ආසාවෙන් හිටියේ නීරෝගිමත් දරුවෙක්. ඒ දරුවා අපිට ලැබුණා. දුවෙක් ලැබුණාට පස්සේ ගොඩාක් සතුටු වුණා. මම වගේම ඒ දරැවා ඉදිරියට ඒ නර්තනය අරගෙන යාවි කියලා. අසේකා පුංචිම කාලේ එයා නටන්න බැහැම කිව්වා. පුංචි කාලේ අසේකා හරිම ලජ්ජයි. නටන්න තියා එයා නර්තනය ඉගෙන ගන්න ආපු දරුවන් එක්කවත් ඒ කාලේ වැඩිය කතා කළේ නෑ. ඉතින් ඒ කාලේ මගේ පුංචි බයකුත් තිබුණා අසේකා මෙහෙම නටන් නැතිව හිටියොත් පරම්පරා දෙකක්ම ඉවරයි කියලා. කොහොමහරි ටික ටික ලොකු වෙද්දී අසේකාට මේකේ තියන වැදගත්කම තේරුණා. චන්න පන්තියේ දරුවන්ට නටන්න කියලා දෙද්දී අසේකා ඒ දිහා බලාගෙන හිටියා. දවසින් දවස එහෙම බලාගෙන ඉඳිද්දී අසේකාටත් ඒකෙන් බැහැර වෙන්න බැරි වුණා.

දැන් ඉතින් එයා තමයි අපේ ජීවිතේ... හැබැයි කවදාවත් චන්නවත් මමවත් අසේකාට නර්තනයේ නියැලෙන්න කතා කළේ නෑ. අසේකාම ඒකට ඉබේම ආස කළා. ඉතින් අපේ නර්තනය නිර්මාණවලදී අසේකා පොඩ්ඩ පොඩ්ඩ සම්බන්ධ වුණා. ඔය අතරේ භාතිය සන්තුෂ්ලාගේ ප්‍රසංගයකට අසේකාට ආරාධනා කළා. ඒ ප්‍රසංගයේ ගීතයකට අසේකා නැටුවා. එතකොට අසේකාගේ වයස අවුරුදු දහයක් විතර ඇති. ඊට පස්සේ අසේකා හරිම ආසාවෙන් නර්තනයේ නියැලුණා.

එදා හිටපු අසේකායි අද ඉන්න අසේකායි ගැන අද උපුලිට තියෙන්නේ මොනවගේ හැඟීමක්ද...?
තව බොහෝ දේවල් අසේකාට ඉගෙන ගන්න තියෙනවා. මම අසේකාට හැම වෙලේම කියන දෙයක් තමයි “තාත්තා මේ කලාව වෙනස් කළා වගේම වෙනස් මානයකට මේක තුළින් බලන්න ඕනේ. අපි ලෝකය දියුණු වෙනවාත් සමඟම වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි අපේ නර්තන කලාව ජාත්‍යන්තර දක්වා යන්න පුළුවන් වෙන්නේ. නර්තන ශිල්පය කියන්නේ නැටුම පමණක් නොවේ. ඒ තුළින් බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. විනය, ඇඳුම, ආලෝකය වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අද බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ නැටුම කියන්නේ අතපය හොලවන එක විතරයි කියලා. නර්තනය කියන්නේ නැටුම විතරක් නොවේ. ඒකට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා.

අම්මාත්, තාත්තාත් කාර්යබහුල දෙදෙනෙක්. අසේකාට කුඩා කලදීම ඒ කාර්යබහුලත්වය දැනුණේ කොහොමද...?
කොහොමටත් අසේකාට එහෙම නතිවීමත් දැනුණේ නෑ. අසේකා හැමවෙලේම හිටියේ අපි දෙන්නත් එක්කමයි. නර්තනය උගන්නද්දී අසේකා අපිත් එක්ක හිටියා. විදෙස් ගමනක් ගියත් අපිත් එක්කම අසේකා යනවා. වාසනාවට අපි තුන්දෙනාම එකම විෂයේ ඉන්න නිසා ඒක අපිට පහසුවක්. අපි කතා කරන්නේත් ඒ විෂය ගැනයි. මොන නිර්මාණයත් කළත් අපි තුන්දෙනා ඒ ගැන කතා කරනවා. චන්න අසේකාගේ අදහසුත් ගන්නවා. මගෙනුත් අහනවා. හැබැයි ඉතින් මූලික අදහස වෙන්නේ චන්නගේ තමයි.

එක්තරා නාළිකාවක කුඩා දරුවන්ගේ නර්තන තරගාවලියක ඔබ විනිසුරුවරියක් විදිහට කටයුතු කරනවා...?
ඔව්... මට හරි සතුටුයි ඒ ගැන. එහෙම වේදිකා තියෙන නිසා තමයි සැඟවුණු දරුවන්ගේ දක්ෂතා එළිදක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. සමහර වෙලාවට ඒ දරුවන්ගේ දක්ෂතා ගැන මට හරි පුදුමයි. එච්චර දක්ෂතා තියෙන දරැවන් ලංකාවේ සැඟවිලා ඉන්නවා. හැබැයි ඒකට ඒ දරුවන් මේ තරගාවලිය අවසානයේදීත් එකම තැනකට ගොනුවෙන්න ඕනේ. තරගයකදී දිනුම පැරදුම දෙකම බාරගන්න ඕනේ. හැබැයි ඒකෙන් ලබන අත්දැකීම, ඒ පන්නරයත් එක්ක ඒ දරුවන්ව හරි තැනකට යොමු කළොත් තමයි ඒ දරුවන්ගේ ගමන සාර්ථක වෙන්නේ.

වැඩසටහන අතරතුරේදී හරි අපූරු දෙයකුත් වුණානේ... අසේකාත් වේදිකාවට ඇවිත් නේද...?
ඔව්... ඒක මට හිතාගන්න බැහැ. ඒ අය පුදුම දේවල් කරන්නේ. අසේකාට ඊට කලින් දවසේ හොඳටෝම උණ. ඉතින් අපි ඩොක්ටර් ගාවට එක්කරගෙන ගිහින් බෙහෙතුත් අරගෙන දුන්නා. ඉතින් එදා වැඩසටහන පටන් ගනිද්දී කට්ටිය කිව්වා ස්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. හැබැයි ඒ මට කියලා මම හිතුවෙම නෑ. බලද්දී වේදිකාවේ අසේකා එකපාරටම නටනවා. අවසානයේදී චන්නත් ආවා. ඇත්තටම ඒක මම හිතුවේවත් නැති පුදුම කිරීමක්. එදා මම ගොඩාක් සතුටු වුණා. “කුවේණි කියන චරිතය මාත් එක්ක බැඳුණු චරිතයක්. මගේ ජීවිතේදී මම “කුවේණි විදිහට බොහෝ නර්තනයේ යෙදිලා තියෙනවා. ඉතින් කුවේණි ගැන කියවුණු ගීතයකට තමයි එදා අසේකා නර්තනය ඉදිරිපත් කළේ. ඇත්තටම මට එදා ගොඩාක් සතුටු දවසක්.

ජීවිතේ ගැන මොකද හිතෙන්නේ...?
ගතකරන ජීවිතයට මම හරි ආසයි. අසේකා මගෙයි චන්නගෙයි ලෝකය සතුටින් පිරෙව්වා. අසේකා කියන්නේ හරි සාධාරණ විදිහට හිතන දරුවෙක්. එයා කොයි වෙලේවත් මම චන්න - උපුලිගේ දුව කියලා හිතන්නේ නෑ. අසේකාගේ ඒ ගතිගුණවලට මම හරියට අගේ කරනවා. මගේ අම්මත් චන්නගේ අම්මත් දෙන්නාම හරිම සාධාරණීයව හිතන දෙන්නෙක්. ඒ ගතිගුණ අසේකාට ඇවිල්ලදෝ කියලා මට හිතෙනවා. අපි කරපු බෞද්ධ බැලේ එකක් තියෙනවා. ඒක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දවසින් දවස අලුත් වෙනවා. චන්නට ලැබෙන්නේම නව නිර්මාණ කරන්නයි. ඉතින් අපි දවසින් දවස අලුත් විදිහට හිතන්න පුරුදු වෙනවා. ඒ නිසා අපි හරිම නිදහස්. 

► Text -Dishani /  Pic - Sumudu

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30