2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අලුත් නළු නිළියන් හුඟක් දෙනා බොරු බිසී...

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

නටන්න ආවත් ෆෝන් එබිල්ලයි - සෙල්ෆි ගැහිල්ලයි

තරු නටවන ගයාන් ශ්‍රීමාල්ගේ අමුතු අමුතු අත්දැකීම්

ගයාන්... නැට්ටුක්කාරයෙක් වුණේ පුංචි කාලේදීමද?
මම නැටුම්වලට ආස හිතුණේ පෙර පාසලේදීයි. මම ගියේ තංගල්ල තිබුණ ළදරු පාසලකටයි. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඒ නිසා මම පුංචි කාලේ අපි හිටියේ තංගල්ලේ. මම බෞද්ධ කෙනෙක් වුණාට මම ගියේ කතෝලික පෙර පාසලකට. ඒකේ හිටිය මදර් තෙරේසා කියන සිස්ටර් මගේ හැකියාව මුලින්ම දැකලා පෙර පාසලේ නැටුම්වලට මාව ගත්තා. ඒ කාලේ අපේ ගෙවල්වලට ටිකක් එහායින් ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි හිටියා. මම එයාලට කියන්නේ ඩී අම්මයි ඩී තාත්තයි කියලා ඒ ඩී අම්මා මියුසික් ටීචර් කෙනෙක්. ඉතින් එයා තමයි මාව තව තවත් ඩාන්සින්වලටයි මියුසික්වලටයි ආසාව ඇති කළේ. එහෙම කාලයක් තංගල්ල පොලීසියේ හිටපු තාත්තාට වාද්දූව පොලීසියට මාරුවීමක් ලැබුණා. ඊට පස්සේ ඉඳන් ඉතින් ඩාන්සින් කියන දේ මගේ අතින් පොඩ්ඩක් මඟඇරැණා.

එහෙම මඟඇරුණු නැටුම් කලාවට ආයෙමත් ගයාන් යොමුවුණේ කොහොමද?
මම ඉගෙන ගත්තේ පානදුර රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ. හතර වසරේදී මම හර්බඩ් දයාසීල සර්ගෙන් පහතරට නැටුම් ඉගෙන ගෙන කලඑළි දැක්වූවා. ඊට පස්සේ මම 5 වසරේදී ඩාන්සින් නැවැත්වුවා. මම ඒ දවස්වල මියුසික්වලට හරිම ආසයි. හැබැයි මගේ අක්කා කළේ නර්තනය. ඒ නිසා අක්කගේ තනියට මම එයාගේ ඩාන්සින් පන්තිවලට ගිහින් බලාගෙන හිටියා. එයා ආශා ගීතාංජලී කියන භරත නර්තන ගුරුතුමිය යටතේ ඉගෙන ගත්තා. මම අට වසරේදී වගේ ධනංජය බණ්ඩාර අයියා මම නර්තනය කරනවා දැකලා මාව එයාලගේ ඩාන්සින් කණ්ඩායමට එකතු කරගත්තා. එයත් ඉස්කෝලේ අයියා කෙනෙක්. ඊට පස්සේ තමයි පාසැලේදී මම වැඩිදුරටත් නර්තනය හැදෑරුවේ. හැබැයි ඉස්කෝලේදී මම සමස්ත ලංකා තරගවලට ගියේ නෑ. O/L කරලා ඉවරවෙලා ආයෙමත් මම මගේ අක්කගේ තනියට බුදවත්ත සර් ළඟට ගියා. දවසක් සර් මටත් ඉගෙනගන්න කතා කළා. ඊට පස්සේ මගේ ජීවිතේ ආයෙමත් වෙනස් වුණා. 2003 මම කුලසිරි බුදවත්ත සර් යටතේ වෙස් නැටුවා. 2003 ඉඳන් අවුරැදු තුනක් මම බුදවත්ත සර්ගේ පන්තිවල ඉගැන්වූවා.

ඊට පස්සේ ගයාන් වෙනම පන්ති පටන් ගත්තද?
නෑ.. ඊට කලින් මම අනෝජා වීරසිංහ මිස් යටතේ අභිනව කලාව ඉගෙන ගත්තා. ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නෑ workshop එකකින් මොනවද වෙන්නේ කියලා. හැබැයි අනෝජා මිස් යටතේ ඉගෙන ගත්තු දේවල් මට මහමෙරක් වගේ වටිනවා. අන්තිම දවස් පහක් තියෙද්දී අනෝජා මිස් මට කතා කරලා ගයාන් ඔයා ඩාන්සින් නේද කරන්නේ.. ඔයා එනවද මාත් එක්ක වැඩ කරන්න කියලා. මම එකපාරම කැමති වුණා. ඒ වෙනකොට එක්තරා විද්‍යුත් නාලිකාවක තරගාවලියක් පටන් අරන් තිබුණා. ඒකේ ඩාන්සින් එකසිය දෙකක් හදන්න පැවරුණා. එතකොට මම ඔය කිසිම නර්තනයක් පිළිබඳව වැඩිදුර දැනගෙන හිටියේ නෑ. හැබැයි මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඉලක්කයක් තිබුණා. ඒ දවස්වල මම ටී.වී බැලුවේ හොරෙන්. මගේ තාත්තා ටී.වී බලන්න දුන්නේ නෑ. ඒ නිසා තාත්තාගේ තහංචිත් එක්ක හොරෙන් ටී.වී බල බලා මම නර්තනය තව තවත් හැදෑරුවා. ඒ දවස්වල අංගනාවෝ ගීතයට චන්න විජේවර්ධනයන් ඉදිරිපත් කරපු නර්තනය ළඟ මගේ හිත නතර වුණා. ඊට පස්සේ සංඛ අබේසිංහටත් කතා කරලා එයාවත් එකතු කරගෙන ඒ නාලිකාවේ ඒ තරගාවලියට නැටුම් හැදුවා. ඒකෙ ආරම්භය තමයි මේ. ඒ වෙනුවෙන් අදටත් මම අනෝජා මිස්ට හිස නමනවා. 

මේ වෙනකොට අපේ කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් කලාකාරිනියන් ගයියා නටවපු නැති කෙනෙක් නැති තරම් නේද?
ඔව්... ඒක ඇත්ත. ඒක හරි සුවිශේෂී දෙයක්. විශේෂයෙන් කලා ලොවේ ඉන්න ප්‍රවීණයන් වගේම නව පරපුරේ කලාකරුවන් කලාකාරිනියන් ද මම නටවලා තියෙනවා. මම හිතන්නේ මම හරි වාසනාවන්තයි කියලයි. මම රෝසි සේනානායක පවා නටවලා තියෙනවා. ඒ වගේම චන්න විජේවර්ධන සර්ගේ උපුලි මිස්ගේ දුව අසේකාවත් මම නටවලා තියෙනවා. උපුලි මිස් ජීවිතේ පළමුවැනි පාරට වෙන නර්තන ශිල්පියෙක්ගේ නර්තන නිර්මාණයකට දායක වෙලා තිබුණේ මගේ විතරයි.

ගයියා ප්‍රවීණ බොහෝ දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. කොහොමද ඒ අය?
ඇත්තමයි මම මේ කියන්නේ. ප්‍රවීණ කලාකරුවන් කලාකාරිනියන් එක්ක වැඩ කරන්න ලේසියි. ප්‍රවීණ අය නර්තනය හෝ වෙන වැඩකට යොමුවෙනකොට ඒ අය ඒ දේ විතරයි ඔළුවේ තියාගෙන එන්නේ. ඒ වෙලාවට ඒ අයගේ ඔළුවේ වෙන දේවල් නෑ. එයාලා ආවට පස්සේ සමහර නර්තනයන් මතකේ තියාගන්න පැයක්වත් යන්නේ නෑ. නළුවෙක් නිළියක් කියන්නේ නැට්ටුවෙක් නෙවේ. හැබැයි ප්‍රවීණ අය හරිම උනන්දුවෙන් ඒ දේ කරනවා.

ගයියා කියන්නේ නව පරපුරේ අය එහෙම නැහැ කියලද?
හැමෝම නෙවෙයි. සමහරක් එහෙම නෑ. සමහර නවක අය බොරුවට බිසී. නර්තනය කරන්න එන්නෙම ගයියා.. මට දෙකට යන්න ඕනේ.. මට මේ වෙලාවට නවත්තන්න ඕනේ.. මට තව වැඩ ගොඩයි කියලයි. එයාලා නර්තනය බලා ගන්නවට වඩා ෆෝන් එක ඔබනවා. සෙල්ෆි ගහනවා. ඉතින්... කොහොමද පුහුණු වෙන්නේ. මම ජීවිතේට මගේ fb එකේ රියසල් ටයිම් කිය කියා photo දාලා නෑ. ෆොටෝ ගන්න ඕනේ තමයි. නමුත් ඒකට පිළිවෙළක් තියෙනවා. ඒත්... අද නව පරපුරේ බොහෝ දෙනෙක්ට ප්‍රවීණයන්ගෙන් ඉගෙනගන්න තියෙන දේවල් බොහොමයි. 
මම මේ ළඟදී රෝයි ද සිල්වා මහතා සහ සුමනා අමරසිංහ මහත්මිය එක්ක වැඩ කළා. ඔවුන් මට අනේ මාස්ටර්... මාස්ටර්... කියලා අත් දෙක අල්ලලා කතා කරනවා. වයස අවුරුදු තිස්තුනයි. මේ වයසට මට ඔවුන් දක්වන ගෞරවය ගැන මට හිතාගන්න බෑ.

මගේ ජීවිතේ මම ආසම දේ තමයි හොඳ comments ගන්න එක. ඒක සල්ලිවලට වඩා මට වටිනවා. ජැක්සන් ඇන්තනී, යශෝධා විමලධර්ම, මාලනී ෆොන්සේකා, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න, කමල් අද්දරආරච්චි, දිල්හානි අශෝකමාලා, රවීන්ද්‍ර රන්දෙණිය වගේම ප්‍රවීණ අයගෙන් මම වැඩ කරපු නැති කෙනෙක් නැති තරම්. ඉතින් ඔවුන්ගෙන් ලැබෙන අගේ කිරීම මට මුදලට ගන්න බෑ.

ගයියා ඒ අයට නර්තන නිර්මාණයන් හදන්නේ කොහොමද?
මම සාමාන්‍යයෙන් නර්තනයක් නිර්මාණය කරන ක්‍රමයක් තියෙනවා. මම නර්තනයක් නිර්මාණය කරන්න ඒ පුද්ගලයා එනකන් ඉන්නවා. නර්තනයක් නිර්මාණය කරද්දී මම ඒ පුද්ගලයා වෙන්න ඕනේ. ඒ කෙනාට පුළුවන් දේ තමයි මම නිර්මාණයක් ඔස්සේ නිර්මාණ කරන්නේ. එයාට ගයාන් ශ්‍රීමාල් කරලා හරියන්නේ නෑ. මම යන්න ඕනේ ඒ කෙනාගේ දක්ෂතාවය හොයාගෙන. එතනින් තමයි නිර්මාණය බිහි කරන්න පුළුවන් වෙන්නේ. මම කවදාවත් ජීවිතේට නිර්මාණයක් හදලා ඒ කෙනාව ගෙන්නගෙන පුහුණුවීම් කරලා නෑ. ඒක තමයි බොහෝ කලාකරුවන් කලාකාරිනියන් මාත් එක්ක වැඩ කරන්න කැමති. ඒ වෙලාවට ප්‍රවීණ අය කවදාවත් මට දෙකේ ඉඳන් පහ වෙනකන් විතරයි මට පැයක් විතරයි කියලා කවදාවත් කියන්නේ නෑ. පැයක් තියෙනවනම් හරි පුතේ කරමු කියලා ඒ ප්‍රවීණ අය ඒ කාලය ඇතුළත උපරිමයෙන් වෙලාව වෙන් කරන්නේ ඒ වැඩේට විතරයි. එක දිගට මම මහන්සි වුණා කියලා එයාලට දැනුණොත් දැන් ඔයාට අමාරුයි ගයාන්.. අපි නවත්වමු කියලා කියනවා. සමහර ප්‍රවීණ අය කෝල් කරලම ගයාන්.. මම මේ වෙලාවට ෆ්‍රී. මම එන්නද කියලා අහනවා. හැබැයි නවක අය බොහොමයක් එහෙම නෙවේ. ගයාන් අයියේ මට පුළුවන් මේ වෙලාවට විතරයි. මට ඉක්මනට යන්න ඕනේ කියලා කියනවා. හැබැයි හැම කෙනෙක්ම නෙවේ. හැබැයි බොහෝ දෙනෙක්ට ප්‍රවීණ කලාකරුවන්ගෙන් කලාකාරිනියන්ගෙන් ඉගෙනගන්න තියෙන දේවල් බොහෝමයි.

නර්තන පුරුදු පුහුණු වෙද්දී අමතක නොවුණ දේවලුත් ඇති නේද?
එහෙම දේවල් තියෙනවා. ඒත් දැන් එක පාරටම හිතට එන්නේ නැහැනේ. හැබැයි මෙහෙමයි නර්තනය පුහුණු වෙද්දී මට කේන්ති යනවා හරිම අඩුයි. කේන්ති යන්නේ නැති තරම්. මම ළඟට එන හැම කලාකරැවෙක්ටම කලාකාරිනියෙක්ටම මම ගරු කරනවා. මම මගේ ළමයි පිටිපස්සේ වාඩිවෙලා ඉඳිද්දී කලාකරුවන් නටද්දී පොඩි හිනාවක් දැම්මත් මම ඒ ළමයින්ට බණිනවා. හැමෝටම නටන්න මුලදී බැහැනේ.

ගයියාගේ නැටුම් කණ්ඩායමේ ගෝලයෝ කී දෙනෙක් විතර ඉන්නවද?
ඇත්තටම මෙහෙමයි. මට ගෝලයෝ කියලා නෑ. ගෝලයෝ කියන්නේ පොඩි කාලේ ඉඳන් තමන් යටතේ ඉගෙන ගත්තු අයටනේ. මට එහෙම ගෝලයෝ නෑ. මට ඉන්නේ කාගෙන් හරි හොඳ ප්‍රවීණ ගුරුවරුන් යටතේ ඉගෙනගෙන මගේ ළඟට ඇවිත් ඉන්න අයයි. ඔවුන් ගෝලයෝ නෙවේ. ඔවුන් නර්තන ශිල්පීන්. අද වෙද්දී රටේ ඉතා ජනප්‍රිය ශිල්පීන් බොහෝමයක් මාත් එක්ක වැඩ කරපු අයයි. මගේ ඩාන්සින් ටීම් එකේ වැඩ කරනවානම් එයාගේ දක්ෂතා යටතේ වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍යවලට, ඩාන්සින් ග_ප් එකක් වුණත් මාත් එක්ක ඉඳිද්දී කරගෙන යන්න පුළුවන්. හැබැයි මගේ වැඩේට මූලිකත්වය දෙන්න ඕනේ. එහෙම නැතිව වෙන වැඩවලට යන්න එපා කියලා මම ඒ කාටවත් කියලා නෑ. දැනට මගේ ටීම් එකේ ළමයි විස්සක් විතර වැඩ කරනවා. මාත් එක්ක වැඩ කරපු ළමයි අද හොඳ තැන්වල ඉන්නවා. ඒ ගැන ඇත්තටම මට හරි සතුටුයි.

ගයියා ළඟදී ප්‍රසිද්ධ වේදිකාවක නැටුවේ නැහැ නේද?
මෑත කාලයේදී මම එහෙම නර්තනයක යෙදිලා නෑ. මම නටනවා බලන්න හැමෝම හරි ආසයි. පාටිවලට ගියත් මම කවදාවත් නටන්නේ නෑ. ඒක මගේ හැටියක්. ඉස්සර බුදවත්ත සර් යටතේ ඉඳිද්දී මම හුඟක් නර්තන ප්‍රසංගවල නර්තනවලට සහභාගී වුණා. මම හොඳ වෙස් නැට්ටුවෙක්. මේ අවුරුද්දේ නර්තන ප්‍රසංගයක නර්තනය ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඒ ආශා ගීතාංජලී මිස්ගේ ප්‍රසංගයේදී මම නර්තනය ඉදිරිපත් කරනවා. ඒක බොහෝ කාලයකට පස්සේ මම ඉදිරිපත් කරන නර්තනයක්. හැබැයි පුහුණුවීම්වලදී මම නර්තනය කරනවා. මම ප්‍රවීණ අයට මගේ ළමයෙක් දාලා උගන්වන්නේ නෑ. ඒ අයට මමම තමයි දිගටම උගන්වන්නේ.

මෑත කාලයේ බොහෝ නර්තන තරගාවලිවලදී තරගකරුවන්ව තරගකාරියන්ව ඔසවනවා. උඩදාලා අල්ලනවා.. කේබල්වල යනවා වැනි අලුත් නිර්මාණ එකතු වෙලා. ගයියා මේකද ඒ ගැන හිතන්නේ?
නර්තනයක් ගත්තොත් එය කොටස් කීපයකට බෙදෙනවා. ඉස්සර මමයි සංඛයි ඔය leap කරද්දී හැමෝම බැලුවා. බටහිර නර්තනය කරද්දී තමයි ඔය leap කියන දේ තියෙන්නේ. මෙතෙක් වේදිකාවක් තුළ අවුරැදු 13 ළමයි දෙන්කනෙක් නටපු සුපිරිම යුගල නර්තනය දැක්කේ රූපවාහිනී නර්තන තරගයක් වන සුපර් ඩාන්සර්හිදී. ඒ නර්තනය උගන්වලා තිබුණේ ලලිත් පැරකුම් සහ ලහිරුයි. හැබැයි නර්තනය කියන්නේ leap ම නෙවෙයි. දැන් අම්මලා හිතන්නේ උඩ දාලා අල්ලන එකයි, කේබල්වලින් කැරකෙන එකයි තමයි නර්තනය කියන්නේ කියලා. නමුත් ඒක වැරදියි. Leaps කියන්නේ නර්තනයේ එක කොටසක් විතරයි. හැබැයි අද දක්ෂ නර්තන ගුරුවරු ගුරුවරියන් පිරිසක් ඉන්නවා. ඒ අය අලුත් නිර්මාණ අලුත් leaps නර්තනය ඔස්සේ උගන්වනවා. ඒ ගැන ඇත්තටම තියෙන්නේ ලොකු සතුටක්.

ගයියා මොනවද ඉදිරි බලාපොරොත්තු?
මට නර්තන ඇකඩමියක් හදන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ ඇකඩමිය අලුත් ශිල්පීන් බිහිකරන්න, ඔවුන්ට ඉගෙන ගන්න හොඳ වටපිටාවක් ඇති කරන්න ආසයි. මම නර්තන ගුරුවරයෙක් කියන නමට තාමත් අකමැතියි. මම තාමත් ඉගෙන ගන්නවා. මට මේ ගමන එන්න බොහෝ දෙනා උදවු කළා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

► Text - Dishani  /   Pic- Sumudu 

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00