2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

නළුවෙක් කියන්නෙ මැටි ගොඩක්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

කේරළ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න ජැක්සන්ට අපූරු ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව පිළිබඳව මුලින්ම යමක් කිව්වොත්..?
ඒක ටිකක් දුර්ලභ සිදුවීමක්. ඒකට අවස්ථාව ලැබෙන්න මගේ අතීත නිර්මාණ මේකට බලපෑවා කියලා මම විශ්වාස කරනවා. එහෙම නැතිව වෙන විශේෂ දැනහැඳුනුම්කමක් මේකට බලපෑවේ නෑ. කේරළ අධ්‍යක්ෂක අනිල් කුමාර් මහතා තමයි මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නෙ.

අනිල් කුමාර් කියන්නෙ කේරළේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. එහෙම නේද...?
ඔව්.. ඔහු ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. 1989 අවුරුද්දෙ තමයි ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය බිහිවුණේ. මේ වන විට ඔහු චිත්‍රපට 48 ක් නිර්මාණය කරලා තියෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් අනිල් ලබාගෙන තියෙනවා. ඒ නිසා කේරළ සිනමාවේ කවුුරුත් හඳුනන අධ්‍යක්ෂකවරයෙක් විදිහට අනිල් කුමාර්ව හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරිය වන්නෙ බීනා උන්නී ක්‍රිෂ්ණන්. ඒ අය එයාලගේ කතා ප්‍රවෘත්තියට අනුව සෙවීමක් කළා. මේ චිත්‍රපටය සඳහා කේරළයෙන් දකුණු ඉන්දියාවෙන් උත්තර ප්‍රදේශයෙන් සහ ලංකාවෙන් කට්ටිය තෝරාගත්තා. ඒකට ප්‍රධාන චරිත හතක් තියෙනවා.

මම මන්තරත් කටපාඩම් කරපු මනුස්සයෙක්. මන්තර කටපාඩම් කරපු මට මළයාලි භාෂාව ලොකු දෙයක් නෙමේ

ජැක්සන්ව මේ චිත්‍රපටය සඳහා තෝරාගන්න ධර්ම යුද්ධය විශාල හේතුවක් වුණා නේද..?
ඔව්.. අනිවාර්යයෙන්ම. මම සම්බන්ධ වුණු ධර්ම යුද්ධය කියන චිත්‍රපටයේ පළවැනි නිර්මාණය බිහිවුණේ කේරළයෙන්. ඒ දෘශ්‍යම් කියන චිත්‍රපටය. ඊටපස්සෙ කණ්ණඩ, තෙළඟු, දෙමළ සහ හින්දි චිත්‍රපට බවට පත්වුණා. චිත්‍රපට පහක් නිර්මාණය වුණාට පස්සෙ හයවැනි නිර්මාණය විදිහට සිංහලෙන් ධර්ම යුද්ධය විදිහට ලංකාවේ නිර්මාණය වුණා. එතකොට අර චිත්‍රපට පහම බලපු ඉන්දීය ප්‍රේක්ෂකාගාරය මේ හයවැනි චිත්‍රපටය ගැන හිතුවා.

ධර්ම යුද්ධය ඔබ රඟපෑ චරිතයට ඒ ඒ භාෂාවලින් නිර්මාණය වුණ චිත්‍රපටවලත් රඟපෑවේ ප්‍රවීණ කලාකරුවන්. එහෙම නේද..?
ඔව්... කේරළ චිත්‍රපටයේ රඟපෑවේ මොහාන් ලාල්. කේරළ සිනමාවේ රජ්ජුරුවෝ විදිහට තමයි මොහාන්ව සලකන්නෙ. මොහාන් ලාල්ට පෞද්ගලිකවත් මම හරි කැමතියි. දකුණු ඉන්දියාවේදී මේ චරිතය කමල් හසන්ට බාර දුන්නා. දකුණු ඉන්දියාවේ අංක එකේ නළුවා තමයි කමල් හසන්. උතුරු ඉන්දියාවේදී අජේ දේව්ගන්. අද ඉන්න නළුවන් අතරේ ගැඹුරු චරිත කරන නළුවන් අතරේ මුල්තැන ගන්නෙ ඔහුයි. ඉතින් ලංකාවේ ධර්ම යුද්ධය කළේ ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක්. ඒ වෙනුවෙන් ඔවුන් තෝරාගත්තෙ මාව. ඒ සඳහා මගේ අතීත නිර්මාණ පැවතුම් මේකට විෂය වුණා.

ධර්ම යුද්ධය බොහෝදෙනා නැරඹූ සිංහල චිත්‍රපටයක් වී හමාරයි.. ඒ ගැන ඔබ ඉන්නෙ සතුටින්. එහෙම නේද..?
ඔව්.. මේ වෙද්දිත් බොහෝදෙනා DVD මාර්ගවලින් ධර්ම යුද්ධය නරඹනවා. සිනමා ශාලා හැත්තෑවක විතර දින එකසිය විස්සක් ධර්ම යුද්ධය ප්‍රදර්ශනය වුණා. ලක්ෂ දහයකට වැඩි ලාංකික ප්‍රේක්ෂක පිරිසක් මේක නැරඹුවා. ඒ නිසා මට මගේ රටේ ආදරණීය ප්‍රේක්ෂකයන් ගැන විශාල කැමැත්තක් ඇතිවුණා. නමුත් අපේ රටේ මාධ්‍ය තුළ විචාරය තුළ සහ අපේ සිනමාවේ අපේ ක්‍ෂේත්‍ර හිතවතුන් අතර මට එහෙම මගේ රඟපෑම ගැන ලොකු ආරංචියක් ලැබුණේ නෑ. එහෙම දෙයක් මම දැක්කෙ නෑ. හැබැයි මගේ ප්‍රේක්ෂකයන් මා ගැන ලොකුවට කතා කළා. මම හරියට ඇවිදින මිනිහෙක්නෙ. මම ඉස්කෝල ගාණේ යන මිනිහෙක්. කලා උළෙලවල්වලට දේශනවලට මම සහභාගි වුණා. ඒ දරැවෝ, ඒ ගුරැවරැ, ඒ මව්පියෝ, වගේ විවිධ දෙනා ධර්ම යුද්ධය ගැන විශාල ප්‍රතිචාර ලබලා දුන්නා.

අඩුවෙන් රඟපාන නිසා ඒ හැමදේ‍ටම මට වෙලාව තියෙනවා

ඔය කියන විචාරය ලැබුණෙ ඉන්දියාවේදි වෙන්න ඇති නේද..? ඔබේ රංගනය පිළිබඳව ඇගයීමක් ?
ඔව්.. හරියට හරි. දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ ප්‍රබල චරිතයක් තමයි සුරේෂ් බලාජි. දෘශ්‍යම් චිත්‍රපටයට සුරේෂ් බලාජිට නෑදෑකම් දෙකක් තියෙනවා. කේරළ සිනමාවේ රජ්ජුරුවෝ වුණු මොහාන් ලාල් විවාහ කරගෙන ඉන්නෙ සුරේෂ් බලාජිගෙ නැගණියවයි. ඊට වඩා ප්‍රබල සාධකයක් තමයි දකුණු ඉන්දියාවේ පාපනාසම් කියන චිත්‍රපටයෙ නිෂ්පාදකයාත් සුරේෂ් බලාජි. ධර්ම යුද්ධය චිත්‍රපටය සුරේෂ් ලංකාවට ආ වෙලාවක නැරඹුවා. ඒ අවස්ථාවේ දී ඔහු මගේ රංගනය අගය කරලා තිබුණා. ඔහු ලංකාවෙන් පිටවුණේ මා ගැන ඔත්තුවක් අරගෙනමයි.

ජැක්සන් විශ්වවිද්‍යාල ජීවිතයේදි මේ වගේ සිදුවීමක් ජීවිතයට එකතු වෙනවා නේද..?
ඔව්.. මම විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගනිද්දි මට වඩා අවුරුද්දක් වැඩිමහල් මංගල සේනානායකයන්ගෙ එහෙත් කියන අන්තර් පීඨ නාට්‍ය උළෙලේ දි මටත් චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ නාට්‍ය විනිශ්චය කරන්න සුගතපාල ද සිල්වා මහතාත් සෝමලතා සුබසිංහ මහත්මියත් ආවා. මාව හොඳම නළුවාට තෝරලා එදා සුගතපාල ද සිල්වා මහතා මට හරිම ආදරෙන් කතා කරලා උඹ හරිම හොඳයි කොල්ලෝ කියලා මා ගැන ඔත්තුවක් ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයෙ ඉන්න දැවැන්තයන් හරහා අරගෙන ගියා. මාව කොටහලු වෙන්නෙ එතනිනුයි. මාව මේ රට දැනගන්නෙ එතනිනුයි. ධර්ම යුද්ධය හරහා මට මේ අවස්ථාව ලැබුණා. ඒත් මුල එතනයි.

මේ වන විට කේරළ චිත්‍රපටය පිළිබඳව ඔබ සහ අනිල් කුමාර් මුණගැසී කතාබහ කරලා තියෙනවාද..?
නෑ.. තාම අපි මුණගැහිලා නෑ.. ඔවුන් ළඟදීම ලංකාවට එනවා. හැමදෙයක්ම අපි කතා කළේ දුරකතනය ඔස්සෙ. අන්තර්ජාලය ඔස්සෙ. ස්කයිප් හරහායි. අනිල් කුමාර් හා මා අතර පැවති ආරාධනාවේ ප්‍රතිඵලය හා කතාබහ කිරීම අතර අපි කැමැත්ත ලබාදීලා තියෙනවා.

මේ වන විට ජැක්සන් කේරළ භාෂාව හැදෑරීමක් කරනවා.. එහෙම නේද.?
ඔව්.. දෙමළ භාෂාව පිළිබඳව අපිට කිසියම් හුරුවක් තියෙනවනෙ. දෙමළ භාෂාව ඉතින් අපේ සහෝදර භාෂාවක්නෙ. මළයාලම් කියන භාෂාව අපිට හුඟාක් ආගන්තුකයි. ඒ නිසා මම මේ දිනවල මළයාලම් භාෂාවට කට හුරුකරමින් ඉන්නෙ. හැබැයි ජයන්ත චන්ද්‍රසිරිගේ අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයෙත් මළයාලම් භාෂාව යම්තාක් දුරකට කරන්න තිබුණා. ඒ නිසා ඒ හුරුවත් ටිකක් තියෙනවා. කොහෙන් කොහොම හරි නෑදෑකම පටලැවෙනවනෙ. දෛවය එහෙමනෙ. මම මන්තරත් කටපාඩම් කරපු මනුස්සයෙක්නෙ. මම භව දුක, භවකර්ම, අග්නිදාහය තරණය කියන චිත්‍රපටවල කියන මන්තර ඇත්ත මන්තරයි. ඒ නිසා මන්තර කටපාඩම් කරපු මට මළයාලි භාෂාව ලොකු දෙයක් නෙමේ.

උඹ හරිම හොඳයි කොල්ලෝ කියලා.. මා ගැන ඔත්තුව දුන්නේ සුගතපාලද සිල්වා මහත්තයා

කවදා විතර ජැක්සන් ලංකාවෙන් යයිද..?
දෙසැම්බර් මාසෙදි චිත්‍රපටය පටන්ගන්න ඉන්නෙ. කොහොමත් මේකට මාස තුනක් විතර යාවි. මේකට විවිධ ප්‍රාන්තවල ඉන්න නළු නිළියන් සම්බන්ධ වෙනවා. ඒ නිසා දින ප්‍රශ්නත් එක්ක තමයි ඒ අය මේ දවස්වල ඉන්නෙ. විශේෂ චිත්‍රපට ලැබුණා කියලා මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නෑ. මගේ රංගන ජීවිතයට දැන් අවුරුදු විසිපහක් වෙනවා. මේ අවුරුදු විසිපහටම මම රඟපාලා තියෙන්නෙ චිත්‍රපට විසිපහයි. කේරළ චිත්‍රපටය මගේ විසිහයවැනි චිත්‍රපටයයි. මම චිත්‍රපට විසිපහක රඟපෑවාට චිත්‍රපට පනහකටත් වඩා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මට ගමන් මාර්ගයක් තියෙනවා. මම මා සමඟ සාකච්ඡා කරලා තමයි චරිත තෝරාගන්නෙ. ඒ නිසා ජැක්සන් ඇන්තනීගෙ ඒ ප්‍රතිපත්තියෙන් අබ ඇටයක්වත් වෙනස් වෙන්නෙ නෑ. එහෙම හිතද්දි විදේශ රටක කෙනෙක් මගේ ස්වභාවික රංගනයන් අගය කරලා මට අවස්ථාවක් ලබාදීම එක්තරා භාග්‍යයක්. කේරළ සිනමා රංගනයන් දකුණු ඉන්දීය සිනමාවට වඩා වෙනස්. කේරළය බොහෝ වෙලාවට ලංකාවට සමානයි. කේරළය බැලූ බැල්මට ලංකාවට සමානයි. ඇස්දෙක වහලා ගෙනිහිල්ලා කේරළයෙදි අතහැරියොත් ලංකාවේද ඉන්නෙ කියලා හිතේවි. එහෙත් වර්ණය, ගහකොළ අපිට සමානයි. ඒ නිසා ඒක මට අමාරු දෙයක් නොවේවි.

මේ චිත්‍රපටය වෙනුවෙන් ජැක්සන්ගෙ රූපය, රැවුල, කොණ්ඩය ආදියත් වෙනස් වෙයිද..?
මම හිතනවා එහෙම වෙයි කියලා. ඒක තීරණය කරන්නෙ ඒ අයයි. එයාලා ඇවිත් ඕන විදිහට මේකප් ටෙස්ට් එක කරලා ඒක එයාලා තීරණය කරාවි. කොහොමටත් මම හිතන දෙයක් තමයි නළුවෙක් කියන්නෙ මැටි ගොඩක්. නළුවාට රූපයක් නෑ. නළුවාට රූපයක් අවශ්‍යත් නෑ. චරිතවලට තමයි රූප අවශ්‍ය වෙන්නෙ. මම චරිතයෙන් චරිතයට හැඩය වෙනස් කරනවා. සූරිය අරණ, කුසපබා, ඇඩ්‍රස් නෑ, අග්නිදාහය මේ මොන චිත්‍රපට ගත්තත් මම එකිනෙකට වෙනස්. මම අඩුවෙන් රඟපාන නිසා ඒ හැමදේ‍ටම මට වෙලාව තියෙනවා. කවදාවත් මම එකපාර චිත්‍රපට දෙකක රඟපාලා නෑ. එක හැඩයක් මම එක චිත්‍රපටයකට දෙනවා.

පහුගිය දිනවල ජයන්ත චන්ද්‍රසිරිගෙ ඝරසර්ප චිත්‍රපටය වෙනුවෙන් ඔබ රූපය වෙනස් කළා..?
ඔව්.. ඒ චිත්‍රපටය වෙනුවෙන් රැවුල, කොණ්ඩය මම කැපුවා. එක පෙනුමක් මම ආයෙත් තවත් චිත්‍රපටයකට දුන්නෙ නෑ. මගේ ගුරුවරයා සුගතපාල ද සිල්වා මහතායි. ඔහු මට කියලා දුන්නෙ චරිතය වනාහි අධ්‍යක්ෂකවරයා සහ නළුවා විවාහ වීමෙන් ලැබෙන දරුවාය යනුවෙනුයි. නළුවා තමයි මම. පියා අධ්‍යක්ෂකවරයා. ඒ නිසා මේ දෙන්නගෙ විවාහය හොඳ වුණොත් හොඳ දරුවෙක් වේවි. විවාහය අසාර්ථක වුණොත් දරුවා අංගවිකල වේවි. මම හැමවෙලේම ඒ අධ්‍යක්ෂකවරයා සමඟ පවත්වන සම්බන්ධය හොඳ විවාහයක් දක්වා පවත්වාගෙන යන්නයි උත්සාහ කරන්නෙ.

► Text – Dishani /  Pic – Sumudu

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00