2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

බැරල් බෙරෙන් තාල මවන Beat Drummers

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

සචින්ත “Beat Drummers බෑන්ඩ් එක පටන් ගන්නේ කොයි කාලේදී ද?
අපේ Beat Drummers බෑන්ඩ් එක පටන් ගත්තේ 2008 අවුරුද්දේ. ඒත් මම කලාවට ආවේ පොඩි කාලේ ඉඳලයි.

ඒ කලාවට අවතීර්ණ වුණේ කොහොමද?
මගේ තාත්තා අරුණජිත් ද සිල්වා. මගේ තාත්තා නර්තන ශිල්පියෙක්. ඒත් මේ වෙනකොට තාත්තා ජීවතුන් අතරේ නෑ. මගේ අම්මත් නර්තන ශිල්පිනියක්. අම්මගේ නම ප්‍රේමනී ගමගේ. මගේ අයියයි, අක්කයි දෙන්නමත් නර්තන ශිල්පි, ශිල්පිනියන්. ඒත් මම විතරයි පවුලේ වාද්‍ය ශිල්පියෙක් වුණේ. ගෙදර පසුබිමත් එක්ක තමයි මට කලාව උරුම වුණේ.

ගෙදර වටපිටාවෙන් දකින දේ ඔබගේ කරගත්තේ කොහොමද?
පුංචි කාලේ ඉඳන්ම ගෙදර පරිසරය තුළ මම කලාව දකිනවා කරනවා. මගේ තාත්තාගේ යාළුවෙක් ඉන්නවා අජිත් ජයශාන්ත කියලා. ඔහුව දැකලා මම වාද්‍ය ශිල්පයට ආසා වුණා. එතකොට මට වයස අවුරුදු හතක්, අටක් විතර ඇති. මම ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ. මගේ මුල් ගුරුතුමා ප්‍රසන්න රූපතිලක. ඒ වෙද්දී මගේ තාත්තාගේ කලායතනයක් තිබුණා. ඒත්... ගෙදර දේ එච්චර අගයක් නැතිකමට ද මන්දා මට ඒ ගැන එච්චර උන්න්දුවක් තිබුණේ නෑ. ඒ නිසා තාත්තා මාව රවිබන්දු විද්‍යාපති ගුරැතුමා වෙතට යොමුකළා. එතුමා ගාවදී තමයි මගේ හැරවුම් ලක්ෂය විදිහට මම දකින්නේ. එතුමා ළඟිදී මම නර්තනයත්, වාදන කලාවත් ඉගෙන ගත්තා. 

එතකොට බෑන්ඩ් එක හදන්න අදහස් කළේ කොහොමද...?
බෑන්ඩ් එක බිහිවුණේ 2008 අවුරුද්දේ. හැබැයි මුලදී බෑන්ඩ් එකක් හදාගන්න ඕන කියලා අරමුණක් මට තිබුණේ නෑ. ප්‍රසංගවලට ආරාධනා ලැබුණාම මම හෙමි හෙමීට කරගෙන ආවා. පහුකාලයේදී තමයි මේක බෑන්ඩ් එකක් විදිහට ස්ථාවර තත්ත්වයට පත්වුණේ.

අද වෙද්දී Beat Drummers බෑන්ඩ් එකට සංගීත භාණ්ඩ රාශියක් තියෙනවා. ඒත්... ආරම්භය එහෙම නෑ...?
ඔව්... ඇත්ත. මට පොඩි කාලේ අපේ ගෙදර මට තිබුණේ තාත්තා පාවිච්චි කරපු ගැටබෙරයක් විතරමයි. ඊළඟට මම බෙර වාදනයට ආස නිසා තාත්තා උපන් දිනයකට මට තව ගැටබෙරයක් තෑගි කළා. ඊට අමතරව මට තව තිබුණේ පුංචි හක්ගෙඩියකුයි. තාලම් පටකුයි විතරයි. ඉතින් ඒ ගැට බෙර දෙකෙන් තමයි මම හම්බ කරලා බෙර හුඟාක් ගත්තේ. අද වෙද්දී මගේ ළඟ බෙර එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මමම නිර්මාණය කරපු බෙර තියෙනවා. ලොකේ විවිධ විවිධ රටවල බෙරත් මගේ ළඟ තියෙනවා. ඉන්දියානු, ලතින් අමෙරිකන්, අප්‍රිකානු රටවල්වල බෙරවල් ද මම ළඟ තියෙනවා.

ඒ ආපු ගමන දුෂ්කර වූ සුන්දර ගමනක් එහෙම ද ඔබට හිතෙන්නේ...?
ඔව්... ඇත්තටම මම මධ්‍යම පාන්තික පවුලක දරුවෙක්. මගේ තාත්තා සාමාන්‍ය ගුරුවරයෙක්. ගුරු වෘත්තියෙන් පමණක් හම්බ කරගත්තු දෙයින් අපේ පවුල ජීවත් වුණා. එහෙම පවුලකින් තමයි අපි කලාවට එකතු වුණේ. මම පෙරහරවල්වල, කඨින පිංකම්වල බොහෝමයක බෙර ගහලා තියෙනවා. ඒවාවලින් හම්බවෙන සල්ලි සමහරක් ගෙදරට ගෙනත් දුන්නා. සමහරක් සල්ලි එකතු කරලා අලුත් බෙරයක් ගන්නවා. එවන් දුෂ්කර ගමනක් තමයි මේ. හැබැයි ඒ ගමනට මම ආසයි.

පෙරහරවල්වල කඨින පිංකම්වල බෙර ගහලා ගත්ත සල්ලි ගෙදරට දුන්නා  

ඔය අතරේ ඔබට විදෙස් සංචාර පවා යන්න අවස්ථාව ලැබුණා නේද...?
ඔව්... ඇත්ත රටවල්වල බෙර හඳුනාගන්න අතපත ගාන්න ඒවා වාදනය කරන්න මට අවස්ථාව ලැබුණේ රවිබන්දු ගුරැතුමා එක්ක විදේශ ප්‍රසංගවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණු වෙලාවලදීයි. එතුමාගෙන් මට බොහෝ ගුරැහරැකම් ලැබුණා. ඒ වගේම මම තවත් ගුරුවරයෙක් මුණගැහුණා. ඒ තමයි අන්තර්ජාලය. මේ අන්තර්ජාලය හරහා මට විදෙස් රටවල අලුත් බෙර සහ ඒවායේ ස්වරෑපය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ තුළිනුත් තව තවත් අලුත් අලුත් බෙර ගැන සොයන්න ඒවා මිලදී ගන්න මගේ තිබුණ කැමැත්ත වැඩි වුණා.

අද වෙද්දී Beat Drummers බෑන්ඩ් එකේ සාමාජිකයින් ගණන කීයද...?
මේ වෙද්දී බෑන්ඩ් එකේ ප්‍රධාන සාමාජිකයින් අට දෙනෙක් ඉන්නවා. මේ අතර තව ගෝලයින් කීපදෙනෙක්ම අපේ බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. මේ වෙද්දී මම බෙර වාදනය පිළිබඳව පන්ති ද පවත්වනවා.

බෙරවලට අමතරව සචින්තගේ කණ්ඩායම ටිකක් වෙනස් නාද ශෛල්‍යය භාවිත කරනවා. ඉවතලන බැරැල් ආදිය යොදාගෙන. මොකක්ද මේ වෙනස...?
මේක පටන් ගත්තේ දෙවැනි ලෝක යුද්ධ සමයේදීයි. කළු ජාතිකයන්ට වෙන අකටයුතුකම් ඔවුන් ප්‍රදර්ශනය කළේ මෙහෙම යමකට ගහලයි. කෝටුවකින් තලලයි. ඔවුන්ගෙන් තමයි මේක නිර්මාණ වෙන්නේ. නමුත් මේ බෙරය එන්න කළින් අපේ ආදි මානවයා තමන්ගේ හැඟීම් ගස් බෙනයකට, කෝටුවකින් තලලා, මැරිච්චි සතුන්ගේ හමක් ගස් ගස බෙනයකට ගැටගහල ඒකට තඩි බෑවා. ඒකෙන් තමයි මේ බෙරය නිර්මාණය වන්නේ. නමුත් අපි අද කරන මේ බැරල්වලින් කරන නිර්මාණ බිහිවන්නෙත් ඒ අතීතයේ දෙවන ලෝක සංග්‍රාමයක් කරන දේ ටික ටික දියුණුවෙලා දැන් මේක ආට් එකක් වෙලා. දැන් ඒක fashion එකක් වෙලා. 

බෙරයක ශබ්දය නිර්මාණය වෙන්න බෙරයක්ම ඕනවෙන්නේ නැහැ...? 
ඔව්... ඒක ඇත්ත. ඝට්ඨනයක් මඟින් හඬක් පිටවෙනවා. ඒකට බෙරයක්ම බැරල් එකක්ම කියලා අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට අපේ ඇඟට, බඩට ගහලා... අත්පුඩි ගහලා මේවායිනුත් හඬවල් නිකුත් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා බෙරම අවශ්‍යයි කියලා නෑ. ඉවතලන බැරල්, පයිප්ප කෑලි, ළී කෝටු, ඕනෑම දේකින් හඬක් නිකුත් කරන්න පුළුවන්. 

ඇඟට, බඩට ගහලා... අත්පුඩි ගහලා තාල මවන්න පුළුවන්  

මේ තාල හදන්නේ කවුද?
මේවා බොහෝවෙලාවට මගේ නිර්මාණය හරහා එනවා. අපි පුහුණුවීම් කරද්දී අපේ ශිල්පීන්ගේ අදහස් අනුව ඒ තාල වෙනස් වෙනවා. මටනම් මේ දේවල් කරද්දී පසුබිම් වෙන්නේ මේ දේශීය කලාවේ එන පද කොටසුයි. ඒවා පොඩ්ඩක් වෙනස් කරලා සමහර තාල ඒ හා සමානවම අපි අපේ තාල නිර්මාණ කරගන්නවා. අපේ තාලවලදී ප්‍රධාන පසුබිම වන්නේ අපේ සම්ප්‍රදාය බෙර වාද්‍යයේ එන තාලයි. මම විශ්වාස කරන දෙයක් තමයි. නිර්මාණවේදී කුමක් හෝ දෙයක් තුළ ගැඹුරු අධ්‍යනයක් කරල තියෙන්න ඕනෙ.

සචින්ත ඉගෙනගෙන තියෙන්නේ උඩරට නර්තන කලාවද?
ඔව්... මම ඉගෙනගෙන තියෙන්නේ උඩරට නර්තන කලාවයි. ඉතින් මට ඒ ඔස්සේ තමයි පහතරට, සබරගමු ඒ කලාවන් තුළත් සැරිසරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධාන බෙර වර්ග හතර වන ගැටබෙරය, යක් බෙරය, දවුල, තම්මැට්ටම යන බෙර හරියාකාරව වාදනය කරන්න පුළුවන්නම් මේ මුළු ලෝකේ තියෙන ඕනෑම බෙර වර්ගයක් වාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම ළඟ ඉගෙනගන්න හැම ගෝලයෙක්ටම මම මුලින්ම කරන්නේ මේ බෙර කලාව උගන්වන එක.

ප්‍රසංගවලදී වැඩිපුරම  Beat Drummers බෑන්ඩ් එකට  ඉල්ලුම තියෙන්නෙ මොන කලාවටද?
ලංකාව තුළ අපව බොහෝ ඉල්ලුම තියෙන්නේ නව තාලවලින් නිර්මාණ වුණ තාලයන්ටයි. සම්ප්‍රදායික තාල ඉල්ලනවා අඩුයි. ඒ නිසා හැමදාමත් අලුත් තාල නිර්මාණ කරමින් බොහෝම හෙමීට අපි මේ ගමන පැමිණ තියෙනවා.

ලබන අවුරුද්දට Beat Drummers ට වසර දහයක්?
ඔව්... ලබන අවුරුද්දේ ජනවාරි මාසේ වෙනස්ම වෙනස් ප්‍රසංගයකින් අපේ දහවෙනි සංවත්සරය සමරන්න හිතාගෙන ඉන්නවා. විදේශ රටවල් වලිනුත් කලාකරුවන් කීපදෙනෙක් ගෙන්නලා අමුතු ප්‍රසංගයක් කරන එක තමා අපේ ලොකුම බලාපොරොත්තුව. 

► Text – Dishani / Pic - Sumudu

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00