2021 ජනවාරි 09 වන සෙනසුරාදා

දාඩිය වැක්කෙරෙද්දි බැනියම ඇඳගෙන තාත්තා වයලීනය ගහපු කාලයක් තිබුණා...

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 144

ඉසියුම් රස සවන් සනහන නවාතැනක මම මොහොතකට නවතිමි. බුදු සිසිල ගලාලා සමඟින් ඇරඹූ ඔහු නිර්මාණ චාරිකාවේ හදවත දැහැන්ගත කළ සොඳුරු නිර්මාණ අතර සැරිසරද්දී මානවීය ප්‍රේමයෙන් පරිසමාප්ත වූ ඒ හඬ තරම් මා දෙසවන සහ හදවත නැවතුණු වෙනත් භාවාත්මක හඬ මාධුර්යයක් මේ තාක් කිසිදු තැනකදී මට හමු නොවුණි.

නිරහංකාර සොඳුරු ආඩම්බරකාරයකු ලෙස මා දුටු, මා කියවූ මනුෂ්‍යත්වයෙන් පොහොසත් ඒ අමරණීය හඬ අමරසිරි පීරිස් යන අසහාය වයලීන වාදකයා සතු වූයේය. අසහාය ගායකයා හා සංගීතවේදියා සතු වූයේය.
ජනනි ඉන්දිරා පීරිස්.. ඔහුගේ දියණිය සමඟ මේ කතාබහ ඒ බොහෝ දෑ පිළිබඳවය.

සුවහසක් මිනිසුන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ අමරසිරි පීරිස් කියන ප්‍රවීණ වයලීන් වාදකයාගේ, සංගීතවේදියාගේ, ගායකයාගේ දියණිය ඔබ... ඔහු ඇසුරේ සංගීතය ප්‍රගුණ කරන්නට ඔබ ලද ඉඩහසර කෙසේද?
ඒ ප්‍රශ්නයට මට දෙන්න තියෙන්නේ මෙහෙම උත්තරයක්. මම උසස් පෙළ විෂය ධාරාවටත් සංගීතය විෂයක් විදිහට ඉගෙන ගත්තා. ඒත් අපිට පුංචි කාලයේ ඉඳන්ම තාත්තාගෙන් සංගීත විෂය පිළිබඳව හදාරන්න ඉඩහසරක් පසුබිමක් නිර්මාණය වී තිබුණේ නැහැ. මුල් කාලයේ තාත්තා ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ වයලීන වාදකයෙක් ලෙස රැකියාව කළේ. ඒ දවස්වල තාත්තාට සංගීත ප්‍රසංග සමඟ රට පුරා විවිධ තැන්වලට යන්න සිද්ධ වුණා. තාත්තාගේ වෘත්තිය ස්වභාවයත් එක්ක තාත්තා ගෙදරට නොපැමිණි දවස් තිබුණා. ගෙදර එන දවසට වුණත් හුඟාක් රූවෙලා එන දවස් වැඩි වුණා. ඒ නිසා සංගීතය කියන විෂය ප්‍රගුණ කරන්න තාත්තාගෙන් හව්හරණක් මඟපෙන්වීමක් ලැබුණා කියලා කියන්න තරම් මතකයක් ඇත්තටම නෑ.. ජීවිතයේ තාත්තා සිටිය යුතු බොහෝ තැන්වලත් ප්‍රායෝගිකව මහා ශක්තියක් සෙවණැල්ලක් වෙලා හිටියේ අපේ අම්මා.

තාත්තාට ඔබ සහ ඔබේ සහෝදර සහෝදරියන් එක්ක ඉන්න ලැබුණු දවස්වල තාත්තා වයලීනය ළඟට අරගෙන වාදනය කරපු, එකට සින්දු කියපු මිහිරි මතක එක්ක ගෙවිච්ච දවස් ජීවිතයේ තිබුණද?
ඒ වගේ හරිම ආදරයෙන් සතුටින් ගෙවුණු හැන්දෑවන් රාත්‍රීන් තිබුණා. තාත්තා කිසිම භාෂා භේදයක් නැතුව දමිළ ඉංග්‍රීසි ඔය ඕනෑම භාෂාවක සින්දු අහන්න පුරුදු වූ කෙනෙක්. මම පුංචි දවස්වල තාත්තා ගෙදර ඉද්දි දැක්ක දෙයක් තමා නිතර විවිධ භාෂාවන්ගේ සින්දු අහන එක. තාත්තා එහෙම සින්දු අහනවා දකිද්දී අපිත් ඒ ගීත රසවිඳින්න ඉබේම පුරුදු වුණා. අදටත් දමිළ ගීත අහන්න මගේ තියෙන කැමැත්ත පිටුපස තියෙන්නේ තාත්තගේ ඒ පුරුද්ද. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන එක මැනවින්ම හඳුනා ගත්ත කෙනෙක් මගේ තාත්තා.

ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රය තුළ අපි දකින පොදු ප්‍රවණතාවක් තමයි මව හෝ පියා සංගීත ක්ෂේත්‍රයේ හෝ වෙන යම් කලාවක නියැලී ඉන්නවනම් එක දරුවෙක් හෝ ඒ ක්ෂේත්‍රයට යොමුකරන්න ඔවුන් උත්සාහ කරනවා. ඔබේ තාත්තා කවදාවත් එවැනි උත්සාහයක් දැරුවේ නැද්ද?
අපේ පවුලේ දරුවෝ පස් දෙනෙක්. අපේ අයියා මාධව පුංචි කාලයේ ඉඳන්ම වයලීනය ඉගෙන ගත්තා. ඇත්තටම අයියට හොඳට වයලීනය වාදනය කරන්න පුළුවන්. ඒත් තාත්තා අපිව සංගීත ක්ෂේත්‍රයට යොමු කරන්න කිසිම උත්සාහයක් කවදාවත් ගත්තෙ නෑ. අද මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙස කටයුතු කරනවා. මගේ අයියා ජීවත් වෙන්නේ ඉතාලියේ. එක් සහෝදරියක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. අනිත් සහෝදරිය බැංකු කළමනාකාරවරියක්. බාලම නංගි තවම අම්මා තාත්තා එක්ක ගෙදර ඉන්නවා. අයියා, මම, ඔස්ට්‍රේලියාවේ ඉන්න නංගි, අපි තුන්දෙනා විශේෂයෙන් කලාවට නැඹුරු වුණා. තාත්තා අපිව සංගීතය පැත්තට යොමු කරන්න උත්සාහයක් නොදැරීම ලෝකය දකින වැටහෙන අද දවසේ මම දකින්නේ තාත්තාගේ උත්තම ගුණයක් විදිහට මිසක් දුර්වලකමක් විදිහට නෙවෙයි. කලාව කියන්නේ පරම්පරා උරුමයක් ලෙස ලද යුතු දෙයක් නෙවෙයි. කලා හැකියාව කියන්නේ සංසාර කුසලයක්. වාසනා ගුණයක්. කලාව කියන්නේ වැඩවසම් චින්තනය අනුව පරපුරෙන් පරපුරට උරුම විය යුතු වෘත්තියක් නොවේය කියන නිවැරදිම චින්තනයේ හිටපු කෙනෙක් මගේ තාත්තා.. අමරසිරි පීරිස් කියන ගායකයාගේ දරුවොත් ගායක ගායිකාවන් විය යුතුයි කියන හිතුවිල්ල කවදාවත් තාත්තාගේ තිබුණෙත් නෑ. ඒ වෙනුවෙන් තාත්තාගේ දැන හැඳුනුම්කම් තාත්තා කවදාවත් පාවිච්චි කළෙත් නෑ.. තාත්තා හැමදාම කීවේ තමන්ට හැකියාවක් තියෙනවනම්, ඒ හැකියාව පිළිබඳ සාධාරණ තක්සේරුවක් ඇගයීමක් ලද හැකිනම් ඒ දේ කරන්න කියන එක.

තාත්තා ඒ විදිහට මඟහැරුණු අවකාශයේ හිස්තැන පිරෙව්වේ කවුරුන්ද කියලා ඇහුවොත් මොකද්ද ඔබේ උත්තරය?
අම්මා.. ඒ තමා මම හරිම ආදරයකින්, ගෞරවයකින් හදවතින්ම දෙන උත්තරය. හැබැයි ඒ උත්තරයෙන් කියවෙන්නෙ නෑ අපේ තාත්තා දරුවන්ට ආදරය නොකළ තාත්තා කෙනෙක් කියලා.. 

ඇත්තටම ඔබේ තාත්තව ඔබ දකින්නේ කොහොමද?
තාත්තාගේ හදවතේ හරි දුර්ලභ උත්තම මනුෂ්‍යත්වයක් තිබුණා. තාත්තාගේ ආදරය හරි ගැඹුරුයි. තාත්තා හැමදාම තමන්ගේ හෘද සාක්ෂියට අවනතව ජීවත් වුණු කෙනෙක්. බොරුවට සෝබනයට බොරු හිතවත්කම්, චාටු කතා, හිනා තාත්තා ගාව නෑ. සැබෑ ආදරයට, මිත්‍රත්වයට, හිතවත්කමට තාත්තා අවංකව ආදරෙයි. හිතවත්. ඒ නිසාම තාත්තාගේ ඒ අවංකත්වය තේරුම් ගන්න බැරි අයට තාත්තා හිනා නොවෙන, වැඩිය කතා නොකරන සමාජශීලී නොවන අහංකාර මනුස්සයෙක් විදිහට පේනවා ඇති. ඒත් ඒක හරි වැරදි වැටහීමක්.

අමරසිරි පීරිස් සතු ශ්‍රී ලාංකික අනන්‍යතාවය, එකදවසකින් ගොඩනගාගත් දෙයක් නෙවෙයි. ඒ පැමිණි ගමන්මඟ ගැන කතා කරන්න ඔබ කැමතිද?
එක් වරට දහස් වාරයක් එකඟයි. තාත්තා කවදාවත් කාගෙන්වත් කිසි දෙයක් අවස්ථාවක් ඉල්ලාගෙන ගිය කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක්. තාත්තා හැමදාම තාත්තාගේ අභිමානය සහ වටිනාකම රැකගෙන කිසිම භෞතික හෝ මූල්‍යමය සාධකයක් ළඟ ඒ ප්‍රතිපත්ති හා අභිමානය විනාශ කර නොගෙන හෑල්ලු කර නොගෙන ජීවිතය දිනාගත්ත පරමාදර්ශී මනුස්සයෙක් විදිහටයි මම දකින්නේ.
බුදු සිසිල ගලාලා ගීතය ගුවන්විදුලියේ ගායනා කළත් තාත්තා දිගටම කටයුතු කළේ වයලීන වාදකයෙක් විදිහට. තාත්තා කවදාවත් සින්දු කියන්න ඉල්ලගෙන ගියේ නෑ. තාත්තට වයස අවුරුදු 45 වෙද්දි තමා ළඳුනේ ගීතය ගායනා කළේ. අමරේ.. ඔයා කියන්න මේ සින්දුව කියලා කේමදාස මාස්ටර් කළ ඉල්ලීම නිසයි ඒ ගීතය ගායනා කළේ.

ළඳුනේ ගීතයෙන් පසු තාත්තාගේ හඬට ලැබුණු ප්‍රසංශනීය ප්‍රතිචාර තමා තාත්තා ගායකයෙක් විදිහට ඉදිරියට එන්න පසුබිම සකස් කළේ.
ඒ කාලයේ අද වගේ පහසුකම් තිබිලා නෑ. තාත්තා කියලා තියෙනවා ගුවන්විදුලි වාදක මඬුල්ලේ ඉද්දි චිත්‍රපට ගීත සඳහා සංගීතය සපයද්දි ගීත පටිගත කරද්දි වින්ද දුෂ්කරතා ගැන. සමහරවිට රූ එළිවෙන තුරු වැඩ. එක දිගට දවස් ගාණක් වැඩ. හරියට කෑමක් පවා නොලැබෙන දවස් තිබිලා තියෙනවා. ටක ටක හඬින් කැරකෙන විදුලි පංකාවෙන් හරියට හුළං එන්නැති වුණාම රස්නය ඉවසාගන්න බැරි වෙද්දි කමිසය ගලවලා දාලා දාඩියට ඇඟට ඇලුණු බැනියම පිටින් වයලීනය ගහනවා කියලා තාත්තා කියලා තියෙනවා. 

ඒ විදිහෙ අත්දැකීම්, දුෂ්කරතා මැද ආපු ගමනක අතීතයක් තමා තියෙන්නෙ. ඔබ කියන විදිහට අපේ තාත්තා මේ රටට ලැබුණු අනගි දායාදයක් නම් මේ වගේ වෙහෙසකර අතීතයක් විසින් තමා ඒ දායාදය නිමවලා තියෙන්නේ.
ඔබ කියන විදිහට අම්මා කියන චරිතය තමා ඔබේ ජීවිතයේ පිටුපස සෙවණැල්ල.. නිවසේ ශක්තිය.. මට දැනෙන ඒ හිතුවිල්ල ඇත්තක්ද?

අම්මා අපි පුංචි කාලයේදිම අපේ හැකියාවන් හඳුනා ගත්තා. අම්මා තමයි අපිව සංගීතය පැත්තට යොමු කළේ. අයියාව වයලීන පන්තියට එක්ක ගියේ, මාව සංගීත පන්තියට එක්ක ගියේ, අනිත් සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු මේ සියල්ල සැලසුම් කළේ අම්මා. ගේ හදද්දී ඒ වැඩ කටයුතු සියල්ල බැලුවේ සැලසුම් කළේ අම්මා. තාත්තා හම්බ කරන දේ හරිම අරපිරිමැස්මෙන් වියදම් කරමින් සියලු පරිපාලනය කරට ගත්තේ අම්මා. මාව පන්ති එක්ක ගිහින් ගෙදර එද්දි රූ 10.00 විතර වෙනවා. ඒත් කවදාවත් අම්මා ඒ කිසිදෙයක් වෙහෙසක් විදිහට සැලකුවේ නෑ. මගේ අම්මාත් හේවුඩ් (වර්තමානයෙහි සෞන්දර්ය විශ්වවිද්‍යාලය) එකේ ඉගෙන ගත්ත සංගීත උපාධිධාරිනියක්. අම්මාට ගුරු පත්වීමක් ලැබුණත් අම්මා ඒ සියල්ල තාත්තා සහ අපි වෙනුවෙන් කැප කළා. අම්මාට ඕන වුණේ එයාගේ ලෝකය සරසාගන්න නෙවෙයි. තාත්තාගේ සහ එයා කුසින් බිහි කළ, ලේ කිරි කරලා ඇතිදැඩි කළ දරුවන්ගේ ලෝකය සරසන්න. පවුලේ සියලු වගකීම් බර දැරුවේ අම්මා. ඇත්තටම තාත්තාගේ ගමන වෙනුවෙන් අම්මා කැමැත්තෙන්ම තාත්තාව නිදහස් කළා කියලා මට හිතෙන්නේ. කවදාවත් කාටවත් දොසක් නොකියා හැමදේම අම්මා සොඳුරු වෙහෙසක් විදිහට බාරගත්තා. තාත්තාගේ අම්මගේ පවුලේ අයට ඥාතීන්ට පවා සියලු යුතුකම් අම්මා ඉටු කළා. ගෙදරට කවුරු ආවත් කවදාවත් කඩෙන් කෑම ගෙනත් දෙන පුරුද්දක් අම්මට තිබු‍ණෙ නෑ. ආගන්තුක සත්කාරයට හරි ළැදියි අම්මා. ඒ වගේම හරිම රසට උයන්න පුළුවන් අම්මාට. අදටත් කවුරු ආවත් උයලා කන්න දීලා සංග්‍රහ කරන්නේ හරි කැමැත්තෙන්. ගෙදරට එන කිසිම කෙනකුට තේ කෝප්පයක් හෝ නොදී යවන පුරුද්දක් මගේ අම්මට තාත්තට නෑ. අපි පුංචි දවස්වල ඉඳන්ම පරාර්ථකාමී මනුස්සකම් එක්ක ගුණ දහම් එක්ක හැදෙන පරිසරයක් අම්මා නිර්මාණය කළා. ඇය සැබෑ මව්වත් ගුණ තිබුණු මවක් සහ බිරිඳක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, දියණිවරු හතර දෙනෙක්ගේ හා පුතෙකුගේ වගකීම, ගේ දොර වැඩ, පවුල්වල ඥාතින්ට මිතුරන්ට විය යුතු යුතුකම් මේ සියල්ල කාටවත් දොසක් කියන්න ඉඩක් නොතියා ඉටුකළ හරිම ධෛර්යමත් ගැහැනියක් ඇය. මගේ ජීවිතේ ජයග්‍රහණ පිටුපස වැඩිපුර තියෙන්නේ අම්මාගේ දහදිය හා කඳුළුවල බර සහ වටිනාකම.

ජනනි.. ඔබේ සරසවි ජීවිතයේ මතක ගැන අපි කතා කරමුද?
මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න යද්දි අම්මාගේ ලොකුම බලාපොරොත්තුවක් තිබුණේ මම සංගීත ගුරුවරියක් වෙයි කියන එක. මම ඉතා අඩු වයසින් විවාහ වුණේ. ඒ අම්මා තාත්තා ගෙනාව යෝජනාවක් අනුව. මගේ මහත්තයා ශාලිත් කුමාරසිංහ. මගේ අම්මා තාත්තා ජ්‍යොතිෂ්‍ය හුඟාක් විශ්වාස කරනවා. මගේ කේන්දරය අනුව තමා එයාලා මාව ඉක්මනින් විවාහ කරලා දුන්නේ. අවුරුදු 21දී සරසවියේ ඉගෙන ගන්න යද්දි මට මගේ දුව අමා ලැබිලා හිටියේ. දුවගේ වැඩ කටයුතු නිසා මගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නැවතුනා අවුරුදු දෙකක් විතර. දවසක් අමරා රණතුංග මහත්මිය තාත්තාට මුණගැහිලා දරුවාගේ අධ්‍යාපනය නතර වෙන්න දෙන්න එපා කියලා තාත්තට කියලා සරසවියත් එක්ක කතා කරලා තමා මම නැවත සරසවියට ගිහින් උපාධිය ලබාගත්තේ. උත්තර භාරතීය සංගීතය හැදෑර මම 2011 වසරේ තමා ගුරුවරියක් විදිහට රැකියාවට ගියේ.
ගුරුවරියක් විදිහට පත්වීම ලැබුවට පසුව හෙමින් හෙමින් තාත්තා මාව එයාගේ සංගීත වැඩ කටයුතුවලට සම්බන්ධ කර ගත්තා. තාත්තා එක්ක එහෙම අවස්ථාවල මම වේදිකාවේ ගීත ගායනා කළා.

ඔබට හිතෙනවද අම්මට හැබෑ කරගන්න බැරිවුණු හීන අම්මා ඔබ තුළින් දකින්න බලා හිටියා කියලා?
අම්මා අපි දරුවෝ පස් දෙනාගෙන්ම බලාපොරොත්තු වුණේ ජීවිතයේ දිනන මිනිසුන් දකින්න. අපේ ජයග්‍රහණවලදි අම්මා තරම් සතුටු වුණේ නෑ වෙන කවුරුත්.

අමරසිරි පීරිස්ගේ දුව කියන හැඳින්වීමට කොයි විදිහේ පිළිගැනීමක්ද ඔබට සමාජයෙන් ලැබුණේ?
ඒ ලැබුණු ප්‍රතිචාර ධන සහ ඍණ කියන දෙකටම අයිතියි. ඇත්තම කතා කළොත් අපි යන ගමනෙදි සමහර අයගේ ඊර්ෂ්‍යාවට, ඒ හැඳින්වීම හේතුවක් වුණා. ගැටලු ආවා. ඒ වගේම තවත් හුඟාක් තැන්වල ලොකු පිළිගැනීමක් වටිනාකමක් ලැබුණා. මගේ පාසලේ විදුහල්පතිනිය තාත්තට කියන්නේ එයාගේ කැමතිම ගායකයා කියලා. තාත්තාට ගායනා කරන්න ගීත පවා ඇය ලියුවා. එතුමිය ලියූ ගීත මමත් ගායනා කළා.

ඔබ ඔබේ ශිෂ්‍යාවන්ට හුඟක් ළැදි ගුරුතුමියක්. කොහොමද ඒ වගේ බැඳීමක් ඇතිකර ගත්තේ?
ගුරුවරයෙකුට තමන්ගේ ශිෂ්‍යයන්ගේ ජීවිතය දකින්න කියවන්න පුළුවන්නම්, විෂයෙන් ඔබ්බට ගිහින් ඔවුන්ගේ හදවතේ රැඳෙන්න පුළුවන්නම් ඒක හරි සොඳුරු බැඳීමක්. ගුරුකමේ වටිනාකම මම දකින්නේ තමන්ගේ ලෙයින් කිරෙන් හදන දරුවන්ට පමණක් මාතෘත්වය හා පීතෘත්වය දීම තුළ පමණක් නෙවෙයි. මගේ ශිෂ්‍යාවන් එයාලගේ හැම ප්‍රශ්නයක්ම මට කියන තරමට මට ළෙන්ගතුයි. මට දරුවෙක්ගේ මූණ දකිද්දි ඒ දරුවා ඉන්න මානසිකත්වය හඳුනාගන්න පුළුවන්.

අමරසිරි පීරිස් කියන ගායකයාගේ, සංගීතවේදියාගේ සංගීත ගමන් මඟේ ශක්තිය ඔහුගේ බිරිඳ කියලා කීවොත් ඒක නිවැරදිද?
ඔව්. මගේ තාත්තා හරි ඉක්මනින් මිනිසුන් විශ්වාස කරනවා. ඒ නිසාම එයා රැවටෙන්න පුළුවන් කියලා අම්මා හැමදාම හිතුවා. තාත්තා හුඟාක් සමාජශීලී නොවුණත් එයා හොයාගෙන එන ඕනෑම කෙනෙකුට තරාතිරමක් නොබලා සලකන උදව් කරන පුරුද්දක් තාත්තට තියෙනවා. ක්ෂේත්‍රයේ වුණත් අලුත් අයට හරියට අත දුන්නා. අදටත් ඒක එහෙමයි. මේ සමාජය, මිනිසුන් ගැන හරි අවබෝධයක් ලබාදීලා තාත්තාව පරිස්සම් කරගෙන සැබෑ මිතුරන් කවුද නැද්ද කියලා කියා දීලා හරි වැරැද්ද පෙන්වලා දීලා හැමතැනකදිම තාත්තා පරිස්සම් කරන්නෙ අම්මා.. තද හිතක් ඇති කෙනෙක් වගේ පෙනුණට තාත්තා හරිම සංවේදී කෙනෙක්. චුට්ටක් ඇත්නම් එයාගේ ඇස් කඳුළින් පිරෙනවා. ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් තාත්තා ළඟ තියෙනවා. ඒ හැමදේම ගැන අවබෝධයෙන් අම්මා තාත්තාව බලාගත්තා. තාත්තාගේ ආහාරපාන ගැන පවා අම්මා හරිම සැලකිලිමත්. මගේ තාත්තා කෑගල්ලේ පුංචි ලස්සන ගමක පන්සලක් හැදුවා. අද හුඟක් දුර බැහැර ඉඳන් මිනිස්සු ඒ පන්සල බලන්න එතන සිල් සමාදන් වෙන්න එනවා. ඒ මුළු ගමම අම්මට තාත්තට ආදරෙයි. තාත්තත් අම්මත් ඒ දේවල් දිහා බලලා හරිම නිරාමිස සුවයක් විඳින්නේ. ඒ වගේම කලාකරුවන් අසරණව ඉන්නා වෙලාවට තාත්තා හැකි තරම් උදව් කළා. ඒ වගේ කුසල කර්ම කරද්දි අම්මා හරි කැමැත්තෙන් තාත්තට උදව් කළා. හැමදාම තාත්තට ගෞරව කළා. වටිනාකම් දුන්නා.

අම්මාගේත් තාත්තාගේත් ආදරය අතර වෙනස ඔබට දැනුණේ කොහොමද?
පොඩි කාලේ අපට හිතුණේ එයා හරිම වසයි කියලා. ආදරයෙන් එයා කතා කරනවා හරි අඩුයි. ඒත් අම්මට අපිට සැර කරන්න ගහන්න තාත්තා කවදාවත් ඉඩ දුන්නෙ නෑ. කෙනෙකුට ආදරෙයිනම් තාත්තා එයාට පණ හරි දෙනවා. එයාගේ ආදරය මනුස්සකම හරි වෙනස්. ගැඹුරුයි.

ජනනි.. ඔයාගේ මහත්තයාගෙන් දුවගෙන් ඔබ යන ගමනට ලැබෙන සහායට ස්තූතියි කියන්න කැමතිද?
මගේ මහත්තයා මට වඩා වයස අවුරුදු 12ක් වැඩිමහල්. එයා මට වෙලාවකට මගේ සහෝදරයෙක්, මිත්‍රයෙක් වගේ. මම සංගීතය පැත්තෙන් ගමනක් යනවට එයා හරිම කැමතියි. හරි අවබෝධයෙන් මට නිදහස දීලා එයා මට හැමදේකටම උදව් කරනවා. ලොකු රුකවරණයක් එයාගෙන් මට ලැබෙනවා. මගේ දුව අමා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. එයාටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්. දුවක්, ගැහැනියක්, මවක්, බිරිඳක්, විදිහට මම හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා.

අමරසිරි පීරිස් ගීතාවලිය තුළ ඔබ කැමතිම ගීතය මොකද්ද ඇහුවොත් දෙනවද උත්තරයක්?
තාත්තා ගැයූ කන්‍යාවී ගීතයට මම හරි ආසයි. ඒ වගේම ළඳුනේ, කවුරුවත් නෑ වැනි ගීත මට හුඟාක් දැනුණා. තව හුඟාක් ගීත තියෙනවා. විශේෂයෙන් තාත්තා ගැයූ කේමදාස මාස්ටර් සංගීතවත් කළ ගීතවලට මම හරිම කැමතියි. එහි සංගීතය ඒ තරම් ආකර්ෂණීයයි. කේමදාස මාස්ටර්ගේ සංගීත වැඩ කටයුතුවලදී ඔහුට නැතුවම බැරිවුණු චරිතයක් තමා මගේ තාත්තා.

තාත්තා එක්ක මෙතෙක් කරගෙන ආ සංගීත කටයුතුවල තවත් එක් සොඳුරු කඩඉමක් විදිහට ඔබ කතා කර තිබුණා තාත්තා එක්ක නුදුරේදිම ජාතික රෑපවාහිනියේ සිහිනයකි රෑ සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කරන්න ලැබෙන අවස්ථාව?
ඔව්.. මහේෂ් නිශ්ශංක මහතාගේ ඇරියුම අනුව මගේ තාත්තාත් මමත් එහි ගීත ගායනා කරනවා. ගීත තෝරන්නේ මගේ තාත්තාගේ ඉතා ළෙන්ගතු විශ්වාසවන්ත මිත්‍රයෙක් වගේම රසිකයෙක් වන වෛද්‍ය අසේල විජේසුන්දර. ඔහු මගේ තාත්තාගේ වටිනාකම් අවබෝධ කරගත් තාත්තට විශාල ගෞරවයක් පිරිනමන කෙනෙක්. ඒ වගේම වෛද්‍ය අසේල විජේසුන්දර සාහිත්‍ය හා ගීත විචාරකයෙක් ග්‍රන්ථ කතුවරයෙක් සහ ගී පද රචකයෙක්. තාත්තා අලුතින්ම එළිදක්වන්නට බලාපොරොත්තු වන ගීතයක ගී පද රචකයා වෙන්නෙත් ඔහු..

ඇත්තටම ඒ වගේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ප්‍රාසාංගික වැඩසටහනක තාත්තා එක්ක ගී ගයන්න මම හරිම කැමැත්තෙන් ඉන්නෙ. ඒ ලද අවස්ථාව මගේ ජීවිතයේ ලොකු වාසනාවක්. පුහුණුවීම් කරද්දි තාත්තා වචනයක හැඩතල, හඬ මාධුර්යය මේ සියල්ල ගැන දෙන ගුරුහරුකම් හරි වටිනවා. නුදුරේදීම සිහිනයකි රෑ තුළින් තාත්තත් මමත් එකම වේදිකාවක ගයන ගීත සමුච්චයකින් ඔබ මුණගැසෙන්න මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ.

 

► සංජු

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00