2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

හැමෝම කියන්නෙ මේපාර පුතෙක් කියලා

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:05 154

RAJITHA HIRAN

රජිත මොකද මේ පසුගිය දවස්වල ඉස්පිරිතාලේ නතර වුණේ. මොකක්ද අසනීපේ?

ආ... ඒක පොඩි අසනීපයක්. මාස ගාණක ඉඳන් මගේ බඩේ වම් පැත්තේ පොඩි රිදිල්ලක් ආවා. ඉතින් කොයිකටත් හොඳයිනේ කියලා තමයි නවලෝක රෝහලේ නතරවෙලා දවස් කීපයක් ප්‍රතිකාර ගත්තේ. දැන් නම් හොඳයි.

දැන් කොයි කාලේ විතරද රජිත දරු දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්නේ?

ඇන්ඩ්‍රියාට දැන් බබා හම්බ වෙන්න ළඟයි. මාස පහ මේ යන්නේ. අගොස්තු මාසේ තමයි එයාට දින දීලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම දෙදරු පියෙක්. තාම එක්දරු පියෙක්.

එහෙමනම් දැන් ලොකු දූ ගැනත් ටිකක් කියමු. තාම ඉස්සර වගේම දඟයිද?

දැන් ලොකු දුව වයස අවුරුදු අටයි. දැන් තුන වසරේ ඉන්නේ. එයාගේ නම ඇමන්ඩා රියානා. එයාට දැන් හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ දැනුමක් තියෙනවා. ඉස්සර තරම් දඟ නෑ.

කොහොමද එයා දැන් එයාගේ මල්ලි හරි නංගි හරි පිළිගන්න ලෑස්තිද?

අනේ ඔව්. පුංචි වුණාට එයා වගකීම් කරට අරගෙන අම්මට ලොකු සපෝට් එකක් දෙනවා. ගෙදර වැඩවලට ගොඩක් උදවු කරනවා. ඇන්ඩ්‍රියාට සමහර වෙලාවට කෑම කවන්නෙත් දූ ඉතින් වදේ... තව කටක් කන්න... මේක මල්ලිට කිය කියා මුල් කාලේ තිබුණු දඟ ගතිය ටිකක් අඩුවෙලා දැන් එයා අක්කා කෙනෙක් වගේ හිතන්න පුරුදු වෙලා.

රජිත බෞද්ධ, ඇන්ඩ්‍රියා හින්දු කතෝලික.. එහෙම නේද?

ඔව්... එයා ඉන්දියානු ජාතික දෙමළ කතෝලික. එයාගේ තාත්තා ඉන්දියාවේ බොම්බේ. මව සිංහල බෞද්ධ ශ්‍රී ලාංකික. අපි ගෙදර කතාකරන භාෂාව ගත්තොත් මම සිංහල කතා කරන්නේ. පවුලේ අනිත් කට්ටිය හින්දි භාෂාවයි, ඉංග්‍රීසි භාෂාවයි කතා කරන්නේ. බබාට මේ භාෂා දෙකතුන ගැනම අවබෝධයක් තියෙනවා. ගෙදර බුදු පහන තියනවා. එහා පැත්තෙන් ජේසුස් වහන්සේට පහන තියනවා. ලංකාවට සංහිදියාව කියලා දෙන්නේ අපි තමයි.

එතකොට සිංහල අලුත් අවුරුදු කාලෙත් හරි අපූරුයි නේද රජිත?

ඔව්... මේ පාර සිංහල අලුත් අවුරුද්දට මම හිරු නාලිකාවේ සජීවි වැඩසටහනට සහභාගි වුණා. ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ ඩුබායි රටේ. අපි හැමදාම ඩුබායි ෂෝ එකට ගියාම නතර වෙන්නේ හොටෙල්වල. ඉතින් ගිය අවුරුද්දේ අපි ෂෝ එකට ගියාම නතර වුණේ අපේ රටේ ඉන්න අය නතර වෙලා ඉන්න ගේක. මායි සුරේෂ් ගමගේයි අවුරුදු සැමරුවේ ඒ පුංචි කාමරේ. ලංකාවේ අය එක පුංචි කාමරයක් ඇතුළේ අටක් දහයක් දුක්විඳගෙන ජීවත් වෙනවා. 

එතකොට ඇන්ඩ්‍රියයි ඔයයි සමරපු සිංහල අලුත් අවුරුදු?

ඇන්ඩ්‍රියයි මායි නත්තල් සමරනවා. සිංහල අලුත් අවුරුද්දත් සමරනවා. වෙසක් දවසට ඒකත් සමරනවා.

සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ කොහොමද?

ඒ හැම චාරිත්‍රයකදී ඇන්ඩ්‍රියා තමයි මුලිකත්වය ගන්නේ. ඇන්ඩ්‍රියා මුලින්ම ගෙදර කිරි උතුරන්න පටන් ගන්න කොට එයාට වයස විසි දෙකයි. එතකොට එයා අත්දැකීමෙන් අඩුයි. ඒත් එයා අත්දැකීම් අඩුකම එයාගේ වාසියක් කරගත්තේ නෑ. එයා ඒ හැම දෙයක්ම හොයාගෙන බලාගෙන පොත්පත්වලින් එහෙමත් බලලා හැම චාරිත්‍රයක්ම කළා. 

මේ වෙද්දී ඇන්ඩ්‍රියාට ඒ හැමදෙයක්ම හොඳට හුරුයි නේද?

ඔව්. අදටත් ඒ හැම දෙයක්ම කරන්නේ එයා. දැන් බබාට පත්තිනි අම්මගේ පූජාවක් කරන්න හිතාගෙන ඉන්නවා. එයා ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා පත්තිනි පුජාවට ඕන කරන දේවල්, අකැප මොනවද මේ හැම දෙයක්ම හොයාගෙන ලිස්ට් එක හදලා ඉවරයි.

සිංහල චාරිත්‍ර වාරිත්‍රවලට ඔයාලගේ ගෙදර මුලිකත්වයක් ලැබෙනවා නේද?

ඔව්... ඒ හැමදෙයක්ම හොයලා බලලා කරන්නේ ඇන්ඩ්‍රියා. කිරි උතුරලා බුලත් දීලා වඳිනවා. ගනුදෙනු කරද්දී ඉස්සර මම ඒක ලොකුවට හිතන්නෙ නෑ. අනේ ඉතින් ගෙදරට සල්ලි මම දෙනවා. අපි කොහොමත් එකටනේ ජීවත් වෙන්නේ කියලා කියද්දී ඇන්ඩ්‍රියා එහෙම නෑ. ඇන්ඩ්‍රියා නෝට්ටුවකුයි, කාසියකුයි වෙනම කලින්ම ලෑස්ති කරලා අපේ අත්වලටත් දීලා ගනුදෙනු කරනවා. මගේ ජීවිතේ වාහනයක්නම් ඒකේ ඩ්‍රයිවර් ඇන්ඩ්‍රියා තමයි. හැමදෙයක් ගැනම අවබෝධයක් එයාට තියෙනවා.

ලොකු දුව ආසාවෙන් ඉන්නේ මල්ලියෙක් එනකන් නේද?

ඔව්... අපි බලාපොරොත්තුවක් තියෙනවා පුතෙක්ට. මගේ යාළු මිත්‍රයෝ පවා කියන්නේ මේ පාර පුතෙක් කියලා. හැබැයි එහෙම ලොකුවටම බලාපොරොත්තුවක් නෑ පුතෙක්මයි කියලා. පුතෙක්ට ආසයි. ඒ ආසාව ගිය පාරත් තිබුණා. පුතෙක් කියලා ලොකු බලාපොරොත්තුවකින් හිටියා. ඒත් ඇන්ඩ්‍රියාටයි මටයි ඒ පාර ලැබුණේ දුවෙක්. ඒත් මම හිතුවටත් වඩා ඒ පුංචි කෙල්ල මට වාසනාව සතුට හැමදේම ගෙනත් දුන්නා. ඒ නිසා ඊළඟට කවුරු ආවත් ඒ මගේ සතුට වාසනාව ගෙනත් දෙයි කියලා මම හිතනවා. 

ගිය පාරත් අවුරුදු සැමරුවේ ගෙදර නෙවෙයි. මේ පාරත් ගෙදර නෙවෙයි. දුකයි නේද?

ඔව්... ඒකනම් ඇත්ත. ලංකාවේ හැම දරුවෙකුටම ලැබෙන අවස්ථාවක් මට මගේ දරුවට නොලැබෙනවා. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. හැබැයි මේ කැපකිරීම් කරන්නේ මේ රටේ හැමෝම වෙනුවෙන්. චැනල්වලට අවුරුදු සමරන්න ගියාම කිරි උතුරද්දී ඇන්ඩ්‍රියායි මගේ කෙලි පැටියයි තනියම කිරි උතුරුවනවා මතක් වෙද්දී දුකයි. ඒ වෙලාවට පුංචි කෙල්ල මට බුලත් අතක් දීලා වඳිනවා මතක් වෙනවා.

හිතන්නේ නැද්ද ඒ වගේ සුවිශේෂි දවසක ගෙදර නැවතුණානම් හොඳයි කියලා?

එහෙමත් හිතෙනවා. ජීවිතේ හරි ටික කාලයයි. දරුවෙක් තාත්තා කෙනෙක් එක්ක මේ දේවල් කරගෙන යනකොට මේ වගේ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. අපි එහෙම අනිත් අයගේ සතුට වෙනුවෙන් කැප කරලා යන්නේ අපේ සතුටත් කැප කරලා. ටී.වී. එකේ බලන අයට ඒක සතුටක් තමයි. ඒත් ඒ සතුට දෙන මිනිසුන්ගේ හිත ඇතුළේ දුකක් තියාගෙන තමයි මේ සතුට දෙන්නේ. සමහර මිනිස්සුන්ට කලාකරුවන්ව දැනෙන්නේ කාඩ් පැක් එකක ජෝකර්ලා විදිහට. ඒත් කලාකරුවන්ගේ සතුට බොහෝ දේවල් වෙනුවෙන් කැප කරනවා කියලා එයාලා දන්නේ නෑ.  

Text – Dishani Jayamali Karunarathna /   Pic — internet

 

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00