2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

මම ඉස්කෝලෙන් එළවපු ළමයෙක්

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

දසුන්.. ජීවිතේ කොහොමද?
ජීවිතේ හොඳයි. ෂේප් එකේ ගලාගෙන යනවා. ජීවිතේ සතුටින් ඉන්න උත්සාහ කරනවා.

ජීවිතේ පටන් ගත්තේ කොහෙන්ද?
ජීවිතේ පටන් ගත්තේ මරදානෙන්. මගේ අම්මා තාත්තා මට උපත දුන්නා. එතැනින් මගේ ජීවිතේ පටන් ගත්තා. පවුලේ එකම දරුවා වෙච්චි මගේ ජීවිතේ එතැන ඉඳන් එක එක විදිහට ගලාගෙන යනවා. 

ළමා කාලෙදී දසුන් හීන දැක්කේ කවුරු වෙන්නද?
මම ගණිතයට විද්‍යාවට දක්ෂ කෙනෙක් නෙමේ. පාසලේදීත් මම කළේම නර්තනයයි නාට්‍යයයි විතරමයි. ඒ කාලෙදීත් මම ආසා කළේ නළුවෙක් හරි, නැටුම් ශිල්පියෙක් හරි වෙන්න.

ජීවිතේ ලොකුම කට්ටක් කෑවේ කොයි කාලෙදිද?
මම එහෙම කටු කාලා නැහැ. මගේ ජීවිතේ හැමවෙලේම මට ලැබුණේ අත්දැකීම් විතරයි. නාට්‍යවල රඟපාන්න ආසාවෙන් අනන්තවත් පාරේ ඇවිදලා තියෙනවා. ඒ හැම කැපකිරීමක්ම මම මගේ ජීවිතේට අත්දැකීම් කර ගත්තා. ඒවා තමයි මට මගේ ජීවිතේ කියලා දුන්නු අපූරු පාඩම්.

දසුන්.. ජීවිතේ වැඩියෙන්ම ආදරේ කාටද?
මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරන්නෙ මටමයි.

දසුන්ට ජීවිතේ කවදාමදාක හරි මැරෙන්න හිතිලා නැද්ද?
එහෙම හිතෙන වෙලාවල් තියෙනවා. හැබැයි එක විනාඩියෙන් ආයෙත් ඒ සිතුවිලි වෙනස් වෙනවා. මට සියදිවි හානිකර ගන්න තරම් හයියක් නැහැ. ඒත්.. සමහර වෙලාවට කොච්චර දේවල් කළත් අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් නොලැබෙනකොට කොහේ හරි ගිහින් එකපාරටම මැරිලා යනවානම් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. රජකම් ලැබුණත් හිතට සතුටක් ලැබෙන්නෙ නැත්නම් වැඩක් නැහැනෙ.

ජීවිතේ මුලින්ම කරපු රස්සාව මොකක්ද?
මීට වඩා රස්සාවක් මගේ ජීවිතේ කරලා නැහැ. මගේ ජීවිතේ මම කරපු එකම රස්සාව රඟපෑම විතරයි.

තමන්ගේ මහන්සියෙන් ජීවිතේ උපයපු මුල්ම මුදල කීයද? ඇත්තටම මොකක්ද ඒකට කළේ?
මුල් කාලෙදී ඔය නාට්‍යවල අමතර නළුවන් විදිහට රඟපාද්දී මුලින්ම රුපියල් පන්සීයක්, දාහක් වගේ තමයි අතට ලැබුණේ. ඒ සල්ලිවලට වෙන මුකුත් කළේ නැහැ. කරපු එකම දේ බිව්ව එක විතරමයි.

ජීවිතේ පළවෙනි වතාවට මධුවිතක් පාවිච්චි කරද්දී වයස කීයද?
මට පොඩි කාලේ බඩේ අමාරුවක් හැදුණු වෙලාවක තාත්තා මට බඩේ අමාරුවට හොඳයි කියලා මුලින්ම මධුවිතක් දුන්නා මතකයි. එතකොට මම පොඩියි. එහෙම නැතිව මම හිතලා මුලින්ම බිව්ව දවස හොඳට මතකයි. එදා වෙසක් පෝය දවසක්. පෝය දවස්වලට බාර් වහලා තිබ්බට අපි ඒ කාලේ වැඩිපුරම අරක්කු බිව්වෙත් පෝය දවස්වලම තමයි. මුලින්ම මම යාළුවෝ එක්ක බොද්දී මම හිටියේ හත වසරේ. අපි වෙසක් බලන්න යනවා කියලා ගෙදරට කියලා යාළුවෙක්ගේ හොර පොට් එකකට ගිහින් හොරෙන් කට්ටිය හොඳට බිව්වා. ඊට කලින් බීලා නැති නිසා අපිට ඒකේ සීමාවක් තිබුණේ නැහැ. ඉතින් මට හොඳට මතකයි එදා බීලා වැඩිවෙලා මම කබරයා පවා දැම්මා. (වමනේ කරලා) පැය ගාණක් සිහිය නැතිවෙන තරමට එදා මම බීලා තිබුණා. මට හොඳට මතකයි බීලා වැඩිවෙලා වමනේ දාද්දී යාළුවෝ මාව ඇදගෙනත් ගියා. එදා තමයි මම මුලින්ම සිගරුට් එකත් බිව්වේ. වෙසක් දවසේ මම ඒ පව්කාරකම් දෙකම කළා. 

ජීවිතේ මුලින්ම කැමරාවක් ඉදිරියේ හිටපු කාලය මතකද?
මම පොඩි කාලේ මගේ පුංචි කෙනෙක් රඟපෑවා. එයත් එක්ක මමත් ඔය රඟපාන තැන්වලට ගිහින් තිබුණා. මම හතර වසර පන්තියේ ඉගෙන ගන්න කාලෙදී බර්ට්‍රම් නිහාල් මහතාගේ නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ කාලෙදී ඔය කැමරාවල් ගැන, රඟපාන දේවල් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. කියලා දෙන විදිහට ඔහේ රඟපෑවා. පහු කාලෙදී මහේන්ද්‍ර අයියා ළඟට ඇවිත් ඒ හැමදේම ඉගෙන ගත්තා. ලොකු අයියා ළඟට එද්දී මට වයස අවුරුදු දහ නවයයි. එතැනින් තමයි ඒ හැමදේම මම ඉගෙන ගත්තේ.

දසුන්ට තමන් දැන් නළුවෙක් කියලා හිතුණේ කවද්ද?
නළුවෙක් කියලා කාටහරි මට කියන්න අවස්ථාව ලැබුණේ නිනෝ ලයිව් ෆිල්ම් එකේදි. එදා ෆිල්ම් එක රඟපාලා ඒක මම මගේ යාළුවෝ එක්ක රීගල් එකේ බැලුවා. ඒකෙදි මාව කවුරුවත් දන්නෙත් නැහැ. ඒක වෙන විදිහේ දෙයක්. ෆිල්ම් එක බැලුවට පස්සේ උඹ දැන් නළුවෙක්නෙ කියලා කට්ටිය මට කියන්න පටන් ගත්තා. ඒ කීමත් එක්ක මම දැන් නළුවෙක් කියලා මටත් ටිකෙන් ටික හිතුණා.

තමන් පාසලේදි කරපු දඟ වැඩක් නිසා දඬුවම් ලබපු දවසක් ජීවිතේ ඇති නේද?
අම්මෝ.. ඕන තරම් තියෙනවා. අදටත් ඉස්කෝලෙන් මම අස්වීම් සහතිකේ අරගෙන නැහැ. මම ඉගෙන ගත්තේ කේරි විද්‍යාලයේ. ඉස්කෝලෙ ඉගෙනීම අවසන් කරලා මට මොකක් හරි දේකට චරිත සහතිකයක් ඕනවෙලා මම ඒක ගන්න ඉස්කෝලෙට ගියා. එදා මම රැවුල එහෙමත් වවලයි ගියේ. මම ඉස්කෝලෙ ඇතුළටත් ගියා. මාව දැකපු අපේ නියෝජ්‍ය විදුහල්පති මාව ගේට්ටුව ළඟට අල්ලගෙන ඇවිත් උඹ පලයන් කියලා මාව එලෙව්වා. එදායින් පස්සේ මම ආයේ කවදාවත් ඉස්කෝලෙට යන්නෙ නැහැ කියලා හිතුණා. ඒ එලවපු නිසා වෙන්නත් ඇති මාව නළුවෙක් වුණෙත්. එහෙම නැත්නම් මට ඒ චරිත සහතිකෙත් අරගෙන මොකක් හරි ජොබ් එකක් කරගෙන ජීවත් වේවි.

ජීවිතේ තමන් ගත්තු තීරණවලින් වැරදියි කියලා හිතුණු තීරණයක් තියෙනවද?
ඔව්.. කසාද බැඳපු එක වැරදි තීරණයක් කියලා වෙලාවකට හිතෙනවා. බැඳීම් ජීවිතවලට එකතු වෙද්දී අපි තව ඒකට හිරවෙනවා. මම නිදහස් ජීවිතයකට කැමතිවෙලා හිටපු කෙනෙක්. මම කලාකරුවෙක්නෙ. අට පහ රැකියාවක් කරන කෙනෙක්ට තමන්ගේ ජීවිතයක් ගෙවන්න පුළුවන්. නමුත් කලාකරුවෙක්ට එහෙම එකම දේකට කොටුවෙන්න බැහැ. කසාද බැඳලා හිටියේ නැත්නම් මට තව මේ දේවල්වලට හිත යොමු කරන්න පුළුවන්කම තිබුණා. දැන් මම මගේ දරුවන් ගැන හිතන්න ඕනෙ. ගෙදරට වතුර බිල එනවා. කරන්ට් බිල එනවා. ඒ කාලේ මට ඒ වගේ ප්‍රශ්න තිබුණේ නැහැ.

ජීවිතේ කවදා හරි දවසක තමන්ගෙ දරුවන් දසුන් එක්ක ඉඳීවි කියලා හිතෙන්නෙ නැද්ද?
නැහැ, මම කවදාවත් සම්ප්‍රදායක් විදිහට හිතන, වයසට ගියාම දරුවන් මව්පියන්ව බලාගන්න ඕනෙ කියන මතයට එකඟ නැහැ. අපි දැනගන්න ඕනෙ වැඩිහිටි නිවාසයකට හරි ගිහින් ආතල් එකේ ජීවත් වෙන්න. මේ ජීවත් වෙන්න තියෙන්නෙ බොහොම ටික කාලයයි. මේ කෙටි කාලය අපි නාස්ති කර ගන්නෙ ඇයි?

ජීවිතේ ගත්තු තීරණවලින් හරියි කියලා අදටත් හිතෙන තීරණයක් තියෙනවද?
ඔව්.. බබාලා හදපු එක මගේ ජීවිතේ ගත්තු හොඳම තීරණයයි. පිරිමියෙක්නම් පියෙක් වෙන්නම ඕනෙ. ගැහැනියක්නම් මවක් වෙන්නම ඕනෙ. ඒ පිය පදවිය ලබනකම්ම මම ඒ හැඟීම දැනගෙන හිටියෙ නැහැ. නිර්මාණවල තාත්තගේ චරිතය කොච්චර රඟපෑවත් ඒක මට දැනුණෙ නැහැ. ඒත් ඇත්ත තාත්තගේ ඒ හැඟීම් හරියටම දැනෙන්නෙ තමන්ගෙ දරුවෙක් දකිද්දිම තමයි.

දසුන්ගේ ජීවිතේ හැබෑකර ගන්න තියෙන හීන මොනවද?
බලාපොරොත්තු කියලා ලොකු දේවල් මගේ ජීවිතේ නැහැ. සතුටින් ඉඳලා අන්තිම මොහොතෙත් කොන්ද පණ තියෙන නළුවෙක් විදිහට මැරෙන්න තියෙනවානම් ඒ මට හොඳටම ඇති.

 

   සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00