2020 මාර්තු 14 වන සෙනසුරාදා

ගිටාරය කුඩුවෙන්නම පොළොවෙ ගැහුවා

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 145

අපි ඔබේ ළමා කාලයේ සිට මේ කතාබහ ආරම්භ කරමු. සංගීතය කෙරේ ඔබට ඇල්ම ඇතිවුණේ පියාගේ කලායතනයත් සමඟයි. එහෙම නේද?

ඔව්. මම ඉපදෙනකොට තාත්තාගේ කලායතනය ආරම්භ කරලයි තිබුණේ. මගේ තාත්තාගේ ගුරුන්නාන්සේගේ නමින් තමයි පියා ඔහුගේ කලායතනය ආරම්භ කරලා තිබුණේ. ඇම්. ජී. පෙරේරා තමයි මගේ තාත්තාගේ ගුරුන්නාන්සේ වුණේ. මගේ තාත්තාගේ නම ඩබ්. සිරිල් පෙරේරා තමන්ගේ ගුරුවරයාට කළ හැකි කෙළෙහිගුණ සැමරීමක් හැටියට තාත්තා තම කලායතනය ගුරුන්නාන්සේගේ නමින් පවත්වාගෙන ගියා. මට වැඩිමහල් සහෝදරයෙක් හිටියා. ඔහු ආබාධිත කෙනෙක්. අද ඔහු අපි අතරේ නැහැ. මගේ බාල සහෝදරයා අශෝක පෙරේරා. ඒ වගේම මට නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. කුඩා කාලයේ ඉඳන්ම මම හැදුණේ ඒ කලායතනය ආශ්‍රයේම තමයි. එම ආයතනයේ උඩරට නැටුම් සහ සංගීතය ඉගැන්නුවා. කුඩා කාලයේදීත් ඒ පන්තිවල අපි හැමතැනම ඇවිද්දා. වැඩිහිටි අයියලා අක්කලා වයලීන් වාදනය කරද්දී ඒවා අපිත් අතපත ගෑවා. ඒ අය අතරේ වැඩිවෙලා අපි ඒ දේවල්වලට ඇල්ම දැක්වුවා. මේ හැමදෙයක් දිහාම තාත්තා බලාගෙන හිටියා. මුලින්ම නංගිලා තුන්දෙනාට නැටුම් ඉගැන්වුවා. ටික දවසක් ගියාට පස්සේ මායි මල්ලියි පන්තිය පුරාම දඟල දඟල හිටපු නිසා අපිවත් අල්ලලා නැටුම් පන්තියට දැම්මා. මම වසර තුනක් පමණ උඩරට නැටුම් හැදෑරුවා. ඔය අතරේත් සංගීතයත් ඉගෙනගත්තා.

නුවර හරි අපූරු පරිසරයේ ළමා කාලය ගෙවුණු ඔබ සංගීතයට අමතරව කළ ක්‍රියාකාරකම් මොනවද?

අපි පාසල් ගියේ සහ ආවේ අපේ තාත්තා එක්ක තාත්තාගේ වාහනේයි. මගේ නංගිලා නුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. මායි මල්ලියි ඉගෙනගත්තෙ නුවර ධර්මරාජ විද්‍යාලයේ. මගේ තාත්තාත් ධර්මරාජ විද්‍යායේ සංගීතය ඉගැන්වුවා. කලායතනයට එන යාළුවෝ වගේම මට ගමේ සෙල්ලම් කරන්න තව යාළුවෝ හතර පස්දෙනෙක් හිටියා. අපි ගඟේ බැහැලා මාළු පැටව් ඇල්ලුවා. තාත්තාට හොරෙන් ගමේ ඇවිදින්න ගියා. අපේ ගේ ළඟම කිංස්වුඩ් විද්‍යාලය තිබුණා. අපි බොහෝ වෙලාවට හවසට සෙල්ලම් කළේ ඒ විද්‍යාලයේ පිට්ටනියට ගිහිල්ලයි. ගෙදරට කිලෝමීටර් එකහමාරකට එහායින් දිය ඇලි දෙකක් තිබුණා. අපි ගෙදරට හොරා ඒ දියඇලිවලට ගිහින් නෑවා. මගේ තාත්තා හරිම සැරයි. පොඩි දේටත් දඬුවම් කළා. කොච්චර දඬුවම් දුන්නත් ඒ දඟ වැඩත් අපි කළා. හැබැයි කොහේ ගියත් හවස හතරහමාර වෙද්දි අපි ගෙදර ඉන්නම ඕනේ. කලායතනයේ ප්‍රධාන පන්ති සෙනසුරාදා ඉරිදා පැවැත්වුණා. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ රැකියා කරන විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න අය සතියේ දවස් දෙකක් පමණ පන්තිවලට ආවා. ඒ අයට ඉගැන්වූයේ අපිවත් ළඟින් තියාගෙනමයි.

පියා ආනන්දට වාදන භාණ්ඩ උගන්වද්දි වයස කීයද?

පුංචි කාලෙදි මායි මල්ලියි අතට අහුවෙන හැම වාද්‍ය භාණ්ඩයක්ම වාදනය කළා. තාත්තා ඒ හැමදේම බලාගෙන හිටියා. මම වයලින් වාදනය කරන්න වැඩි කැමැත්තක් දැක්වුවා. මල්ලි තබ්ලා, ගැටබෙරය, දවුල වාදනය කරන්න ආස කළා. මේ දේ තාත්තා දැනගෙන හිටියා. වයස අවුරුදු දහයේදී විතර “අද ඉඳන් ඔයා වයලීනය ප්‍රගුණ කරන්න ඕන” කියලා කිව්වා. එදා ඉඳන් මම වැඩිපුරම වයලීනය වාදනය කළා. කලායතන තරග, දහම්පාසල් තරගවලට මම ඉදිරිපත් වුණා. ඒවායින් ජයග්‍රහණයන් ලබාගත්තා.

තාත්තා වගේම ඔබේ මවත් සංගීතයට කැමති කාන්තාවක් නේද?

ඔව්. මගේ අම්මාගේ නම කුසුමා ඉන්ද්‍රානි හේරත්. අම්මා තාත්තාගේ ගෝලයෙක්. තාත්තාගෙන් සංගීතය ඉගෙනගන්න ආපු අම්මා හා තාත්තා අතර ප්‍රේම සමබන්ධතාවක් ඇතිවෙලා තමයි ඔවුන් විවාහ වෙලා තියෙන්නේ. අම්මත් කාලයක් සංගීත ගුරුවරියක් විදිහට පාසලක උගන්වලා තියෙනවා. තාත්තාගේ කලායතනයේදී නම් අම්මා සංගීතය උගන්වලා නෑ. හැබැයි සමහර පන්තිවල අඩුපාඩු දකිද්දි අම්මා කියලා දීලත් තියෙනවා.

සංගීතයට අමතරව ඔබ පාසලේදී ක්‍රීඩා කටයුතුවලට නිරත වුණේ නැද්ද?

නැහැ. තාත්තාගේ තිබුණු සමහර ප්‍රාර්ථනාවන් නිසා අපිව ටිකක් කොටු වුණා. එයාගෙන් අපිට ඈත් වෙනවට එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. සංගීතය විෂයට බාහිර ක්‍රියාකාරකම් කරනවාට එයා කැමති වුණේ නැහැ. මම ක්‍රිකට් ගහන්න ඇහුවා. මල්ලි හොකී ක්‍රීඩා කරන්න තාත්තාගෙන් අවසරය ඉල්ලුවා. තාත්තා ඒවට යන්න අපිට ඉඩ දුන්නේ නැහැ. අඩුමතරමේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී වත් මීටර් සියය දුවනවාටවත් තාත්තා කැමති වුණේ නැහැ. තාත්තා අපිට කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. හැබැයි අපිව එයා ළඟම තියාගෙන හිටියා. ඒ නිසා අපිට ඒ ක්‍රීඩා පැත්තට නැඹුරු වීම අහිමි වෙලා ගියා. අපේ ජීවිතය වුණේ සංගීතයයි. අපේ කලායතනයේ වෙනමම සංගීත කාමරයක් තිබුණා. ඒකට සෙරප්පු දාලවත් යන්න තාත්තා දුන්නේ නැහැ. ගිහින් අහුවු‍ණොත් ඉවරම තමයි. කාපට් කරලා තිබුණු හරි ලස්සන ඒ කාමරේ බිම ඉඳගෙන අපි සංගීත භාණ්ඩ පුහුණුවීම් කළා.

ඔය අතරේ ගිටාර් පුහුණු වෙන්න ගිහිල්ලත් අකරතැබ්බයකට මුහුණ දුන්නා නේද?

ඔව්නේ. මටයි මල්ලිටයි ගිටාර් එක පුහුණු වෙන්න ආස කළා. හැබැයි මගේ තාත්තා ගිටාර් පුහුණු වෙනවට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ගිටාර් පුහුණු වෙන්න ගියොත් අපි පෙරදිග සංගීතය අතහැරලා අපරදිග සංගීතයට යොමු වේවි කියන බය තාත්තාගේ තිබුණා. ඒ කාලේ මටයි මල්ලිටයි සල්ලිත් නැහැනේ. ඒ නිසා අපි දෙන්නට ගිටාර් එකක්වත් තිබුණේ නෑ. එක යාළුවෙක් ගාව තිබුණු ගිටාර් එක තාත්තාට හොරෙන් ගෙදර ගෙනත් පැය දෙකක් විතර පුහුණු වෙලා ආයෙත් ගිහින් දුන්නා. එහෙම කීපවතාවක්ම කළා. තාත්තා කාමරයට වැඩිය එන්නේ නැහැ. ඒ නිසා අපි එයාට හොරෙන් ගිටාර් පුහුණු වුණා. 

ඔය කාලෙදි ඔබ නුවර සංගීත කණ්ඩායමක් තාත්තාට හොරා පටන් අරන් තිබුණා නේද?

ඔව්නේ. තාත්තාට හොරෙන් අපි ඒක පුහුණුවීම් කළා. ඒකෙදි අපි හයදෙනෙක් එකතු වුණා. ඒ අය අතරේ තුන්දෙනෙක් ළඟ ගිටාර් තුනක් තිබුණා. අපි තේ පෙට්ටියකින් ඩ්‍රම්ස් සෙට් එකක් හදාගත්තා. අපි 1973 වසරේ පුහුණුවීම් කරලා 1974 අවුරුද්දේ අපේ සංගීත කණ්ඩායම කළඑළි බැස්සා.

හොරාට පුහුණුවීම් කරපු ගිටාර් එකට තාත්තා මොකද කළේ?

අම්මෝ.. ඒකත් අමතක නොවන සිදුවීමක් තමයි. අපේ ගෙදරට අල්ලපු ගෙදර හිටිය ළමයා ඉගෙනගත්තේ කිංස්වුඩ් විද්‍යාලයේ. ඒ අය සල්ලිකාර අය. මේ ළමයාගේ තාත්තා ගිටාර් එකක් ඒ ළමයට තෑගි දීලා තිබුණා. සංගීත කණ්ඩායම පටන් අරගෙන විවාහ මංගල්‍යයකට වාදනය කරන්න අපිට අවස්ථාව ලැබුණා. මායි මල්ලි කාමරේට වෙලා හොර රහසේම ගිටාර් එක පුරුදු වෙද්දී කාමරයට කඩාවැදුණු තාත්තාට ගිටාර් එක දැකලා හොඳටම තරහා ගියා. ගිටාර් එක අරගෙන තාත්තා බිම ගහලා පොඩිපට්ටම් කළා. මායි මල්ලියි ඇස්වල කඳුළු පුරෝගෙන අදහාගන්නත් බැරිව ටික වෙලාවක් බලාගෙන හිටියා. “දැන් අපි යාළුවට මොකද කියන්නේ” හිතේ ඇතිවුණ එකම ප්‍රශ්නය ඒකමයි. අපිට ගිටාර් එකක් අරගෙන දෙන්නවත් සල්ලි තිබුණේ නැහැ. ඒ කාලේ එක උත්සවයකදී වාදන ශිල්පියෙක්ට ලැබුණේ රුපියල් විස්සක් වගේ ගණනක්. ඔන්න ඉතින් අපි දෙන්නා බොහෝම අමාරුවෙන් ඇත්තම සිද්ධිය අපේ යාළුවට කියලා අපි දෙන්නා ඉක්මනට ගිටාර් එකක් අරන් දෙන්නම් කියලා කිව්වා.“පිස්සුද මට ඕන ගිටාර් එකක් නැහැ බං. මම ඕවා ගහන්න දන්නෙත් නැහැ. ඕවා වැඩකුත් නැහැ” කියලා කිව්වා. අපි කාලයක් ඒ කුඩු වුණ ගිටාර් එක සිහිවටනයක් හැටියටත් තියාගෙන හිටියා.

තාත්තා ඔබේ සංගීතයට ආසා වුණ දවසක් උදා වුණේ නැද්ද?

උදාවුණා. තාත්තා කවදාවත් අපි සංගීත කණ්ඩායමක් විදිහට උත්සවවල වාදනය කරනවා අහලා තිබුණේ නැහැ. මගේ ගෙදරට ගෙවල් දෙකකට එහා සංගීත කණ්ඩායමේ හිටපු යාළුවකුගෙයි මගෙයි උපන්දිනය එකම මාසෙම යෙදිලා තිබුණා. අපේ විසිඑක්වෙනි උපන්දිනය වෙනුවෙන් අපි දෙන්නා එකතු වෙලා අපේ යාළුවන්ට පොඩි පාටියක් සංවිධානය කළා. අපි පොඩි සවුන්ඩ් සෙට්අප් එකකුත් ගෙනාවා. ඔන්න ඉතින් අපි වාදනය කරන සංගීතය ගෙදර ඉඳන් තාත්තා අහගෙන හිටියා. “ඔය සින්දු කියනවා ඇහෙන්නේ. කවුද ඒ?” කියලා තාත්තා අම්මගෙන් අහලා තියෙනවා. අපි ගැන කියද්දී “ඇත්තද මම හිතුවේ කොල්ලෝ නාස්ති වෙනවා කියලා. බලාගෙන යද්දි කොල්ලෝ හොඳයිනේ” කියලා තාත්තා එදා අපි ගැන ගොඩක් සතුටු වෙලා තියෙනවා. ඊටපස්සේ තාත්තා දන්න දන්න අයට කියලා අපිට උත්සවත් ලබාදුන්නා. මුල්ම කාලෙදි අපි ඉංග්‍රීසි සින්දු තමයි වාදනය කළේ. ඒ වගේම මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන වගේ අයගේ ගීතත් වාදනය කළා.

“ශක්ති” සංගීත කණ්ඩායම කාලයක් අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණා?

ඔව්. 1997 අවුරුද්දේ මමයි මල්ලියි ගුවන් විදුලියේ වාදක මණ්ඩලයට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණා. නුවර ඉඳන් කොළඹට ආපු අපිට කොළඹදී මුණගැසුණ යාළුවො කිහිපදෙනෙක් එකතු වෙලා තමයි “ශක්ති” සංගීත කණ්ඩායම බිහිවෙලා තිබුණේ. 1988දී ශක්ති සංගීත කණ්ඩායමේ ගිටාර් හා ගායකයෙක් ලෙස සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබුණා. 1991 දෙසැම්බර් 31 වැනිදා ශක්ති සංගීත කණ්ඩායම මුළු රටේම ජනප්‍රිය වුණා. දෙසැම්බර් 31 වැනිදා ජාතික රූපවාහිනියේ ගීත දෙකක් වාදනය කරන්න අපට අවස්ථාව ලැබුණා. ඒකෙන් අපි අතිශය ජනප්‍රිය වුණා. එතැන් සිට ශක්ති ඉතා ජනප්‍රිය වුණ සංගීත කණ්ඩායමක් වුණා.

අපි ඔබේ බිරිඳ සහ දරුවන් ගැන කතා කරමුද?

මම විවාහ වුණේ 1985දී. ඇගේ නම මංගලා පෙරේරා. අපේ වැඩිමල් දුව ශානිකා පෙරේරා. දෙවැනි පුතා තාරක පෙරේරා. තුන්වැනි පුතා ඉසුරු පෙරේරා. ඉසුරු පුතාට අවුරුදු නවයේදි එයා අපිව දාලා ගියා. පුතාගේ වියෝව මට දරාගන්න බැරිවුණා. එයාගේ අසනීපයත් එක්ක අපි මානසිකව කඩා වැටුණා. මම කාලයක් මේ ක්ෂේත්‍රයෙන් පවා ඈත් වුණා. ඔය අතරේ මමත් අසනීප වුණා. දැන් සුවයි. නැවතත් අපි අපේ සංගීත කණ්ඩායමේ වැඩකටයුතු පටන්ගත්තා.

Text - Dishani   /   Pic -  Internet

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30