2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

අනුග්‍රාහකයන් බෑ කීවත් මම අපේ උරුමය අත්හැරියේ නැහැ...

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 159

රංගික නිර්මාණය කළ උරුමයක පෙළහර පසුගියදා නෙළුම් පොකුණ රංග ශාලාවේදී වේදිකාගත වුණා. ඒක ඉතා සාර්ථක ප්‍රසංගයක් වුණා. අද ඒ ගැන මොකද හිතෙන්නෙ..?
ඇත්තටම අද මට ඒක හීනයක් හැබෑවීමක් විදිහටයි දැනෙන්නෙ. මගේ ඕනෑම නිර්මාණයකදී සියලුම දේ සූදානම් කරලා අවසානයේදී ඒ නිර්මාණය එළිදකිද්දී මම ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් ඒ නිර්මාණය දිහා බලාගෙන ඉන්න කෙනෙක්. මගේ නිර්මාණයේදී මම ප්‍රේක්ෂකයෙක් බවට පත්වෙනවා. කිසිම දවසක වේදිකාව පිටුපස ඉන්නෙ නැතිව වේදිකාව ඉදිරියේ ඉඳගෙන ඒ නිර්මාණයේ මට අතපසු වුණු දේවල් මොනවද කියලා මම හොයලා බලනවා. ඒකෙ අවසාන ප්‍රතිඵලය කොහොමද කියලා මම අධ්‍යයනය කරනවා. ඇත්තම කිව්වොත් උරුමයක පෙළහර අවසන් දවසේ ඒ දැවැන්ත වේදිකාවේ වේදිකාගත වෙද්දී මගේ ඇස්වලට කඳුළු ආවා. ඒ තරම් දැවැන්ත පිරිසක්, දැවැන්ත පසුතල නිර්මාණ, දැවැන්ත තිර වගේම ලංකාවේ ඉන්න ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් එක්ක මගේ දරුවන් වේදිකාගත වෙද්දී මගේ ඇස්වලට කඳුළු ආවා. ඇත්තටම ඒක අපූරු දවසක් වුණා. ඒක ලොකු බලවේගයක් වගේම ලොකු උරැමයක්. ඒ පිටුපස මොකක්දෝ බලවේගයක් තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඉහළ සිට කවුරු හරි අපි දිහා බලාගෙන ඉන්නවා කියලා මට හිතෙනවා.

මේ වගේ දැවැන්ත, සාර්ථක ප්‍රසංගයක් කරන එක ලොකු අභියෝගයක්. විශේෂයෙන් කිසිම අනුග්‍රාහක ආයතනයක් නොමැතිව මේ වගේ දෙයක් කිරීමත් අභියෝගයක්. එහෙම නේද..? 
ඇත්තටම ඔව්.. රියැලිටි ප්‍රසංගවලට මම වරදක් කියන්නෙ නැහැ. අපේ නර්තන කණ්ඩායම වුණත් එවැනි ප්‍රසංගවලට සහභාගි වෙනවා. නමුත් ඒ තුළින් අපේ උරුමය අපි ලෝකයට ගෙනියන්නෙ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් වුණා. නමුත් මේ ප්‍රසංගය අධ්‍යාපනික වටිනාකමක් එක්ක ගෙන ගිය ප්‍රසංගයක්. නිදහස අභිමුව තියාගෙන අපිට අපේ දරුවන්ට මේ ඉන්නෙ පුතේ ටිකිරි කුමාරයා.. මේ ඉන්නෙ ඇහැළේපොළ කුමාරිහාමි කියලා ඒ ඉතිහාසය මතක් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කිසිම කතාවක් අපි ඇස්වලින් දැකලා නැහැ. ඒවා අපි ඉතිහාස කතාවලින් අහපු දේවල්. වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය පාගලා අපේ සිංහල කොඩිය ඔසවලා කියපු වචන අපේ හිත්වල රැව් පිලිරැව් දෙනවා. මේ ප්‍රසංගය බලපු කෙනකුට ඒ දේවල් සැබෑවක් වුණා. ඒ වගේ උරුමයක් ගැන කතා කරපු මොහොතක මට අනුග්‍රාහකයන් මුණගැහුණේ නැහැ. මම ඔවුන් මුණගැහෙන්න ගියා. නමුත් ඒ කිසිම කෙනකුගෙන් මට ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණෙ නැහැ. ඒකට හේතුව මම දන්නෙ නැහැ. මම දන්නෙ මොකක්හරි තැනක වැරුද්දක් තියෙනවා කියලා විතරයි. අපේ උරුමයට අනුග්‍රාහකයන් සම්බන්ධ නොවෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නැහැ. මේ නිර්මාණය තුළ මේ රටේ ජනප්‍රිය චරිත හිටියා. වේදිකාව, රිදී තිරය, පුංචි තිරයේ ජනප්‍රිය චරිත විස්සක් එක්ක මගේ නර්තන ශිල්පීන් ශිල්පිනියන් එකසිය විස්සක් කරපු මේ ප්‍රසංගයට අනුග්‍රාහකයෙක් එකතු නොවුණේ ඇයි කියලා මම දන්නෙ නැහැ. ඒත් පෞද්ගලික මට්ටමෙන් මේ උරුමය දැනුණු අය මට උදව් කළා. ඒ අය අපේ සංස්කෘතියට, අපේ උරැමයට ආදරේ කරන මිනිස්සු.

මේ නිර්මාණය මුලින්ම වේදිකාගත කළේ අමෙරිකාවේ. එහෙම නේද..?
ඔව්.. අපි මේ නිර්මාණය මුලින්ම වේදිකාගත කළේ අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ. හැත්තෑ වැනි නිදහස් සැමරුම වෙනුවෙන් තමයි ඒ නිර්මාණය වේදිකාගත කළේ. ඒ වෙනකම් මුද්‍රා නාට්‍ය සංකල්පය යටතේ මුද්‍රාවක් අමෙරිකාවේ වේදිකාගත කරලා තිබුණෙ චිත්‍රසේන ගුරු පියාණන් විතරයි. එතුමාගෙන් පසුව මුද්‍රාවක් වේදිකාගත කළේ මම ප්‍රමුඛ රිවේගා නර්තන කණ්ඩායමයි. එදා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අපේ නිර්මාණයට ආදරේ කළා. බොහෝ රටවල්වල අය ඒ නිර්මාණය බලන්න ආවා. ඒ සියලු දෙනාගේ උසස් පැසසුම් මැද අපේ නිර්මාණය සාර්ථක වුණා.

රංගික ජීවන්ත නම් නර්තන ශිල්පියා බිහිවෙන්නෙ කොයි කාලෙද..?
මම පොඩි කාලේ ඉඳන්ම රූපවාහිනියේ විකාශය වන නැටුම් වැඩසටහන් බැලුවා. මට තාම මතකයි.. මම පොඩි කාලේ රූපවාහිනියේ ගුරු ගෙදර කියලා වැඩසටහනක් තිබුණා. ඒ වැඩසටහනේ වැඩිපුරම නර්තන තමයි විකාශය වුණේ. මම ඒ වැඩසටහන බල බලා නටනවා කියලා මගේ අම්මා නිතරම කිව්වා.

රංගික ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මම පාසල් තුනකින් ඉගෙන ගත්තා. මුලින්ම ගල්කිස්ස ධර්මෝදය විද්‍යාලයෙන් මගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. පහ වසර ශිෂ්‍යත්වය ඉහළින් සමත්වෙලා මම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත්වෙලා උසස් පෙළට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. එතැනින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙනුත් අවසානයේ වැඩිදුර නර්තනය හදාරන්න සිංගප්පූරුවට යන්නත් මට අවස්ථාව ලැබුණා.

පාසලේදීත් ඔබ නර්තනය හැදෑරුවා නේද..?
ඔව්.. මට තාම මතකයි ඒ සිදුවීම. ඒ වෙද්දී මම ඉගෙනගත්තෙ තුන වසරේ. විවිධ ප්‍රසංගයේ ලී කෙළි නර්තනයට අපේ වයසේ ළමයි තෝරාගනිද්දී මාව ඒකට තේරුණේ නැහැ. එදා මම හිත යටින් ගොඩක් දුක් වුණා. මේ කාලෙදීම වර්ෂ අවසාන විභාගයත් පන්ති කාමරවල පැවැත්වුවා. ලී කෙළි නර්තනයට තෝරාගත්තු ළමයෙක් පැපොල රෝගය වැළඳිලා නිසා එක ළමයෙක්ගෙ අඩුපාඩුවක් ගැන නැටුම් ගුරුතුමිය අපේ පන්තියට ඇවිත් අපේ පන්ති බාර ගුරුතුමියට කිව්වා. ඒක අදටත් මට මතකයි. ඔය වෙද්දී මගේ අම්මා බලන්න ටීචර් මේ ළමයා ඉගෙනගන්නෙ නැහැ. නැටුම්ම නටනවා කියලා මගේ පන්ති බාර ගුරුතුමියට කියලත් තිබුණා. ඒ නිසා ඒ මතකයත් එක්ක මගේ පන්ති බාර ගුරුතුමිය මාව නර්තන ගුරැතුමියට හඳුන්වලා දුන්නා. එතකොට මම තුන වසරේ ඉගෙන ගන්නවා. ඒ කාලෙදීත් නර්තන ගුරුතුමිය කියන්නෙ මම ගොඩක් ආදරේ කරන චරිතයක්. ඉතින්.. එදා ඒ ගුරුතුමිය මාව ලී කෙළි නර්තනයට එකතු කර ගත්තා.

රංගික වගේම රංගිකගේ නිවුන් සහෝදරයත් නර්තනයට දක්ෂ කෙනෙක් කියලයි අපිට ආරංචිය..?
මට වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා. අපි නිවුන්නු. එයාගේ නම රංගන ඉවන්ත. අපි දෙන්නා වෙස් තැබුවේ වේල්ස් කුමර විදුහලේ ඉගෙන ගනිද්දීයි. වේල්ස් කුමර විද්‍යාලයේ හැම කලා කටයුත්තකදීම මාත් අයියත් මූලිකත්වය ගත්තා. ඒ උසස් පෙළ කලා අංශයෙන් මම රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙද්දී අයියා වාණිජ අංශයෙන් වේල්ස් කුමර විද්‍යාලයේම උසස් පෙළ හැදෑරුවා. 2004 වසරේදී අපේ නර්තන කණ්ඩායම සාමාජිකයන් හතර දෙනකුගෙන් ආරම්භ කළා. ඒ වෙද්දී මම විශ්වවිද්‍යාලයේ. අයියා උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට පිටත් වුණා. ඔස්ට්‍රේලියාවට ගියත් අයියා එහෙදීත් අපේ කලා කටයුතුවලට සම්බන්ධවෙලා වැඩ කළා. මගේ ගුරු පියාණන් වන පියසාර ශිල්පාධිපති සහ වයි. ගුණසේන ගුරු පියාණන් වගේම නෙරංජලා නාරන්ගොඩ ගුරුතුමියත් නිලූෆ පීරිස් ගුරුතුමියත් ඉතා ආදරයෙන් මතක් කරන්න ඕනෙ. ඔවුන් මට නර්තනය ගැන බොහෝ දේ කියලා දුන්නා. මගේ අම්මා තාත්තාට මට උගන්වන්න හැකියාව ලැබුණට විදෙස් රටකට ගිහින් උගන්වන්න තරම් හයියක් තිබුණෙ නැහැ. ඒ මොහොතේ මට ඒ අනුග්‍රාහකත්වය ලබා දුන්නෙ මගේ නිලූෆ ගුරුතුමියයි. මගේ අම්මා තාත්තගේ ශක්තියෙන් ඉදිරියට ගෙනාපු මගේ ජීවිතයට තවත් හයියක් වුණේ ඒ ගුරුතුමියයි. එතුමිය මාව උසස් අධ්‍යාපනයට සිංගප්පූරූවට යැව්වා. සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර තරගයක් වන ආසියාතික නර්තන උළෙලේදී මම දෙවැනියා වුණා. ඒ නිසා මට වැඩිදුර ඉගෙනීමට ශිෂ්‍යත්වයක් ලැබුණා. ලතින්, බෝල්රූම්, බටහිර නර්තන කලාව පුහුණු කර ගත්තා. ඒ හැමදේම ප්‍රගුණ කළත් මම අපේකම අමතක කළේ නැහැ. නර්තන ශිල්පියෙක් නිර්මාණයක් කිරීමේදී ඔහු තුළ සෑම නිර්මාණ ශෛලයක් පිළිබඳවම අවබෝධයක් තිබිය යුතු වෙනවා. 

විශ්වවිද්‍යාලයේදී මුණගැහුණු සමකාලීන මිතුරු සමාගම අතරින් විශේෂ කෙනෙක් ඔබේ ජීවිතයට සමීප වුණා..?
ඔව්.. විශ්වවිද්‍යාලයේදී මට මුණගැහුණු රසිකා, ගයත්‍රි, මනෝරි කියන අය මගේ නර්තන කණ්ඩායමේ හිටියා. ඒ අය අතරින් මනෝරි මගේ සහකාරිය වුණා. එයාගේ නම මනෝරි සිරිවර්ධනයි. අපි දෙන්නා මුලින්ම මුණගැහුණෙ විශ්වවිද්‍යාලයේදී. මගේම කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට වැඩ කරලා ඒ ඕනෑඑපාකම්, හැලහැප්පීම් ගැන අවබෝධයක් ඇතිව මනෝරි බොහොම සහයෝගයෙන් නර්තන පාසලේ දරුවන් එක්ක වැඩ කරනවා. අපේ නර්තන කණ්ඩායම අද වෙද්දී බොහෝ රටවලට අපේකම රැගෙන ගොස් තියෙනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. රංගික කියන පුද්ගලයා දක්ෂ නර්තන ශිල්පියකුටත් වඩා දක්ෂ ගුරුවරයෙක් කියලයි මටනම් හිතෙන්නෙ.

ඒ කියන්නෙ නර්තනය කරන්න බැරි අයවත් රංගික නර්තන ශිල්පීන් කරනවා. එහෙමද..?
ඔව්.. ඒක ඇත්ත. නටන්නෙ නැති කෙනෙක්ව දක්ෂ නර්තන ශිල්පියෙක් විදිහට වේදිකාවට ගෙන එන්න මට පුළුවන්. මම උරුමයක පෙළහර මුද්‍රා නාට්‍ය තුළදී මාධව විජේසිංහ, අශාන් ඩයස් කියන කලාකරැවන් දෙදෙනා ඉතා දක්ෂ නර්තන ශිල්පීන් විදිහට වේදිකාගත කළා. ඒ දෙන්නා අපිට නටන්න බැහැ කියලයි මුලින්ම කිව්වෙ. ඒත් මම ඒක ප්‍රශ්නයක් කර ගත්තෙ නැහැ. ඔවුන්ට මාව විශ්වාස කරන්න කියලා විතරයි මම කිව්වෙ. අවසානයේදී මේ අය ඉතා අපූරු නර්තන ශිල්පීන් විදිහට වේදිකාගත වුණා. ඒකට හොඳම සාක්ෂිය වෙන්නෙ එදා ප්‍රසංගය නරඹන්න ආපු ප්‍රේක්ෂකාගාරයයි. එදා දවසේ ඒ වේදිකාවට පය තියපු සියලුම කලාකරුවන් කලාකාරියන් ඇතුළු මගේ නර්තන කණ්ඩායමේ සියලු දෙනා කිසිම මූල්‍ය වටිනාකමක් බලාපොරොත්තු නොවී මේ කටයුත්තට දායක වුණා. ඒ ගෞරවය සියලු දෙනාටම ලබාදිය යුතුයි. කිසිම මුදලක් නොගෙන ඔවුන් මේ පෙළහර පෑවා. මේ අයට ඕන වුණේ හොඳ නිර්මාණයකට දායක වෙන්නයි. ඒකම ලොකු පෙළහරක්.

රංගික වගේම මනෝරිත් නර්තන ගුරුවරු..?
ඔව්.. මනෝරි කොළඹ මියුසියස් විද්‍යාලයේ වසර අටක් තිස්සෙ නර්තන ගුරුවරියක් විදිහට සේවය කරනවා. මේ මනෝරිගේ පළමු ගුරු පත්වීමයි. ඒ වගේම මගේ නර්තන කණ්ඩායමටත් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මනෝරි ඒ දරුවන්ට නර්තනය උගන්වනවා. අපි දෙන්නට චූටි දුවෙක් ඉන්නවා. නටාරා දැන් මියුසියස් විද්‍යාලයේ දෙක වසරේ ඉගෙන ගන්නවා. එයත් දැන් නටනවා. ඉතින් ඒ සතුටට වචන තියේවිද..?

 

► Text - Dishani   /  Pic –  Internet

 

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48