2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මගේ රෙකෝඩ් එක අදටත් කවුරැත් කඩලා නෑ...

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 201

- කිෂූ ගෝමස්

යුරෝපීය ඇඳුමින් සැරසුණු කඩවසම් පුද්ගලයෙක් කැමරාව ඉස්සරහා එක එක විදිහට ඇවිදිනවා. වරින් වර එක එක විලාසිතාවන්ගෙන් හැඩවුණු මේ කඩවසම් පුද්ගලයාගේ නිරූපණයන් රූගතකරනවා විතරක් නෙවෙයි ඡායාරූප ගත කිරීමත් සිද්ධ වෙනවා.

අද ඔබ බලනවා ඇති මේ කවුරු එක්කද කතාබහ කරන්න හදන්නේ කියලා නේද? ඔහු ගැන මෙහෙම මන් ඔබට හඳුන්වලා දෙන්නම්. ඔහු නිරූපණ ශිල්පියෙක් වගේම මේ වෙද්දී රංගන ශිල්පියෙක් ද වෙනවා. ඒ වගේම ඔහු රියැලිටි තරග විනිශ්චය කරන ආකාරයත් ඔබ රූපවාහිනී නාළිකාවලින් දැක නොතියෙන්න නම් බැහැ. ඔය ඔක්කොටම වඩා ඔහුව අපි දන්නේ අපේ රටේ ඉන්න ප‍්‍රධාන විධායක නිලධාරියෙක් විදියටයි. ඔහු නමින් කිෂූ ගෝමස්. නම ඇහුන ගමන් ඔහු ගැන නොදන්න කෙනෙක් අපේ මේ රටේ නම් ඉන්න විදිහක් නැහැ. අද yes I can විශේෂාංගයට කතා බහ කරන්න තෝරා ගත්තේ අපි කිෂූ ගෝමස් මහතාවයි.

ඔබගේ ළමා කාලයෙන් අපි පටන් ගත්තොත්?
මගේ තාත්තා මොරටුවේ කෙනෙක්. මගේ අම්මා නම් මාතර උයන්වත්තේ.
මගේ තාත්තා ෆොටොග‍්‍රැෆි දන්න කෙනෙක්. තාත්තා සමීක්ෂණයක් කරලා කොළඹ මොරටුවට වඩා ඡායාරූපකරණ ව්‍යාපාරය මාතර සාර්ථක වෙන බව දැනගෙන එහේ ගිහින් ඡායාරූප ශාලා තුනක්ම පටන් ගත්තා. මම මුල් කාලයේ අධ්‍යාපනය ලැබුවේ මාතර සර්වේශෂ් විද්‍යාලයෙන්. ඒත් මගේ බාප්පා මාව මොරටුවට ගේනවා. ඊට පස්සේ මම මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලයෙන්.

බාප්පා ගැනත් සඳහනක් කරලම ඉමු නේද?
මගේ බාප්පා මනෝවිද්‍යාඥයෙක් වගේම කථිකාචාර්යවරයෙක්. ඔහුගේ නම එන්. එන්. ගෝමස්. රාජකීය විදුහලේ අවුරුදු 09ක්ම විදුහල්පති ධූරය දැරැවත් බාප්පට ඒක ලොකු තනතුරක්නම් වුණේ නැහැ. මොකද විශ්ව විද්‍යාලයක කුලපති කෙනෙක් වගේම මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙත් විදුහල්පති විදිහට ඔහු කටයුතු කරලා තියෙනවා. කැපී පෙනෙන කෙනෙක් විදිහට මාව ඉස්සරහට ගන්න බාප්පා තමයි මාව හැදුවේ කිව්වොතින් ඒක නිවරදියි.

කෙනෙක්ට දියුණු වෙන්න හඳහන් කේන්දර එහෙම බලපානවද කියලා ඇහුවොත්?
මට වසය අවුරුදු 10ක් විතර කාලයේදී මාතර හිටියා හොඳට ඉගෙනගත්ත වෙද මහත්තයෙක්. එයා ජ්‍යොතිෂ වැඩත් කරන කෙනෙක්. අපේ අම්මා ඒ වෙද මහත්තයට දීලා මගේ කේන්දරෙත් බලලා තිබුණා. ඔය මනුස්සයා මම ලංකාවේ නම ගිය ව්‍යාපාරිකයෙක් වෙනවා කියලනම් කියලා තිබුණා. කොහොම වුණත් ඒක හින්දා ඒක වුණාද මම දන්නෙ නැහැ. මම මගේ ඉගෙනීම් කටයුතු කළා. ඒත් මට විශේෂ කෙනෙක් වෙන්නනම් ඕන වුණා. අන්න ඒ හින්දා මම අලෙවිකරණය ක්ෂේත්‍රයට යොමු වුණා. අනිත් එක තමයි මම පාසල් කාලයේ රගර්, බැඩ්මින්ටන් විතරක් නෙවෙයි මලල ක‍්‍රීඩාවලත් නියැළුණා. පාසැල් කාලයේ ක‍්‍රීඩා සහ නායකත්වය අරගෙන වැඩ කළත් මම ගුරුවරුන්ගේ හිත දිනාගෙන මගෙ නමට කැළලක් වෙන කිසිම දෙයක් නොකර හිටිය කෙනෙක්.

ඔබ ලියන්නත් දක්ෂ කෙනෙක් කියලා අපිට ආරංචි වුණා?
ලංකාවේ තියෙන ජනප‍්‍රිය පුවත්පතකට මම අවුරුදු 07ක් එකදිගට ලිව්වා. මම ලියද්දි හැමදාම වගේ අලුත් දේවල් හොයා ගත්තා. මිනිස්සුන්ගේ චින්තය හැසිරීම හරි ආකාරයට යහපත් ආකාරයට වෙනස් කරන්න මම මගේ දැනුම ප‍්‍රසාරණය කරගත්තා ඒ ලිවීම හරහා.

කුඩා කාලයේ ජීවිතේ සිදුවුණ අපූරු සිදුවීම් එහෙම ඇහුවොතින්?
පුංචි කාලේ මම රේඩියෝ එකේ යන සිංදු අහන් ඉඳලා මමත් ඉතින් කියනවා. ගෙදර හැමෝම මාව වර්ණනා කළා. ඔන්න දවසක් මගෙ ආච්චි අම්මා මාව පන්සලට එක්කරගෙන ගියා. එදා ඉඳන් මට පන්සලේ උත්සවවලදී ගීත ගයන්න අවස්ථාව ලැබුණා. සමස්ත ලංකා තරගවලින් මම පළවෙනි ස්ථානත් ලබාගෙන තියෙනවා. ගායනා විතරක් නෙවෙයි මට චිත‍්‍ර අඳින්නත් පුළුවන්. මට ඒවට සහතික පවා තියෙනවා. මගේ අම්මට හොඳට චිත‍්‍ර අඳින්න පුළුවන්. අම්මා  චිත‍්‍ර අඳින විදිහ බලාගෙන ඉඳලා මටත් චිත‍්‍ර අඳින්න ඉගෙනගන්න ආස හිතුණා. මම චිත‍්‍ර විෂයක් විදිහට පාසලේදී හැදෑරුවා. මම සාමාන්‍ය පෙළ හොඳට සමත් වෙලා ඊටපස්සේ ගණිත අංශයෙන් තමයි උසස් පෙළ කළේ. ඒත් ඒ වෙනකොට මගෙ හිත තිබුණේ මළල ක‍්‍රීඩා කරන්න.

ඒ කියන්නේ ඔබ ක‍්‍රීඩා සඳහා අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඇති නේද?
මගේ බාප්පා පදිංචි වෙලා හිටියේ කටුබැද්දේ විශ්ව විද්‍යාලය ළඟපාත තියෙන ගෙදරක. මම ඉගෙනගන්නවට වැඩිය ක‍්‍රීඩාවට උනන්දුයි කියලා බාප්පට තේරුණා. ඊටපස්සේ බාප්පගේ හොඳම යාළුවෙක්ගෙ පුතෙක් මගෙ කාමරේට ගෙනල්ලා නතර කළේ මම එයාගෙන් හොඳට ඉගෙනගනියි කියලා. ඒත් මම පහුවෙනිදා උදේම නැගිටලා එයාවත් දුවන්න එක්කගෙන ගියා.

ඔබ නිරූපණ ශිල්පියෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවනේ. ඒ ගැනත් ටිකක් කියමු නේද?
මම මළල ක‍්‍රීඩකයෙක් විදිහට දක්ෂතා පෙන්වද්දී 1988/89 කාලයේ පොලිස් ක‍්‍රීඩාංගනයේදී තමයි ඒ සිදුවීම වුණේ. මම මගේ තරගය අවසන් කරද්දි ඡායාරූප ගත්තා. එක ඡායාරෑප ශිල්පියෙක් ඇවිත් ඒ ෆොටෝ එකක් දැන්වීමකට ගන්නද ඇහුවා. මමත් කැමති වුණා. මම ඊට පස්සේ දැන්වීම්වල පෙනී ඉන්න ශිල්පියෙක් වුණා.

ඔබගේ වෘත්තීය ජීවිතයට කොහොමද අත්පොත් තිබ්බේ?
එතකොට මට අවුරුදු දහ අටහමාරයි. අද වගේ එදා සමාජ මාධ්‍ය එහෙම නැහැනේ. මම දවසක් රාවතාවත්ත හන්දියේදී කඩවසම් තරුණයෙක් ඇවිත් කාර් එකකින් බැහැලා පිරිසක් එක්ක කතා කරනවා දැක්කා. එයා ලස්සනට ටයි එකක් ඇඳලා ලස්සනට හිටියා. පිරිසක් ඉස්සරහා ඔහු තමයි කැපී පේන්නේ. හැම කෙනෙක්ම බලන්නෙ  එයා දිහා. ඒ කාලේ ඒ වගේ අය දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. එයා අලෙවි ප‍්‍රවර්ධන අංශයේ රැකියාවක නිරත වෙන කෙනෙක් කියලා මම දැනගත්තා. අන්න ඊටපස්සේ තමයි මම කොකා කෝලා සමාගමට අයදුම් කළේ. එදා සම්මුඛ පරීක්ෂණයට මම ගියේ බස් එකෙන්. එතකොට ඒ ආයතනය තිබුණේ නවලෝක රෝහල ගාව. බස් එකෙන් ඇවිල්ලා බැස්සා විතරයි මෙන්න මහා වර්ෂාවක් කඩා වැටෙන්න ගත්තා. දීලා තිබුණු වෙලාවට විනාඩි 45ක් තිබුණු නිසා මා වැස්ස ටිකක් පායනකල් බලන් හිටියා. ඒත් පායන්නෙම නැහැ. පරක්කු වෙන නිසා මම වැස්සේ තෙමි තෙමි දුවලා ගියා ආයතනය ඇතුළට. මම දැන් තෙතබරිත වෙලා ඉන්නේ. අනිත් අය නීට් එකට ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්නවා. මම ඉතින් ලේන්සුවෙන් ටිකක් පිහදගෙන මගේ වාරේ එනකම් බලගෙන හිටියා. ඔන්න මට ඇතුළට එන්න කියලා කතා කළා. මගෙන් ප‍්‍රශ්න මොකුත්ම අහන්නෙ නැතුව ඔයාව අපි තෝරගත්තා කිව්වා. මම වෙලාවට එන්න ඕන හින්දා වැස්සේ තෙමි තෙමී දුවන් ආව එකේ ඉඳන් මම කළ හැමදෙයක්ම නීරීක්ෂණය කරලා තිබුණේ මට හොරෙන්. අවුරුදු 11ක් මම ඒ සමාගමේ සේවය කරලා ඊටපස්සේ මම ඒ සමාගමේ ලොකු කාරණයකට වියට්නාමයට ගිහින් ඒ වැඩේ ඉවර කරලා ලංකාවට ආවම කැල්ටෙක්ස් සමාගමේ වේකන්සි එක දාලා තියෙන්නේ මටම කියලා මට හිතුණා. මම නිකම් ඇප්ලයි කළා. මාව සම්මුඛ පරීක්ෂණයට කැඳෙව්වා. සම්මුඛ පරීක්ෂණය කරන්න ඔක්කොම හිටියේ විදේශිකයන්. ඔවුන් මාව තෝරාගත්තා. මම වයස 35න් ලංකාවේ තේරුණ පළවෙනි තරුණ ප‍්‍රධාන විධායක නිලධාරියා. ඒක රේකෝඩ් එකක්. අදටත් ඒක රෙකෝර්ඩ් එකක්. බහුජාතික සමාගමක සි. ඊ. ඕ විදිහට ශ්‍රී ලාංකිකයෙක්ට අවස්ථාව ලැබෙන්නේ පළවෙනි වතාවට කියන එකත් කියන්නම ඕන. අභියෝග කියන ඒවා හැමවෙලේම එනවා. මම නිර්භයව ආත්ම විශ්වාසයෙන් සූක්ෂමව ඒවට මුහුණ දෙනවා. මම පහුගිය කාලයේ සංචාරක මණ්ඩලයේ සභාපති විදිහටත් කටයුතු කළා.

 

► Text — Chandana Waravitage/   Pic - Sumudu

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00