2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

විජය කුමාරණතුංගව බදාගන්න මට බය හිතුණා

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:31 277

දෙසැම්බර් මාසෙ සිදුවෙන අපූරු කටයුත්තකට මේ දවස්වල සූදානම් වෙනවා කියලයි ආරංචිය..?
ඔව්.. මගේ යාළුවෝ කට්ටියක් මට උපහාර උළෙලක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ උපහාර උළෙල දෙසැම්බර් මාසෙ 14 වැනිදා කොළඹ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පවත්වන්නයි සූදානම් වෙන්නෙ.

ඔබේ ළමා කාලය හා ගෙවුණු ඒ සුන්දර අතීතය මතක් කළොත්..?
මම ඉපදුණේ රත්නපුරේ. මම මුලින්ම ඉස්කෝලෙ ගියේ පන්සලේ ආවාසයේ තිබුණු ඉස්කෝලෙකට. ඒක ගොඩක් පුංචි ඉස්කෝලයක්. මට මතක හැටියට ඒ කාලේ ඉස්කෝලෙටම ළමයි හිටියෙ විස්සක් විසිපහක් වගේ පුංචි ගාණක්. අපි ඉස්කෝලෙට හැමදාම ගෙදර ඉඳන් හැතැප්මක් විතර පයින් ගියා. මාව ඉස්කෝලෙ එක්කගෙන ගියේ අපේ ගෙදර වැඩට හිටපු වල්ලිඅම්මා කියන ගෑනු කෙනයි. සමහරදාට වල්ලිඅම්මා මාව වඩාගෙන ඉස්කෝලෙට එක්කගෙන ගියා. අපේ අප්පච්චිත් ඉස්සර මොනිටර් විභාගය සමත්වෙලා ඉස්කෝලෙ ලොකු ඉස්කෝලෙ මහත්තයා විදිහට කාලයක් වැඩ කරලා තිබුණා. ඒ කාලේ අප්පච්චිගෙ මාසෙ පඩිය රුපියල් පහළොවයි. ඒක මදියි කියලා අප්පච්චි ඒ රස්සාවෙන් අයින්වෙලා රජයේ කොන්ත්‍රාත්කරුවෙක් විදිහට සේවය කළා. ඒ නිසා අපේ ආවාස ඉස්කෝලෙ හිටපු ලොකු ඉස්කෝල මහත්තයයි අප්පච්චියි හරි යාළුයි. ආවාස ඉස්කෝලෙ ළඟ ඉඳන් ඉස්කෝලෙට ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි ආවෙ. ඒ නිසා අපේ අප්පච්චි අපේ ගේ කිට්ටුවෙන් පොඩි ඉස්කෝලයක් හදලා දුන්නා.

ඒ කියන්නෙ ආවාස ඉස්කෝලෙන් සමුගෙන ඔබත් අප්පච්චි හදපු ඉස්කෝලෙට ඇතුළත් වුණා..?
ඔව්... ඒක අඩි දහයක විස්සක වගේ පොඩි ශාලාවක්. පුංචි ඩෙක්ස් බංකු අප්පච්චි අලුතින්ම හැදුවා. ඊටපස්සෙ ඒ ඉස්කෝලෙ රජයට දුන්නා. ටිකෙන් ටික ඒ ඉස්කෝලෙට ගමේ ළමයි එන්න පටන් ගත්තා. ටිකෙන් ටික ඒක දියුණු වුණා. ගුරුවරු ආවා. ඒ කාලේ ඒ ඉස්කෝලෙ බැරැන්ඩුව විද්‍යාලය කියලයි හැඳින්වුණේ. අද ඒක අබේතිස්ස විද්‍යාලය ලෙසයි හඳුන්වන්නෙ. පහ වසරට වෙනකම් ඒ පාසලට ගිය මම ඊට පස්සෙ පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

ඔබ පවුලේ කී වෙනියද..?
මම පවුලේ දෙවෙනියා. මට අයියා කෙනකුයි නංගියි මල්ලිලා දෙන්නකුයි ඉන්නවා. ඔක්කොම පස්දෙනයි. මම වගේම ඒ හැමෝම පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.

ඔබේ ළමා කාලය ගැන කතා කළොත්...?
ඉස්කෝලෙ යන කාලේ මම හරිම දඟයි. ගස් උඩ නගිනවා. ගෙඩි කඩනවා. මට තාම මතකයි එක දවසක් සිදුවුණු සිදුවීමක්. අපිට ලොකු වත්තක් තිබුණා. මට ඔය වත්තෙ ඇවිදින්න දුවන්න හරිම ආසයි. අපේ ගෙදර වැඩට ලයියා කියලා පොඩි කෙල්ලකුත් හිටියා. ලයියා මාත් එක්ක හරි එකතුයි. අපි දෙන්නා දවසක් ඔය වත්ත කෙළවරට ගිහින් කුරුල්ලෝ කාලා ඉතිරි වුණු පළතුරු කෑවා. ඒක අපේ පුරුද්දක්. ඉතින් එදත් අපි ඒ ගෙඩි කෑවා. මම ගෙදර එද්දී මගේ තොල ඉදිමිලා තිබුණා. අම්මා හොඳටම බය වුණා. එදා අපි කාලා තිබුණේ වස ගෙඩි වර්ගයක්. මාව ඉක්මනට වෙද ගෙදර එක්කගෙන ගිහින් බෙහෙත් කළා. අපේ වත්තේ කජු ගෙඩි ගොඩාක් තිබුණා. අපි වැඩිපුරම ළමා කාලය ගෙව්වෙ ඔය ගස් උඩයි. ඒක හරිම සුන්දර කාලයක්. අපේ ගම මැදින් ලස්සන දොළක් ගලාගෙන ගියා. පිටිසර කඩමණ්ඩියක් අපිට තිබුණා.

පාසලේදීත් මේ වගේ දඟයිද...?
අම්මෝ ඔව්.. පුංචි කාලේ මම ලොකු ඉස්කෝලෙ මහත්තයගේ දිග වේවැල අරගෙන ඩෙස්ක් එකක් උඩට නැඟලා පන්තියේ ළමයින්ට සැර කරනවා. අප්පච්චි දන්න නිසා ලොකු ඉස්කෝලෙ මහත්තයා මට බණින්නෙ නැහැ. ලොකු ඉස්කෝලෙ මහත්තයගේ නෝනා මාව උස්සලා බිමින් තියනවා. පොඩි ඉස්කෝලයක් වුණාට වාර අවසානයේ දී අපේ පාසලෙත් විවිධ ප්‍රසංග පවත්වනවා. මම තුනේ පන්තියේ දී මට අන්දරේ විදිහට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ මුල්ම රංගනය වුණේ. පොඩි කොල්ලෙකුත් එක්ක මම අන්දරේ වගේ එදා පෙරළි පෙරළි සීනි කෑවා. ඉස්කෝලෙ විවිධ ප්‍රසංගවල මල් නැටුම්වල සුවඳ රෝස මල් නෙලා කියමින් නැටුම් නැටුවා. මම  ඒවා කරන්න හරි ආසයි.

අඟුරු කෑලිවලින් මූණ ඇන්ඳෙ ඇයි..?
ඒකත් හරි අපූරු වැඩක්. අපේ අම්මගේ නංගි ඔය ලස්සන ලස්සන දේවල් කරන්න හරි ආසයි. පුංචිඅම්මට පොඩි ලිප්ස්ටික් පෙට්ටියක් තිබුණා. හැබැයි මෙයා මට මේවා දුන්නෙ නැහැ. දවසක් මම පුටුවක් තියලා අල්මාරිය උඩින් මේක අරගෙන මගේ මුහුණේ ඒවා හැමතැනම ගාගෙන යකා වගේ හිටියා. හැබැයි මම හිතුවේ එදා මම හරි ලස්සනයි කියලා. ඉතින් මේක දැකපු අම්මා පුංචිඅම්මට උඹ මේ ළමයාව හදන්න දෙන්නෙ නැහැ. ඔය විච්චූරණ බඩු අල්මාරියේ දාලා යතුර දාපං කියලා කිව්වා. ඉතින් පුංචිඅම්මා ඒවා අල්මාරියේ දාලා යතුර දැම්මා. මට පුදුම කේන්තියි. දවසක් මම කුස්සියෙන් අඟුරු කෑල්ලක් අරගෙන මූණෙ ඇඳගෙන වෙසක් කූඩු හදන්න ගෙනාපු සව් කොළයක් හොඳටම තෙමලා ඒකෙන් මූණ ඇතිල්ලුවා. එදා මම මොන යකා වගේ ඉන්න ඇතිද කියලා අද මට හිතෙනවා. ඇත්තටම ඒ කාලේ හරි සුන්දරයි. 

ඔබ උසස් අධ්‍යාපනය හැදෑරුවෙ විද්‍යා විෂයෙන්...?
ඔව්.. කලාවට කොච්චර ආස වුණත් මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ මම විද්‍යා විෂය හැදෑරුවා. හැබැයි කාලයකට පස්සෙ අප්පච්චිගෙ ආර්ථිකය ටිකක් නරක අතට හැරුණා. මට තාම මතකයි ඒ කාලේ මම ගෙදරින් සල්ලි අරගෙන ගිහින් මගේ පන්තියේ ළමයින්ට කෑම ගන්න සතය සතය පවා දුන්නා. ඒත්.. අප්පච්චිගේ ආර්ථිකය එන්න එන්නම දුර්වල වෙද්දී අප්පච්චි මාව ඒ ඉස්කෝලෙන් අයින් කරලා ගාල්ලෙ ඉස්කෝලෙකට ඇතුළත් කළා. ඒකෙදී මම කලාව විෂය තමයි ඉගෙන ගත්තෙ. 

පුංචි කාලෙ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
අප්පච්චිලාට ඕන වුණේ මාව දොස්තර නෝනා කෙනෙක් කරන්න. හැබැයි මට ඕන වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒකට ලොකුම හේතුව වුණේ උඩින් යන්න තියෙන කැමැත්තයි. ඒ වගේම ඒ අය අඳින ඇඳුමටත් මම ආස කළා. ඒ කාලේ වෙසක් එකට ඒ පැත්තෙ තොරණ් තිබුණෙ නැහැ. බුදු හාමුදුරුවන්ගේ රූපයකට බල්බ් එල්ලන එක පෙන්නන්න අප්පච්චි වෙසක් දවසට අපි කට්ටියවම එක්කගෙන ගියා. පහුවදාට මම උදේ නැඟිටින්නෙ ඒ වගේ බල්බ් දාපු ඇඳුමක් හදලා දෙන්න කියාගෙනයි. අපේ ගේ ළඟ උස ගලක් තිබුණා. ගොඩක් වෙලාවට හවස් වරුවල මම ඔය ගලට නැඟලා අහස දිහා බලාගෙන ඉන්නවා. අහස හරි ලස්සනයි. පාට පාට පිරිලා. මම අප්පච්චි එන වෙලාවට මේ ගල උඩට වෙලා අඬනවා. මාව බලන්න එන අප්පච්චිට &මටත් අර වගේ පාට පාට ඇඳුමක් මහලා දෙන්න කියලා කියනවා. ඉතින් පහුවදාම ටවුමේ රෙදි සාප්පුවෙන් ඒ වගේ රෙදි කෑල්ලක් පුංචිඅම්මට ගෙනත් දීලා අප්පච්චි මට ගවුමක් මහලා දෙනවා.

කලාවට සම්බන්ධ වුණේ කොහොමද..?
මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා විෂය හැදෑරුවට මම නර්තනයත් ඉගෙන ගත්තා. මම සරල් ලාල් මහත්තයගේ ගෝලයෙක්. උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලෙදී පැල්මඩුල්ල කලා සංගමයේ කිහිප දෙනෙක් අපේ ගෙදර ආවා. සුගතපාල ද සෙනරත් යාපාත් අපේ ඉස්කෝලෙ අයියා කෙනෙක්. රාජා සුමනපාලත් අපේ ඉස්කෝලෙ ඉගෙනගත්ත අයියා කෙනෙක්. ශෛලගත නාට්‍යයක් කරන්න ඒ අයට ඕනවෙලා තිබුණා. ඒ වෙලාවේ රාජා තමයි මාව යෝජනා කරලා තිබුණේ. දවසක් මේ දෙන්නා අපේ ගෙදර ඇවිත් අම්මට මේ නාට්‍ය ගැන කියලා තිබුණා. මුලදීනම් අම්මලා මම රඟපානවට අකමැති වුණා. පස්සෙ ඒ අය කොහොමහරි අම්මලාව කැමති කරවගෙන මාව ප්‍රසිද්ධ වේදිකාවේ පළවෙනි වේදිකා නාට්‍ය වුණු පිත් බත් වේදිකා නාට්‍යයට සම්බන්ධ කර ගත්තා. පී. වැලිකල රචනා කළ, සුගතපාල ද සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ඒ වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළේ රාජා සුමනපාලයි. ඒ නාට්‍ය සාර්ථක වීමත් සමඟ පැල්මඩුල්ල කලා සංගමයෙන් කරපු හැම නිර්මාණයකටම ඔවුන් මාව එකතු කර ගත්තා.

රාජා සුමනපාල එක්ක ආදර කතාව පටන් ගත්තෙත් ඔහොම රඟපාන අතරේද..?
ඔව්.. කාලයක ඉඳන් රාජගේ හිතේ මම ගැන අදහසක් තිබිලා තියෙනවා. මෙහෙම ඉඳිද්දී උත්සවවලට නැටුම්වලට පවා සහභාගි වුණා. රාජා සංගීතය සැපයුවා. හැමදේටම මගේ තනියම මගේ අම්මා හරි කවුරුහරි ආවා. දවසක් රාජා අම්මා එන්න ඕනෙ නැහැ. මම බලාගන්නම් කියලා කිව්වා. එහෙම කියලා මෙයා අම්මගේ හිත කොහොමහරි අල්ලගත්තා. ඊටපස්සෙ කවුරුවත් මගේ තනියට ආවේ නැහැ. ඉස්ස රාජා අයියා හරි ලස්සනයි. මට වඩා ටිකක් වැඩිමල්. මාත් එයා එක්ක යාළු වුණා. හැබැයි අප්පච්චියි අම්මයි මුලින් අපේ සම්බන්ධයට විරුද්ධ වුණා. කොහොමහරි ඒ අයගේ කැමැත්ත ඇතිව අපි 1965 අවුරුද්දේ විවාහ වුණා.

චිත්‍රපටවලට සම්බන්ධ වුණේ කොහොමද..?
මම සුගතපාල සෙනරත් යාපාගේ පෙම්බර මධූ චිත්‍රපටයට සම්බන්ධ වුණා. සුගත් අයියා දවසක් මේකෙ පොඩි චරිතයක් කරන්න තියෙනවා. රත්නාට දෙන එක හරි මදිද මන්දා කියලා රාජාට කියලා තිබුණා. එතකොට මම විවාහකයි. රාජාත් කැමති වුණා. මාත් කැමති වුණා. ඒක පිස්සියකගෙ චරිතයක්. කළු නාගෙන පාරේ යද්දී ඉස්සරහට කුමාරයෙක් වගේ එන විජය කුමාරණතුංගව ගිහින් බදාගන්න දර්ශනයක් තමයි මට කරන්න තිබුණෙ. දෙපාරක්ම මට විජය කුමාරණතුංගව බදාගන්න බය හිතුණා. සුගත් අයියා ෂූටින් එක නතර කළා. විජය මම ළඟට ඇවිත් නංගි මේක චිත්‍රපටයක්. ඔයා බය නැතිව මාව බදාගන්න කියලා කිව්වා. ඊටපස්සෙ මම ඒ කොටස හොඳටම කළා. මේ විදිහට මම චිත්‍රපට හතළිහක, වේදිකා නාට්‍ය සියයක වගේම ටෙලිනාට්‍ය බොහොමයකත් රඟපෑවා.

අපි දරුවන් ගැනත් කතා කරමු..?
අපිට දරුවන් හතර දෙනයි. පුතාලා දෙන්නයි. දුවලා දෙන්නයි. ඒ හතර දෙනාම විවාහකයි. ලොකු දුව හෙදියක් විදිහට කටයුතු කළා. විවාහ වුණාට පස්සෙ රස්සාවෙන් අයින් වුණා. ලොකු පුතා පෞද්ගලික බැංකුවක සේවය කරනවා. පොඩි පුතා පෞද්ගලික රෝහලක සේවය කරනවා. පොඩි දුව ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සේවය කරනවා. ඒ හතර දෙනාටම දරුවො ඉන්නවා. දැන් මට මුණුපුරන් මිණිපිරියන් හත් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නෙ දැන් මම ලතී හෙවත් අත්තම්මා කෙනෙක්.

 

► Text - Dishani  /  Pic -Sumudu

 

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30