2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

බඩගින්නේ හිටපු වාර අනන්තයි

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:31 161

අද මේ කියන්න හදන කතාව ආරම්භ වෙන්නේ 2000 වර්ෂයේ. එදත් වෙනදා වගේම නැගෙනහිර ආකාසෙන් එබී බලන සූර්යා හෙමින් හෙමින් එබිකම් කරන්න පටන් ගත්තා. වෙනදා වගේම ගස්වැල් සොලවමින් සුළං රැළි හමාගෙන ගියා. මේ කියන වෙලාවේ නවීන මෝටර් රථයකට නගින සුන්දර යුවතියක් කොළඹ කාසල් එක ගාවින් වැටිලා තියෙන පාරේ යන ගමන් හිටියේ. ගොඩක් සිහින ඒ වෙලාවේ ඇගේ හිතේ තියෙන්න ඇති. සුන්දර රුවේ සුන්දරත්වය වැඩි කරන ඇගේ හිනාවෙන් මුහුණ සරසවාගෙන ඇයට වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ.

ඩෝං
එකපාරටම ගිගුම් හඬ නංවමින් කොටි ත‍්‍රස්තයන් ඇටවූ ක්ලේමෝ බෝම්බයක් පුපුරා යනවා.
එකපාරටම හතර අතින් කන් බිහිරි කරවන ඇම්බියුලන්ස් හඬ. ඒ විතරක් නෙවෙයි පොලිස් සහ ආරක්ෂක රථවාහනවල සහ ගිනි නිවීමේ රථයන්ගේ හඬ. ඒ සැම පරාද කළේ පාපතරයන්ගේ බෝම්බයට අහුවුණු මනුස්සයන්ගේ වේදනාබර හඬවල්...
මේ 2019 වසර. අද ඒ ක්ලේමෝ බෝම්බයට අහුවෙලා තමන්ගේ දෑස් අහිමි කරගත් සුරූපිනියකයි මම කතාබහ කරන්න තෝරාගත්තේ. මේ කියන සුන්දර කාන්තාව බී.බී.සී. නාලිකාව විසින් ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කාන්තාවන්ගේ සිය දෙනා අතරට තෝරාගෙන ඉන්නවා. කෝටි හත්සියකටත් වඩා අධික ජනගහණයක් ජීවත්වෙන ලෝකෙන්ම වැඩිම බලපෑමක් කරන්න පුළුවන් සියදෙනා අතරට පත්වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයිනේ. මම ඇය සමඟ කතාබහ මෙන්න මෙහෙම පටන් ගත්තා. 

ඉතින් එච්චර දරුණු ක්ලේමෝ බෝම්බයකින් ආශ්චර්යමත් විදියට දිවි ගලවාගත් ඔබේ නම මුලින්ම කියලාම කතාව පටන් ගමුද?
චන්දන.. මගේ නම ආශ්චර්යා ජයකොඩි. ඇත්තටම මගේ නමේ ලොකු බලයක් තියෙනවා ඇති. විවාහ වෙන්න කලින් මගේ නම නයනා ආශ්චර්යා පීරිස්. මගේ මහත්තයා ගොඩක් අපහසුතාවට පත්වෙනවා එයාට මිස්ටර් පීරිස් කියලා ගොඩක් අය කතා කරන හින්දා. ඒ හින්දා මම දැන් ආශ්චර්යා ජයකොඩි කියලයි නම භාවිත කරන්නේ.

ඔබ කවුද කියන එක මුලින්ම කියලා ඉමු නේද?
මම පෞරුෂ සංවර්ධන උපදේශිකාවක් වගේම මෝස්ත‍ර නිර්මාණ ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා. ලෝකෙම දෘෂ්‍යාබාධිත මෝස්තර නිරූපණ ශිල්පිනියන් තුන් දෙනෙක් ඉඳලා තිබුණත් මේ වෙද්දී ලෝකෙන්ම ඉන්න එකම කෙනා මම විතරයි. 2000 වසරේ ක්ලේමෝ බෝම්බයට අහුවෙලා මගේ ජීවිතේ බේරුණේ මාව මුලින්ම රෝහල්ගත කරන්න පුළුවන් වුණු නිසා. ඒක මගේ නම වගේම ආශ්චර්යමත් සිදුවීමක්. මොකද ඊට පස්සේ ත‍්‍රස්තවාදීන් සහ හමුදා නිලධාරීන් අතර වෙඩි හුවමාරැවක් වෙලා තියෙනවා. ඒ සිද්ධියෙන් ගොඩක් අය ජීවිතක්ෂයට පත්වුණත් මට මගේ ඇස් දෙක අහිමි වුණත් මගේ ජීවිතේ බේරැණා. ඒත් මට මගේ ජීවිතේ ගොඩක් දේවල් ඒ හින්දා අහිමි වුණා.

ලෝක ජනගහණය කෝටි 700 ඉක්මවන අතර ලෝක බී.බී.සී. නාලිකාව 2019 වසරේ දී ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කාන්තාවන් සියදෙනා අතරට මාව තෝරා ගන්නවා. මම පෞරැෂ වර්ධනය ගැන දේශන පවත්වන කෙනෙක් කියන එක අපේ රටේ හැමෝම දැන් දන්නවනෙ. ඒත් මට මගේ ඇස් දෙක අහිමි වුණත් 2011 වසරේදී ලංකාවේ විශිෂ්ටතම කාන්තාවන් දස දෙනා අතරට තේරෙන්න මට පුළුවන් වුණා.

මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වුණේ කොහොමද කියලා ඇහුවොත්?
මගේ තාත්තා ගුවන්යානා ඉංජිනේරැවරයෙක්. තාත්තා ගාව හොඳට සල්ලි තිබුණා. අපේ අම්මට අල්මාරි තුනක් පිරෙන්න එක එක ජාතියේ සාරි තිබුණා. ඉතින් මම ඒවා දැකලා හිතින් අමතක කළේ නැහැ. මම දේවි බාලිකා විදුහලටයි ගියේ. මිස් දේවි තරගයට මම මගේ පළවෙනි මෝස්ත‍ර නිර්මාණය ඉදිරිපත් කරනවා. මම ඒ තරගයෙන් ජයග‍්‍රහණය ලැබුවා.

මමත් හැදී වැඩුණේ සම්ප‍්‍රදායික පවුලක. මම සංගීතයට චිත‍්‍රවලට ගොඩක් කැමති කෙනෙක්. ඒත් මට ඒවට යොමුවෙන්න මගේ මව්පියන් ඉඩ දුන්නේ නැහැ. මම කොළඹ විශ්වවිද්‍යාලයට තේරැණත් වැඩිදුර අධ්‍යාපනය ලබන්න විශ්වවිද්‍යාලයට ගියේ නැහැ. එහෙම ගියානම් මම අද වෙනකොට නීතිඥවරියක්. 1997 අවුරැද්දේ මම බැංකු සේවිකාවක් විදියට රැකියාව තෝරාගත්තා. එහෙම ඉද්දී තමයි 2000 වසරේදී මාව ක්ලේමෝ බෝම්බයට අහුවුණේ. කාසල් ස්ටී‍්‍රට් එකේ බෝම්බයට තමයි මාව අහුවුණේ. ක්ලේමෝ බෝම්බයක් පිපිරුණාම ආවාටයක් වගේ ඉහළට විසිරිලා යනවා. ඒවායෙ තියෙන යකඩ කෑලි වැදුණම එතනම මැරෙනවා. මගේ වාහනයත් ගොඩක් ඩැමේජ් වුණා. මාව කලින්ම රෝහල්ගත කරපු නිසා මගේ ජීවිතය බේරුණා. ඒත් මාව ගෙනිච්ච ගමන් එතන ත‍්‍රස්තවාදීන් හමුදාව එක්ක වෙඩි හුවමාරුවක් වෙලා තියෙනවා. එතන හිටිය ගොඩක් අය බෝම්බෙ නිසා වගේම වෙඩි වැදිලත් මැරිලා තියෙනවා. විනාඩියක් හරි තව ප‍්‍රමාදවෙලා මාව රෝහල්ගත කළානම් අද ඔයාට කතා කරන්න ආශ්චර්යා කෙනෙක් නොඉන්නත් ඉඩ තිබුණා.

බෝම්බයට මුහුණ දීමෙන් පස්සේ කොහොමද ගත කළ ජීවිතය?
මම විශ්වාස කරගෙන හිටිය හැමෝම මගෙන් දුරස් වුණා. එතකොට මට අවුරුදු 20යි වයස. ගෙදර අයත් මට වෙනස්කම් කරන්න ගත්තා. මම මොනවා කිව්වත් මට පිස්සු කියලා එයාලා කිව්වා. මම ඒක මගේ යාළුවන්ට කිව්වම ‘‘ඔයාට ජීවිතය එපා කරවලා ඔයාව වහ බොන තැනට පත් කරන්නයි එයාලා හදන්නෙ. හිතට ධෛර්යය ගන්න කියලා මට මගේ යාළුවෝ කිව්වා.
මමත් ඒ ගැන ගොඩක් කල්පනා කළා. සාමාන්‍යයෙන් මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. මගේ සීමාව පැන්න ගමන් මම දැඩි තීරණ ගන්න කෙනෙක්. 

ආබාධයකට පත් වුණාම අපේ රටේ ඒ අය බලාගන්න පුනරුත්ථාපනය කරන්න ආයතනයක් නැහැනේ. ඉතින් මම මගේ ගෙදර අයගේ කතා ඉවසගන්න බැරිම තැන ගෙයින් එළියට බැස්සා. මම තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුව කුලියට අරන් ඒකෙ ජීවත් වෙන්න පටන් ගත්තා. මට මගේ යාළුවෝ ඒකට උදව් කළා. සමහර අය වැඩට යන ගමන් එයාලගේ බත් එක පවා ඒ කාලේ මට ගෙනල්ලා දීලා ගියා. ඒ කාලේ මම මොකුත් නොකා හිටිය වාර අනන්තවත් තිබුණා. මොකද මම ජීවත් වුණේ තාත්තා මගේ බැංකු ගිණුමට දාලා තිබුණු සල්ලිවලට ලැබෙන පොලියෙන්. ඒවයින් තමයි මම ගෙවල් කුලී ගෙව්වෙත්. මම රුපියලක් වියදම් කළත් ඒ ගැන ගොඩක් හිතලා බලලයි ඒක කළේ. මම ගෙදරින් එළියට බැස්සට පස්සේ දැන් වෙනකම් මට මගේ අම්මා කෝල් එකක්වත් දීලා නැහැ. ඒක මමත් දැන් අම්මා කෙනෙක් නිසා මට ගොඩක් දැනෙනවා. මට ඇඳුම් ගන්න සල්ලි නැති කාලේ මගේ ගාව තියෙන පොඩි මුදලෙන් මම රෙදි අරන් නිර්මාණ කරලා ඒවා කාටහරි කියලා මස්සවාගෙන ඇන්ඳා. විලාසිතා නිර්මාණයට මට ලොකු අභියෝගයක් තිබුණේ. මම කොහොමත් අභියෝගවලට කැමති කෙනෙක්. පුංචි කාලේ ඉඳලා කවුරුහරි මට අභියෝගයක් කළොත් මම ඒක බාරගෙන ජයග‍්‍රහණය කරලමයි නතර වුණේ.

( ආශ්චර්යාගේ ජීවිතය ගැන කතාබහේ ඉතුරු කොටස ඊළඟ සතියට) 

► Text — Chandana Waravitage

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30