2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

මම පන්ති පහට ගියේ නෑ...

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 125

රෝහණ විරසිංහ Life

ඔබේ ජීවිතය පටන්ගන්නේ සුන්දර නුවරඑළියෙන්? එහෙම නේද?
ඔව්. මගේ තාත්තා ගම්මුලාදෑනි කෙනෙක්. තාත්තාගේ තිබුණ ගතිගුණත් එක්ක අපි පොඩි කාලෙම අපේ පවුලට ගමේ මිනිසුන්ගේ ගෞරවයත් තිබුණා. මගේ තාත්තා ගමේ මිනිස්සු එක්ක හරිම සුහදශීලීයි. ගමේ මිනිස්සු එක්ක සමාජශීලීව වැඩවල නිරත වුණා. ගමේ පන්සලත් එක්ක බොහෝම කිට්ටුයි. තාත්තට තිබුණ ගෞරවයත් එක්ක අපිටත් ගමේ මිනිස්සු හරියට ආදරේ කළා. මගේ සහෝදර සහෝදරියන් කවුරුත් ගමේ මිනිසුන්ට වරදක් කළේ නැහැ. ඒ නිසා මිනිස්සු අපි එක්ක හරියට එකතු වුණා.

ඔබ පවුලේ කීවෙනියද?
අපේ පවුලේ දරුවන් නවදෙනෙක් හිටියා. මම තමයි බාලයා. මම නවවෙනියා වුණාට අපේ පවුලේ අටවෙනියාගේ ඉඳන් මට අවුරුදු හයක පරතරයක් තිබුණා. ඒ නිසා හැමෝම හිතුවේ බාලයා අටවෙනියා කියලයි. අවුරුදු හයකට පස්සේ මාව ලැබුණම ඒ හැමෝගෙන්ම අනිත් අයට වඩා මට ලොකු ආදරයක් ලැබුණා.

ගීත ගායනයට ආසාව ඇතිවුණේ පුංචි කාලෙදිමද?
ඔව්.. මට මතක ඇති කාලේ ඉඳන්ම මම ගීත ගායනා කළා. මගේ තාත්තා සංගීතයට බොහෝම කැමතියි. ඒ කාලේ අපේ ගෙදර ෆුට් බෝල් සර්පිනාවක් තිබිලා තියෙනවා. හැබැයි මගේ තාත්තා ඒක වාදනය කරපු අතීතයක් ගැන මට මතකයක් නැහැ. ඒ සර්පිනාව අපේ ගමේම සංගීතයට ගොඩාක්ම ලැදි කෙනෙක්ට තාත්තා දීලා තිබුණා. සමහර දවස්වල ඒ මනුස්සයා අර සර්පිනාවත් උස්සගෙන අපේ ගෙදරට ඇවිත් ගෙදර සාජ්ජෙ දානවා. මම පුංචි කාලේ ඉඳන් සින්දු කියන්න දක්ෂයි. පන්සලේ උත්සවවලදී එහෙම බොදු බැති ගී ගායනා කළා. නෑදෑයන් ඉස්සරහා ගීත ගායනා කරලා ඒ කාලේ මම හොඳ ගායකයෙක් වුණා. ඒ හැමෝම මාව අගේ කළා. සමහරු මට තෑගි දුන්නා.

ඔබ මූලික අධ්‍යාපනය ලැබුවේ නුවරඑළිය ශුද්ධ වූ කන්‍යාරාමයේ?
ඔව්. එතකොට අපේ ගමේ ඉස්කෝලයක් තිබුණෙ නැහැ. අයියලා කතෝලික පාසැලකට ගියා. ඒ නිසා මාව පහළ බාලාංශයට කොන්වන්ට් එකට ඇතුළත් කළා. නමුත් මගේ තාත්තට ගමේ පාසලක් ආරම්භ කරන්න ඕන වුණා. ඒ නිසා පන්සලේ නායක හාමුදුරැවෝ එක්ක එකතු වෙලා පන්සලේ බොහෝම පොඩියට පාසැලක් ආරම්භ කළා. තාත්තා හැමෝටම ආදර්ශයක් වෙන්න ඒ පොඩි පාසැලට පළමු ශිෂ්‍යයා හැටියට මාව ඇතුළත් කළා. ඒ පාසැල ටිකින් ටික දියුණු වුණා. පහේ ශිෂ්‍යත්වය හොඳට සමත් වුණා. ඒ කාලේ අද වගේ ශිෂ්‍යත්වය තරගකාරී නැහැ. මොකද්දෝ රජයේ විභාගයකට මම පෙනී සිටියා මතකයි. ඒක සමත් වෙලා වෙන පාසලකට යන්න අවස්ථාව ලැබුණා කියද්දි තමයි මම රජයේ විභාගයකට ඉඳලා තියෙනවා කියලා පවා මම දැනගත්තේ. ඒ තරම් ඒ කාලේ අපි රජයේ විභාගවලට ඉදිරිපත් වුණේ හරිම සැහැල්ලුවෙන්. මම ගමේ පාසැලෙන් වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේදී ඔබ ටිකක් දඟකාර, සෙල්ලක්කාර චරිතයක් කියලයි ආරංචිය? ඔය අතරේ සංගීතයටත් මුල්තැන දුන්නා. එහෙම නේද?
ඔව්. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය කේ. වී. එස්. පෙරේරා කියන ගුරුතුමා අපිට සංගීතය ඉගැන්වුවා. ඒ ගුරුතුමා මාර්ගයෙන් මම සංගීතය ඉගෙනගන්න පටන්ගත්තා. ඒ නිසාම සංගීතය මගේ ප්‍රියතම විෂය බවට පත්වුණා. මම සංගීත කාමරයේ හැම වාදන භාණ්ඩයක්ම අතපත ගෑවා. ගුරුතුමාත් මගේ දක්ෂතාවයන් හඳුනගෙන මට බොහෝම උදවු කළා. පාඨශාලාන්තර තරගවලින් මම බොහෝ ජයග්‍රහණ අත්කරගත්තා. පාසලේදිත් මම බොහෝම ජනප්‍රිය ශිෂ්‍යයෙක් බවට පත්වුණා. සංගීතයට වගේම පාසැලේදී මම පාපන්දු ක්‍රීඩා කළා. පාසැල් ජීවිතේදී ටිකක් ගැටවර වියට ආවට පස්සේ අපි පාසැලට හොරෙන් චිත්‍රපට බලන්න ගියා. එහෙම හොරෙන් ගියපු සමහර දවස්වලදී පාසැලට අසු වී ගුටිකාලත් තියෙනවා. අලුතින් පන්තිවලට, ඉස්කෝලෙට එන ළමයින්ට පොඩි පොඩි රැග් පවා කළා. දඩබ්බර වැඩ කළා. හොඳට ගුටි කාලත් තියෙනවා. අපේ සංගීත ගුරුතුමාට මාරුවීමක් ලැබිලා ඉස්කෝලෙන් ගියාට පස්සේ මටත් අර සංගීතයට තිබුණ උනන්දුව නැතිවුණා. මම අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වුණා. උසස් පෙළ පන්තිවල ඉඳිද්දි ගුරුතුමාගේ මාරුවීමත් සමඟම මම පාසල් ගමන නතර කරන්නත් තීරණය කළා. මට අවුරුදු දාහතරක් විතර වෙද්දි මගේ තාත්තා නැතිවුණා. ඒ නිසා මගේ පාසල්වලට උදව් කළේ මගේ රාජා අයියයි. වැලිමඩ ඉස්කෝලෙ ඉන්න බැහැ කියලා කියද්දි රාජා අයියා මාව ඉස්කෝලෙන් අයින් කරගෙන කොළඹ එක්කගෙන ආවා.

ඔබ කොළඹ පැමිණ හොඳින් අධ්‍යාපන කටයුතු හැදෑරුවද?
නැහැනේ.. අයියා මාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඇතුළත් කළා. ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙනවාට වඩා මම අධ්‍යාපන කටයුතු අඩාල කරගනිමින් චිත්‍රපට බලමින් විනෝද වෙමින් කාලය ගතකළා. ඒ නිසා උසස්පෙළ ප්‍රථම අවස්ථාවේදී මම විෂයන් දෙකයි සමත් වුණේ. ඊටපස්සේ ගෙදරින් මාව නැවතත් නුවරඑළියට ගෙන්වාගත්තා. ඒ කාලේ රට පුරා ජනතා විමුක්ති පෙරමුණ බොහෝම තදේට හිස ඔසවපු කාලයක්. මට තාම මතකයි මගේ යහළුවෝ කිහිපදෙනෙක්ම ඒ පන්ති පහටම ගියා. හැබැයි මම සහභාගි වුණේ නැහැ. පහුකාලෙදි මගේ යාළුවෝ කිහිපදෙනෙක්ම එයින් මරණයට පත්වුණා. ගමේ තරුණ පිරිස එකතුකරගෙන අපි ජනමණ්ඩල, අවුරුදු උත්සව ආදිය කළා. ඒකටත් ගෙදර අය කැමති වුණේ නැහැ. ඔය කාලෙදි ගාමිණී විද්‍යාලයේ කිත්සිරි අලුත්ගේ කියන සංගීත ගුරුවරයෙක් හිටියා. එතුමා මම ගැන දැනගෙන මට සංගීතය තවදුරටත් කියලා දීලා මාව හේවුඩ් කලායතනයට ඇතුළත් කළා. කිත්සිරි අලුත්ගේ ගුරුතුමා ඒ සම්බන්ධව තිබූ ගැසට් පත්‍රය මට දීලා මේ කලායතනයට අයදුම් කරන්න කියලා මාව යොමු කළා. ඒ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වෙලා. ආයෙත් මම කොළඹට ආවා. සංගීතයට තිබුණු ආසාව නිසාම හරිම උනන්දුවෙන් මම සංගීතය දියුණු කරගත්තා. අභ්‍යාස නිසි පරිදි කළා.

සංගීත ගමනේදී ඔබට බොහෝ ප්‍රවීණයන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණනේ. මේ මිනිසුන් හඳුනාගැනීම ඔබේ වාසනාවක්යැයි හිතෙන්නෙ නැද්ද?
අනිවාර්යයෙන්ම මම ඒක මගේ වාසනා ගුණයක්යැයි හිතනවා. සංගීතය දැන සිටීමම මදි. ඒකට වාසනාවත් එකතු වෙන්නම ඕනේ. සෝමපාල රත්නායක මහතාගේ මාර්ගයෙන් මට වික්ටර් රත්නායක මහතා මුණගැසුණා. විජේරත්න රණතුංග ගුරුතුමා මාව කේමදාස මාස්ටර්ට හඳුන්වලා දුන්නා. ඒ වගේ ඒ කාලේ හිටපු ප්‍රවීණ සංගීතවේදීන් යටතේ මම සිතාර් වාදකයෙක් විදිහට එකතු වුණා. අත්වැල් ගායනයට එකතු වුණා. සෝමදාස ඇල්විටිගල, මුත්තුසාමි, ෂෙල්ටන් ප්‍රේමරත්න, සරත් දසනායක යන සෑම ප්‍රවීණයෙක් යටතේම මම වාදක ශිල්පියෙක් විදිහටත් අත්වැල් ගායකයකු විදිහටත් ලබාගත්ත අත්දැකීම් මගේ ඉදිරි ගමනට ලොකු ප්‍රයෝජනයක් වුණා.

පසුකාලීනව ඔබ ලක්නව් බාත්කණ්ඩේ විද්‍යාලයෙන් ඉගෙනගත්තා නේද?
ඔව්. මම සංගීත විද්‍යාලයේ (‍හේවුඩ්) ඉගෙනගනිද්දි මම ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධ වුණා. ඒ කාලෙදි ශිෂ්‍ය සංගමේ මම සභාපති ධූරය ලැබුවා. සංගීත විද්‍යාලයේ මම ජනප්‍රිය පුද්ගලයෙක් වුණා. මම හැමවෙලේම මගේ හිතට එකඟවයි කටයුතු කළේ. කිසිම තැනක මම වැරුද්දක් කළේ නැහැ. ඒ නිසා මට හැමෝම බොහොම හිතවත් වුණා. අපි නොයෙකුත් පන්ති වර්ග කළා. ඒකෙනුත් මගේ අධ්‍යාපනය පොඩ්ඩ පොඩ්ඩ අඩාල වුණා. ඔය කාලේ හින්දුස්ථාන් සංගීතය වගේම ජන සංගීතයටත් ශිෂ්‍ය ශිෂ්‍යයෝ බෙදෙන්න පටන්ගත්තා. ලයනල් එදිරිසිංහ මහත්මයා හින්දුස්ථාන සංගීතයත් මකු‍ෙලාලුව මහත්මයා ජන ගායනා සංගීතයත් නියෝජනය කළා. අපි හින්දුස්ථාන සංගීතය පැත්තෙ තමයි හිටියේ. ඒ කාලේ මේ ජන සංගීතය කරලා වැඩක් නැහැ. ඒවායේ කිසි රසයක් නැහැ. ඒකාකාරියි කියන වැරදි මතයක තමයි මමත් හිටියේ. අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන තැන තිබුණේ මකු‍ෙලාලුව මහත්මයාට. විභාග පවත්වන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්නේ. සංගමේ කටයුතු කරපු මට වඩා ජ්‍යෙෂ්ඨයෝ කිහිපදෙනෙක් ප්‍රායෝගික විභාගවලින් අසමත් වුණා. ඒ නිසාම අපි ඉන්දියාවේ ගිහින් ලක්නව්වල සංගීතය හදාරන්න තීරණය කළා. ඒ අනුව තමයි මම ඉන්දියාවට ගියේ. ඒ අනුව මට ගුරු පත්වීමක් ලැබුණා.

ඔබ අතින් හරි අපූරු ගීත නිර්මාණය වුණා. ඒ ආරම්භය ගැන කතා කළොත්?
සංගීත විද්‍යාලයට ගිය අලුත එස්.ඩී.එස්. ජයසේකර ගුරුතුමා ගුවන් විදුලිය ආධුනික වැඩසටහන්වලට සහභාගී කෙරෙව්වා. ඔය අතරේදි මටත් තනුවක් දෙකක් නිර්මාණය කරන්න ඉඩ ලබලා දුන්නා. වික්ටර් රත්නායකයන්ගේ ඇසුර, අපේ ගුරු මණ්ඩලයට මහාචාර්ය සනත් නන්දසිරි මහතා පැමිණීමත් සමඟ ඒ ලැබුණු ඇසුරත් එක්ක විවිධ වැඩසටහන්වලට ගියාම ඒ ලැබෙන පන්නරයත් එක්ක මගේ සැඟවිලා තියෙන දක්ෂාතාවයන් තනු නිර්මාණයක් ඔස්සේ ඉස්මතු වෙන්න පටන්ගත්තා. මම නිර්මාණය කරපු තනු ඉක්මනට ජනප්‍රිය වුණා. මම මුලින්ම තනු නිර්මාණය කළේ රන් තරු මිණි මුතු අභරණ^ කියන ගීතයයි. මාලනී බුලත්සිංහලත් අපේ පන්තියේ හිටියේ. ඒ නිසා ඒ ගීතය ගායනා කළෙත් මායි මාලනියි. මගේ තනු නිර්මාණ නොයෙකුත් සම්මානවලට පාත්‍ර වුණා.

ඔබ තනු නිර්මාණය කළ ප්‍රථම චිත්‍රපටය වුණේ ආරාධනා චිත්‍රපටය. 
ඔව්. 1982 වසරේදී තමයි මම මුලින්ම චිත්‍රපටයකට තනු නිර්මාණය කළේ. ඒ ආරාධනා චිත්‍රපටයටයි. පණ්ඩිත් අමරදේව මාස්ටර්ගේ ආරාධනා ගීතයට තනු නිර්මාණයට කරන්න ලැබීම මොකද්දෝ වාසනාවට මට ලැබුණු දෙයක්. ඒ චිත්‍රපටයෙන් පසුව බොහෝ චිත්‍රපටවල සංගීත නිර්මාණයට මට ආරාධනා ලැබුණා.

ඔබේ බිරිඳ මුණගැසෙන්නේ කොයි කාලෙද?
මම සංගීත විද්‍යාලයේ ඉගෙනගනිද්දි තමයි ඇයව මට මුලින්ම මුණගැසුණේ. අපිට වඩා වසර දෙකකට පසුව නර්තන අංශයට ඇය ඇතුළත් වුණා. 1971 වසරේදී මුණගැසුණු අපි දෙන්නා 1977 වසරේදී විවාහ වුණා. එයා බියට්‍රිස් වීරසිංහ. අපිට පුතුන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු පුතා කළිඳු. එයා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නවා. පුතා චලනි දුව එක්ක විවාහ වුණා. දැන් ඒ දෙන්නට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. පුතා ඕස්ට්‍රේලියානු රජයේ ආරක්ෂක අංශයේ පරිගනක නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. චලනි දුව ඒ රටේ වෛද්‍යවරියක්. මමත් ඒ අය බලන්න යනවා. අපේ පොඩි පුතා හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. එයාගේ නම චිරාන්.

ඔබේ ලොකු පුතාත් සංගීත පැත්තට නැඹුරු වුණා නේද?
ඔව්. කළිඳු සංගීත අධ්‍යක්ෂණයක් කළා. ලොකු පුතා හොඳට සංගීතය ඉගෙනගත්තා. අපේ පොඩි පුතා මගේ හොඳ රසිකයෙක්. එයා නිර්මාණ කටයුතුවලට උනන්දු වෙන්නෙ නැහැ. හැබැයි මගේ ගීත හොඳට රසවිඳිනවා. මාව ලෝකෙ තියෙන අලුත් සංගීත නිර්මාණ පිළිබඳව යාවත්කාලීන කරනවා. 1982දී තමයි මට මුලින්ම චිත්‍රපට සංගීතයට සම්මානයක් ලැබුණේ. නමුත් මම ගිය අවුරුද්දෙත් සංගීත නිර්මාණ වෙනුවෙන් සරිගම සහ ප්‍රේමය නම් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන ලැබුවා. මේ වසර ගාණ වේගයෙන් දියුණු වෙන තාක්ෂණයත්, තරුණ පරපුරත් එක්ක හරි හරියට ඉන්න පුළුවන් වෙන්න මගේ පොඩි පුතා ලොකු හයියක් වුණා.

ඔබේ නිර්මාණ කටයුතු සාර්ථක වෙන්නත් බොහෝ අය හේතු වුණා නේද?
ඔව්. සෝමපාල රත්නායක, තිස්ස සිරි පෙරේරා වගේම මම නිර්මාණ ජීවිතයේ අනුගමනය කරන දෙන්නෙක් ඉන්නවා. ඒ ආචාර්ය කේමදාස මාස්ටර් සහ ආචාර්ය වික්ටර් රත්නායක මහතායි. ඔවුන්ට මම හැමදාමත් ගරු කරනවා. ඒ වගේම මහාචාර්ය සනත් නන්දසිරි වගේම මට උගන්වපු හැම ගුරුවරයෙකුගෙන්ම මට ලැබුණු ඔවදන් සහ ආශිර්වාද මගේ ජීවිතයට ලොකු හයියක් වුණා. වර්තමානයේ වාද්‍ය ශිල්පීන් අතරින් සුසිල් අමරසිංහ, මහින්ද බණ්ඩාර, සංගීත් වික්‍රමසිංහ, මහේන්ද්‍ර පැස්කුවල් මගේ නිර්මාණවලට බොහෝ හයියක් වුණා.

 

► Text - Dishani   /  Pic –Sumudu

 

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30