2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

බොරුව නිරුවත් වෙනවට ආසයි

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 23

Art එකේ කැරට්ටුව.. හඬ: ගිහාන් ප්‍රනාන්දු

තමන්ට අයිති නැති චරිතවල පතුලටම කිමිදෙන මිනිස්සුන්ගේ ජීවිතවල ගැඹුර කොහොමට ඇද්ද? ඇත්තට නළුවෙක් කියන්නේ ලෝකයම දකින මිනිහෙක් විතරක් නෙවෙයි.. ලෝකයම අත්විදින මිනිහෙක්ට..  එහෙම කෙනෙක් හොයාගන්න කතා කරන්න තමයි අද අපි යන්නෙ... 

අනුන්ගේ හැඟීම් සිතුවිලි තමන්ගේ කරගන්න එක කලාවක් නම්... ඒ කලාවේ ඔහු පතාක යෝදයෙක්.. අපිට එහෙම හිතුණේ එයාව ඇසි දිසි මානයට ආවම නෙවෙයි.. මේ මනුස්සයගේ නළුකම ගැන කල්පනා කරද්දි... 
ගිහාන් ප්‍රනාන්දු තමයි ඒ යෝධයා.. 
හැමදාමත් වගේ ඔක්කොටම කලින් ගිහාන් මේ දවස්වල මොනවද කරන්නෙ කියලා අහලා හිටියොත් නරකද?

ගිහාන්... කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම.....?
මේ දවස්වල ටිකක් විතර වැඩ අධිකයි.... බල්ලොත් එකක් බෑ, චරිතෙ හොරු අරන්, තුන්සිය හැට එක, බෝම්බයක් පිපිරෙයි කියන වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩකරනවා... ප්‍රියංකර රත්නායකගේ අලුත් නාට්‍යයක පුහුණවීම් කටයුතුත් අරම්භ කළා... ටෙලිනාට්‍ය දෙකතුනකත් වැඩ පටන්ගත්තා... සුපුරුදු පරිදි නෝ පාර්කින් ටෙලියේ සූටිංවලට සහභාගි වෙනවා... ඊට අමතරව  Hit Act කියලා මගේ රංගන පාසලක් තියෙනවා අවුරුදු 30ක මගේ රංගන අත්දැකීම් පාසලේ ළමයි එක්ක බෙදාගන්නවා..  ඕවා තමයි ඉතින්...
ඒ තමයි ගිහාන් ප්‍රනාන්දු වැඩකරන විදිය..

ගිහාන් ප්‍රනාන්දු කියන්නෙ අපිට ඉන්න දක්ෂයෙක්. දක්ෂයෙක් නෙමේ අති දක්ෂයෙක්... ඔහුගේ රංගනය මොනතරම් අපූරුද... ඒ ගැන කියන්න වචන නෑ... ඒ වගේමයි සංදර්ශන වේදිකාවෙත් ඔහු නැතිවම බැරි චරිතයක් බවට අද වෙනකොට පත්වෙලා... නිවේදන කලාවත් ඔහුට නුහුරැ දෙයක් නෙමේ... ඔය මොන ක්ෂේත්‍රය ගත්තත් එයා ඉහළින්ම ඉන්නවා... ඒක තමයි ඇත්ත... ගිහාන්ගේ නිර්මාණ විඳීමේ පරාසය ගොඩක් පුළුල්... ඒක අපි දන්නවා... ගිහාන්.. ඒ පරාසයට ගොදුරු වුණ අපූර්ව නිර්මාණයක් ගැන පොඩි හෝඬුවාවක් දෙන්නකො... ඒක ගිහාන්ගේ පපුවටම වැදුණු එකක් නම් මරු...  හැබැයි ඒක ගීතයක් වෙන්නත් බෑ... එකඟද?
හරි එකඟයි... මම රෙඩි... ඒ තමයි ගිහාන්ගේ උත්තරය... 

ඒ කෙළින් උත්තරෙත් එක්ක අපි වැඩේට බහිමු එහෙනම්...  
මට දැනිච්ච නිර්මාණ නම් ගොඩක් තියෙනවා... ලංකාවේ චිත්‍රපට, පිටරට චිත්‍රපට, ටෙලිනාට්‍ය, පොත්පත්, වේදිකා නාට්‍ය... මේ හැම කලා මාධ්‍යයකම වෙන වෙනම මම කැමතිම නිර්මාණ ගොන්නක් තියෙනවා... මේ හැම නිර්මාණයක්ම රසවිඳලා යම් යම් අවස්ථාවල අඩු වැඩි වශයෙන් මේවා අපේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා... උදාහරණයක් විදියට මම ළමා කාලේ කුංෆු චිත්‍රපටයක් බලලා චිත්‍රපට ශාලාවෙන් එළියට ආවට පස්සේ හිතෙනවා මට විස්සකට විතර ගහන්න පුළුවන් කියලා.. ඒ කාලෙට අපි දාන්නෙ කුංෆු සපත්තු විතරයි... ජේම්ස් බොන්ඩ්ගේ චිත්‍රපටයක් බැලුවාමත් එහෙමයි.. ඒ කාලෙට අපි හෙන ස්මාට්නෙ.. ජේම්ස් බොන්ඩ් දාන ඔරලෝසුවක් දාගත්තාම ඇඟට අමුතුම ගතියක් එනවා... ළමා කාලේ ආර්ට් අපිට දැනුණෙ එහෙමයි... එහෙම බැලුවාම ආර්ට් කියන එකෙන් අපේ ජීවිතේට කිසියම් හෝ බලපෑමක් තියෙනවා කියන එක ඔප්පු වෙනවානෙ... වර්තමානයේ එච්චර සරල තැනක අපි නොහිටියත්... පහුකාලීනව අපි දකින සමහර නිර්මාණවලින් ජීවිතවලට යම් බලපෑමක් වෙනවා කියන එක ඇත්තක්... මෑත කාලේ මම කැමති විදියේ හරි අපූරු නිර්මාණයක් හම්බවුණා... චාමික හත්ලහවත්තගේ රජා මං වහලා කියන වේදිකා නාට්‍යය. මේ නාට්‍යයට මම කැමති වෙන්න විශේෂ කාරණා කිහිපයක්ම තියෙනවා..  අවුරුදු තිහක් තිස්සේ නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදියට මම විශ්වාස කරන දෙයක් තමයි වේදිකා සජීවී රංගනයේ පූර්ණ නිදහසක් තියෙනවා කියන එක.. ප්‍රේක්ෂකයා අපි ගැන විශ්වාසයෙන් ඉන්නෙ... 

උදාහරණයක් විදියට අපි වේදිකාවක් උඩට ගිහින් ප්‍රේක්ෂකයන්ට කිව්වොත් මෙතන ලොකු ගඟක් තියෙන්නෙ, මම දැන් මේ ඔරුවක යනවා කියලා පුටුවක ඉඳගෙන කිව්වොත්.. ඒ අය ඒක විශ්වාස කරනවා... ඒ තරම්ම නිර්මාණත්මක දේවල් කරන්න පුළුවන් තැනක් තමයි වේදිකාව. එහෙම නිර්මාණාත්මක වේදිකාව පාවිච්චි කරපු කෙනෙක් තමයි දයානන්ද ගුණවර්ධනයන්.. පසුකාලීනවත් ශෛලිගත, ස්භාවික, මොඩන් නාට්‍ය තිබ්බත් මට රජා මං වහලා නාට්‍යය විශේෂ වෙන්නෙ වේදිකාව කියන මෙවලම බොහොම නිදහසේ පාවිච්චි කරලා තිබුණා... ඒකට විශේෂම හේතුවත් තමයි මේ නාට්‍ය  සම්බන්ධ වුණ රංගන ශිල්පීන් පස්දෙනා.. මේ පස්දෙනා කතාන්දර කීමේ  කලාව හොඳින් අධ්‍යනය කරලා තිබුණා..  ඒ නිසාම තමයි එකිනෙකට වෙනස් කතාන්දර තුනක් එක මානයකට  අරගෙන ඇවිත් ප්‍රේක්ෂකයාව කම්පනය කිරීමට හැකිවෙන්නෙ... ඒක ලොකු අභියෝගයක් ඒ අභියෝගය ඔවුන් සාර්ථක කරගන්නවා.. කොටින්ම කිව්වොත් අපි පුංචි කාලේ අම්මාගෙ කතන්දර නින්ද යනකම්ම අහගෙන හිටියනෙ... මම මේ නාට්‍ය මුලින්ම බලපු දවසේ මේ කතන්දර තුන නිසා රෑ නින්ද ගියේ නෑ... ගෙදර අයත් එකක් පාන්දර වෙනකම් නාට්‍ය ගැන කතා කළා....

2016 තමා මේ නාට්‍යය මුලින්ම නිෂ්පාදනය වෙන්නෙ... යුද්ධය ගැන වෙනස්ම මානයකින්, වෙනස් අර්ථකථනයක් දෙන්න චාමික සමත් වෙනවා... යුද්ධයක් කියන්නෙ හුරේ දාන්න ඕනෙ දෙයක්ද කියන කතිකාව සමාජයට දෙන්න උත්සාහ කරනවා... ඔහු ඒකට උපයෝගී කරගත්තෙ එළාර දුටුගැමුණු කතාන්දරය... ඒක තමයි මේ නාට්‍යයේ දෙවැනි කතාන්දරය... පළවෙනි එක සුරංගනා කතාවක්... සුරංගනාවක් සහ වහලෙක් අතර තමයි ඒ කතන්දරය දිවෙන්නෙ... තුන්වැනි කතන්දරය වර්තමානයේ කතන්දරයක්... අපි දන්න කෙනෙක්ගේ සහෝදරියකට වෙච්ච සිද්ධියක්... රත්නපුරේ පැත්තෙ.. තරුණයෙක් එයා කැමති තරැණිය කැමැත්ත නොදීම නිසා ඇයට පිහියෙන් අනින සිද්ධියක්... මේ කතන්දර තුන චාමික ඇතුළු කණ්ඩායම නාට්‍යානුසාරයෙන් තීරණාත්මක එක තැනකට අරගෙන එනවා... මේ කතන්දර තුනේම ඉන්නෙ වීරයෝ තුන්දෙනෙක්... නාට්‍ය පටන් ගද්දිම චාමික අපෙන් ප්‍රශ්න කරනවා.. මේ කතා තුනේ ඉන්නෙ හොඳම වීරයා කවුද... එයාව තෝරලා දෙන්න කියලා.. අවසානයේ ඇත්තටම අපිට ප්‍රශ්නයක් එනවා කවුද සැබෑ වීරයා කියලා... මාව පුටුවේ අග්ගිස්සේ ඉන්දවගෙන මොහොතක්වත් ග්‍රහණයෙන් මිදෙන්න නොදී නාට්‍ය ඇතුළේ මාව හිරකරලා තියාගත්තා.. ඒක තමයි සුවිශේෂීම කාරණය... අවසානයේ මම ගෙදර යනකොට හිතන්න ප්‍රශ්න ගොඩක් මට තිබුණා... ඒ නිසාම මම මේ නාට්‍යයට ගොඩක් කැමතියි...

මේ නාට්‍ය ශෛලියටත් මම ගොඩක් කැමති... මේ නාට්‍ය රජාගේ චරිතෙ කරන කෙනා වෙලාවකට සේවකයා වෙනවා. වෙලාවකට වහලා වෙනවා ඊළඟ තප්පරයේ කථිකයා වෙනවා... මේ එකම නළුවා. මිනිස් චරිත විතරක් නෙමේ... වෙලාවකට රංගන ශිල්පීන් දෙන්නෙක් එකතුවෙලා මාලිගාවක් වගේ හැදෙනවා... දොරටුවක් වගේ රඟනවා.. හරි නිදහසේ තමයි ඔවුන් රංගනයේ යෙදෙන්නෙ. ලංකාවේ මෑතකදී මේ සම්ප්‍රදාය භාවිතයට අරගෙන තිබුණෙ නෑ.

ගිහාන්, මේ නිර්මාණයේ ඔබ කැමති චරිතය ඉන්න ඇති නේද?
මේ නාට්‍ය රංගන ශිල්පීන් පස්දෙනෙක් ඉන්නවා. සනත් විමලසිරි, සරත් කරුණාරත්න, උමයංගනා, තිලංක ගමගේ, හිරුණි පීරිස්. පෞද්ගලිකව මම මේ රංගන ශිල්පීන් පස්දෙනාට කැමතියි. එක චරිතයක් කියලා තෝරන්න අමාරුයි.. මොකද විවිධ චරිත මේ නාට්‍යයේ මාරුවෙන නිසා.. මම කැමති රංගන ශිල්පියා නම්... සරත් කරුණාරත්න. අනිත් අය අදක්ෂයන් කියන එක නෙමේ. ඔක්කොම එකම ලෙවල් එකේ අය. සරත්ගේ රංගන ජවයට මම විශේෂ කැමැත්තක් තියෙනවා..  

මේ නිර්මාණය ඇතුළේ ගිහාන්ව වැඩියෙන්ම සංවේදී කරපු තැනක් දෙකක් මතක් කරමුද?
මට තදින්ම දැනිච්ච තැනක් තමයි අවසාන ජවනිකාව.. ප්‍රේමතිලකගේ කතාව... ඒ කියන්නේ තුන්වෙනි කතාව. අපි පාසල් සමය පසුකරලා ආපු අයනේ. මේ ජවනිකාවේදී ආයිත් මාව මගේ පාසල් සමයට අරගෙන ගියා.. අනිත් කතන්දර දෙකට වඩා තුන්වෙනි කතාව වර්තමාන සිද්ධියක් නිසා වෙන්න ඇති මට ඒ කතාව තදින් දැනුණේ. අනිත් එක මේ නාට්‍යය සංගීතයත් විශේෂයි තුන්වෙනි කතන්දරයට ඒ අය පාවිච්චි කරලා තිබුණේ වර්තමානයේ ජනප්‍රිය සිංදු... මිල්ටන් මල්ලවාරච්චි ජෝතිපාලගේ සිංදු ගොඩක් පාවිච්චි කරලා තිබුණා... ඒකත් හේතුවුණා මට මේ දර්ශනය ගොඩක් දැනෙන්න...

ගිහාන්ට කොහොමද මේ නිර්මාණය මුණගැහෙන්නෙ..? දැනට කී වතාවක් බැලුවාද මේ නිර්මාණය?
රජා මං වහලා නාට්‍ය වේදිකා ගතවෙලා ටික කාලයක් ගියාට පස්සේ.... ඒ කියන්නෙ  රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ලැබුවටත් පස්සේ තමයි මං මේ නාට්‍ය බලන්නෙ... මගේ යාළුවොත් කිව්වා.. ලස්සන නිර්මාණයක් තියෙනවා බලන්න කියලා.. ඊටපස්සේ මම දෙපාරක් විතර ආයි මේ නාට්‍ය බැලුවා.. ඒත් අර පළවෙනි දවසේ ලැබුණු හැඟීම නම් දැනුනෙ නෑ.. කතාව දන්න නිසා වෙන්න ඇති.. 

මේ නිර්මාණය තුළින් ඔබගේ ජීවිතයට එකතු කරගත්තෙ මොනව වගේ දෙයක් කියලද ගිහාන් හිතන්නේ..?
මම ගත්ත දෙයකට වඩා... මම යම් යම් දේවල් ගැන හිතන් හිටපු විධි තිබුණානෙ... යුද්ධය ගැන, ජාතිවාදය ගැන, ප්‍රේමය, දේශපාලනය ගැන ඒවා තහවුරු වුණා කිව්වොත් හරි... මම හිතන විදියට තවත් අය හිතනවා කියලා මට දැනුණා.. ඒ වගේම මම නොහිතපු යම් යම් දේවල් ඉතා සියුම්ව චාමික මේ නිර්මාණය හරහා මට පෙන්නලා දුන්නා... රංගන ශිල්පියෙක් විදියට අපි දරන මතයම තියෙන නිර්මාණම අපිට කරන්න ලැබෙන්නෙ නෑ. ටෙලිනාට්‍ය චිත්‍රපට වගේ නෙමේ.... වේදිකා නාට්‍යයක් මාස ගණන්, අවුරුදු ගණන් රංගනයේ යෙදෙන්න ඕනෙ... එහෙම වුණාම මේ නිර්මාණයේ තිබෙන මතවාදයත් එක්ක මගේ මතය ගැලපෙන්නෙ නැති වුණාම හරි අමාරුයි ඒකත් එක්ක දිගටම රැඳෙන්න... මේ නිර්මාණය මගේ මතයට සමීප නිර්මාණයක්. සමාජයේ තියෙන බොරුව නිරුවත් කරන එක තමයි මේ නිර්මාණයෙන් කරන්නෙ... එතනින් එහාට හිතන දේ ප්‍රෙක්ෂකයාට තමයි බාරවෙන්නෙ.. 

ගිහාන්ට මේ නාට්‍යයේ එන්ඩ් එකේදී දැනුණේ මොන වගේ හැඟීමක්ද?
මට ඇත්තට දැනුනේ මිශ්‍ර වෙච්ච හැඟීමක්... මොහොතක කලකිරීමක්, දුකක්, සතුට වෛරය මේ හැමදේම... ලෝකෙ ඉන්න හැම දුෂ්ටයටම එයා දුෂ්ටයෙක් වෙන්න කතාවක් තියෙනවා... එයා ඒ තත්ත්වයට පෙළඹෙන්න ඇයි කියන එක ගැන මාව හිතන්න යොමුකළා. විරුද්ධ මතයන්ට මිනිස්සු ගෞරව කරන්නැත්තෙ ඇයි? ඕනම කෙනෙකුට ඕනම මතයක් දරන්න අයිතිය තියෙනවනේ... ඔහුට එරෙහි වෙන්නෙ නැතිව, ඔහු සතුරෙක් කියලා හිතන් නැතුව ඇයි අපිට හිතන්න බැරි... ඒ තව විදියක්, ඒ තවත් හැඩයක් කියලා... තව දෙයක් කියන්නම ඕනෙ. රංග කලාව ඉගෙන ගන්න අපේ දරුවන්ට අපි තාමත් පෙන්වන්නෙ අර අපේ අතීතයේ තිබුණු නිර්මාණ ටිකමයි... අලුතෙන් නිර්මාණය වන හොඳ නිර්මාණ ඒ විෂය ඇතුළට එකතු කරන්නෙ නෑ... රංග කලාව එන දරුවන්ට අලුතෙන් හිතන්න චාමිකලගේ රාජිතලගේ නිර්මාණ ඒ අයට ඇසුරු කරන්න ඉඩ හදන්න ඕනෙ... එතකොට ඉදිරියේදීත් තව හොඳ නිර්මාණ බිහිවෙයි...
ගිහාන්, එහෙම තමයි කතාව නැවැත්තුවේ....

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30