2019 ජුනි 08 වන සෙනසුරාදා

එඩී ජයමාන්න මාව ඔඩොක්කුවට අරන් පොඩි එකා සින්දුව මරුනෙ කීවා

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 105

මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ..?
මේ දවස්වල සුපුරුදු පරිදි මගේ සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. රටේ පවතින තත්ත්වයත් එක්ක ඒක පොඩ්ඩක් නැවතුණා. තාම ඉස්සර තරම් නිදහසේ සංගීත කටයුතු කරන්න හැකියාවක් නැහැ. ඉතා ඉක්මනින් ඒ සැනසිලිදායක තත්ත්වය රට තුළ ඇතිවේවි කියලා අපි හැමෝම විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා.

ඔබ ඉපදුණේ මොරටුවේ.. අපි පොඩ්ඩක් ළමා කාලය ගැන කතා කරමුද..?
ඔව්.. මම ඉපදුණේ මොරටුවෙ. අදටත් මම ජීවත් වෙන්නෙ මම ඉපදුණු, දුව පැන ඇවිදපු ඒ පරිසරයෙම තමයි. ඒ කාලේ අවුරුදු තුන හමාරක් වෙද්දී පහළ බාලාංශයට තමයි පොඩි දරුවන්ව දාන්නෙ. එතකොට පහළ බාලාංශය සහ ඉහළ බාලාංශය කියලා බාලාංශ දෙකක් තිබුණා. පහළ බාලාංශයට ගිය මුල්ම දවස්වල අනිත් ළමයි වගේ මාත් ඇඬුවා. හැබැයි ගුරුවරුන්ගෙ ආදරයත් අනිත් ළමයින්ගෙ මිත්‍රත්වයත් එක්ක මාත් ඒකට හුරු වුණා. පොඩි කාලෙම මාවත් පාසල්වලින් පවත්වපු විවිධ ප්‍රසංගවලට ගුරුවරු සම්බන්ධ කළා. තමන්ගෙ පන්තියෙ ඉන්න දරුවන් අනිත් දරුවන්ට වඩා ඒ වැඩසටහන්වලට ඉදිරිපත් කරන්න හැම ගුරුවරයෙක්ම කැමතියි. ඉතින් ඒ නිසා මගේ පන්තියෙ ගුරුවරුත් ඒවාට මාව ඉදිරිපත් කළා.

ඔබ ඉගෙන ගත්ත පාසල මොකක්ද..?
මම මුලින්ම ඉගෙන ගත්තෙ ගමේ තිබුණු පුංචිම පාසලකින්. ඒක අද තරම් ජනප්‍රිය නැහැ. පාසලේ ප්‍රින්සිපල්ටවත් වෙනම කාමරයක් තිබුණෙ නැහැ. ඉස්කෝලෙටම තිබුණෙ පන්ති අටයි. මේ පන්තියෙ කියන දේ එහා පන්තියට ඇහෙනවා. හැබැයි අපි හැමෝම අවධානය යොමු කළේ අපේ පන්තියෙ ගුරුවරයාට විතරමයි. ඒක හොඳ පුරුද්දක්. දැනුත් අපිට ඒ ගුණය තියෙනවා. මම මුලින්ම ඉගෙන ගත්තෙ නිර්දෝෂ මරියා මිශ්‍ර පාඨශාලාවෙන්. දැන් ඒ පාසල හඳුන්වන්නෙ රාවතාවත්ත රෝමානු කතෝලික මිශ්‍ර පාඨශාලාව ලෙසයි. ඊට පස්සෙ මම ශිෂ්‍යත්වය සමත්වෙලා මොරටුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

සංගීත දිවිය ඇරඹුණේ පාසලෙන්මද..?
ඔව්.. මගේ ගායනය පටන් ගත්තෙ පාසලෙන් තමයි. නිර්දෝෂ මරියා මිශ්‍ර පාඨශාලාවෙදී මම ගීත ගායනා කළා. සිංහල සාහිත්‍ය සංගමයෙත් මම ගීත ගායනා කළා. ඊට පස්සෙ මොරටුව මධ්‍ය මහා විද්‍යාලයෙ සිංහල සාහිත්‍ය සංගමයේ මුල්ම ගීතය ගායනා කරද්දී මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඒකෙ ළමයි තුන්දහස් ගණනක් හිටියා. ඒ කට්ටියම එකපාරටම අමුතු විදිහට මම දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ මාව හැමදාම සාහිත්‍ය සංගමයේ ගීතයකට ඉදිරිපත් කළා. මට හයේ පන්තියෙ ඉඳන්ම තනියම ගීතයක් ලියන්න, තනුවක් නිර්මාණය කරන්න හැකියාව තිබුණා. පුංචි කාලේ ඉඳන්ම ගුරුවරුන්ගෙන් ලබාගත් දැනුම වර්ධනය වුණා. ඒ නිසා මේක තමයි මගේ ඉලක්කය කියලා මම හිතාගත්තා. පාසලේ හොඳ වැඩ, දඟ වැඩ හැමදෙයක්ම කළා. හැබැයි සංගීතය නිසා පාසලේදී මම ජනප්‍රිය චරිතයක් වුණා. හැමෝම මට ආදරෙයි. ගුරුවරුන්ගෙ ගෙවල්වල තියෙන පොඩි පොඩි උත්සවවලට ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ ඒ ගුරුවරු ඒ අයගේ යාළුවන්ට, දන්න කට්ටියට මම ගැන කියන්න පටන් ගත්තා. ඉස්සර ගුවන්විදුලිය විතරයි තිබුණෙ. මොරටුව ඉස්සර ලොකුම ශාලාවකට තිබුණෙ අපේ පාසලේ හෝල්එක විතරයි. ඒකට තමයි හැමෝම හැමදේටම ආවේ. ඒ ආවම මටත් ගීත ගයන්න අවස්ථාව ලැබෙනවා. ඉස්කෝලෙ ළමයින්ගෙන් මට පුදුම සහයෝගයක් ලැබුණෙ. අද මම සංගීත ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්නවානම් ඒකට ප්‍රධාන හේතුව වුණේ මගේ පාසල සහ මගේ යාළුවොයි. ඒ නිසා ගෙදරින් පාසලටත්, පාසලෙන් ගමටත් මම ජනප්‍රිය ගායකයෙක් වුණා.

ගමේ ජනප්‍රිය චරිතයක් වුණු නිහාල් රටේ ජනප්‍රිය චරිතයක් වුණේ කොහොමද..?
පාසල් කාලය අවසන් වීමෙන් පසුව වෘත්තීමය වශයෙන් යමක් කිරීමේ වුවමනාවක් මටත් ඇතිවුණා. ඒ වෙනකොට මගේ සමාජයම මම ගායකයා කියලා දන්නවා. ගමේ මඟුල් ගෙවල්වල මම සින්දු කියන්න ගියා. මෙහෙම යද්දී මගේ යාළුවෙක්ගෙ ගෙදර මඟුල් ගෙයක් තියෙනවා කියලා මටත් සින්දු කියන්න එන්න කිව්වා. හැබැයි ඒක විශේෂ උත්සවයක්. ඒ උත්සවයට ඒ කාලේ රටේ ඉතා ජනප්‍රිය ගායක ගායිකාවන් කිහිප දෙනෙකුත් සහභාගි වුණා. ඒ අතරින් රැක්මණී දේවි, එඩී. ජයමාන්න, මොහිදින් බෙග්, රූපසිංහ මාස්ටර් වගේ ප්‍රවීණ කිහිප දෙනෙකුත් සහභාගි වුණා. ඒ නිසාම හරිම ආසාවෙන් මමත් ඒ මඟුල් ගෙදරට සහභාගි වුණා. ඒ 1962 අවුරුද්දෙයි. ඒ උත්සවය සංගීතවත් කළේ ඒ.ජේ. කරීම් මාස්ටර්. ඔහු ලංකාවේ අතිවිශිෂ්ට සංගීතඥයෙක්. ඉතින් ඒ ජනප්‍රිය අය ඉන්නකොට මගේ පාසල් මිත්‍රයා මටත් ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා.

එදා ලැබුණු ප්‍රතිචාරය කොහොමද..?
එදා හොඳ ප්‍රතිචාරයක් තිබුණා. හැම ප්‍රවීණ ගායකයෙක්ම ගායිකාවක්ම මාව ළඟට ගෙනල්ලා මට සුබ පැතුවා. මට තාම මතකයි මාව ඔඩොක්කුවට ගත්ත එඩී ජයමාන්න පොඩි එකා මරුවට සින්දු කියනවනෙ කියලා කිව්වා. ඒක හරියට සිංහල වෙද මහත්තයෙක් ළඟට බෙහෙත් ගන්න ගියා වගෙයි. මුලින්ම හිත හදලා තමයි බෙහෙත් දෙන්නෙ. ඒ වගේම හරිම ආදරයෙන් ඒ හැමෝම මාව ධෛර්යමත් කළා. එදා සින්දු කියලා ඉවර වුණාට පස්සෙ ඒ.ජේ. කරීම් මට ළඟට කතා කරලා මල්ලි හොඳට සින්දු කියනවනේ.. මල්ලි අපි ඉන්නෙ කොල්ලුපිටියෙ තැනක. හෙට හවස එතනට එන්න.. කියලා කිව්වා.

ඉතින් ඔබ පහුවදාම එතැනට ගියාද..?
ඔව්.. හරිම ආසාවෙන් කොල්ලුපිටිය හතරවැනි පටුමඟේ අංක දහයේ ගෙදරට මම ගියා. එතන තනිකරම සංගීත පන්තියක්. ඉතා දක්ෂ බොහෝ දෙනෙක් එතනට එකතුවෙලා හිටියා. මේ පොඩි එකා මරැවට සින්දු කියනවා කියලා ඒ.ජේ. කරීම් මාව එතන හැමෝටම හඳුන්වලා දුන්නා. ඊට පස්සෙ පහුවදාම ඒ.ජේ. කරීම් මාව ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතවේදියා ළඟට එක්කගෙන ගියා. ඔහු තමයි ඒ කාලේ ලංකාවේ නෞෂාඩ්. ඒකෙ ආයෙ දෙකක් නැහැ. කරීම් අයියගේ තියෙන වටිනාකම සහ දැනුම හින්දාම ආර්.ඒ. චන්ද්‍රසේනයන් මට සින්දුවක් කියන්න කිව්වෙ නැහැ. ආ.. ඇත්තද.. එහෙනම් ළමයා ලබන ඉරිදා නුවර යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වා. ඒ කාලේ ගුවන්විදුලියේ සින්දු කියනවා වගේ තමයි lake club එකේ සින්දු කියද්දී. ඒකෙ ගායකයෙක්ට සින්දු කියන්න ලැබෙනවා කියන්නෙ විශාල භාග්‍යයක්. ඉතින් ඒ සතියේ ඉරිදා යන්න තිබුණට මට සෙනසුරාදා පෙරහුරුවටත් එක්ක එන්න කිව්වා. මට තාම මතකයි මම එදා ගියාම හරි.. ළමයා සින්දුවක් කියන්න කියලා ආර්.ඒ. චන්ද්‍රසේන මහත්තයා කිව්වා. මම ගීතය ගායනා කරන්න හුස්ම ඉහළට ගනිද්දීම චන්ද්‍රසේන මහත්තයා මම කියන ස්වර පරාසය හඳුනාගෙනත් ඉවරයි. මට lake club එකේ අවුරුද්දක කොන්ත්‍රාත්තුවක් ලැබුණා. එතකොට දවසට ලැබුණෙ රුපියල් පහයි. ඒ කාලෙත් මම ගායනා කළේ මම විසින්ම පදරචනා කරලා තනු නිර්මාණය කරපු ගීතයි. මම කවදාවත් අනුන්ගෙ ගීතවලින් ජනප්‍රිය වුණේ නැහැ. අනුන්ගෙ ගීත එදා කිව්වෙත් නැහැ. අද කියන්නෙත් නැහැ. හෙට කියන්නෙත් නැහැ. එතන ඉඳන් ලංකාවෙ තැටිගත කිරීම්, පටිගත කිරීම් හැමදෙයක්ම මම කළා.

ඔය අතරෙදී ඔබ ගැයූ ලස්සනට පිපුණු වනමල්.. ගීතය අතිශය ජනප්‍රිය වුණා..?
ඔව්.. මගේ පාසල් කාලෙදී හිටපු යාළුවෙක් තමයි සරත් මුණසිංහ කියන්නෙ. ඔහු දවසක් මචං.. සින්දුවක් තියෙනවා කියමුද? කියලා මට ගීතයක් දුන්නා. ඒ 1962 අග භාගයෙදී. මමම තනුව දාගත්තා. ඒක මම චන්ද්‍රසේන මාස්ටර් ගාවට ගිහින් පෙන්නුවා. කියපන් මේක නියම සින්දුව.. කියලා එයා ඒකට සංගීතය සැපයුවා. ඒ තමයි ලස්සනට පිපුණු වනමල්.. ගීතය. ඒ ගීතය කරැණාරත්න අබේසේකර මහත්තයා ගුවන්විදුලියේ වැඩසටහනක ප්‍රචාරය කළා. මට තාම මතකයි ඒ ගීතය ඔහු හඳුන්වලා දුන්නෙ මම අද මල් වෙඩිල්ලක් පත්තු කරනවා. මල් වෙඩිලි ආකාසේ ඉහළට ගිහින් ලස්සන පෙන්නලා නිවිලා යනවා. හැබැයි මේ මල් වෙඩිල්ල ආකාසේ තියෙනකම් පවතිනවා කියලයි. මම දන්නෙ නෑ ඒ දැක්ම හරිද වැරදිද කියලා. එතනින් එහාට මම හැමෝවම හඳුනාගෙන හෙමිහිට මේ ගමන ආවා.

නිහාල්.. මතකද මුලින්ම සහභාගි වුණු මුල්ම විදෙස් සංචාරය..?
ඔව්.. ගෙදරින් පාසලටත්, එතනින් ගමත් රටත් හඳුනාගත්ත මම ලෝකයටම ගියා. මම ලංකාවේ ජනප්‍රිය වෙද්දී පිටරට සංගීත සංවිධායකවරු මටත් විදෙස් සංචාරවලට ආරාධනා කළා. මුලින්ම එංගලන්තයට තමයි මම ප්‍රසංගයකට කියලා සහභාගි වුණේ. ඒ 1988 අවුරුද්දෙ. ඒ ගමනින්ම ජර්මනියෙත් ප්‍රංශයෙත් ප්‍රසංගවලට සහභාගි වුණා. ඒ ගමනට මම වගේම ඉන්ද්‍රානි පෙරේරාත් සහභාගි වුණා. ඒ ගිහින් දෙවැනි වාරෙදී මම ඉතාලියට ප්‍රසංගයකට ගියා. ඒ ගමනෙදී තමයි මට එවකට සිටි පාප් වහන්සේව මුණගැහෙන්න අවස්ථාව උදා වුණේ. අද වෙනකොට රටවල් හතළිහක පමණ ප්‍රසංගවලට මම සහභාගිවෙලා තියෙනවා.

ඔබ වැඩිම කැසට්පට ප්‍රමාණයක් නිකුත් කළ කලාකරුවෙක්ද වෙනවා..?
ඔව්.. ඒ අවස්ථාව මට ලැබුණා. මගේ වාසනාව වගේ දෙයක් නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ. ඒ ගැන මම ආඩම්බර වෙන්නෙ නැහැ. ඒක මගේ ලැබීම වෙන්න ඇති. මම ගායනා කළ බොහෝ ගීතවල තේරුම සත්‍යයයි. ඒ නිසා මේ රටේ මිනිස්සු ඒ ගීත ඉතා ඉක්මනින් වැළඳ ගත්තා. මම කැසට්පට එකසිය දහතුනක් කළා.

අපි ඔබේ විවාහය ගැනත් ටිකක් කතා කරමු..?
මම විවාහ වුණේ මගේ යාළුවෙක් යාළුවෙලා හිටපු ගෑනු ළමයාගේ යාළුවෙක් එක්කයි. මාලිව දැක්කාම මට එයා ගැන ආදරයක් කැමැත්තක් ඇතිවෙලා මම එයාගේ ගෙදරින්ම ගිහින් ඇහුවා. ගෙදරිනුත් අපිට ආශිර්වාද කළා. අපි 1974 දී විවාහ වුණා. අපිට පුතෙක් ලැබුණා. තරංග පුතාත් 2011 දී විවාහ වුණා. ඉතින්.. දැන් මගේ පුතායි ඒ දුවයි එක්ක මාලි නෙල්සනුයි නිහාල් නෙල්සනුයි සන්තෝසයෙන් ජීවත් වෙනවා.

අද ඔබ දවස ගෙවන්නෙ කොහොමද..?
මනුස්සයෙක් මොන තරම් පාර තොටේ ඇවිදලා, රට තොටේ ඇවිදලා, රට රාජ්‍යවල කොහේ ගිහින් ආවත් නවතින්නෙ ගෙදරනෙ. ඉතින්.. ගෙදර ඊට වඩා දරුණු වුණොත් කලබලකාරී වුණොත් මහ විනාශයක් තමයි වෙන්නෙ. ඉතින් මම වැඩිපුරම කැමති ගෙදර ඉන්න තමයි. මගේ ගෙදර මට නිදහසේ ඉන්න පුළුවන්. සමහර ගෙවල්වල තියෙන ප්‍රශ්න අපේ ගෙදර නැහැ. වත්තෙ අපි එළවළු ටිකක්, පළතුරු ටිකක් වගා කරලා තියෙනවා. ඒක සැනසිලිදායක පරිසරයක්. ඉතින් සංගීත ප්‍රසංග හෝ වෙනත් කටයුත්තක් නැති වෙලාවක මම ඉන්නෙ මගේ ගෙදරයි. කාටවත් කරදරයක් නොකර කාගෙන්වත් කරදරයක් නොලබා ජීවත් වීමයි මගේ පැතුම.

 

► Text - Dishani  /   Pic -  Sumudu 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30