2019 ජුනි 08 වන සෙනසුරාදා

අයියෝ දේශපාලනය කලාවටත් අගුණයි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 101

ජැක්සන් ඇන්තනීගේ සිනමා සොකරිය වුණු එකගෙයි සොකරිය නිර්මාණය වුණේ, ගොඩනැගුණේ කොහොමද? කොහෙන්ද මේ වස්තු බීජය හොයාගත්තේ?
එකගෙයි කෑම කියන විවාහ සම්ප්‍රදාය ගැන, සොකරි නාටකය ගැන මගේ සොයාබැලීම්වලට කාලයක් ගතවුණා. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ ඉඳන්ම සමාජ විද්‍යාත්මක තොරතුරු මම එකතු කළා. ඊට අමතරව මම පුස්තකාල සේවා මණ්ඩලයේ සහකාර පුස්තකාලාධිපති විදිහටත් කාලයක් සේවය කළානේ. ඒ කාලේදී මට විවේක තියෙන හැම මොහොතකම නුවර යුගයේ අවසාන කාලයේ අපේ ප්‍රාදේශීයව හිටපු දිසාපතිවරු, ඒ ප්‍රදේශයේ සම්ප්‍රදායන් ගැන ලියවුණු අත්පිටපත් මට කියවන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මම එයින්ද ලබාගත්ත බොහෝ තොරතුරු තියෙනවා. ඒ තොරතුරැ ඔස්සේ අපේ රටේ ගැමි සම්ප්‍රදාය, ජන සම්ප්‍රදාය ගැන මම චිත්‍රපටකරණයක යෙදෙන්න කැමැත්තක් අතීතයේ ඉඳන්ම මට තිබුණා. ඒවා ඇසුරෙන් මම ලියපු තිරපිටපත් ගණනාවක්ම මම ළඟ තියෙනවා. චිත්‍රපටකාරයෙක් විදිහට නාටකීය ගුණ,. මානවීය ගුණය සහ දුර්ලභ ගුණය පුදුම සහගත විදිහට බොහෝමයක් ඒවාවල තියෙනවා. අංකෙළිය වගේ ක්‍රීඩා, ඒ වගේ පූජාවල් ඇසුරෙන් මම තිරපිටපත් ලියලා තියෙනවා. මගේ කියවීම්, මගේ පර්යේෂණ ඒ සියල්ල මේ චිත්‍රපට තුළින් ප්‍රකාශයට පත් කිරීමට තමයි මම ඒවා එකතු කරන්නේ.

ඒ කියන්නේ ඒ පිටපත් ගොන්නේ තිබුණු තිරපිටපතක් තමයි අවසානයේදී එකගෙයි සොකරි බවට පත්වෙන්නේ?
ඔව්... මම පසුගිය කාලේ 1818 නමින් චිත්‍රපටයක් හදන්න ලෑස්ති වුණා. ඒකට මම සෑහෙන්න මහන්සි වුණා. බොහෝ පර්යේෂණ කළා. මගේ පැත්තෙන් කරන්න තියෙන හැදෑරීම් සියල්ල කරලා තිරපිටපත් සියල්ල ලියලා අවසානයේදී ඇතිවුණු ලොකුම ගැටලුව වූයේ නිෂ්පාදකයෙකු සොයාගැනීමයි. ඒ නිසා මට ඒකත් කරගන්න බැරිවුණා. ඒ සඳහා මම වෙල්ලස්සේ, බිබිල, කොටගම, නිල්ගල, රතුගල, ඇකිරියංකුඹුර වගේ පළාත්වල ඇවිදිද්දී ඒ පළාත්වල බොහෝ තොරතුරු මට සොයාගන්න පුළුවන් වුණා. ජනසම්මත බොහෝ දුර්ලභයන්, සොකරි නැටුම් පිළිබඳව, ඒ ගැමියන්ගේ ජීවිත ඇතුළේ තිබෙන කතන්දර, එකගේ කෑම නැමැති විවාහ සම්ප්‍රදාය ගැන මට තොරතුරු ලැබුණා. ඒ මිනිසුන්ගේ ජීවිත ඇතුළේ හරි අපූරු මූල්‍යයන් තියෙනවා. ඒ හැමදෙයක්ම එකතු කරලා මම මගේ මඩිස්සලේ තැම්පත් කරගෙනයි හිටියේ. ඒ තියා අවසානයේදී එකගෙයි කෑම නැමැති විවාහ සම්ප්‍රදායත් සොකරි නැමැති නාටකයත් එකතු කරලා මේ නිර්මාණය කළා. ඒක හරියට සොකරි නටන එකගෙයි කන ඈත ගම්කෙළවර සිදුවන කතාවක්.

නිර්මාණයට තෝරාගත්ත ප්‍රදේශයත් සැබැවින්ම හරි අපූරු වටපිටාවක්, පරිසරයක් තියෙන ගමක් නේද..?
ඔව්... ඇත්තෙන්ම. මේ චිත්‍රපටයට අදාළ වන වකවානුව විදිහට 1930 ඉංග්‍රීසි පාලනය තියෙන කාලයයි මම ගත්තේ. නමුත් ඒ ඉංග්‍රීසි පාලනයෙන් අතහැරුණු ගම්මාන වෙල්ලස්සේ තිබුණා. එහෙම රහසිගතව වෙල්ලස්සේ කෙළවරක ජීවත්වුණු ගමක් තමයි ඇකිරියංකුඹුර කියන්නේ. ඇකිරියංකුඹුරේ තමයි නුවර සිට මඩකලපුවට යන පැරණි කරත්ත පාර වැටිලා තියෙන්නේ. වෙල්ලස්සේ හම්බවෙන අවසාන ගම්මානය තමයි ඇකිරියංකුඹුර කියන්නේ. එතැනින් එහාට මහ මූකලානෙන් මඩකලපුව දක්වා යන්න ඕනේ. ඒ නිසා ඇත්ත ඇකිරියංකුඹුර හොයාගෙන ගිහින් ඇත්ත ඇකිරියංකුඹුර, ඇත්ත ගල් විහාරය සොයාගෙන නායක හාමුදුරුවන් බැහැදැකලා උන්වහන්සේ එක්ක කතාබහ කරලා මම තව තවත් තොරතුරු එකතු කරගත්තා. එහෙම එකතු කරගෙන ඒ සත්‍ය තොරතුරු හරහා මම ස්වතන්ත්‍ර නිර්මාණයක් ගොඩනගා ගත්තා.

ඔබ නිර්මාණය රූගත කරන්නෙත් ඒ සැබෑ ඇකිරියංකුඹුර ගමේ ඉඳන්මයි...?
ඔව්... අද ගම සිනමාවට අමතක වෙලා තියෙනවා. ගම මතක් කරන බොහෝ දෙනා ගමේ තියෙන දුප්පත්කම, පීඩනය, සූරාකෑම, ලිංගික සූරාකෑම, මිනිසුන්ගේ ඛේදනීය තත්ත්වයන් තමයි නිර්මාණයට ඇතුළත් කළේ. ඒකේ වැරැද්දක් මම කියන්නේ නැහැ. ඔවුන්ගේ ඒ ඛේදය අපි හෙළිදරව් කරන්න ඕනේ. ඒ ඛේදයේ ප්‍රවණතාවයට ජාත්‍යන්තර ලකුණු ලැබීම නිසා අපිට ඒ ඈත පිටිසර මිනිසුන්ගේ සාරධර්ම, ඒ ශක්තිමත් බව, ඔවුන්ගේ චාරිත්‍ර, සුබවාදීකම අමතක වුණා. කිළිට්ටට ලැබුණු අනුග්‍රහය ඒ සුන්දරත්වයට ලැබුණේ නැහැ. ගමේ ලස්සනත් තියෙනවා. කිළිට්ටත් තියෙනවා. සාධාරණයත් තියෙනවා. අසාධාරණයත් තියෙනවා. අපි අර අසුන්දර, කිළිට්ට, පීඩනය ගැන හෙව්වා මිසක් මේ සුන්දර, මානව ගුණයෙන් යුතු සාරධර්මවලින් පොහොසත් මිනිස්සු ගැන වැඩිය කතා කළේ නැහැ. හැබැයි අතීත සිනමාවේ එහෙම නැහැ. මම අනුප්‍රාණය ලැබූ සිරිබෝ අයියා වැනි චිත්‍රපටවල ඒ ගමේ මිනිසුන්ගේ සුන්දරත්වය ගැන කතා කළා. ඒ නිසා මට ඒ පැරණි ගම්මානය නිර්මාණයකට ගෙන එහි සම්ප්‍රදායී සොකරි, එකගෙයි කෑම ගැන සුබවාදී සුන්දර සිතුවිල්ලකින් බලන්න හිතුණා. ඒක තමයි එකගෙයි සොකරි කියලා කියන්නෙ.

එකගෙයි සොකරි චිත්‍රපටයේ මොණරා, සේදර මැණිකේ, සුංගරා, ඩිංගිරා, බාලයා, බංගර හාමි ඇතුළු තවත් ප්‍රධාන චරිත කිහිපයක් හැරුණුවිට අනිත් බොහෝ චරිත ජැක්සන් සොයාගෙන තියෙන්නෙත් ඇකිරියංකුඹුර ගමෙන්මයි. එහෙම නේද..?
ඔව්.. මම කොළඹින් ඇකිරියංකුඹුර ගමට අරගෙන යන්නෙ ඔය කියන චරිත සහ තවත් චරිත කිහිපයකට අයිති නළු නිළියන් පිරිසක් විතරයි. අනිත් සියලු නළු නිළියන් මම එක්කාසු කර ගත්තේ ඒ ගමෙන්මයි. මම ඔය නිර්මාණයට අයිරාංගනී සේරසිංහ මහත්මියව එක චරිතයකට රැගෙන යන්න බලාපොරොත්තුවෙන් හිටියා. එතුමියත් මාත් එක්ක යන්න බොහොම කැමැත්තෙන් හිටියෙ. නමුත් මම චිත්‍රපටය රූගත කරන කාලයෙදී එතුමියට ටිකක් අසනීප වුණා. දුෂ්කර පළාතකට එතුමියව ගෙනියන්න මම ටිකක් අකමැති වුණා. හැබැයි එතුමිය බොහොම කැමැත්තෙන් හිටියෙ. අයිරාංගනී සේරසිංහ කියන්නෙ අපේ රටේ ඉන්න අතිදක්ෂ නිළියක්. ඇයට ආදේශ සපයන නිළියක් මම හොයන්නෙ කොහෙන්ද? ඒ නිසා මම වෙන නිළියක් කොළඹින් ගෙනිච්චෙ නැහැ. මම ඇකිරියංකුඹුර ගමේ බොහොම කුලවන්ත නිවෙසක පාරම්පරික කාන්තාවක් මේ සඳහා තෝරාගත්තා. ඇය කොටගම වලව්වකින් පැවතෙන කෙනෙක්. වලව් ගෙදරකයි එතුමිය ජීවත් වෙන්නෙ. එතුමියගේ පෙනුම හරි ලස්සනයි. අපි ගිහින් මේ යෝජනාව ඉදිරිපත් කළාම ඇය හරි අපූරු සිනහවකින් පිළිතුරු දුන්නා විතරයි. ඇය අපිත් එක්ක මුළු චිත්‍රපටය පුරාම ඉතා ඉහළින් රඟපෑවා. ඊට අමතරව ඒ ගමේ මාමලා, ආතලා,  නැන්දලා, පොඩි කොල්ලො විශාල පිරිසක් අපිත් එක්ක වැඩ කළා. සොකරි නටන ප්‍රධාන චරිත මම කොළඹින් ගෙන ගියාට සොකරි කණ්ඩායමේ අනිත් සියල්ලම ගමේ සොකරි කණ්ඩායමයි. ඒ නිසා මාසයක විතර කාලයකින් අපිට මේ නිර්මාණය රූගත කරලා ඉවර කරන්න පුළුවන් වුණා. මගේ සිනමා ජීවිතයේ මම ලබපු සුන්දර කාල පරිච්ඡේදයක් තමයි මේක.

රූගත කිරීම් කරන අතරවාරයේදී මුහුණදුන් දුෂ්කරම අවස්ථා මොනවාද..?
මේක අතිශයින්ම දුෂ්කර රූගත කිරීම් එකතුවක්. විශාල කඳු අපිට නගින්න සිද්ධ වුණා. ඒ පැත්තට හරියට කුණාටු හුළං හමනවා. එක වතාවක් අපි රූගත කිරීම් කරද්දී විශාල කුණාටු හුළඟක් හැමුවා. මගේ පසුතල නිර්මාණ ශිල්පියා වුණු ධම්මික හේවාදුවත්ත ඒ ගමේ තිබුණු පැරණි ගෙවල් අතිශයින්ම පැරණි කරන්නට ඒ ගෙවල්වල පිදුරු සෙවිලි කරලා හැදුවා. අර මහ වියළි සුළඟටවත් ඒ එක පිදුරු ගහක්වත් ලොකුවට හෙළවුණේ නැහැ. අපිට වැස්සෙන් කරදර වුණා. සුළඟින් කරදර වුණා. නමුත් අපේ වැඩේට ඒ කිසිවක් බාධා වුණේ නැහැ. අපේ මානවීය මිත්‍රකම් නිසා අපිට කිසිම කරදරයක් සිදුවුණේ නැහැ.

සුසිලා කෝට්ටගේ බොහෝ දෙනා හඳුන්වන්නේ ප්‍රහසන කලාකාරියක් විදිහටයි. නමුත් එකගෙයි සොකරි චිත්‍රපටය හරහා ඔබ ඒ රාමුව බිඳහෙලා තියෙනවා..?
ඔව්.. සුසිලාව මම මේකට සම්බන්ධ කර ගත්තේ මම සුසිලාගේ රංගනය පිළිබඳව හොඳටම දන්න නිසයි. ඇගේ තියෙන හාස්‍ය උපදවන රංගනය නිසා ඇයව ඒකට කොටු වුණා. ජෝ අබේවික්‍රම ගත්තොත් ඔහුටත් ඉතාම ඉහළ හාස්‍ය උපදවන හැකියාවක් තියෙනවා. ඒ හරහා තමයි ඔහු සිනමාවේ ස්ථාපිත වුණේ. නමුත් නිහාල්සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටයෙන් ඔහුට ලොකු කරණමක් ගහන්න පුළුවන් වුණා. සුසිලා කියන්නෙත් හරි හිත හයිය ගැහැනියක්. අපිට උදේ පාන්දර හයට රූගත කිරීම් කරන්න තියෙනකොට පාන්දර තුනටවත් කන්ද නගින්න සිද්ධ වුණා. ඒ කාලේ සුසිලා සැත්කමක් කරලයි තිබුණෙ. ඒ නිසා එයාගේ කොටස කඳු පාමුල රූගත කරන්න හිතුණත් නෑ නෑ.. මම උඩට එනවා කියලා බෙහෙත් මඩිස්සලෙත් අරගෙන සුසිලා අපිත් එක්ක කඳු නැග්ගා. ඇය ඉතාම ගැඹුරු චරිතයක් රඟපාන්නෙ. ඒ තුළ හොඳින් ඇය රැඳුණා.

ඔබ චිත්‍ර ශිල්පියෙක්. ඒ හරහා ඔබේ හිත ඇඳුණු චරිත, රූප සියල්ල නිර්මාණයකට ගොඩනගන්න පුළුවන් වුණා යැයි වරක් ඔබ කිව්වා..?
ඔව්.. මම චිත්‍ර ශිල්පියෙක්. මගේ මුල්ම රස්සාව වුණේ චිත්‍ර කලාවයි. මම පුවත්පත්වලට චිත්‍ර ඇන්ඳා. ඒක මගේ වයසේ මගේ යාළුවෝ දන්නවා. ඒ නිසා මට චිත්‍ර ශිල්පී හැකියාව තියෙනවා. මම මුළු චිත්‍රපටයම මුලින්ම ඇන්ඳා. මට හිතෙන රූපරාමු මට පුළුවන් විදිහට ඇන්ඳා. ඒක තමයි මගේ ඇඳුම් නිර්මාණ ශිල්පියාට, මගේ පසුතල නිර්මාණ ශිල්පියාට, මගේ කැමරා ශිල්පියාට පෙන්නුවේ. මම දැකපු දෙයක් ඔවුන් දැකපු දෙයක් කිරීම ලෙහෙසි දෙයක් නෙමේ.

අවසන් කළ එකගෙයි සොකරි චිත්‍රපටය කවදා විතර ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්නට පුළුවන් වෙයිද..?
මගේ චිත්‍රපටය දැන් හදලා ඉවරයි. මේක ප්‍රදර්ශන මණ්ඩලයක් විසින් තෝරාගෙනත් ඉවරයි. නමුත් දැන් මේ රටේ පවතින තත්ත්වය චිත්‍රපටයක් සඳහා එච්චර හොඳ නැහැ. ඒ නිසා වර්තමාන දේශපාලන සමාජ තත්ත්වය නිර්මාණයකට ගුණ නැහැ. මේකට කලාව සඳහා හොඳ කාලයක් නෙමේ. ඒ නිසා මම පසු පියවරක් තියාගෙන බලාගෙන ඉන්නවා. එකගෙයි සොකරි පෙන්වන්නට මම සූදානම්. රට සූදානම් වූ සැණින් චිත්‍රපටය පෙන්වාවි.

 

► Text - Dishani  

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30