2019 මැයි 11 වන සෙනසුරාදා

අතට අත දෙද්දීත් මම ආර්.ආර්. සමරකෝන් මහත්තයාව දන්නේ නැහැ

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 132

මේ දවස්වල ඔබ නිර්මාණ කිහිපයකටම හඬ මුසු කරනවා. එ ගැන මුලින්ම කිව්වොත්..?
ඔව්.. මම මේ දවස්වල නිර්මාණ කිහිපයකම වැඩ කරනවා. හුස්ම වැටෙන මල් කියන නිර්මාණයෙත්, ආදරෙයි මං ආදරෙයි කියන නාට්‍යයෙත් මම වැඩ කරනවා. මිණි පහන ඔබයි නාට්‍යයේ ආච්චිගේ චරිතයටත් මම හඬ මුසු කරනවා. ඊට අමතරව කැලණි පාලම වේදිකා නාට්‍යයත් වරින්වර වේදිකාගත වෙනවා. පසුගිය දින සිදුවුණු අවාසනාවන්ත සිදුවීමත් එක්ක ඒ හැමදෙයක්ම අපි නතර කළා.

අද වෙද්දී නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, හඬකැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කළාට ඔබ කලාවට අවතීර්ණ වුණේ ගායිකාවක් විදිහටයි. එහෙම නේද..?
ඔව්. ඒක ඇත්ත. ඒක මටවත් හිතාගන්න බැරි අදටත් බොහෝ දෙනා නොදන්නා දෙයක්.

අපි පවුලේ විස්තර සහ ළමා කාලය ගැන ටිකක් කියමු..?
අපේ අම්මයි තාත්තයි වින්දනයට හරි කැමතියි. මම ඉපදුණේ කොටියාකුඹුර. මගේ අප්පච්චිගේ ගම කෑගල්ල හෙට්ටිමුල්ල. අම්මා ඇහැලියගොඩ. ඒ ගම් දෙකේ එකතුවෙන් තමයි අපේ පවුල පැවතෙන්නෙ. අපේ ඥාති සම්බන්ධතා වැඩිපුරම ඇතිවුණේ උඩරටත් එක්කයි. ඒ කාලේ බොහොම සෞම්‍ය ජීවිත තමයි අපි ගත කළේ. ගහකොළ, ඇළදොළ එක්ක හරිම සාරවත් පසුබිමක, බොහොම නිදැල්ලේ තමයි අපේ ජීවිත ගෙවුණෙ. අද කාලේ වගේ තනි දරුවා, දරුවන් දෙන්නා ඉන්න පවුල් නෙමෙයි ඒ කාලේ තිබුණෙ. අපේ පවුලේ දරුවන් හත් දෙනෙක් හිටියා. ඊට අමතරව අපේ ඥාති වෙන අක්කා කෙනෙකුත් අපිත් එක්කම හිටියා. මම අම්මාට වගේ තමයි එයාට සලකන්නෙ. ඒ නිසා අපේ පවුලේ දරුවන් අටක් එක්ක ඔක්කොම දහ දෙනෙක් හිටියා. බොහොම දැහැමින් සෙමින්, හරි ලස්සන ජීවිතයකුයි අපි පොඩි කාලය ගත කළේ.

ළමා කාලෙදී ඔබ දඟ චරිතයක්ද..?
ඔව්.. ඇත්තටම දඟයි. මට අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි මල්ලිලා දෙන්නයි හිටියෙ. මම පවුලේ පස්වැනියා. මම වැඩිපුරම සෙල්ලම් කළේ අයියලා මල්ලිලා එක්කයි. ඒ අය එක්ක පිරිමි ළමයෙක් වගේ තමයි මම හැදුණෙ. අයියලා එක්ක චක්ගුඩු ගැහුවා. බට්ටා පැන්නා. ඒ කාලේ පාරවල් හරි කෙලින්. ඉතින් රෝදයක රිම් එකකට කෝටු කෑල්ලක් තියාගෙන අපි දුවගෙන යනවා. ඒ කාලේ අතීතය ඇත්තටම හරි සුන්දරයි. වැඩිපුරම හිටියෙ ගස් උඩ. පොඩි කාලේ අයියලා දෙන්නා එක්ක තමයි වැඩිපුරම සෙල්ලම් කළේ.

ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
පාසල් කිහිපයකින්ම මම අධ්‍යාපනය ලැබුවා. මගේ අප්පච්චි වතු අධිකාරිවරයෙක්. ඒ නිසා අප්පච්චිගේ රස්සාවත් එක්ක අපිට පාසල් කිහිපයකින්ම ඉගෙන ගන්න සිද්ධ වුණා. මම මුලින්ම ගියේ කොටියාකුඹුර අම්පේ මහා විද්‍යාලයට. පාසල් කිහිපයකින්ම ඉගෙනගෙන මම ඉගෙනීම අවසන් කළේ රුවන්වැල්ල රාජකීය මධ්‍ය මහා විද්‍යාලයෙන්.

ගීත ගායනයට අවතීර්ණ වුණේ පාසල් යන කාලෙදීමද..?
ඔව්.. ඉස්සර ඔය සාහිත්‍ය සමිති එහෙම පාසලේ තියෙනවනෙ. මාසෙකට සැරයක් අවසාන සිකුරාදා පාසල් ප්‍රධාන ශාලාවේදී ශිෂ්‍ය රැස්වීමක් කරනවා. ඒකෙදී හැම දරුවකුටම තම හැකියාවන් පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඒකෙදී මම තමයි හැම රැස්වීමකදීම වගේ අපේ පන්තියෙන් ගීත ගායනා කළේ. මගේ නම යෝජනා කරන්නෙත් අපේ පන්තියේ මගේ යාළුවෝ. එහෙම නැත්නම් ඉස්කෝලෙ ගුරුවරු. පාසලේදී මට හොඳ ගායන හැකියාවක් තිබුණා.

ගීත ගායනා කරපු ඔබ කලාවට සම්බන්ධ වුණේ කොහොමද..?
මුලින්ම මට වේදිකා නාට්‍යයක ගීත ගායනා කරන්න තමයි අවස්ථාව උදා වුණේ. චන්දි ගුණතිලකගේ හේවායෝ කියන නාට්‍ය ජයතිස්ස අලහකෝන් තමයි සංගීතවත් කළේ. ඒ වෙලාවේ ජයතිස්ස අලහකෝන් මහත්මයා මාව පසුබිම් ගායනයට සම්බන්ධ කර ගත්තා. ඒ වේදිකා නාට්‍යයෙන් පස්සෙ වේදිකා නාට්‍ය කිහිපයකම පසුබිම් ගායනයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ මනරංජන වැඩවර්ජන කියලා චූලා කාරියවසම් නිෂ්පාදනය කරපු නාට්‍යයේ මට ගුණවතී කියන ප්‍රධාන චරිතය කරන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් තමයි මට වේදිකා රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ.

රංගනයට එකතු වෙනවට ගෙදරින් අකමැත්තක් තිබුණෙ නැද්ද..?
නැහැ.. එහෙම අකමැත්තක් තිබුණෙ නැහැ. මගේ අම්මගෙයි තාත්තගෙයි හිතේ හැමවෙලේම කලාත්මක සිතුවිලි තිබුණා. ගෙදර පරිසරයත් එහෙමම තමයි. මට මතකයි ඉස්සර හැම සති අන්තයකම අපේ ගෙදර හැමෝම ගෙදර සාලෙට එකතුවෙලා සින්දු කිව්වා. අපේ අක්කාට ඉස්සර ලොකු සී.ආර්. පොතක් තිබුණා. ඒකෙ එයා හරි ලස්සන සින්දු ලියලා තිබුණා. ඒ කාලේ එයා පත්තරවල ගිය ගායක ගායිකාවන්ගෙ, නළු නිළියන්ගෙ පින්තූර අලවලා තිබුණා. ඒක එයා හරිම සතුටින් කරපු වැඩක්. අලුතින් සින්දුවක් ආවම එයා ඒ සින්දුව අර සී.ආර්. පොතේ ලිව්වා. හැම සති අන්තයෙම ඒ ලොකු සී.ආර්. පොත ළඟින් තියාගෙන අපි සින්දු කිව්වා. අපේ පවුලේ හැමෝටම හොඳට සින්දු කියන්න පුළුවන්. අනිත් දවස්වල එහෙම සින්දු කියන්න දුන්නෙ නැහැ. අපේ අප්පච්චි හරි සැරයි. ඒ නිසා අපි වෙලාවට කෑවා. වෙලාවට පාඩම් කළා. වෙලාවට මල් පූජා කළා. අට දෙනාම එක විදිහට ඒ හැමදෙයක්ම කළා. ඉස්කෝලෙ ඇරිලා නිදහසේ පරිසරයේ කාලය ගත කළාට අපිට හවස හයෙන් පස්සෙ එළියට යන්න බැහැ. ඊට පස්සෙ අපි ඉස්කෝලෙ වැඩ ටික කළා. දන්නෙ නැති දේවල් අක්කලාගෙන් අයියලාගෙන් අහගත්තා.

ඔබට ගුවන්විදුලියේ මහගෙදරට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද..?
මට ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ තක්සලාව කියන වැඩසටහනින්. ඒ වැඩසටහනට අලුතින් කට්ටියට අයදුම් කරන්න අවස්ථාව ලැබෙද්දී මාත් ඒකට සහභාගි වුණා. ඒ වෙද්දී මම ගුවන්විදුලියේ නාට්‍යවලට සම්බන්ධ වෙලයි හිටියෙ. ඒ නිසා ගුවන්විදුලිය තරමක් අඳුරනවා. සම්මුඛ පරීක්ෂණයෙන් පසුව මට තක්සලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩසටහනින් හොඳ හුරැවක්, පන්නරයක් ලැබුණා. ඒකෙදී හැමදාම කවි ගායනා ඉදිරිපත් කළේ මමයි. හැමදාම ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. ඒ වැඩසටහන කළේ යුනිස්කෝ ආයතනයෙන්. ඒ ආයතනයෙන් ලබාදුන් ප්‍රවෘත්ති පිටපත ඉදිරිපත් කරන්න ලැබුණෙ මටයි. ඒක පැයක වැඩසටහනක්. ඒ ඔස්සේ මට හොඳ පන්නරයක් ලැබුණා.

අද බොහෝ ගුවන්විදුලි නාලිකා තිබුණත් එදා ගුවන්විදුලි මහගෙදර තුළින් ඔබට ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම් ගැන කතා කළොත්..?
ඔව්.. ඒකත් අපූරු අත්දැකීමක්. මම ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණේ 1980 වර්ෂයෙදී. ඔය කාලෙදී වෙළෙඳ දැන්වීම් කියවමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නතර කිරීමට එවකට පාලනාධිකාරිය තීරණය කළා. ප්‍රවෘත්තිවලටම අනන්‍ය වූ හඬක් විය යුතුය යන තීරණයේ ඉඳිද්දී බොහෝ නිවේදක නිවේදිකාවන් ඒකට අකමැති වුණා. ඔවුන්ට වෙළෙඳ දැන්වීම් කියවීමෙන් මාසික වැටුපට අමතරව වෙනත් මුදලක් හිමි වුණා. ඒ නිසා බොහෝ දෙනා ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න අකමැති වුණා. ඒ නිසා මට ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න නිමල් කරුණාතිලක මහතා ඉඩ ලබා දුන්නා. ඔහු මගේ අප්පච්චිගේ හොඳ යාළුවෙක්. ඔහු මට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මට පාස් කරන්න බැහැ කියලා කිව්වා. ඉතින්.. මට ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට සම්මුඛ පරීක්ෂණවලට සහභාගිවෙලා ඒකට සුදුසුකම් ලැබුවා.

කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩා ඔබේ ජීවිතේ කවදාවත් අමතක නොවන චරිතයක්..?
ඔව්.. ඒකනම් ඇත්ත. මග් ජීවිතේ වුණු බොහෝ දේවල් අහඹු සිදුවීම්. මම ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණෙත් අහඹු සිදුවීමක් විදිහටයි. මම නාට්‍ය ශිල්පිනියක් වෙන්නෙත් අහඹු විදිහටයි. මට කැලණි පාලම නාට්‍යයේ රඟපාන්න ලැබුණෙත් අහම්බෙන් වගේ. මම ඊට පෙර ආර්.ආර්. සමරකෝන් මහතාව මුණගැහිලා තිබුණේ නැහැ. මම මනරංජන වැඩවර්ජන කියන වේදිකා නාට්‍යයේ කටකාර ගුණවතීගේ චරිතය කරලා ඉවර වුණාට පස්සෙ ආර්.ආර්. සමරකෝන් මහත්මයා වේදිකාවට ඇවිත් මට අතට අත දීලා කතා කළා. ඒ වෙද්දීත් මම ඔහු සමරකෝන් මහත්තයා ද කියලවත් දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සෙ මම අංගාරා ගඟ ගලා බසී නාට්‍ය පානදුරේ රඟදක්වද්දී සමරකෝන් මහත්මයා විල්සන් මහත්මයාට මට පෞද්ගලිකව කතා කරන්න ඕනෙ කියලා තිබුණා. ඒ වෙලාවේ මට දරාගන්න බැරි සතුටක් ඇතිවුණා. මම අලුත් නාට්‍යයක් කරන්න ඉන්නවා. ඒකෙ ඔබතුමියට ප්‍රධාන චරිතයක් තියෙනවා. එන්න පුළුවන්ද? කියලා මගෙන් ඇහුවා. මම ඒකට කැමති වුණා. ඒ වගේ දැවැන්තයෙක්ගෙ නිර්මාණයකට දායක වෙන්න ලැබීමම මට ලොකු සතුටක්. මම හොය හොයා ගිහින් සමරකෝන්ගෙ නාට්‍ය බැලුවා. කැලණි පාලම කරද්දී මම දන්න හඳුනන අයට විල්සන් අයියයි නීල් අලස් අයියයි හිටියා. ඒ නිසා ඒකත් මට පහසු වුණා.

ඔබ ගෞරව කරපු ඒ දැවැන්ත චරිතය විවාහ යෝජනාවක් ගෙනාවම මොකද හිතුණෙ..?
ඇත්තටම කැලණි පාලම අපි බොහෝ වාරයක් වේදිකාගත කළා. අපි ගම්වල හැදිලා වැඩිලා ආපු අය නිසා ඒ පරිසරයත් එක්ක තිබුණු යම් ආකර්ෂණයක් එයාට එන්න ඇති. ඒ නිසා සමරකෝන්ගෙ හිත මට ඇදිලා ගියා. ඉතින් අපි විවාහ වුණා. ඒ 1987 අවුරුද්දෙ. ඒ වෙනකොට කැලණි පාලම වගේම දූවිලි නාට්‍යයෙත් හරි හරියට වැඩ තිබුණා. ගුවන්විදුලියේ සේවාමුර රැකියාවක් තිබුණු නිසා නාට්‍යවලට සහභාගි වෙන්න මට අමාරු වුණේ නැහැ. 

දැන් ඔබ ආදරණීය අත්තම්මා කෙනෙක්..?
ඔව්.. අපිට ඉන්නෙ එක දුවයි. එයාගේ නම බුද්ධිකා මුදිතානි සමරකෝන්. දුව හොඳට ඉගෙන ගත්තා. එයා පොඩි කාලයක් කැලණි පාලම වේදිකා නාට්‍යයේ සුරංගනීගෙ චරිතය රඟපෑවා. ඒ වගේම එයා ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක්. අධ්‍යාපනයයි විවාහයයි නිසා එයා කලාවෙන් ඈත් වුණා. දැන් මම චූටි දෝණියෙකුගෙ ආච්චිඅම්මා කෙනෙක්. එයාගේ ඇඟෙත් සංගීතය හොඳට තියෙනවා. ඉතින් චූටි දෝණිත් එක්ක ගත කරන කාලය හරිම අපූරුයි. හරිම සුන්දරයි.

 

► Text - Dishani  /   Pic -  Sumudu

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30