2019 මාර්තු 09 වන සෙනසුරාදා

ඒ තුන්දෙනාගෙන් හොඳක් අහන්න අමාරුයි

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 209

ටනාෂා... අපිට මුලින්ම ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියමුද..?
මගේ පවුලේ ඉන්නෙ මමයි අම්මයි තාත්තයි මගේ නංගිලා තුන්දෙනයි විතරයි. මම තමයි පවුලේ වැඩිමලා. ගැහැනු ළමයින්ම හතරදෙනෙක් තමයි මගේ පවුලෙ ඉන්නෙ. අම්මගේ නම ආශා තුෂාරි. තාත්තගේ නම රුවන් චින්තක. තාත්තානම් විදෙස්ගතවෙලයි ඉන්නෙ. අම්මා ගෘහණියක්.

නංගිලා තුන්දෙනෙක් එක්ක ගතකරපු ඒ ළමා කාලය කොහොමද...?
නංගිලා තුන්දෙනා එක්ක ගතකරපු ඒ ජීවිතය හරිම සුන්දරයි. තාමත් එහෙමම තමයි. ගැහැනු ළමයින්ම හතරදෙනෙක් ඉන්න නිසා හතරදෙනා එකතුවෙලා රණ්ඩු කරන්නෙ නැද්ද? කියලත් ගොඩක් අය අහනවා. හැබැයි පුංචි කාලේ වුණත් අපි රණ්ඩු වෙනවා හරිම අඩුයි. අම්මත් කියන්නෙ අපි එහෙම පුංචි කාලෙවත් රණ්ඩු කරලා නැහැ කියලයි. අපි හතරදෙනා මොකක්හරි ප්‍රශ්නයකදී ඒ ගැන අම්මා එක්ක කතා කළා මිසක්, අපි අතරේ කවදාවත් එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැහැ. හරිම සහයෝගයෙන් හිටියා. අදටත් ඒ බැඳීම එහෙමම තමයි.

ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මුලින්ම කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විදුහලෙන් තමයි ඉගෙන ගත්තෙ. ඊටපස්සෙ උසස්පෙළ විභාගයට නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් ජීවිතේ ඇත්තටම සුන්දරයි. ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ තමයි මම වැඩි කාලයක් ගත කළේ. ඉතින්.. මට ඒ පාසලෙන් ගොඩක් යාළුවෝ හඳුනාගන්න අවස්ථාව ලැබුණා. අපි ගොඩක් විනෝදයෙන් කාලය ගත කළා. ඒ වගේම පොතපතේ දේවල්වලටත් වැඩිපුර උනන්දුවක් දුන්නා. හැබැයි පාසල් යන කාලෙදීනම් කලාවට වැඩි උනන්දුවක් දුන්නෙ නෑ. මම උසස්පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. ඒ නිසා පාසල් යන කාලෙදී මම වැඩිපුර අධ්‍යාපනයට හිත යොමු කළා.

පුංචි කාලේ හීනය වෙලා තිබුණේ කවුරු වෙන්නද..?
පුංචි කාලේ ගොඩක්ම ආසාවෙන් හිටියේ නිරෑපිකාවක් වෙන්න. ටී.වී. එකේ දකින විදිහට උස සපත්තු දාගෙන වැටි වැටී ඒ විදිහට ඇවිදින්න මම ආසා කළා. මම එක එක ඇඳුම් ඇඳගෙන පොඩි කාලේ ඉඳන්ම ගේ වටේ ඇවිද්දා. ලිප්ස්ටික් ගාගෙන කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඇති තරම් කාලයක් මම බලාගෙන ඉන්නවලු. හැබැයි නවය වසර වෙද්දී මට ජීව විද්‍යාව පැත්තට යොමුවෙන්න ආසා කළා. ඊටපස්සෙ මම හීන දැක්කෙ කවදාහරි දවසක ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්නයි.

ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න හීන දැකපු ටනාශාගේ ඒ හීනයට මොකද වුණේ...?
උසස්පෙළ විභාගයට පෙනී හිටියට පස්සෙ මම Miss Sri Lanka තරගයට අයදුම් කළා. ටී.වී. එකේ ගිය දැන්වීමක් දැකලා මටත් Miss Sri Lanka තරගයට යන්න ආසා හිතුණා. ඊටපස්සෙ මම අම්මා තාත්තගෙන් අවසරය අරගෙන තමයි මේ තරගයට ඉදිරිපත් වුණේ. ඒ ලැබුණු අවස්ථාව ඇත්තටම ගොඩක් වටිනවා. ඊට කලින් මම වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායකවෙලා තිබුණා. හැබැයි ටනාෂා හතුරුසිංහව හඳුනාගත්තෙ Miss Sri Lanka තරගය හරහායි. ඒ හරහා මට රංගනයටත් අවස්ථාව ලැබුණා. ඒ තරගයත් එක්කම මටත් නොදැනීම මාව හිතුවෙවත් නැති පැත්තකට යොමු වුණා. ඒ රංගන ශිල්පිනියක් වීමයි. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි.

ඔබගේ මුල්ම චිත්‍රපටය ද රේන්බෝ චිත්‍රපටයයි..?
ඔව්.. ද රේන්බෝ තමයි මගේ මුල්ම චිත්‍රපට රංගනය. හැබැයි ඊට කලින් මම තිමිර ගෙය කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. එකදිගට ටෙලිනාට්‍ය කරද්දී මගේ ඉගෙනීමට බාධාවන නිසා මම ටෙලිනාට්‍ය කරන එක පොඩ්ඩක් නතර කළා. මම චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී තිරගත වේවි.

මේ දවස්වල මොකද කරන්නෙ..?
මේ දවස්වල සිංහ එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කරන, සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන නීල පබළු ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. නීල පබලු ටෙලිනාට්‍යයේ මම රඟපාන්නෙ කුරුලු කියන චරිතයයි. කුරුලු කියන්නෙ ගොඩක් අහිංසක ගැහැනු ළමයෙක්. කුරුලු, අම්මා තාත්තා කියන දේවල් අහගෙන ඉන්න කීකරු ළමයෙක්. ඉස්සරහට කුරුලුගේ චරිතයේ ලොකු වෙනසක් වේවි. ඒ චරිතය මට හොඳින් කරන්න සිංහ එන්ටර්ටේන්මන්ට් ආයතනය වගේම මුළු කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.

අක්කගේ නිර්මාණවලට නංගිලාගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
නංගිලා තුන්දෙනා තමයි මගේ හොඳම රසිකාවියන් තුන්දෙනා වෙන්නෙ. එයාලා වැරදි අඩුපාඩු දැක්කම මට ඒ ගැන කියනවා. ඒ අයගෙන් චරිතයේ හොඳ අහනවට වඩා අඩුපාඩු තමයි මම වැඩිපුරම අහන්නෙ. අපරාදේ... ඔයාට එතනදී තව හොඳට කරන්න තිබුණා. ඇයි ඔයා එතන එහෙම හිටියේ? කිය කියා එයාලා අඩුපාඩු කියනවා. අනිත් අය මට හොඳ කියද්දී මේ තුන්දෙනා අඩුපාඩු තමයි කියන්නෙ. ඇත්තටම මම ඒකට කැමතියි. මාව හොඳටම දන්නෙ ඒ තුන්දෙනයි. ඒ නිසා මට කරන්න පුළුවන් දේ ගැන ඒ තුන්දෙනාට අවබෝධයක් තියෙනවා.

නීල පබළු රඟපාද්දී අමතක නොවන සිදුවීමක් වෙලා නැද්ද..?
වෙලා තියෙනවා. ඒකනම් කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඒ ටෙලිනාට්‍යයේ සින්දුව රූපගත කිරීම් කරන්න අපි හුන්නස්ගිරියේ ගියා. සින්දුවෙ මාවයි සුමිරාන් අයියවයි ඇළකට වැටෙන දර්ශනයක් තියෙනවා. ඒකෙදී අපි දෙන්නා ඉන්න ඔරුව පෙරළෙන කොටසක් රූපගත කිරීම් කරන්න තිබුණා. අපි දෙන්නම බයයි. සඳුන් අයියා ඒක පෙරළන්න කියලා කියද්දිත් සුමිරාන් අයියා බයටම සද්ද නැතිව හිටියා. ටික වෙලාවකට පස්සෙ දෙන්නා එකතුවෙලා ඔරුව පෙරළුවා. ඒ දර්ශනයනම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවද..?
මම නීල පබළු අවසන් කරලා ටෙලිනාට්‍ය රඟපෑම නතර කරන්න තමයි හිතාගෙන හිටියෙ. මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති නැහැ. මගේ නිදහසට බාධා කරගන්නෙ නැහැ. හැබැයි නීල පබළු වගේ හොඳ නිර්මාණයකට දායක වෙන්න මගේ ආසාවක් තියෙනවා.

► Text - Dishani  /   Pic -   Sumudu

 

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30