2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

කැෂියර් රස්සාව කරද්දී සතියටම නිදාගත්තෙ පැය තුනයි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 133

මේ දවස්වල මොනවද කරන්නෙ..?
අපේ ජීවිතේ සංගීතයත් එක්කමනෙ ගෙවෙන්නෙ. ඉතින්... මේ දවස්වල අලුත් ගායක ගායිකාවන් ඔවුන්ගේ අලුත් ගීතවලට සංගීතය සපයාගන්න මගේ ළඟට එනවා. ඒ අයට උදව් උපකාර කරන එක නිරන්තරයෙන්ම කරනවා. ඊට අමතරව රියැලිටි තරගයක විනිශ්චය මණ්ඩලයට සහභාගිවෙලා ඉන්නවා. ඒ වගේම රියැලිටි තරගයක ඉන්න දරුවන්ට නිවැරදිව ගායනා කරන්න පුහුණුවීම් කරනවා. ඔය දේවල් කරද්දී මගේ සතියේ දවස් ටික ගෙවිලා ඉවරයි.

අපි දැන් ඔබේ ළමා කාලයට පොඩ්ඩක් යමු.. ඔබගේ ළමා කාලය ගෙවුණේ කොහොමද..?
මගේ ගම මාතර තෙලිජ්ජවිල. අපේ පවුලේ නවදෙනෙක් හිටියා. පිරිමි ළමයි පස්දෙනයි, ගැහැනු ළමයි හතරදෙනයි. මම පවුලේ අටවැනියා. මගේ තාත්තා දේශීය ආදායම් පාලක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරැවෙක් හැටියට වැඩ කළා. අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා කරපු රස්සාවෙන් ලැබුණු වැටුපෙන් දරුවන් නවදෙනාට පොත්පත් අරගෙන දෙන්න, ඇඳුම් පැළඳුම් අරගෙන දෙන්න වගේ දේකට හැරෙන්න කෑම බීමවලට මුදලක් වැය වුණේ නැහැ. ගෙදර පොල්, වී, හැමදේම අඩුවක් නැතිව තිබුණා. අපි නවදෙනාම හරිම සතුටින් හිටියා. දැන් ඒ නවදෙනා සීසීකඩ ගිහින්. මගේ අම්මා උපරිම ආයු ලැබුවා. ඇය අවුරුදු අනූ හතක් ජීවත් වුණා. අවසාන කාලෙදී අම්මා මාතර මහගෙදර තනියම තමන්ගේ වැඩ කටයුතු කරගත්තා. තනියම ඇවිද්දා. දරුවන් නවදෙනෙක් එකට එක ගෙදර හදලා ඒ නවදෙනා මහගෙදරින් ඈත්වෙලා අම්මා විතරක් ඒ ගෙදර තනිවෙද්දී ඇයට කොයිතරම් පාළුවක්, දුකක් දැනෙන්න ඇද්ද කියලා මට හිතුණා. ඒ හැමදෙයක්ම දරුවන්ගේ සතුට දිහා බලලා අම්මා දරාගත්තා. 

සහෝදර සහෝදරියන් නවදෙනෙක් එක්ක ගෙවුණු ළමා කාලය හරි සුන්දරයි නේද..?
අම්මෝ ඔව්.. ඒ සුන්දරත්වය උපරිමයි. අපි ඒ කාලේ හරිම දඟයි. ඉස්කෝලෙ ඇරිලා අපේ ගෙදරට එන්න විනාඩි දහයක්වත් යන්නෙ නැහැ. ඉතින් අපි එන්නෙම පයින්. හැබැයි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්න පැය එකහමාරක්වත් යනවා. මඟතොටේ තියෙන වතුවලට පැනලා, ගස්වල ගෙඩි කඩලා, ගෙවල්වල තියෙන අඹ ගස්වලට ගල් ගහලා, පාර දිගේ දුවගෙන එද්දී සෑහෙන වෙලාවක් ගත වුණා. අපේ ගමට අල්ලපු ගමට යන පාර තිබුණේ අපේ ගේ ඉස්සරහමයි. ඉතින්... ගෙදරට හොරා අපි ඒ අල්ලපු ගමට ගියා. ඒකෙ නිල්වලා ගඟේ පොඩි අතු ගංඟාවක් තිබුණා. ඒ චූටි ගඟේ නාන්න අපි හරිම ආසයි. පැය ගාණක් ගෙදරට හොරා අපි ඒ චූටි ගඟේ නානවා. ගෙදරට එද්දී ඇස් හොඳටම රතුවෙලා. ඉතින් එතැනින් තමයි අම්මට අපේ හොරේ අහුවෙන්නෙ.

රෝහණ ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මුලින්ම තෙලිජ්ජිවිල ප්‍රාථමික විදුහලෙන් තමයි ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ මම මධ්‍ය මහා විදුහලට ඇතුළත් වුණා. ඒ කාලේ තෙලිප්පිවිල ප්‍රාථමික විද්‍යාලයේ සංගීත ගුරුවරයා වුණේ මගේ තාත්තගේ මල්ලී වන සෝමපාල බෝගොඩ. ඉතින් බාප්පගෙන් සංගීතය බෝවුණු අය තමයි බෝගොඩ පවුලෙන් සංගීත ක්ෂේත්‍රයට එකතුවෙලා ඉන්නෙ. ඉස්කෝල දෙක අතරමැද ලස්සන දොළක් තිබුණා. ඒක හරිම ලස්සනයි. කවදාවත් හිඳුණේ නැති දොළක්. තාමත් ඒ දොළ තියෙනවා. හැබැයි ඒක අද ගොඩක් පොඩියි. ඒ දොළ ගලාගෙන ගියේ අපේ ගේ ළඟින්මයි. අපි ඒ දොළෙන් චූටි මාළු ඇල්ලුවා. අද ඒ දොළේ වතුර පහර හීනි දිය පාරක් තරමට වියැකිලා ගිහින්. අපේ ජීවිත වියැකෙනවා වගේම ඒ ලස්සන දොළ පාරත් වියැකිලා ගිහින්.

රෝහණ ගීතයට නැඹුරු වුණේ ගෙදර පරිසරය නිසාද..?
ඔව්.. අනිවාර්යයෙන්ම. මගේ අයියලා දෙන්නම සංගීත ගුරුවරු. ඒ නිසා ගෙදර සංගීත භාණ්ඩ කිහිපයක්ම තිබුණා. ඉතින්.. ඒ හඬ අපිට හැමවෙලේම ඇහුණා. අද බොහෝ අය සංගීත විශාරද කිව්වට, ඒ කාලේ සංගීත විශාරද පදවි ලැබුණේ ඉන්දියාවේ ගිහින් ලක්නව් සංගීත පාසල්වලට ඇතුළත් වෙලා විභාග ලියලා ඒවා සමත් වුණාට පස්සෙයි. අපේ අයියලත් ඒ විභාගවලට පෙනී හිටියා. ගෙදර ඇවිත් සංගීත භාණ්ඩ පුහුණු වුණා. ඉතින් මටත් ඒවා ඇහෙනවනෙ. ඒ නිසාම සංගීතයට පුංචි කාලේ ඉඳන් මගේ හිතේ ආසාවක් ඇතිවුණා. ඒ කාලේ කිසිම දැනීමක් නැහැ. හැබැයි ක්‍රමක්‍රමයෙන් ඒ දැනීම ලැබුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ ගේ ඇතුළෙන් නිරන්තරයෙන් සංගීතය ඇහෙන්න තිබුණා. අපේ අයියලා ඒ කාලේ ඉගැන්වූයේ ගොඩක් දුර පළාත්වලයි. ඉතින් හැම සිංහල අලුත් අවුරුද්දකටම ඒ අය ගමට ආවා. ගමේ හැමෝම එදාට එකට එකතු වෙනවා. මුළු තෙලිජ්ජිවිලම සංගීතයට කැමතියි. ඉතින්.. සිංහල අලුත් අවුරුදු දවසේ රෑට ගමේ අය පොඩි මීවිතක් එහෙම පාවිච්චි කරලා එක තැනකට එකතුවෙලා සින්දු කිව්වා. ඒ කාලේ ඇත්තටම හරි සුන්දරයි.

ගෙදරදි සංගීතයට ඇල්ම දක්වපු ඔබ කලාකරුවෙක් වුණේ කොහොමද..?
පුංචි කාලේ ඉඳන් මම ඉගෙනගන්න හරි දක්ෂයි. හැබැයි හත වසර, අට වසර පන්තිවලදී මම ඉගෙනීමට ටිකක් දුර්වල වුණා. මට ඕන වුණේ මියුසික්වලින්ම ඉහළට යන්න. ඒ නිසා මම කොළඹ ආවා. ඒ මගේ අක්කගේ ගෙදරට. ඉතින්... ටික දවසක් අක්කලාගේ ගෙදර ඉඳිද්දී තරුණයෙකුට දැනෙන දරිද්‍රතාවය මටත් දැනුණා. ඒ හැමදේටම මුදල් අක්කලාගෙන් ඉල්ලන්න බැහැනෙ. ඒ නිසා ඊළඟට මගේ ඉලක්කය වුණේ රැකියාවක් සොයාගැනීමයි.

හිතපු තරම් හොඳ රැකියාවක් රෝහණට ලැබුණද..?
නැහැ. විශ්වාස කරන්න, මම මරදානේ හෝටලයක කැෂියර් කෙනෙක් විදිහට වැඩ කළා. ඒක තමයි මගේ ජීවිතේ මම කරපු මුල්ම රස්සාව වුණේ. මට හිතෙන විදිහට ඒ රස්සාව මම දවස් පහක් විතර කළා. උදේ පාන්දර ඉඳන් මහ රෑ වෙනකම් කරපු ඒ රස්සාව මට එපා වුණා. ඒ දවස් පහට ඇහැ පියාගත්තෙ පැය තුන හතරක් විතරයි. ඒත් මට කරන්න වෙන රස්සාවකුත් තිබුණේ නැහැ. දවසක් මාව හොයාගෙන මගේ අක්කගේ මහත්තයා හෝටලයට ආවා. මම එයාට ඇත්තම සිද්ධිය කිව්වා. ඔන්න ඔය රස්සාව අතහැරලා පිස්සු නැතිව ගෙදර එනවා. කියලා අයියා මාව ගෙදර එක්කගෙන ගියා. මම දවස් පහේ පඩි සල්ලිවත් ගන්නෙ නැතිව අයියා එක්ක ගෙදර ආවා.

ඊට පස්සෙ ඔබට මොකද වුණේ..?
අක්කලාගේ ගෙදර තවත් මාසයක් දෙකක් ඉඳිද්දී පොලිස් තූර්ය වාදක කණ්ඩායමට කට්ටිය ගන්නවා කියලා තිබුණු දැන්වීමකට මාත් ඉල්ලුම්පත්‍රයක් දැම්මා. ඒකෙන් මාව තේරුණා. එතැනදීත් මම ඉගෙනගත්ත දේවල් බොහොමයි. තූර්ය වාදක කණ්ඩායමකින් ලබාගත හැකි බොහෝ දැනුම මම එතැනින් ලබාගත්තා. ඒක විශ්‍රාමික රැකියාවක්. නමුත් මම ඒකෙ ඉන්න ගමන් ගුවන්විදුලි සංස්ථාවට අයදුම්පත්‍රයක් දැම්මා. ටික දවසකින් ගුවන්විදුලි සංස්ථාවේ සහාය වාදක ශිල්පියෙක් විදිහට මට පත්වීම ලැබුණා. ඒ 1977 වර්ෂයේදී. එතැන් සිට වසර දොළහක් මම ගුවන්විදුලියේ සේවය කළා. ගුවන්විදුලියේ වැඩ කරද්දී එතැන වැටුපක් ලබනවාටත් වඩා ඊටත් එහා තියෙන ලෝකය දිනාගන්න මට ඕන වුණා. තබ්ලා වාදකයෝ ඒ කාලේ බොහොම අතළොස්සයි හිටියෙ.

ඔය කාලේ කැසට්පට හරිම ජනප්‍රියයි නේද..?
ඔව්.. ඔව්.. ඔය කාලේ තමයි කැසට්පට ආපුම කාලේ. මුලින්ම මම සරත් ද අල්විස් එක්ක පළමු කැසට්පටය කළා. ඒකට තබ්ලා වාදකයෙක් විදිහට සම්බන්ධවීම මගේ ජීවිතයට විශාල වෙනසක් එකතු කළා. අද වෙද්දී සින්දු පන්දහසකට වැඩි ප්‍රමාණයකට මම තබ්ලා වාදකයෙක් විදිහට සම්බන්ධවෙලා ඇති. බොහෝ ප්‍රවීණ කලාකරුවන්ගේ කලාකාරියන්ගේ ඒකපුද්ගල ගී ප්‍රසංගවලදී නිත්‍ය තබ්ලා වාදකයා වුණේ මමයි. චිත්‍රපට දෙසීයකට කට්ටුවෙන්න මම තබ්ලා වාදනය කරලා තියෙනවා.

නිත්‍ය තබ්ලා වාදකයෙක් වුණු රෝහණ ගායකයෙක් වුණේ අහම්බයෙන්ද..?
ඔව්.. හැබැයි මම පාසල් යන කාලෙදී 1974 වසරේ පිබිදෙන ගායක පරපුර කියන ගී තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනාගත්තා. අනිත් ළමයි ඒ තරගාවලිය පුරාවට ඒ කාලේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත තමයි කිව්වෙ. නමුත් මුල ඉඳන්ම මම ගායනා කළේ මගේ අයියලා තනු නිර්මාණය කරපු මගේ අක්කගේ මහත්තයා ලියපු ගීතයි. ඒකත් විශේෂත්වයක් වුණා. එදා කොළඹ රාජකීයේ නව රඟහලේ තමයි අවසන් තරගය පැවැත්වුණේ. එදා මම ප්‍රථම ස්ථානය ලබාගත්තා. හැබැයි ඊට පස්සෙ මම ගීත ගායනයට කාලයක් යනතුරුම යොමුවුණේ නැහැ.

එතකොට ආයෙමත් ගායකයෙක් වුණේ කොහොමද..?
මට ගායකයෙක් වෙන්න ඕන වුණේ නැහැ. මට ඕන වුණේ තබ්ලා වාදකයෙක් වෙන්නයි. එක දවසක් අපි රෙකෝඩින් එකක් කරද්දී ස්ටැන්ලි පියානෝ එක උඩ තියාගෙන ස්වර ටික ලිව්වා. මම පියානෝ එක ළඟ වාඩිවෙලා හින්දී සින්දුවක් කිව්වා. ටික වෙලාවකින් ස්ටැන්ලි උඹට හොඳට සින්දු කියන්න පුළුවන්නෙ.. ඇයි බං කියන්නෙ නැත්තෙ.. කියලා මගෙන් ඇහුවා. ඒක එච්චරයි. එදා අවසාන සංගීතයත් රෙකෝඩ් කරලා ස්ටැන්ලි මම ළඟට ඇවිත් මේ සින්දුව හැදුවේ උඹටයි. කාටහරි කියලා හොඳට ලියවාගනින් කියලා කිව්වා. ඒ සංගීතය හරිම ලස්සනයි. මටත් ආස හිතුණා. 

ඒ ස්වර ටිකත් අරගෙන ඔබ ගියේ කා ළඟටද..?
මුලින්ම ගියේ ප්‍රේමකීර්ති ද අල්විස් ළඟටයි. ප්‍රේම් හරි ලස්සනට සින්දුව ලිව්වා. හැබැයි අන්තිම පද පේලි දෙක මගේ හිතට ඇල්ලුවේ නැහැ. මම ඒක එක එක්කෙනාට පෙන්නුවා. ඒ හැමෝම එක එක අදහස් දුන්නා. ආයෙත් මට ප්‍රේමකීර්තිව රෙකෝඩින් එකකදී මුණගැහුණා. මම ඔහු ළඟට ගිහින් මේකෙ මේ පේලි දෙක වෙනස් කරලා දීපන්කො බං කියලා කියද්දීම ප්‍රේමකීර්ති මගේ අතින් කොළය උදුරලා අරන් කීතු කීතුවලට ඉරලා විසි කළා. මට හරි දුකයි. මම හෙමිහිට ඒ කොළ කෑලි ටික එකතු කරගෙන සාක්කුවේ දාගෙන ගෙදර ගිහින් එකට එකතු කළා. පහුවදා මම වැඩට යද්දී දයා අක්කව (දයා ද අල්විස්) මුණගැහුණා. දයා අක්කා මට ලස්සන සින්දුවක් ලියලා දුන්නා. 

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවි අපේ ඒ කතා
රකින්නට සෙනෙහේ හඬන්නට එපා
නිමාවක් නොවේවි ඇරඹුමක් නිසා

ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. මම ගීතය කියලා ඉවර වුණාට පස්සෙ ස්ටැන්ලි මට ළඟට කතා කළා. ඒ වෙලාවේ ස්ටැන්ලිගේ ඇස්වල කඳුළු තිබුණා. නියමෙට කිව්වා බං කියලා එදා ස්ටැන්ලි ගොඩක් සතුටු වුණා. මම ඒ සින්දුවෙන් තව ටේප් එකක් ගහගෙන ඒක ගුවන්විදුලියට දුන්නා. ඒක ඒ කාලේ ගොඩක් ජනප්‍රිය සින්දුවක් වුණා.

ඊට පස්සෙ ප්‍රේමකීර්ති ඔබට අපූරු ගීතයක් නිර්මාණය කළා නේද..?
ඔව්.. දවසක් ප්‍රේමකීර්ති මට ගුවන්විදුලියෙදී හමුවෙලා ඔහු මගෙන් උඹ කොහෙද යන්නේ.? කියලා ඇහුවා. මම ගෙදර යනවා කියද්දී වරෙන් යන්න ඩ්‍රින්ක් එකක් ගන්න කියලා ප්‍රේමකීර්ති මාවත් එක්කගෙන ගියා. මධුවිත ටිකක් තොග ගාද්දී මට උඹ සින්දුවක් ලියන්නෙ නැද්ද? කියලා මම ඇහුවා. ඒ වෙලාවේ ප්‍රේමකීර්ති ටක් ගාලා පෑනක් අරගෙන අත පිහදාන්න තියලා තිබුණු කඩදාසියක් අරගෙන මට එකදිගට සින්දු පහක් හයක් ලිව්වා. ලියලා මට කොළ ටික දුන්නා. ඔන්න ඒ වෙලාවේ තමයි මම ගාව තිබුණු ස්ටැන්ලි දීපු තනුව මට මතක් වුණේ. මචං ට්‍රැක් එකක් තියෙනවා. ඒකටත් එකක් ලියපන්කො.. කියලා මම කියද්දී හරි කියපන් කියලා ප්‍රේමකීර්ති කිව්වා. ඒ වෙලාවේ මධුවිත හොඳටම පානය කරලයි තිබු‍ණේ. මම අර ඝෝෂාකාරී සද්ද අස්සෙ ප්‍රේමකීර්තිගේ කනට ළංවෙලා තනුව පේලියෙන් පේලියට කිව්වා. ඒ විදිහට අවන්හලේදී ප්‍රේමකීර්තිගේ අතින් කඩදාසි කොළවල ලියවුණු ගීයත් හරි ජනප්‍රිය වුණා.

කඳුළක් වැටේනම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවදාද ආයේ
සිතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා

අපි ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් කතා කරමු..?
මගේ පවුල පුංචි පවුලක්. මගේ බිරියටයි මටයි ඉන්නෙ එක පුතයි. දැන් එයත් විවාහවෙලා. පුතාටත් පුංචි පුතෙක් ඉන්නවා. මේ හැම සංගීත කටයුත්තක්ම මට නිදහසේ කරගෙන යන්න මගේ බිරියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි හරි සතුටින් ජීවත් වෙනවා. දැන් මම සීයා කෙනෙක්. ඒ පදවියට මම හරිම ආසයි.

 

► Text - Dishani  /   Pic -  Sumudu
 

 

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30