2019 ජනවාරි 05 වන සෙනසුරාදා

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ...

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතයි
මා හද බියවී
සැලී සැලී යයි

මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරුවේ මා හද

සොමි සඳ වත ලෙස රුසිරු නොවී නම්
දහසක් නෙත් ඔබැ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත

ගී පද රචනය - බණ්ඩාර කේ විජේතුංග 
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

මම ඔබෙන් ප්‍රේමයට නිර්වචන නොඉල්ලමි. ප්‍රේමයනම් කවරක්දැයි මම ඔබෙන් නොඅසමි. සීමාවක් කෙළවරක් නැති ඉසව්වක් ලොව වෙත්ද ඒ ඉසව්ව ප්‍රේමයයැයි මම ඔබට කියමි. ප්‍රේමයනම් ප්‍රේමයමය. ප්‍රේමයේ වින්දනීය ඉසව් ප්‍රේමයේ ඉසියුම් නවාතැන් ප්‍රේමයේ වද වේදනා සංකාවන් අපමණය. ප්‍රේමයේ ඒ හැම නවතැනක්ම මඟ හැර මට ඔබේ ආදරයත් මට මගේ ආදරයත් ගැන කියන්නට සිතෙයි. ඔබ මගේමයැයි සිතද්දී ඔබ ගැන දරාගත නොහැකි ලෝභ හැඟීමකින් මගේ සිත පිරී යයි.
සොඳුරිය ඔබට මෙසේ කියන්නට මට සිත් වෙයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතයි
මා හද බියවී
සැලී සැලී යයි
ඔබේ කතා කරන ලොකු ඇස් මා එක්ක මහා වාදයක පැටලෙයි. ඔබ කතා කරයි. මා අසා සිටියි.

ආදරය කියන්නෙ හිරගෙයක් නෙවෙයි. ඔයාගෙයි මගෙයි ආදරය මහා ගහක් නම් ඒ ආදරය කියන මහ ගහ මුල් ඇදලා තියෙන්නේ විශ්වාසය කියන මහ පොළොවේ. සැකය කියන්නේ ඒ මහා පොළොව කලඹන දූවිල්ලක්.. ඇස් බොඳ කරන දුහුවිල්ලක්..

මම ඔබට පිළිතුරක් දෙමි

සොඳුරිය ඔබේ රුව සඟවාගන්නයැයි මා කියන්නේ සැකයකට නොවෙයි... ලිංගික මාත්සර්‍ය... ඊර්ෂ්‍යාව මගේ පිරිමි පපුව අස්සේ දලු දාලා ඉපදෙන්න අරන්. මට හිතෙන්නේ ඒ නුඹ ගැන තියෙන සීමාවක් නැති ලෝභකමට... මට හිතෙන්නේ ලෝභකම කියන්නේ ආදරයේ නිවුන් සහෝදරයෙක්...

හැන්දෑ අහසක් සිහිකරමින් මා සනසන ඔබේ ඇස් ගිනියම් වෙයි.. මට මා සනසන ඔබේ ඇස් රත් පැහැයෙන් දිලිසෙයි.
මම ආසයි ඔයාගේ ලෝභකම මට ආදරයක් මිස හිරිහැරයක් නෙවෙයිනම්... ආදරේ කියන්නේ නීති පොතක් නෙවෙයි.. අපිට පුළුවන් වෙන්න ඕනැ අපි ආදරය කරන කෙනාව නිදහසින් මුදාහරින්න... ආදරේ ඇත්තක්නම් මොන අහසක ඉගිල්ලුණත් පාර වරද්ද ගන්නෙ නැතුව තටු බිඳ ගන්නෙ නැතුව ආපහු ඉගිල්ලිලා එනවා මිටින් මුදා හැරපු අත් දෙකම හොයාගෙන.. ඔයා ආදරෙයි නම් ඒ ආදරය ළඟ විශ්වාසය තියෙනවනම් මාව රැහැන්වලින් වෙලන්න එපා.. කිරිල්ලියකට වගේ ඉගිල්ලෙන්න දෙන්න මට....

තර්ක නොකරමි ඔබ සමඟ ...එහෙත් මගේ පිරිමි පපුව පලාගෙන මතුවෙන මාත්සර්‍යයේ මහෝඝය මෙලෙසින් හඬ නගයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතයි
මා හද බියවී සැලී සලී යයි

ඔබේ වුවන කැඩපතෙහි සියුම් රේඛා වෙනස් වී යයි.. එක මොහොතකින්..
ඔයා බලන්නෙ මගේ දිහා විතරද? ඔයා ඔයාගේ ඇස් වටේ කටු කම්බි වැටක් ගහගෙන නෑ.. ඔයා ඔයාගේ ඇස්වලට නීති රීති තහංචි දාගෙන නෑ... ඔයාට හැඩකාරයි කියලා හිතෙන ගෑනු රූප දිහා ඔයා බලන්නෙ නැද්ද? ඒ ලස්සන ඔයා අැස්දෙකින් විඳින්නේ නැද්ද... ආදරයේදී දෙවිදිහකින් ද්‍රෝහිකම් කරන්න පුළුවන්.. මානසිකව හා භෞතිකව.. වෙන ගෑනියක් ඇඟිල්ලකින්වත් ස්පර්ශ නොකර ඒ ගෑනිත් එක්ක හිතින් රමණයේ යෙදෙන පිරිමි නැද්ද? මට කියන්න තමන් ආදරය කරන ගැහැනියව විතරක් විඳින පිරිමි කෝටියකට එකක්වත් ලෝකෙ ඉන්නවද? ඒ කෝටියෙන් එක්කෙනා වෙන්න පුළුවන් වෙච්ච දවසට ඔයා මට කියන්න සඟවා ගනු මැන ඔබෙ රැව සොඳුරිය කියලා. මම අහන්නම්... මගේ දිහා පිරිමි දාහක් බැලුවම මොකද මට.. මගේ හිතේ රජ කරන්නේ එක පිරිමියෙක් විතරක්නම්....

ඔබ විනිසුරැවරියක සේ මා සවන් පත් පාරයි... ඇයි නුඹට මගේ ප්‍රේමය නොවැටහෙන්නේ... මට එසේ අසන්නට සිත්වෙයි... ඔබ දැන දැනම මම මෙසේත් කියමි.

මහ වන පියෙසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද

මම සොබා දහමෙන් පවා ඔබව සඟවා තබන්නට වෙහෙසෙමි. හිරු බිඳක්.. වැහි බිඳක්, සඳ ඇබින්දක් පවා ඔබේ මුව සිපගනු දකින්නට රිසි නොවේ මා සිත.. එනයින් අයිතියත් ලෝභකමත් මගේ ප්‍රේමයේ ආත්මය වී හමාරය. මම මගේම මිස කිසිවකුගේවත්.. පණක් ඇති පිරිමියකුගේ තබා සොබා දහමේවත් ඇසක් ඔබේ මුව මත ගැටෙනු දකින්නට අකමැත්තෙමි. ඇසක් නොගැටෙන්නට ඔබ රුකගමි. ඒ මගේ ස්නේහයේ අප්‍රමාණත්වයයි. මගේ ඊර්ෂ්‍යාව මගේ ප්‍රේමයේ රැකවලායයි මම සිතමි.

ඔබ මට එරෙහිව නැගී හිඳියි

ඔබ ඒකාධිපති වැඩවසම්වාදී පිරිමියෙක්.. ඔබ දරදඬු බ්‍රාහ්මණයෙක් වගේ පිරිමියෙක්. ඔබ තරම් කුහක නරුම පිරිමියෙක් ආයෙත් මට මුණගැහෙයි? මගේ හදවත කියනවා නම් ගම් පමණයි වෙනස්... ආසියානු ලෝකයේ ඔබ වැනි පිරිමින් ගහන බව කියනවා මට මගේ හදවත... ඔබ ප්‍රේමයයැයි කියන හැඟීම තුළ මට සොබාදහම වින්දනය කරන්නත් තහනම්... ළා රත්තරන් පාට හිරු එළිය පොළොව සිඹිද්දී මට අහසට ආදරය කරන්නත් තහනම්... වැස්ස පොළොව තෙමද්දී ඒ වැස්සේ නෑවෙන්නත් මට තහනම්.. හඳ එළියේ කිමිදෙන්නත් මට තහනම්... ඔබේ ආදරය කියන්නේ මා වෙනුවෙන් තනන ටජ් මහලක් නොව සිරගෙයක් නම් මට පහදන්න.

ප්‍රේමයනම් කිමැයි කියා...
මට පහදන්නට අවැසි මගේ ප්‍රේමය මිස අන් කිසිවක්ම නොවේ... එහෙත් ඒ ප්‍රේමය ඔබට නොතේරෙන අරුමය... මගේ හද මෙලෙසින් මුරගායි.

සොමි සඳ වත ලෙස රුසිරු නොවිනිනම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

මම සුන්දර ගැහැනියක් නොවුණානම් කවුරුන් මා දෙස බැලුවත් නුඹට කම් නැත.. ඔබ මට රැකවරණ සදන්නේ ඔබ මුතු මැණික් සේ මා පරිස්සම් කරන්නට තතනන්නේ පපුව පැලෙන තරම් අයිතිය ගැන ලෝභ හැඟීමකින් ඔබ මා සඟවා තබන්නට උත්සාහ කරන්නේ මා සුන්දර ගැහැනියක් වූ නිසා පමණක්ද? ඔබ මට කියන්නේ පිරිමියෙක් ගැහැනියක් සුරකින්නේ ඇය සොඳුරු රූ සපුවක හිමිකාරිනියක්නම් පමණක්ද?
ඔබ කියනවා...

එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත

ඔව් ඔබ කියනවා එහෙම... ගැහැනියක් රූ සිරියෙන් දෙවඟනක නොවෙන්න පුළුවන්. ඒත් ඇය අධ්‍යාත්මිකව දෙවඟනක් වෙන්න පුළුවන්. ගැහැනියකගේ රුව පිරිමියෙක් විඳිනවානම් පමණක්ද ඉරිසියාවෙන් මහා ලෝභකමකින් ඔබේ පපුව පැලෙන්නට එන්නේ... ඇගේ අධ්‍යාත්මික රුව කෙනෙක් විඳියිනම් කම් නැත මට එහෙමද ඔබ කියන්නේ... කියන්න මට ඔබේ ප්‍රේමය එතරම් ලඝු සංඝටකයක් පමණක් ද? එහෙමටම සිතෙයි මට.

කියන්න මට
ප්‍රේමයනම් කිමැයි කියා..

ඔබ ඉල්ලයි
මම කියමි
ඔබ
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30