2019 ජනවාරි 12 වන සෙනසුරාදා

පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 79

අමාවකට අත වනනා පිච්ච මලී 
ළමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී 
පිච්ච පතට පැණි පෙරළා බොන යාමේ 
පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ 

ළමැද හොවා හද සෙනෙහස දුන්නාට 
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුඹේ ලොවට 
වරද මගේ සඟවා දෙනු ලෝකයට 

අවිහිංසක සිතිවිලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගෙ ඉක්මන්කමට 
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට 

ගායනය - චාමර වීරසිංහ

 

සඳට දොස් නොකියන්නයැයි මම අමාවක රුයකින් අයදිමි. නිල් එළිය මැකී තාරුකා නිදා වැටෙන සීතල මැදියමක තරුවකට දෙස් නොතියන්නයැයි මම අහසින් අයදිමි. කටුක දුක් විරහ මැද අසෙනිය මහා වැහි ජීවිත පොළොව මත ඇද වැටෙන අන්ධකාරයේ ජීවිතය හැර දමා පලා නොයන්නයැයි මම නුඹෙන් ඉල්ලමි. අතරමඟ ප්‍රේමය මඟ හැරුණු දවසක ප්‍රේමය හා ජීවිතය සුවපත් කළ ප්‍රේමයේ වත්කම් වෙනුවෙන් ඉකිගසා නොහඬන්නයැයි මම නුඹට කියමි. කඳුළ  ඇස් අගට ගලා විත් කොපුල් තල මත හෙමින් සීරුවෙන් සැත්කම් කරද්දී රිදෙන හදවත දරාගෙන තවත් නම් රිදුම් මට අකැප වග කෑ ගසා කියන්නයැයි මම නුඹට කියමි.

පිච්ච මලී මේ අහන්න..

ළා පින්න  මහා පොළොවේ සාරෙට පැලවෙන හිමිදිරියේ නුඹ මල්වරය. බලහත්කාරයෙන් පිච්ච පොහොට්ටුවක පෙති ඇහැරවනවා නොවෙයි ඒ කළුවර. නුඹට හුස්මක් රැගෙන එන්නේ ඒ කළුවරය. ඉඳින් නුඹ ජීවන සුවිසැරියේදී පොහොට්ටුව මලක් ලෙස පිපෙන්නට විවරණ ලබන්නේ කාගෙවත් ඇස නොගැටෙන ඒ අඳුරු යාමයකය. අමාවක රැයක් සේ තිත්ත කළුවරට නුඹ රහසේම අත වනයි. නුඹ ඇහැරවා නුඹ වෙත ජීවිතය රැගෙන එන්නයැයි අයදියි. පිච්ච මලී... ළා රන් හිරු රැස ලොව ඇහැරවද්දී නුඹ කළුවරට පෙම් බැඳ හමාරය.. ඉඳින් බලා හිඳිනු මිස වෙන කුමක් කරන්නද? සොබාදහම නුඹේ ඉරණම ලියා ඇත්තේ කළුවර පිටුවක් මතය... පිච්ච මලී 

පිච්ච මලී මට සමාවෙන්න....

ජීවිතයට මහා ඛේදවාචකයක් එක් කරන්නටත් ආශිර්වාදයක් එක් කරන්නටත් ප්‍රේමයට හැකි අරුම... පිච්ච මලී මේ අහන්න සදාකාලික නම් වචනය මම ඉවතලමි... ක්ෂණයක් ක්ෂණයක් පාසා සියල්ල මිය යයි. වෙනස් වෙයි. සම්මුතියෙන් එහා විචක්ෂණයට මම නුඹ කැටුව යමි. පිච්ච මලී ඉඳින් ප්‍රේමය යනු ජීවිතය නම් කටු අත්තේ එක අතු අගිස්සක පිපි කුසුමක් මිස අන් කවරක්ද?

පිච්ච මලී මට කියන්න 
ප්‍රේමයනම් කිමැයි 

ප්‍රේමය අනන්ත නිදහසකි. ඒ ඔබේ උත්තරයයි... කොන්දේසි විරහිතව නුඹට කෙනෙක් කියවිය හැකිද? කොන්දේසි විරහිතව අධ්‍යාත්මික බන්ධනයකින් නුඹට කෙනෙක් හා බැඳී සිටින්නට හැකිද ඒ  ප්‍රේමයයි... පිච්ච මලී... එහෙත් මඟ වැරදී තටුවල පාට සේදෙන්නට පෙර නුඹ වැනි සොඳුරු සමනළියන්ට තාත්තා කෙනෙක් වී ආමන්ත්‍රණය කරන්නට මට සිත්වෙයි.

නුඹ අරුත් පසිඳින ප්‍රේමය අබිමුව වන්දනීය වෙන්නට කෝ දුවේ ප්‍රේමය දැන හඳුනාගත් ලෝකයක්.. සියක් දහසක් මල්වලට පෙම් බඳින හැම විෂ බඹර තුඩක්ම ස්ව අයිතිය අත්පත් කරගැනීම උදෙසා සොයන්නේ කුමරි බඹසර රැක්ක කුසුමක්... වැඩවසම්වාදී පිරිමි හදවත් අතරේ බෝසත් පිරිමි හිත් හුඟක් විරලයි දුවේ.. ප්‍රේමය කියන මහා පොතේ එක පරිච්ඡේදයක එක අකුරක් අයිතියක් නැති පිරිමි පපුවක් තුරුලේ කියවන්න ඉස්සර එකම එක දෙයක් හිතන්න, නුඹෙන් කුමරි බඹසර ඉල්ලා හිඳින්නේ පෙරළා කුමර බඹසර ඉල්ලා හිඳින ලෝකයක් නෙවෙයි.. ඒ නිසාවෙන් දවසක නුඹ කන්‍යාවියක වගට සාක්ෂි ඉල්ලන ලෝකයට හා පිරිමි වගට මතු යම් දවසක ලෙයින් ලියැවෙන ජීවන සහතිකය දෙන්න නුඹ නුඹව හරි පරිස්සමින් රුක ගන්න...

අමාවකට අත වනනා පිච්ච මලී
ළමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච්ච පතට පැණි පෙරළා බොන යාමේ
පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ

මගේමයැයි ප්‍රේමයෙන් නෙළා ගත්තත් මල, අයිතියක් නැති සඳ ඒ සුවඳැති  කුසුම ලෝකයක් හමුවේ සිඹිනු කෙලෙසද? ඒ කුසුම තවත් පොහොට්ටුවක් උපද්දවන්නට පෙරමං බලද්දී තාත්තා කෙනෙක් මා මගේ ලෙයින් නුඹ කුස මඬලේ විකසිත කැකුලකටයැයි තුටු වෙනු කෙළෙසද? දරු ස්නේහයෙන් ළය ලෙය ශ්වේත වර්ණ කිරිදහරා බවට පෙරළෙද්දී මා සිත කැළඹෙන්නේ හෙට දවසක ලොවට විකසිත ඒ කැකුලේ ලේ අයිතිය නුඹේ හදවත අබිමුවේ මිස ලොවක් හමුවේ පිළිගන්නට ඉඩහසරක් මා සතු නොවන හෙයිනි. මේ යදම් කටු කම්බි සිරගෙවල් නැති ලොවක මට මගේ ප්‍රේමයත් විඳිනු හැකිනම්...

සමාවෙන්න පිච්ච මලී... ප්‍රේමය ප්‍රේමය ලෙස දැන හඳුනා ගන්නට බැරි හදවත් අස අපි අපේ ලෝකයට විවරණ ඉල්ලනු කෙලෙසද? මම මගේ ලෙයටම උරුමකම් කියනු කෙළෙසද... ප්‍රේමය හදවතේ සසාර වී පැළ වුණත් ඒ ප්‍රේමයේ අග්‍ර පලය නුඹේ කුස ගැඹුරේ ලෙයක් වී පැළවෙද්දී මා සසල නොවී හිඳිනු කෙළෙසද?

ඔහු එසේ කියද්දී පිච්ච මලී මම නුඹෙන් මෙසේ අසමි.

ජාතක යන වචනයට සු සහ අව යන උපසර්ග ද්විත්වය එක් කරන්නට තරම් භාෂා විශාරදයන් අසාධාරණ වුණේ ඇයි? ජාතක වෙන දරුවෙක්ට නිසඟයෙන්ම පිය උරුමය හිමිනම් ඒ උරුම පිය උරුමය අවජාතක හෝ සුජාතක ලෙස වර්ග කරන්නේ ඇයි? එසේ වූ වර්ගීකරණයකට යටත් වෙන්නට තරම් ඒ දරුවා ලෝකයට කළ වරද කුමක්ද? අයිතියක්  නැති වුණාත් මහා ප්‍රේමයක ඵලයක් නම් ඒ දරුවාගේ උප්පත්තිය ලෝකය සු සහ අව යන යහපත් හා අයහපත් වර්ගීකරණයකට ඒ උපත ලක් කරන්නට තරම් නපුරු වුණේ ඇයි?

පිච්ච මලී නුඹ ප්‍රේමය ගැන නිර්වචන සපයන්නේ එවන් පුරුෂාර්ථ දරාගත්  මනුෂ්‍ය එකතුවකටය. ඉඳින් නුඹ මහා පොළොවක් නොවී කෙළෙසද? ගැහැනියක ලෙස මහා කඳු ගිනි කඳු සදිසි මහා කඳු දරාගන්නා මහා පොළොවක් නොවී කෙළෙසද?

පිච්ච පතට පැණි පෙරළා බොන යාමේ 
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ 

වෙනස් වෙනස් අර්ථ සොයා යන්නට මට සිත්වෙයි. සොබාදහම උණුසුම් පිනි සහ පැණි දුන්නේ ගැහැනියට සහ පිරිමියාට පමණි. ඒ සිරුරේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් ඔස්සේ ඉපදෙන තෙතමනයට හා ප්‍රාණයට ප්‍රේමයේ කවර හෝ සිද්ධාන්තයක් කලවම් වන හෙයිනි. ගී පද රචකයා අරැත් පසිඳින මේ පිච්ච පත ඇගේ තොල් සඟලයැයි මට විටෙක සිතේ. පණ ගැහෙන පුරුෂාර්ථයේ උපරිමය දක්වා විවර වෙන ඇගේ දෙතොල් පෙති මොහොතකට මඟ හැරී නාභිය දිගේ අතැගිලි දුවන දුරකින් පිහිටි පිච්ච මල මත අහම්බෙන් කිරි පාට සරැ උකු දිය වීදුරු පාට වතුරකට හැරෙන්නට පෙර ඉහිරී යුක්තානුවක් දක්වා දුර ගමනක් ගියාද? පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ.

ඒ පිච්ච පත මුව මත දෙතොල් නොව ඇගේ ස්ත්‍රීත්වයේ සංකේතය තුළ නිර්මිත දෙතොල් සඟලයැයි මට තව වරෙක සිතේ. රාගය සඳක් සේ මෝරද්දී පැණි වෑහෙන උල්පත සක්‍රීය වෙයි. ඒ මුව දොර පැණි ගඟ අපතේ නොයවන්නට ඔහු මුව මැද චලනය සැදී පැහැදී සිටියි. නොඑසේනම් මේ පිචච පත ඔහුගේ පණ නැගෙන පුරුෂාර්ථය අාවරණය කළ වැස්මයි.

ඒ පිච්ච පත කවරක් වුවද කවර ව්‍යංගාර්ථයක් ධ්වනිත කළ ද කොතැනක හෝ අතපසුවීමක්  සිදුව තිබේ. සංකාව එතැනය.

ළමැද හොවා හද සෙනෙහස දුන්නාට 
කුමක් කරන්නද සමනල් සිනාවට 
දෑත දිගු කරන්නට බෑ නුඹේ ලොවට 
වරද මගෙන් සඟවා දෙනු ලෝකයට 

වරෙක මට ඒ පිරිමි සිරැරේ කශේරුවක් නැත්නම් පිට කොන්දක් ඇත්දැයි අතගා බලන්නට සිත්වේ.

වරද මගෙන් සඟවා දෙනු ලෝකයට... එහෙත් ප්‍රේමය ප්‍රේමය ලෙස නොපිළිගන්නා... යදම් විලංගු සිරගෙවල් මත ගොඩනැගුණු සංස්කෘතිය ආගමික නිර්ණායක හමුවේ ඔහුගේ අසරණකම ගැන අනුකම්පා සහගත වෙන්නට මට සිත්වේ. ප්‍රේමයේ කොන්දේසි විරහිත දිව්‍යමය සුවඳ විඳිනු බැරි ලෝකය හමුවේ ඔහු වැරදිකාරයෙකි. අප විනිසුරුවන් වනු කෙලෙසද? කවුරැන් නිවැරදිද? අප යුක්තිය පසිඳිනු කෙළෙසද? දියණිවරුනේ.... ගිනි ඇවිලුණු දා පිරිමි අතකින් නුඹේ ලෝකයට ඒ ගිනි නිවන බෝසත් සිත් බොහෝ හිඟ බැවිනි රැක ගනු මැනව නුඹ නුඹව.. ඒ හැර කුමක් කියන්නද? 

තාත්තායැයි කියන්නට කෙනෙක් නැති නුඹේ ලෝකයම වූ මගේ ප්‍රේමයේ අහම්බ ඵලය මහා වස්තුවක් කොට නුඹ ළමැදේ හොවා සිටියි. ඒ සිඟිති මුවග කිරි සිනා මගේ නෙත ගැටෙයි. ඒත් තවත් නවාතැන්පොළක මට තාත්තායැයි කියන්නට දරු පැටවුන්ය. උන්ගේ තාත්තා මා වගට නීතිය සාක්ෂියක් වී හමාරය. පෙම් කළත් මා නුඹට මා කෙළෙසද මගේ දරුපැටවා තුරැල් කරගන්නට නුඹේ ගෑනු හදවතේ ඇවිලෙන ගින්දර නිවන්නට දෑත් දිගු කරන්නේ..

සොඳුරිය මා නුඹේ දරුවාගේ තාත්තායැයි ලොවට නොකියන්න...

ඔහු වරෙක ආත්මාර්ථකාමියෙකි.. තව වරෙක වැඩවසම්වාදී බ්‍රාහ්මණයන් ගහන ලෝකයේ සිරකරුවෙකි. අසරණයෙකි. පිච්ච මලී වරද සහ වැරදිකරු කවුරුදැයි ලෝකයෙන් නොව නුඹේම හෘද සාක්ෂියෙන් විමසන්නයැයි මම නුඹට කියමි. 

අවිහිංසක සිතිවිලි සිත බැන්දාට 
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට 
ඉතින් සාප කරමින් මගේ ඉක්මන්කමට 
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට 

ප්‍රේමය.. ප්‍රේමය වත්කම් අහිමි සඳ... ප්‍රේමය අයිතියක වලංගුතාවයක් කළ සමාජයක ප්‍රේමය හා බුදු දහමත් ඈඳයි. කර්මයත් ඈඳයි. නීතිය අස ප්‍රේමය තව එකකි. හදවත් අස ප්‍රේමය තව එකකි. දෙවියන් අස ප්‍රේමය තව එකකි. ප්‍රේමය දැන හඳුනාගත් උන් අස ප්‍රේමය තවත් එකකි. ඉඳින් මා විනිසුරුවකු වනු කෙළෙසද? විනිසුරුවරයකු විය හැක්කේ හෘද සක්ෂියටම පමණි.

ඉතින් සාප කරමින් මගේ ඉකමන්කමට 
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට 

පිච්ච මලී වාං දැමූ ප්‍රේමයට නොව අනුරාගයට සමාවුව මැන.... මගේ කුරුලු කූඩුවට ගල් කැට විසි නොකරනු මැන.. මගේ පැල්පතට ගින්දර නොතබනු මැන.

පිච්ච මලී ප්‍රේමයට වෛරය වලංගු නැත... ප්‍රේමයට සමාව මිස වෛරය වලංගු නැත.

සියල්ල අවසන අමාවකට අත වනනා පිච්ච මලී ගීයේ අරැත් පසිදින්නයැයි මගෙන් ඉල්ලූ... නෙත්මි තත්සරණී ඇතුළු සියලු දියණිවරුන්ට මම මෙසේ කියමි.

ගඟට බසින්නට පෙර ගං දෑලේ සිට ගැඹුර පිරික්සනු මැනවි. නිසල් ගං දිය පතුලේ මරුවැල් දිය සුළි අනන්තවත් සැඟවී තිබිය හැක. ලෝකයට ආදරය කරන්නට පෙර ලෝකයට ආදරයේ පළමු පාඩම කියා දෙන්නට පෙර ඔබ ඔබට ආදරය කරන්න. ආදරයේ පළමු පාඩම ඔබ ඔබට කියා දෙන්න.

ප්‍රඥාව මලක් සේ නෙලා ගත නොහැකිය. එය කන්දකි. තරණය කරන්න.

( මෙම ගීතයේ පද රචකයා සහ සංගීතඥයා සොයාගන්නට අප දැරූ සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වූ බව අපි කනගාටුවෙන් සඳහන් කරමු )

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30