2019 ජනවාරි 12 වන සෙනසුරාදා

බෙල්ල බදාගත්තේ නැත්තම් මම ඉවරයි

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 74

අලුත් අවුරුද්දකුත් ලැබුවනෙ... මේ දවස්වල මොනවද කරන අලුත් වැඩ..?

අලුත් ටෙලිනාට්‍යයකට ආරාධනාවක් ලැබුණා. ඉතින් 2019 වර්ෂයේ හා හා පුරා කියලා ඒ ටෙලිනාට්‍යයේ වැඩ බාරගත්තා. ඒ රනිල් කුලසිංහගේ අලුත් නිර්මාණයක්. රනිල්ගේ මුල්ම අධ්‍යක්ෂණය තමයි පූරි ටෙලිනාට්‍ය. ඒ නිර්මාණයට මම දායකවෙලා තියෙනවා. රනිල් කියන්නෙ හොඳ රංගන ශිල්පියෙක් වගේම හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු හොඳ නිර්මාණවේදියෙක්. ඉතින්.. ඔහුගේ දෙවැනි නිර්මාණයටත් මට ආරාධනා ලැබෙද්දී මම ඒක සතුටින් බාරගත්තා.

ක්ලීටස් පරපුර සිනමා නිර්මාණය නිෂ්පාදනය කරලා දැන් වසර කිහිපයක් ගතවෙනවා. අලුත් නිර්මාණයක් කරන්න දැන් කාලේ හරි නේද..?
ඔව්.. කාලේ නම් හරි තමයි. ඒත්.. මේ කාලෙදී සිනමාවේ ඇතිවෙලා තියෙන ගැටලු නිසා නිර්මාණයක් කිරීම දවසින් දවස මගේ අතින් මඟහැරුණා. විශේෂයෙන් හෝල්වල ප්‍රශ්න ඒකට තදින්ම බලපෑවා. ඒත් මම හිතනවා වර්තමානයේදී සිනමාවට හොඳ කලක් යාවි කියලා. ඉදිරියේදී සිනමා නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

එදා ක්ලීටස් කියන්නෙ සිනමාවේ ඉතා දක්ෂ වගේම ජවසම්පන්න නළුවෙක්..?     
ඔව්.. ඒකනම් ඇත්ත. අදටත් බොහෝ ටෙලිනාට්‍යවලට වගේම චිත්‍රපටවලට මට කතා කරනවා. තවමත් ඔවුන් මාව දකින්නෙ අර දුෂ්ටයා විදිහට ගහගන්න, රණ්ඩු කරන චරිතය විදිහටයි. එදා අපි ජවයෙන් කරපු දේ ඔවුන් අදත් බලාපොරොත්තු වෙනවා. ඒත්.. එදා කරපු විදිහට අද අපිට    කළාට අද ඒ දේවල් ඒ විදිහට කරන්න අමාරුයි. ඒ කාලේ ඒ නිර්මාණවලට යොදාගත්තෙ පොලිස් අශ්වයන්. නමුත් අද කාලේ එවැනි නිර්මාණ සඳහා යොදාගන්නෙ රේස් යන අශ්වයන්.

ඔය අශ්වයන් පදින්න ගිහින් ඔබට අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද..?
අම්මෝ.. ඒ වගේ සෑහෙන අමතක නොවන සිදුවීම් වෙලා තියෙනවා. මම රඟපෑ දෙවැනි චිත්‍රපටය තමයි සංඛපාලි කියන්නෙ. ඒකෙදී ගාමිණී ෆොන්සේකා මහත්මයා ෂූටින් පටන්ගන්න කලින් අශ්වයා පුරුදුවෙන්න කියලා මට කිව්වා. ඒ වෙනකොට මම අශ්වයන්ගේ පිටේ නැඟලවත් නැහැ. ඉතින් මාත් පැත්තක ගැටගහලා හිටපු අශ්වයන් ඉන්න තැනට ගිහින් පුරුදුවෙන්න හැදුවාම ඒ පුහුණුකරුවන් අපිව ගණන් ගන්නෙ නැතිව හරි.. හරි.. පස්සෙ පස්සෙ.. කියලා කිව්වා. එක දවසක් එකපාරටම ගාමිණී ෆොන්සේකා මහත්මයා කෝ.. මිස්ටර් මෙන්ඩිස් එන්න. අශ්වයා ගන්න කියලා මට කිව්වා. ඒ වෙලාවේ මම උඩ බිම බැලුවා. අපි ආධුනික හින්දා මුකුත් කියන්නත් බැහැ. ඒ කොටසට මමයි තිලක් ජයවීරයි, විමල් කුමාර කුමාර ද කොස්තායි රඟපාන්න හිටියෙ. විමල් ඒ කොටස රඟපාන්න අකමැති වුණා. ඔන්න ඉතින් තිලකුයි මමයි ඒ කොටස ඉතා අමාරුවෙන් කෙරුවා. ඒ කොටසට අපිව පුහුණුකරු පුහුණු කළේ පොඩි කාලයයි. පස්සෙ ගාමිණී ෆොන්සේකා මහත්මයා ඒ පුහුණුකරුට කතා කරලා හොඳටම බැන්නා. එදා අශ්වයාගේ පිටෙන් නොවැටී බේරුණාට අශ්වයාගේ පිටෙන් අපි අනන්තවත් වැටිලා තියෙනවා.

තව දවසක් රොබින් ප්‍රනාන්දු එක්ක එක කොටසක් රූගත කරද්දී රොබින් හිටපු අශ්වයා මගේ අශ්වයා පහුකරගෙන ඉතා වේගයෙන් ගියා. මගේ අශ්වයාත් කුලප්පුවෙලා අර අශ්වයා පිටිපස්සෙ වේගයෙන් දුවනවා. අශ්වයා පිටේ ගියාට ඒ තරම් වේගයෙන් යන අශ්වයෙක්ව නතර කරන්න මම දැනගෙන හිටියේ නැහැ. දන් මාත් අශ්වයා පිටේ යනවා. රොබින්ට මොකක් හරි තේරිලා පිටිපස්ස බලද්දී මගේ අශ්වයා එන වේගය දැකලා එයා ආපස්සට අශ්වයා හරවාගෙන ඇවිත් මගේ අශ්වයා හරස් කළා. ඒ එක්කම මට කෑගහලා අශ්වයාගේ බෙල්ල බදාගන්න කියලා කිව්වා. ඔන්න එකපාරටම මගේ අශ්වයා ඉස්සරහ කකුල් දෙක උස්සලා නතර වුණා. හොඳ වෙලාවට මම බෙල්ල බදාගෙන හිටියා. නැත්නම් ඒ වේගයට මම අශ්වයාගෙන් විසිවෙනවා.

අපි මේ කතාව ක්ලීටස්ගේ ළමා කාලයට අරගෙන යමු. අමතක නොවන ළමා කාලයක් ක්ලීටස්ට තිබුණා..?
ඔව්. හරියට හරි.. ඒක අමතක නොවන ළමා කාලයක්ම තමයි. මගේ ගම මීගමුව. අදටත් මම පදිංචිවෙලා ඉන්නෙ මගේ ගමේ තමයි. කොළඹ පදිංචියට යන්න මට කිහිප අවස්ථාවක්ම ලැබුණත් මම ඒකට කැමති වුණේ නැහැ. පුංචි කාලේ මම හරිම දඟයි. මගේ පවුලේ හයදෙනෙක් ඉන්නවා. අයියලා දෙන්නයි අක්කයි නංගියි මල්ලියි මට හිටියා. ඒ හැමෝගෙන්ම දඟම කෙනා තමයි මම.

ක්ලීටස්ගේ තාත්තා හමුදා නිලධාරියෙක්. එහෙම නේද..?
ඔව්.. මගේ පප්පා හමුදා නිලධාරියෙක්. පප්පා හරිම වසයි. හැමදේම නීතියට තමයි වැඩ කළේ. හැම උදේම පප්පා වැඩට යන්න කලින් අපි හයදෙනාවම එකම කෑම මේසෙට ගෙන්වලා කෑම ගන්නවා. එදාට අනිවාර්යයෙන්ම අපි කෑම මේසේ ඉන්නම ඕනෙ. අපේ ගෙදර අපිට නීති තිබුණා. මගේ මම්මා හරි අහිංසකයි. හැමවෙලේම දරුවන්ගෙ පැත්ත තමයි මම්මා ගත්තෙ. එයා මගේ වැරැද්දක් පප්පාට කියන්නෙ නැහැ. හැබැයි මම දඟ වැඩ කළොත් අයියලා ඒක පප්පාට රපෝර්තු කරනවා.

ඒ පැමිණිලිවලට ලැබෙන දඬුවම් කොහොමද..?
අම්මෝ.. ඒ පැමිණිලි ලද දවසට මම ඉතින් අනිවාර්යයෙන්ම පප්පාගෙන් ගුටි කනවා. ඒවාත් ලේසි නැහැ. අපේ ගෙදර යකඩ ඇඳක් තිබුණා. ඒකෙ මගේ අත්දෙක ගැටගහලා දිග වේවැලෙන් ගැහුවා. කරපු වැරැද්ද සැර වැඩිනම් ඒ දඬුවමින් පප්පා නැවතුනේ නැහැ. ඊළඟට මම සුරුවම ළඟ දණගහලා අත්දෙක දෙපැත්තට දිග ඇරලා මම ආයේ ඒ වැරැද්ද කරන්නෙ නැහැ කියලා සිය පාරක් කියන්න ඕනෙ. ඒ කියද්දී මගේ අත්දෙක පහළට පහත් වෙනවානම් ආයේ අත් උස්සන්න කියලා වේවැලෙන් පප්පා ගහනවා. හැබැයි මේ හැමදෙයක්ම මම්මා බලාගෙන හිටියේ ඇස්වල කඳුළු පුරවගෙන.

ඔබ අධ්‍යාපනය ලැබුවේ මොන පාසලෙන්ද..?
මම ඉගෙනගත්තෙ මීගමුව මාරි ස්ටෙලා විද්‍යාලයෙන්. අධ්‍යාපනයට වුණත් මම ඒ තරම් දක්ෂ නැහැ. මට තාම මතකයි මම හය වසරේදී විභාගය ෆේල් වුණා. ඉතින් එදා ඉඳන් දවස් ගාණක් යනකම්ම මට ලැබුණු දඬුවම හරි සැරයි. ඉස්සර මට හොඳට කන්න ඕනෛ. ඒක පප්පා දැනගෙන හිටියා. ඉතින් හැමදාම කෑම මේසෙදී මට කෑම දුන්නෙ වෙනදාට කන ප්‍රමාණයෙන් හරි අඩක්. අපි හිතමුකො.. ඉඳිආප්ප වෙනදාට දහයක් කනවා කියලා. මට දුන්නෙ ඉඳිආප්ප පහයි. ඇත්තටම ඒක මට හොඳටම මදි.

ක්ලීටස් ඒ කෑම රටාවටත් පුරුදු වුණා නේද..?
පුරුදු වෙන්න ට්‍රයි කළාට එහෙම කරන්න බැරි වුණා. මම බඩගින්නේ හිටපු මුල් දවසේ මගේ අම්මත් හිටියේ බඩගින්නෙ. ඒ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා මම දැක්කා. ඊළඟ දවසේ ඉඳන් අම්මා මාව උදේ පාන්දරට ඇහැරවන්න පුරුදු වුණා. වෙනදාට අපි නැඟිටින්නෙ හයටනම් අම්මා මාව අනිත් අයට හොරෙන් අවදි කරවලා මට ඉඳිආප්ප ටිකක්, බත් ටිකක් කන්න දීලා ලොකු කිරි කෝප්පයකුත් පොවලා ආයෙත් නිදාගන්න කියනවා. ආයෙත් මම අනිත් අය නැඟිටින වෙලාවට නැඟිටලා කෑම මේසෙදී පප්පා නියම කරපු කෑම ප්‍රමාණය ආයෙමත් කනවා. ඒක මට හොඳටම ඇති. ඒ තමයි මගේ අම්මගේ ආදරේ තරම. හැබැයි එදා ඒ වගේ නීති පද්ධතියකට විනයක් ඇතිව පප්පා අපිව හදපු නිසා තමයි අද අපිට කොන්ද කෙළින් තියාගෙන ජීවත්වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

පාසලේදී ක්ලීටස් කියන්නෙ හොඳ ක්‍රීඩකයෙක් කියලයි ආරංචිය..?
ඔව්.. මම ක්‍රීඩා බොහොමයක් කළා. මට කවදා හරි දවසක හොඳ ක්‍රීඩකයෙක් වෙන්න ඕන වුණා. ඉස්සර අපි හඳහන් බලන්නෙ නැහැනෙ. අපේ ගෙදර කාගෙවත් හඳහන බලලා තිබුණේ නැහැ. දවසක් මගේ ඥාති අයියා කෙනෙක් අම්මගෙන් මගේ වෙලාව ඉල්ලගෙන තිබුණා. ඉස්සර ඉස්කෝලෙ පිටිපස්සෙ හිටපු අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් කෙනෙක් ඒ කාලේ හඳහන් බලනවා කියලා ඒ අයියා දැනගෙන තිබුණා. ඉතින් මේ අයියා අර මම උපන් වෙලාව ඒ ප්‍රින්සිපල්ට දීලා තිබුණා. ඔන්න දවස් දෙකකට පස්සෙ ඒ ප්‍රින්සිපල් මට ඒ පුතාව බලන්න ඕනෙ. මම ළඟට එයාව එක්කගෙන එන්න කියලා අයියට කියලා තිබුණා. ඉතින් අයියත් ඉස්කෝලෙ ඇරිලා මාව අර ප්‍රින්සිපල් ළඟට එක්කගෙන ගියා. මාව දැකපු ගමන් ඒ ප්‍රින්සිපල් මාව බදාගෙන පුතේ.. ඔයා අපේ මේ නගරයට විශාල එලියක් ගෙන දෙනවා. ඔයා හරි වාසනාවන්ත දරුවෙක්.. කියලා කිව්වා. හැබැයි ඒකෙ තේරුම මම දැනගෙන හිටියේ නැහැ. මම හිතුවෙම ක්‍රීඩාව පැත්තෙන් යම් දක්ෂතාවයක් පෙන්නාවි කියලා. ඒ කාලේ මේ කලාව ගැන කිසිම දැනුමක් මට තිබුණේ නැහැ. අන්තිමට හිතුවෙවත් නැති විදිහට මගේ ජීවිතේ වෙනස් වුණා.

ඒ ජීවිතේ වෙනස් වුණේ කොහොමද..?
මම උසස් පෙළ විභාගය අසමත් වුණා. ඒ වෙනකොට මට විභාග එපාවෙලයි තිබුණේ. හැබැයි මගේ අක්කා ඒ වෙද්දී විවාහවෙලා පදිංචිවෙලා හිටියෙ වරකාපොළයි. ඒ අයියා ව්‍යාපාර කටයුතු තමයි කළේ. ඉතින් මම අක්කට විභාගය ගැන කියලා පප්පටත් නොකියා වරකාපොළ ගියා. ඔන්න ඉතින් කොහොම හරි අක්කා මම ගැන පප්පාට කියලා මල්ලි මෙහේ ඉඳීවි. එයා බිස්නස්වලට කැමතියි කියලා කිව්වා. ඉතින් මම වරකාපොළ හිටියා. මම සිගරැට්වලට තදින්ම විරුද්ධයි. ඒ ගමේ හිටපු තරුණයන් එකතු කරගෙන මම සිගරුට් අරක්කුවල හානි ගැන කියලා දුන්නා. ඔය කාලෙදී පල්ලියට ආධාර වශයෙන් අපි වේදිකා නාට්‍යයක් කරන්න තීරණය කළා. ඒක ධීවර කතාවක්. හැමෝම ඒ කතාවේ ප්‍රධාන චරිතයට යෝජනා කළේ මාවයි. ඒ නාට්‍ය අපි හොඳටම කළා. ඒකෙන් මාව කොළඹ සම්මුඛ පරීක්ෂණයකට අරගෙන ගියා. ඒකෙදී තමයි සුගත් සමරකෝන්ව මට මුණගැහුණේ. ඒ විදිහට තමයි මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. කලාවට සම්බන්ධ වෙද්දී මම කරාටේ, ජිම්නාස්ටික් වගේ ක්‍රීඩා පුහුණු වෙලයි තිබුණේ. ඒ නිසා සිනමාවේ දුෂ්ටයා වෙන්න මට ලෙහෙසි වුණා.

විජය කුමාරණතුංගයන්ගේ ගීත ඔබ හරි අපූරුවට ගායනා කරනවා. ඔබේ හඬ විජයට අහන්න ලැබුණද..?
ඔව්.. විජය කුමාරණතුංග කියන්නෙ පුදුමාකාර මනුස්සයෙක්. එතුමාගේ ගතිගුණවලට මම හරියට ආස කළා. එතුමා එක්ක වැඩ කළත් වැඩකට ගියත් අපිට පවා දහ වතාවක්වත් ඔහු දිහා ආපහු හැරිලා බැලෙනවා. ඔහු හරි ප්‍රියමනාප චරිතයක්. ඉතින් මම ඔහුගේ ප්‍රතිරූපයට සහ ඔහුගේ හඬට අසීමිතව ආදරේ කළා. ඒ නිසා විජේගේ හඬ අරගෙන ඒ විදිහට ගායනා කරන්න මම උත්සාහ කළා. ඒ ගැන හොඳටම දන්නෙ ජීවන් කුමාරණතුංගයි. අපි දෙන්නා බොහෝ නිර්මාණවලට දායකවෙලා ඉඳිද්දී ජීවන් බාප්පගේ කටහඬින් සින්දුවක් කියපං කියලා ඔහු මට කියනවා. මාත් ඉතින් කියනවා. දවසක් රන්දෙණිගල සිංහයා චිත්‍රපටයට හඬ කවද්දී විජය හිටියේ රෙකෝඩින් රූම් එකේ. ඔන්න ඉතින් කවුදෝ කෙනෙක් මා ළඟට ඇවිත් හෙමිහිට ගඟ අද්දර කියපං කියලා කිව්වා. පොඩි විවේකයකදී ගඟ අද්දර ගීතයේ මුල් පේළි දෙකක් කිව්වා. මට තාම මතකයි මම ආපහු හැරිලා බලද්දී විජේ අයියා හරි ලස්සනට මම දිහා බලාගෙන අත් දෙකින් ඉතිරි ටිකත් කියන්න කියලා සංඥා කළා. ගීතය කියලා ඉවර වුණාට පස්සෙ මම ළඟට ආපු විජේ අයියා ෂා.. මම අහලා තියෙනවා මගේ සින්දු කියනවා කියලා.. ඒත් මම අද තමයි ඒ කටහඬ ඇහුවේ.. හැබැයි ඉතින් දැන් මට මැරුණත් බය නැහැ. මගේ ගීත ගායනා කරන්න මගේම සහෝදරයෙක් ඉන්නවා කියලා හරිම සතුටින් කිව්වා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. එදායින් පසුව මම විජේ අයියගේ ගීත ගායනා කළා. මම මැරෙනකම් ඒ කටහඬ මේ රටේ මිනිසුන්ට අමතක කරවන්නෙ නැහැ. ඒ තරමටම විජේ අයියා කියන්නෙ හිත හොඳ, අවංක කලාකරුවෙක්.

අපි ඔබේ ආදරණීය බිරිය සහ පුතුණුවන් ගැනත් කියමු..?
ඔව්.. මම විවාහ වුණේ විවාහ යෝජනාවකින්. එයා අපේ නෑදෑ වෙන කෙනෙක්. මම ගැන විවාහ යෝජනාවක් ගෙනෙද්දී මුලින්ම ඇය අකමැති වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ මම නළුවෙක් වීමයි. ඊටපස්සෙ මගේ නෑදෑයන් මම ගැන ඇයට කිව්වට පස්සෙ ඇය ඒ යෝජනාවට කැමති වුණා. එයාගේ නම ඩොරින්. ඇය මාව හොඳටම තේරුම් ගත්ත කෙනායි. අපි විවාහවෙලා අවුරුදු අටක් යනතුරු දරුවෙක් හිටියේ නැහැ. අවුරුදු අටකට පස්සෙ තමයි අපිට පුතා ඉපදුණේ. එයාගේ නම දිල්සර මෙන්ඩිස්. මම කලාකාරයෙක් වුණාට මම ගෙදරදී මගේ බිරියට සැමියා. මගේ පුතාට මම තාත්තා. ගෙදර ඉන්න දවසට මම ගෙදර හැම වැඩකටම උදව් කරනවා. මගේ ජීවිතේ මට පුළුවන් වෙලාවට මම පොල් ටික පවා ගාලා දෙනවා. මම බොහොම සාමාන්‍ය මනුස්සයෙක්. අපි විවාහ වුණේ සතුටින් ඉන්නනෙ. ඒ සතුට අපි තුන්දෙනා ළඟ උපරිමයෙන් තියෙනවා. මම කිසිමදාක මගේ රැකියාව නිසාවත්, මගේ ආර්ථිකය නිසාවත්, මගේ පවුල් ජීවිතේ විනාශ කරගත්තෙ නැහැ. මම මගේ ජීවිතේ අංක එක දෙන්නෙ මගේ පුංචි පවුලටයි. යාළුවෝ මොනව කිව්වත්, ගැහැනු හෝ පිරිමි ජීවිතයට කොයි තරම් එබිකම් කළත්, ජීවිතේ අන්තිම කාලෙදී ඉතිරි වෙන්නෙ විවාහ වුණු බිරිය හෝ සැමියා සහ දරුවනුයි. ඒ අයට කවදාවත් බොරු කරන්න නරකයි. පවුල් ජීවිතේ අසාර්ථක වුණොත් හිතට සැනසීමක් ලැබෙන්නෙ නැහැ. සල්ලි, යාන වාහන කොච්චර තිබුණත් එවැනි ජීවිතවල ඇතුළාන්තය හැමවෙලේම කලබලයි.

 

► Text - Dishani  /   Pic -  Sumudu

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30