2019 ජනවාරි 05 වන සෙනසුරාදා

2019 සුබ අලුත් අවුරුද්දක් වේවා!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 154

තරහක් වෛරයක් මොකටද?

අපේ රට නොයෙකුත් ජාතීන් සහ නොයෙකුත් ආගම්වල මිනිසුන් ජීවත් වෙන රටක්. මේ හැම මිනිසුන්ම කලාවට හරි ආදරෙයි. ඉතින් මේ හැමෝ අතරෙම කිසිම විරෝධයක් නැති, ජාති, ආගම් භේදයක් නැති වාසනාවන්ත වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. කා අතරවත් තරහක්, වෛරයක් ඇති නොවේවා.. ඒ වගේම අපේ රටේ ජීවත් වෙන හැම කලාකරුවකුගේම, කලාකාරියකගේම අදහස්, සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

I වික්ටර් රත්නායක

 

කුහකකම්-ඊර්ෂ්‍යාවන් එපා

මේ අලුත් අවුරුද්දේ තමන්ගේ ඉලක්කවලට යන ගමනේදී විශ්වාසය, අවංකකම වගේම ධනාත්මක සිතුවිලි එක්ක යන සැනසිලිදායක වසරක් වෙන්න කියලා මම සුභ ප්‍රාර්ථනා කරනවා. කාටවත් කුහකකම් කරන්න එපා. කාටවත් ඉරිසියා කරන්න එපා. ජීවිතයේ හිතන හැම සිතුවිල්ලක්ම ධනාත්මකව හිතන්න. අපි හැමෝම ඒ සිතුවිල්ලෙන් හිටියොත් අපේ රට ලස්සන වේවි. මුළු ලෝකයම අපේ රටේ මිනිසුන්ට ආදරේ කරාවි.

I රොෂාන් රණවන

 

බලාපොරොත්තු වෙන්න බෑ. ප්‍රාර්ථනා කරන්න විතරයි පුළුවන්

මගේ ආදරණීය රසික රසිකාවියන්ට වගේම මගේ ආදරණීය මිනිසුන් හැමෝටම මම පතන්නේ ඒ අයට හිතේ සතුටින් ජීවත් වෙන්න ලැබෙන අලුත් අවුරුද්දක් වේවායි කියලා. අපිට රටක් විදිහට ප්‍රාර්ථනා කරන්න විතරයි පුළුවන් වෙන්නේ. එහෙම නැතිව මේ රටේ මිනිස්සු සතුටින් ජීවත් වීම වෙනුවෙන් බලාපොරොත්තු වන සංවර්ධනය මේ දේශපාලනයෙන් උදාවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි නිසා අඩුම තරමෙන් ප්‍රාර්ථනාවන් ඇතුලෙවත් අපිට ඒ සුභ පැතුම කරන්න තමයි වෙලා තියෙන්නේ. ඒ ප්‍රාර්ථනා ඉෂ්ඨ වුණ දවසට මේ රට සුන්දර වේවි.

I තුමිදු දොඩම්තැන්න

 

හැම හොඳ පැතුමක්ම ඉටුවේවා!

ජීවිතේ යම් බලාපොරොත්තුවක්, ඉලක්කයක් තියාගෙන ඉන්නවානම් ඒ හැම බලාපොරොත්තුවක්ම මේ අවුරුද්දේදී ඉටුවන, කිසිම හිතක් තවත් කෙනකු නිසා රිදෙන්නේ නැති, ජීවිතයට එන හැම අභියෝගයකටම සාර්ථකව මුහණ දෙන්න හැකියාව ලැබෙන වාසනාවන්ත වසරක් මගේ ආදරණීය මිනිසුන්ට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

I අනුරාධා එදිරිසිංහ

 

නොබෙඳුණු දේශයක් මගේ පැතුමයි

නොබෙඳුණු, ඒකීය රාජ්‍යයක් බිහිවෙන යහපත් රටක් බිහිවෙන්න පුළුවන් වාතාවරණයක් බිහිවෙන වසරක් මෙන්ම මේ මොහොතේ මිනිසුන්ගේ හිත්වල ඇතිවන දැඩි අරගලයෙන් මිදිලා සමෘද්ධිමත් සාමය සපිරි නොබෙඳුණු දේශයක් බිහිවේවායි කියලා මම දේශය තුළින් ප්‍රාර්ථනා කරනවා.

I සුදත් රෝහණ

 

ඉන්නකම් සතුටින් ඉමු

සතුටින් සාමයෙන් ජීවත් වෙන, තරහා වුණ අයට සමාව දෙන ප්‍රීතිමත් වාසනාවන්ත වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කිසිම දවසක කිසිම හිතකට වෛරයක් ක්‍රෝධයක් ඇති නොවේවා. ජීවිතේ කියන්නේ බොහෝම පොඩි කාලයක් රැඳෙන බොහෝම සරල දෙයක්. ඒ සරල ජීවිතේ තරහා හිතේ පීඩනය කුහකකම් තියාගන්නේ නැතිව හැමෝම සතුටින් මුළු කාලය ගත කරන්න පුළුවන් වසරක් වෙන්න 2019 පුරාවට ඉඩ ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

I නිරංජනී ශන්මුගරාජා

 

මානසික ආතතින් නැති සැනසිලිදායක වරසක් වේවා!

ලැබුවා වූ නව වසර සියලුම මනුෂ්‍යයාට පමණක් නොව සියලුම ප්‍රාණීන්ට සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මිනිසුන්ට මානසික ආතතියෙන් තොරව සැනසිලිදායක මනසකින් ජීවිතයට මුහුණ දිය හැකි නව වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

I ජයන්ත චන්ද්‍රසිරි

 

හිත් රිදීම් දරාගන්න හයිය ලැබේවා!

කිසිම කලබලයක් නැති හැමෝගෙම හිත සතුටින් පිරෙන, බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවායි මම පතනවා. ජීවිතයට අභියෝග ඒවි. ජීවිතයට හිත් රිදීම් ඒවි. ඒ  හැමටම මුහුණ දෙන්න පුළුවන් හිතේ හයිය ඇතිවෙන සුබම සුබ වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

I ශලනි තාරකා

 

හිත් නොරිදේවා! සතුට රැඳේවා!

මේ ලැබුවා වූ 2019 වසර වාසනාවන්ත සුභම සුභ වසරක් වේවා. කාගෙවත් හිත් නොරිදෙන, හැමදාමත් හිතේ සතුට ජීවත් වෙන සුන්දර වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

I දිනෙත් ද සිල්වා

 

Text - Dishani   /   Pic - Sumudu & Internet