2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

රජ මැඳුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 873

රජ මැඳුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඬවන සිල්ලර රසකැවිලි...
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මඟ දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..

ඉඳහිට මොලවන ළිපත් දනී පුත කැඳ රස සුනු සහලේ...
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ...
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..

ගායනය  - මාලනී බුලත්සිංහල
සංගීතය  - එච්. එම්. ජයවර්ධන
පද රචනය - ලූෂන් බුලත්සිංහල

ඇහෙන් ගලා හැලුණා හදවත බිමට 

ඔව්... ඇහෙන් ගලා හැලුණා හදවත බිමට...

හැම දුකක්ම.. හැම වේදනාවක්ම... හැම සන්තාපයක්ම... කඳුළක් වී ඇහින් වැටුණු දා... ඇහෙන් ගලා හැලුණා හදවත බිමට..

හදවත දියවී ඇහෙන් ගලා හැලෙන සංවේදීත්වයක් ඔබත් සතුයැයි මට හැඟෙන හෙයින් නොකියා තවත් කිසිවක්ම... ඔබටත් කියවන්නටයැයි මම කියමි මේ කවි පද....

පාන්දර පුතා මට කියූ විදියට 
බොහෝ දුර ඇවිත් නැග පුතුගෙ රථයට 
නතර කර පසුව නගරෙක ගසක් යට 
හුස්ම හිරවුණත් පෙන්නුවෙ නෑ පිටට 

පුත නුඹ වඩාගෙන මම ඉස්සර දිනෙක 
ගමනක මහන්සිය හැරගන්නට රැයෙක 
නැවතුණ මෙතන මේ ගස හොඳ හැටි මතක 
මෙතනට මාව ගෙන ඒමම පුදුමයෙක 

ඉතින් පුතේ නුඹ බිහිවූ දිනේ සිට 
ඇතින්නියකගේ හදකින් ලද පෙමට 
ගිහින් එමි කියාවත් නොකිය යන විට 
ඇහෙන් ගලා හැලුණා හදවත බිමට 

අතේ තියපු රුපියල් දාහ හරි බර 
හිතේ සවිය ගෙන ඉමි දෑස් ගුලිකර 
රතේ පදිද්දී කලබලයකින් තොර 
පුතේ පරිස්සම් වී පලයන් ගෙදර 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කවිය තුළ ජීවත් වන ඒ අම්මාගේ හදවත කියවන්නට මම ඔබට බාර කරමි. හුස්මක් හුස්මක් ගානේ ලියලන දළුලන මෝරන අම්මාගේ ස්නේහයට... දරුවන්ගේ කඳුළු අස ඇස් කඳුළට බර කර උන්ගේ දුක් පිරිපත වෙනුවෙන් මහා කන්දක් සේ නැගී හිඳින අම්මාවරුන්ගේ ඉන්ද්‍රඛීල ශක්තියට මේ අහස පොළොව අතර මම උපමා රූපක සංකේත ප්‍රකාශන නොසොයමි. ලා මනින්නට තුලාවක් නොසොයමි. පුතුන්ගේ බඩගිනි නොනිවුණේයැයි දැනුණු කලෙක තම පතට බෙදා ගත් බත් පතේ සුදු බත් ඇට ටික පුතුන්ගේ පතට බැර කර දන්කුඩේ රස දොසක් නොකියාම වින්ද ඈත නාගොල්ලාගම ගමේ පුංචි ගෙදර මගේ අම්මාගේ පටන් අම්මාවරැන් වූ අම්මාවරුන්ගේ මල් සුවඳ මෙතකැයි මෙපමණයැයි මම නොකියමි. කියන්නට තබා සිතන්නටවත් නොදන්නා හෙයින් නොකියමි. නොවෙහෙසෙමි.

හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..
පුතුන් දකින... දූවරුන් ඉල්ලන සුරංගනා ලෝකය උන් අබියස මවන්නට උන්ට අවැසි අරුමෝසම් මිලට ගෙනත් දෙන්නට හයියක් නැති දුකට නෙතින් නොව හදින් හඬන අම්මාවරැන්ට ඉකිබිඳුම හසරුල්ලක සිරකරන්නට බැරිම මොහොතකි මේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ 

කටු මැටි ගෙපැලේ වැරහැලි දුප්පත්කම තුළ අත්පත් කරගත නොහැකි පොහොසත්කම් හීනෙන් පෙනි පෙනී හීනෙන්ම හිනාවෙන පුතුන්ගේ ඒ හිනාව අම්මගේ පපුව හෝස් ගා අවුළුවයි.

පුතේ උඹේ දුක මට කියලා මාව හඬවපන්. ඒ හැඬුම මිහිරක් නුඹ සිහිනෙන් සලන සිනහවට වැඩියෙන්... ඒ ලූෂන් බුලත්සිංහල ගී පද රචකයා දුටු අම්මාය.

රජ මැදුරක ඉපදී සිටියානම් 
නුඹත් රජෙකි පුතුනේ 
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි 
අද නුඹ සිරි යහනේ 
හීනෙන් හිනා නොවී 
මා හඬවාපන් මේ රෑ යාමේ 

පුතුන් රජුන් වූයේත් පුතුන් සිඟන පැටවු වූයේත් සමාජ යාන්ත්‍රණයේ ආර්ථික දේශපාලනික රටාවන් විසින් බවද මේ කියන්නේ?

පුතේ රජ මැදුරක... ඉසුරු පිරි තැනෙක... උපන්නනම් උඹත් රජ පැටියෙක්... එසේ කියන අම්මා වචනයට නොනගන චිත්ත සන්තානය තුළ මෙවන් සිතුවිල්ලක් පැල කරතැයි මට සිතේ.
පුතේ පැලක ඉපදුණු උඹ රජෙක් වෙච්ච දවසට රජ මැඳුරක ඉපදුණු නිසා රජෙක් වෙච්ච පුතුන්ට නොදෙන ආදරණීය නමස්කාරයක් නුඹ හඳුනාගන්නා උන් උඹට දෙයි මගෙ පුතේ... දුප්පත්කම් එක්ක ඔට්ටු වෙන්න මහ පොළොවත් එක්ක අරගල කරපු උඹේ අතේ ගොරෝසුවට නැගුණු කරගැට මල් හෙට උඹේ අත්ල මත සියක් දහසක් මල් පුබුදුවයි මගෙ පුතේ....

අද දවසේ සෙල්ලමට කොස් කොළ ඔටුණු පැළඳ මේ පුංචි පැලේ රජ වෙච්ච නුඹ මතු යම් දවසක හොඳින් ශිල්ප දැන සාර සිප් බලෙන් ජීවිතය දිනූ  සඳ පුතේ නුඹම මිස වෙන කවුරුන්ද මගෙ රජු..

ඒ අම්මාගේ සිතුවිලි ලෝකය මම එලෙසින් කියවමි.
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි 
අද නුඹ සිරියහනේ

අලුතින් පොල් අතු හෙවිල්ලන්නටවත් වත්කමක් නැති නැති බැරිකම හිරිකඩෙන් පුතු සිරුර තෙමද්දී.. පුතු සීතලෙන් ඉරුණු අම්මාගේ දැලි කුණු ඉඳුල් සුවඳ ගෑවුණු චීත්ත කඩමාල්ලට ගුලිවෙද්දී.... අම්මාගේ ළය පැලී වාං දමන්නේ වේදනාවෙන් කැලතුණු ස්නේහයක්ම මිස අන් කවරක්ද?

පුතු හීනෙන් හිනා වෙන්නේ ඇයි? ඒ හිනාවට හේතුව අම්මා දනියි.

පුංචි පැටික්කන් මඟ දිග හඬවන සිල්ලර රස කැවිලි... අරන් දෙන්නට කෝ කාසි නෝට්ටු.. දුප්පත්කම පුංචි කමට තේරුම්ගත් පුතු අම්මේ මට ඒවා ඕනෑයැයි නොඉල්ලුවත් පුතුන් සිත් නොදැනෙන අම්මාවරුන් කොයිබින්ද?

දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී 
අහක බලාගෙන මඟ දිග යන විට නෑ මට වාවන්නේ... 

සෙල්ලම් බඩු.. පුංචි පැටවුන්ගේ ලෝකයේ ආදරණීයම වස්තුවකි. ඒ විසිතුරු සෙල්ලම් බඩු සෙයිලමේ වීදි දිග ඇස ගැටෙන විට නෙත් කොණින් එදෙස බලා අහක බලන පුතු දෑස් අම්මා දකියි. ඉල්ලා හැඬුවනම් අරන් දෙන්නට බැරි අසරණකම ළඟ දැනෙනවටත් වඩා දුකක් අම්මාට දැනෙන්නේ දුප්පත්කමේ හැඩරුව පුංචිකමට දැන හඳුනාගෙන ඒ දෙස හොරැහින් බලා අහක බලන පුතු දෑස් දුටු විටය.
ඉඳ හිට මොලවන ළිපත් දනී පුත කැඳ රස සුනු සහලේ 

ඉඳ හිට මොලවන ළිප -ඒ ඔවුන්ගේ දුප්පත්කම කොතෙක්ද යන්න දෙන ඉඟියකි .තුන් වේල සරි කරන්නට බත් මුට්ටි වෙනුවෙන් තබා අල බතල රොටී වෙනුවෙන්වත් ඒ ළිප ගිනි නොඇවිලෙයි .

සුනු සහලේ - කුල්ලෙන් පෙලූ විට අවසානයේ ඉතුරු වෙන කැඩී ගිය හාල් ටික හූසල - සුනු සහල - ඒ සුනු සහලත් ගෙදරක අත් උදව්වකට ගොස් ලැබුණක් විය හැක. ලුණුත් වතුරත් එක්කොට ඒ සුනු සහලෙන් හැදෙන කැඳ මුට්ටි කටෙන් උතුරා ළිපේ ගින්දර මතත් දැවටෙයි. කෝප්පයට පෙරා ගන්න විට ළිප මතටත් බින්දුවක් දෙකක් වැටෙයි. ඒ ලුණු කැඳ රස මිස ළිප මතට වැටෙන වෙන රස බොජුනක රසක් නැත. ළිපටත් ආගන්තුක නොවන ඒ රස පුතු දිව ගාන්නේ රජ බොජුනක් සේය.

මේ ගීතය තුළ ලූෂන් ජීවත් කරවන්නේ පාට හේදුණු දුප්පත්කමේ හැඩ රුව මැනවින් හඳුනාගත් දරුවෙකි.

ඇල්මෙන් අකුරට දිව යන්නේ දුප්පත්කමේ කටු ඔටුණු පසෙක තබා රන් ඔටුණු පළදින්නට මඟ කියන්නේ සාර සිප් පමණක්ම බව පුතු දනී. ගත දවටන්නට පුතු අලුත් සුවඳ දැවටුණු ඇඳුම් ආයිත්තම් නොඉල්ලයි. බොර පැහැ ගැහුණු එකම කමිසය කලිසම රිදවන්නේ පුතු සිත නොව මවු සිතය.

ඇඳලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ 
ගත දවටන්නට අලුත් ඇඳුම් කොහෙන්ද? පිටුපසත් ඉරී ගිය බොත්තම් කැඩී ගිය අණ්ඩ දැමූ පාටක් හඳුනාගන්න නොහැකි තරමට පාට වියැකුණු ඇඳුම් කඩමාලු ඇරෙන්නට අලුත් ඇඳුම් ඒ දරුවට නැත.

පුතුන් දුක දකින අම්මාවරුන්ගේ සිත් වෙඬරු පිඬු සෙයින් දියවෙයි. ඒ අම්මාවරුන්ගේ හැටිය.

සියලු දුක් නැතිබැරිකම් සුරංගනා සිතුම් පැතුම් යටපත් කොටගෙන ළය මඬලේ සිරකරගෙන සිටියත් අවිඥානික රෑ නින්දේදී ඒ ළපටි කැකුළු හිතේ ප්‍රකෘතිය ඇහැරෙයි.

සිහිනයෙන් හිනාවෙන්නේ ඇහැරෙන ඒ සිතය.

ඒ සිනහව ළඟ ඉකිලන්නේ ළයක රතු ලෙය කිරක් කළ ස්නේහයක උත්තරීතරත්වයම මිස අන් කවරක්ද?

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර