2018 අප්‍රේල් 13 වන සිකුරාදා

පන්ජාරම් විට්ට - නඬන්ද කුන්ජු - අම්මයි දුවයි ගිය දුරක්

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 336

පසුගිය දෙසතියේ ලොව වැඩියෙන්ම හුවමාරු වූ වීඩියෝවකි මේ.

හබුන් කටයි බත් දෙකටයි පුංචි පුතා ඔක්කොම කයි. එහෙම කිව්වේ අම්මා. හබුන් දෙකයි බත් කටයි පුතා නෑ කන්නේ. එහෙම කිව්වේ අවුරුදු තුන හමාරක් වෙන පුංචි පුතෙක්. අම්මා තමන් දන්න දේ දිගටම තමන්ගේ පුංචි පුතාට කියලා දෙන්නේ එයා වැරදි දෙයක් කියන හින්දයි. ඒත් පුංචි පුතත් ලේසියෙන් තමන් වැරදි බව පිළිගන්න හදන්නේ නැහැ. ඔහු කියන්නෙම තමන් කිව්ව දේමයි. මේ අම්මාගේ නම අපර්ණා. පුතාගේ නම අංශුමාන්. අම්මටනම් හරිම හිනා. පුංචි පුතා හුරතල් වචනවලින් වරද්දල කියද්දී. 

මේකත් වීඩියෝ කරලා යූ ටියුබ් දැම්මනම් සමහරවිට මේ දවස්වල තියෙන රෙකෝර්ඩ් එක කඩන්නත් ඉඩ තිබුණා. මම මේ කතාව කිව්වේ මේ දවස්වල සමාජ මාධ්‍යවල ඉතාම වේගයෙන් සංසරණය වෙන වීඩියෝවක් ගැන කියන්නයි. මම කිව්ව කතාවේ වගේ මේ කියන්න හදන කතාවේ අම්මා නම් හිනා වෙන්නේ නැහැ. පුංචි දරුවෙක් දෙයක් වරද්දද්දී දෙයක් කියලා දෙන්න වැඩිහිටියෝ මුලින් උත්සාහ ගත්තත් ටික වෙලාවක් යද්දී ඔවුන්ටම අමතක වෙලා ඔවුන් කේන්ති ගන්නවා ඔබත් මම වගේ ඕන තරම් දැකලා ඇති කියලා හිතනවා. 

සමහරවිට ඔබත් මම මේ කියන වීඩියෝව නරඹලා විනෝදයක් ලබන්නට ඇති අපි වගේම.  
පන්ජාරම් විට්ට නඬන්ද කුන්ජු. මේ වචන ටික දැක්ක ගමන් ඔබටත් ඒ අම්මා කෙනෙක් තමන්ගේ දියණියට මේ වචන ටික නිවැරදිව කියලා දෙන්න උත්සාහ කරන අපූරූ වීඩියෝව මතක් වෙන්න ඇති. මුලින් මුලින් ආදරෙන් කියා දෙන්න අම්මට තමන්ගේ දුව වරද්දද්දී ටිකෙන් ටික කේන්ති යන බව තමයි මේ වීඩියෝ එකෙන්නම් පේන්නේ. භාෂාව නොතේරුණත් භාෂාව උපදින්නට පෙර වචන නොදන්න කාලයේ මානවයා ගනුදෙනු කළේ හැඟීම්වලින් නිසා අපිටත් මේ වීඩියෝව දකිද්දී හිනා යන එකනම් නවත්තගන්න බැහැ. 

මේ අපිට නුපුරුදු හාෂාවකින් කතා කරන මේ අම්මා කවුද? ඇය කතා කරන්නේ මොන භාෂාවකින්ද කියන එකත් ඔබ මේ වීඩියෝව නරඹද්දී දැනගන්න හිතුවනම් මෙන්න අපි ඔබට ඒ ගැන කියනවා. ඇය නමින් ගයත‍්‍රී අරුන්. ඇය කතා කරන්නේ මලයාලම් භාෂාව. ගයත‍්‍රි රංගන ශිල්පිනියක්. මේ දවස්වල ඇය රංගනයෙන් දායක වෙලා තියෙන පරස්පරම් කියන මලයාලම් නාට්‍ය ඉන්දියාවේ ජනප‍්‍රිය ටෙලි සිතුවමක්. කේරලේ ජීවත්වෙන තරුණියක් පොලිස් නිලධාරිනියක් වෙන්න උත්සාහ කරන කතාවක් ගැන තමයි පරස්පරම් කියන ටෙලි සිතුවමෙන් කියවෙන්නේ. ගයත‍්‍රී මෙගා ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වන දෙදරු මවක්. ඇයට පුතෙක් සහ දියණියක් සිටිනවා. මේ විඩියෝ එකේ ඉන්නේ ඇයගේ දුව කල්ලූ.

ගයත‍්‍රි ඔය තමන්ගේ දුවට කියලා දෙන්නේ කවියක්. පන්ජාරම් ඒ කියන්නේ ගමින් ගමට ඇවිද යන ජිප්සිලා එහෙම නැත්නම් අහිකුන්ඨිකයා කියන අර්ථය දෙන වචනයක්. කුන්ජු කියන්නෙ පැටියට,කුඩා දරුවට. මේ කුඩා දරුවා ගමකින් ගමකට ඇවිද යමින් මිනිස්සුන්ට සීනි බෙදුවා කියන එකයි මේ කවියේ තේරුම වෙන්නේ. මේ පන්ජාරම් විට්ට නඬන්ද කුන්ජු කියන ගයත‍්‍රිගේ විඩියෝව අන්තර්ජාලයට යූ ටියුබ් එකට දාලා මාසයක් පමණ වෙනවා. මේතරම් ඒක ජනප‍්‍රිය වෙයි කියලා ගයත‍්‍රිවත් ඒ වීඩියෝ එක දමන වෙලාවේ හිතන්න නැතුව ඇති. මේ වෙනකොට මේ විඩියෝව තුන් ලක්ෂ අනූ හයදහස් හයසීය පනස් එකක් (2018 අප්‍රේල් 03 අඟහරැවාදා) වෙද්දී නරඹලා තියෙනවා. රංගන ශිල්පියෙක් කියලා අපිට ගයත‍්‍රිව දැන ගන්න ලැබුණෙත් මේ වීඩියෝව නිසා අද වනවිට සමාජ මාධ්‍ය කොතරම් ප‍්‍රබලද කියන එක අපිට හිතන්න වෙන කරුණක්. මේ විඩියෝව ගයත‍්‍රිගේ නිර්මාණයක් නම් නෙවෙයි. ඇය වෙනත් කෙනෙක් මේ ආකාරයට තමන්ගේ දරුවට කවිය කියා දෙදී වරද්ද වරද්දා එය දරුවා කියන වීඩියෝවක් අන්තර්ජාලයේ තියෙනවා දැකලා ඩෆ් මාස්ටර් කියලා ජනප‍්‍රිය ක‍්‍රමවේදයට සකසලා තමන්ගේ වීඩියෝව අන්තරජාලයට මුදා හැරලා තියෙනවා. ඉතින් බලන්නකෝ ඒ කළ වැඩෙන් ගයත‍්‍රියි එයාගේ දුවයි ගිය දුරක්. අම්මයි දුවයි දෙන්නා එක්ක රඟපාලනේ. අම්මට වඩා දුව දක්ෂ නිළියක් වෙයි වගේ නේද? අපිත් එයාව දැනගත්තේ ඔය වැඩේ හින්දා කිව්වොතින් ඔබ මාත් එක්ක උරණ නොවනු ඇති කියල හිතනවා. ඔයින් ගියාම සමාජ මාධ්‍යත් නරකම නැහැ වගේම ඩෆ් මාස්ටර් ක‍්‍රමවේදෙත් නරකම නැහැ කියලා මට වගේම ඔබටත් හිතේවි නේද?
 

► Translation — Chandana Waravitage