2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අපේ මඟුල හුඟක් අයට කී‍වෙ නෑ

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 201

අයිෂ්... මොකද මේ එකපාරටම වෙඩින් එකක් අරගෙන විවාහ වුණේ..?
අනේ... එහෙම එකපාරටම විවාහ වුණේ නෑ. මට හොඳ කෙනා ලැබුණා. ඉතින්... අපි දෙන්නා හිතුවා මේ කාලේ දී විවාහ වෙන එක හොඳයි කියලා. 

තීක්ෂණව මුණගැහුණේ කොහොමද..?
අපි දෙන්නා මුණගැහුණේ එක්තරා උත්සවයකදී. ඒ මීට අවුරුදු කිහිපයකට උඩදී. ඉතින්.. ඒ මුණගැහීමේදී අපි හොඳ යාළුවෝ වුණා. අවුරුදු කීපයක් ඒ යාළුකම තිබුණා.

ඒ යාළුකම ටික කාලයක් ගියාට පස්සෙ ආදරයක් වුණානෙ.. තීක්ෂණට ආදරය කරන්න ඔය හිත නැවතුණු සුවිශේෂී හේතුව මොකක්ද..?
එයා මාව හොඳටම තේරුම්ගත්තා. මම ජීවත්වෙන විදිහට එයා කැමතියි. ඒ කාලය තුළ දී එයා මා ගැන හොයලා බැලුවා. හැබැයි කවදාවත් මගේ ජීවිතයට අනවශ්‍ය ඇඟිලි විදිහට  ගැහුවේ නෑ. මගේ වැඩවලට එයාගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. ඉතින්... මම හිතුවා මගේ ජීවිතේ නතරවෙන්න සුවිශේෂී තැන එතනයි කියලා. මම හිතන්නෙ මම ඒ ගත්තු තීරණය හරි කියලයි.

තීක්ෂණ වැඩිපුරම හිටියෙ විදෙස්ගතවෙලයි. එහෙම නේද..?
ඔව්.. තීක්ෂණ විදෙස්ගතවෙලා රැකියාවක් කරනවා. එයා නිවාඩුවට ලංකාවට ආපු ගමනක දී තමයි එක දවසක් මාව මුණගැහුණේ. වෙඩින් එකට දින කීපයකට කලින් තමයි තීක්ෂණ ලංකාවට ආවේ. ඉතින් ආයෙමත් තීක්ෂණ විදෙස්ගත වෙනවා. 

ඒ ගමනට අයිෂ් එහෙමත් යනවනෙ... දැන් දිගටම දෙන්නම විදේශ රටක ජීවත් වෙන්නද කල්පනාව...?
නෑ... නෑ.. මම බාරගත්ත වැඩ කොටසක්ම තව කරන්න තියෙනවා. 

එතකොට බාරගත්තු වැඩ ටික ඉවරවුණාට පස්සෙ අයිෂ් ආයෙත් වැඩ බාරගන්නෙ නැද්ද.. තව ටික කාලයකින් අයිෂ් රඟපෑමෙන් ඉවත් වෙයිද..?
නෑ... එහෙම වෙන්නෙ නෑ. මම ආසයි රඟපාන්න. ඉතින් තීක්ෂණත් දන්නවා මම රඟපාන්න ආසයි කියලා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ. ඉදිරියේදීත් මම රඟපානවා. 

ඒ කියන්නෙ තීක්ෂණගෙන් තහනමක් නැහැ නේද...? (අපි ඒ ප්‍රශ්නය ඇහුවේ නම් අයිෂ්ගෙන් නෙමේ... තීක්ෂණගෙන්. මෙච්චර වෙලා අයිෂ් කියන දේ ළඟට වෙලා අහගෙන හිටපු තීක්ෂණ ඒ ප්‍රශ්නයට දුන්නෙ මෙන්න මෙහෙම පිළිතුරක්..)
අනේ නෑ... මගේ එහෙම තහනමක් නෑ. අයිෂ්ට හොඳ හැකියාවක් තියෙනවා. ඉතින්... ඒ හැකියාවට මම තහංචි දාන්නෙ නෑ. එයා කැමති නිර්මාණයකට දායක වෙන්න එයාට මගෙන් කිසිම තහනමක් නෑ. එයාට ජීවිතේ යන්න තියෙන ගමන යන්න මම එයාට උදවු කරනවා. 

තීක්ෂණ.. අයිෂ් රඟපෑව නිර්මාණ දැකලා තියෙනවද..?
ඔව්.. මම එයා රඟපෑව නිර්මාණ කිහිපයක්ම බලලා තියෙනවා. එයා මාව වේදිකා නාට්‍ය බලන්න එක්කගෙන ගිහිනුත් තියෙනවා. 

අයිෂ් නිළියක් කියලා තීක්ෂණ දැනගෙන හිටියද..?
ම්... මුණගැහුණ මුල්ම දවසේ මම එයා එක්ක කතා කළේ එයා නිළියක් කියලා එහෙම දැනගෙන නෙමේ.

අයිෂ්ට ආදරය කරන්න හිතුණෙ ඇයි..?
අයිෂ් එක්ක කතාබහ කරද්දි මම එයාගෙ ගතිගුණවලට ආස කළා. අපි දෙන්නා අතරේ ප්‍රසිද්ධියේ සම්බන්ධතාවයක් තිබුණේ නෑ. එයා ගොඩක් හොඳ කෙනෙක්. පෞද්ගලික ජීවිතේට අවශ්‍ය කරන තෝරාගැනීම අපි ළඟ තිබුණා. ඉතින්... එයා එක්ක කතා කරද්දි අපි දෙන්නට දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා අපි දෙන්නටම හිතුණා. එයාට දෙන්න පුළුවන් රුකවරණය, උදවු හැමදෙයක්ම මම දෙන්න සූදානම් නිසා තමයි මම එයාට ආදරය කරන්න පටන් ගත්තේ. මම අයිෂ්ව මුණගැහුණට පස්සෙ නිතර නිතර ලංකාවට ආවා. ඉතින් ඒ ආවම අපි මුණගැහුණා. කතාබහ කළා. ඉතින් අපි දෙන්නම අපේ විවාහයට සුදුසුම කාලය මේක කියලා තීරණය කළා. අයිෂ් පෞද්ගලික ජීවිතයට හරි ආදරෙයි. මාත් එහෙමයි. ඒක තමයි දිගු ගමනක් යන්නට පුළුවන් ලොකුම දේ වෙන්නෙ. අපි එකිනෙකාට ආදරේ කරනවා.

ඔයා හිටියෙ විදෙස්ගත වෙලානෙ. කොහොමද වෙඩින් එක ප්ලෑන් කළේ..?
මම සැරෙන් සැරේට ලංකාවට ආවා. ඒ ඇවිත් අපි දෙන්නා එකතුවෙලා හැමදෙයක්ම සැලසුම් කළා. වෙඩින් එකටත් සති ගාණකට මම ලංකාවට ආවා. ඒ වගේම අපි දෙන්නට අපේ යාළුවො උදවු කළා. ඒ අතරේ අපි දෙන්නට අභියෝගත් තිබ්බා. ඒ හැමදෙයක්ම එක්ක අපි දෙන්නා හොඳ චාම් වෙඩින් එකක් ගත්තා.

අයිෂ්.. කලා ලොවේ බොහෝ අය තමන්ගෙ වෙඩින් එක මහ ඉහළින් සමරනවා. හැබැයි අයිෂ් එහෙම මහ ඉහළින් උත්සවයක් ගත්තෙ නෑ.. ඇයි ඒ..?
ඔව්.. කාලයක් තිස්සෙ මට ඕන වුණේ එහෙම වෙඩින් එකක් තමයි. අපේ වෙඩින් එකට හිටියේ අපි දෙන්නගෙ නෑදෑයෝ පිරිසකුයි, අපේ යාළුවොයි තමයි. ඒ අතරින් අපේ කලා ලොවේ අධ්‍යක්ෂකවරු කීපදෙනෙකුටත් අපි වෙඩින් එකට ආරාධනා කළා. බොහෝ කලාකරුවන්, කලාකාරියන්ට අපිට ආරාධනා කරන්න බැරි වුණා. ඉතින්.. අපේ වෙඩින් එක කිව්වේ නැතිවුණාට තරහ වෙන්නනම් එපා.  

අයිෂ්.. දැන් හොඳට රසට උයන්න පුළුවන්ද..?
ඔව්.. ඔව්.. මට හොඳට උයන්න පුළුවන්. (එහෙම කියලා අයිෂ් බැලුවේ තීක්ෂණ දිහා. ඉතින්.. තීක්ෂණගේ හිනාවෙන් ඒ දේ ඇත්ත කියලනම් හිතුණා) ඔව්.. මායි මල්ලියි ලන්ඩන්වල ඉඳිද්දි මම තමයි ඉව්වේ. ඒ නිසා මට හොඳට උයන්න පුළුවන්.

අයිෂ්.. මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු...?
කලාව පැත්තෙන් හොඳ නිර්මාණවලට දායක වෙන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම තීක්ෂණයි මායි හොඳ පවුල් ජීවිතයක් ගත කරමින් සතුටින් ආදරෙන් මේ ජීවිතය පුරාවටම ඉන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. අපි දෙන්නට දෙන්නගේ තේරුම් ගැනීම තියෙනවා. අපි දෙන්නට අපේ ගමන එකට යන්න අවශ්‍ය ආදරය, රැකවරණය තීක්ෂණගෙන් මට ලැබෙනවා.

► Text -Dishani /  Pic - Sumudu