2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මගේ ගීත ගැයුවට කමක් නෑ ඒවා විකුණගෙන කන්න එපා

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

මායා... අපි ඔයාගේ පුංචි කාලේ ඉඳන්ම මේ කතාබහ පටන්ගමු නේද...?ඊට පස්සේ ඔබේ පාසලත් වෙනස් වෙන්න ඇති නේද...?

ඔව්... බදුල්ලට වගේම උසස් බාලිකාවටත් මම ආයුබෝවන් කිව්වා. ඊට පස්සේ අපේ තාත්තා මාව මොණරාගල මහානාම විද්‍යාලයට ඇතුළත් කළා. මහානාම විද්‍යාලයේදී තමයි මම ගොඩාක්ම සංගීත ක්ෂේත්‍රයට අඩිතාලම තිබ්බේ.

මායාගේ පවුලේ සාමාජිකයෝ ටිකක් වැඩියි නේද...?
ඔව්... ඇත්ත... අපේ පවුලේ දොළොස් දෙනෙක් ඉන්නවා. ගෑනු ළමයි හතයි. පිරිමි ළමයි පහයි. එතකොට අම්මා තාත්තා එක්ක ඔක්කොම දාහතර දෙනෙක්. ඒ කාලේ හරිම ෂෝක්. අනෝජා නංගියි, මායි තමයි පවුලේ එකළඟ ඉපදුණේ. ඉතින් අපි දෙන්නා රණ්ඩු වෙනවා. යාළුවෙනවා... ඉස්කෝලේ යන්නේ, කන්නේ බොන්නේ හැම දෙයක්ම එකටයි කරන්නේ. ඒ වගේ කුඩා කාලය හරිම සුන්දර කාලයක්. මොණරාගල ඒ විශාල වත්තේ අපි දුවපු තරමක් වැටිලා කකුල් ලෙලි ගිහින් ලේ ගලනවා. ඒත්... සමහර දවස්වලට අපි සෙල්ලම නවත්තන්නේ නෑ. පවුලේ දොළොස් දෙනෙක් නිසා ගෙදර එකම ලෝකයක්. මම රෑට නිදාගන්නේ ලොකු අක්කා ශාන්ති එක්කයි. අනෝජා නංගී නිදාගන්නේ දෙවැනි අක්කා වුණු ඉන්ද්‍රාණි එක්කයි. ඒ දෙන්නා හරිම තැන්පත්. නිදාගත් විදිහට උදේටත් ඇඳේ ඉන්නවා. මායි ලොකු අක්කයි එහෙම නෙමේ. මේ පැත්තේ රෑට නිදාගත්තොත් උදේට නැගිටිද්දී ඔළුව තියෙන්නේ ඇඳේ අනිත් පැත්තෙන්. රෑට හරියට අපි දෙන්නා දඟලනවා. මම වගේ දඟ නෑ. සමහර දවසට මායි ලොකු අක්කයි ඇඳේ දඟලලා ඇඳෙන් වැටිලත් තියෙනවා.

ඉස්කෝලේ යන කාලේදීම කලා හැකියාව තිබුණ ද...?
ඔව්... මොණරාගල මහානාම විද්‍යාලයේදී තමයි මම කලාවට යොමුවුණේ. ඒ කාලේ යෝගානන්දන් බාලසූරිය සර් යටතේ මම සංගීතය ඉගෙනගත්තා. ඒ කාලේ මම එච්.ආර්.ජේ. එක වාදනය කරන්න ඉගෙනගත්තා. ඉතින් ඒ සර් මම වාදක භාණ්ඩ ගෙදර ගෙනියන්නත් දෙනවා. ඒකාලේ මම පාසලෙත් සහභාගි වුණු සමස්ත ලංකා ගීත තරගාවලින් ජයග්‍රහණ ලබාගත්තා.

පාසලේදී සංගීතයට විතර ද යොමුවුණේ...?
නෑ... නෑ... යගුලිය, කවපෙත්ත වගේ ඉසව්වලට ඉස්කෝලේ යන කාලේදී මම ඉතාම දක්ෂයි. ඉතින් සමහර දවස්වල අපි ඉස්කෝලේ පන්තිවල ඉගෙන ගන්නට වඩා හිටියේ පිට්ටනියේ. ඒවගේම හරිම සුන්දර කාලයක් මම ගත කළා.

ඊට පස්සේ ද ඔබ අමරා රණතුංග ගුරුතුමිය යටතේ සංගීතය හැදෑරුවේ...?
ඔව්... මම අමරා රණතුංග ගුරුතුමියගෙන් සංගීතය වැඩිදුර ඉගෙන ගත්තා. එතුමිය මගේ දක්ෂතා දැකලා මට සංගීතය වැඩිදුර ඉගැන්වූවා. ඊට පස්සේ මම ඩී. වික්ටර් පෙරේරා ගුරැතුමා යටතේ සංගීතය හදාරලා විශාරදය දක්වා සංගීතය කළා. මේ වෙනකොට මම සංගීත නිපුන් ප්‍රථම අදියරයත් කළා.

පුංචි කාලේ ආසාවෙන් හිටියේ කවුරු වෙන්නද...?
මගේ පොඩි කාලේ තිබණු ලොකුම හීනය තමයි ගායිකාවක් වීම. ඒක පුංචි කාලේ ඉඳන් තිබිච්චි හීනයක්. මට හොඳට නර්තනයත් පුළුවන්. ඉස්කෝලේ නර්තන තරගවලට සහභාගී වෙලා මම තෑගිත් අරගෙන තියෙනවා. අපේ තාත්තාටයි අම්මටයි හොඳට සින්දු කියන්න පුළුවන්. තාත්තා වැඩ ඇරිලා ආවට පස්සේ හවස් වරුවේ අපි දොළොස් දෙනාවම වටකරගෙන සින්දු කියනවා. තාත්තටත් හොඳට රඟපාන්න පුළුවන්. මම හිතන්නේ අනෝජා නංගිටයි, මටයි ලැබුණු හැකියාවන්වලට මුල් වුණේ ඒ තාත්තාගේ හැකියාවන් වෙන්න ඇති. ඒ දවස්වල අපි ඔක්කොම එකතු වුණාම පාටි තමයි.

මායා බොහෝ ජනප්‍රිය වුණේ පසුබිම් ගායිකාවක් විදිහට... එහෙම නේද...?
ඔව්... ඇත්තට ඒ ගැන කතා කරද්දී මගේ ආදරණීය සැමියා වික්ටර් විජයන්ත මතක් කරන්නම ඕනේ. එයා තමයි මේ හැමදේකදීම මගේ හෙවනැල්ල වුණේ.

කොහොමද ඒ මුණගැසීම...?
අමරා මිස්ගෙන් ඉගෙන ගනිද්දී “සාරංගා කියන ගී ප්‍රසංගය තිබුණා. ඒකේ අත්වැල් ගායනයට මාත් ගියා. ඒකේදී වික්ටර් වාදක මණ්ඩලයට ඇවිත් හිටියා. වික්ටර් හොඳ වාදකයෙක් වගේම හොඳ ගායකයෙක්. ජීවන් කුමාරණතුංග, සනත් ගුණතිලක, රන්ජන් රාමනායක වගේ බොහෝ දෙනෙක්ට පසුබිම් ගායන කළේ වික්ටර්. ඉතින් “සාරංගා ප්‍රසංගයේදී අපි මුණගැහුණා. ඒ මුණගැහීමත් එක්ක අපි කතාබහ කළා. එක දවසක් වික්ටර්  මගෙන් “අපි බඳිමුද කියලා ඇහුවා. එතකොට මගේ වයස අවුරුදු දාහතක් විතර ඇති.

අවුරුදු දාහතකදී ඒ වගේ විවාහ යෝජනාවක් ගෙනාවට පස්සේ මොකද හිතුණේ...? හිත යටින් කැමැත්තක් තිබුණා නේද...?
නෑ... ඇත්තට වික්ටර් කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක්. ඒක අද වගේම එදත් මම තේරැම් ගත්තා. ඉතින් කවදාහරි මම කසාද බඳින්න ඕනේ මම කැමති කෙනාවනේ. ඉතින් ඇත්තම කියනවා නම් වික්ටර් කලින් විවාහවෙලා හිටපු කෙනෙක්. එයා කලින් විවාහ වී සිටියේ ආචාර්ය ලයනල් එදිරිසිංහගේ දුවත් එක්ක.  එයාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ මගේ වගේ හරිම හොඳයි. ඉතින් මම වික්ටර් එක්ක විවාහ වුණාට පස්සේ අපිට තව දරුවෝ දෙන්නෙක් ඉපදුණා. ඒ කුෂානි සඳරේඛායි, සචිනි නිරාශායි. ඉතින් දරුවන් හතරදෙනාම හරි එකතුයි.

මතකේ හැටියට අසූව දශකයේදී චිත්‍රපට පසුබිම් ගායිකාව වුණේ ඔබ...?
ඔව්.. අසූව දශකයේදී මමයි වික්ටර් තමයි ගොඩක් පසුබිම් ගායනා කළේ. මම හිතන විදිහට මම ගීත තුන්දාහක් විතර පසුබිම් ගායනා කරලා තියෙනවා. ඇත්තටම මම ඒවා ගණන් කළේනම් නෑ. හැබැයි සෑහෙන්න ගායනා කරලා තියෙනවා.

ඒකාලේදී එකදිගටම ප්‍රසංග වේදිකාවලට ආරාධනා ලැබුණා නේද...?
ඔව්... ඒක ඇත්ත. මට මතකයි මම එක කාලයකදී චිත්‍රපටවල ගීත ගායනා කරන්න යද්දී මම ඇතුළේ ඒ ගීත ගායනා කරලා ඉවරවෙලා එළියට එද්දී තව චිත්‍රපටයක ගීත ගායනා කරන්න අරගෙන යන්න තව වාහනයක් එළියේ නවත්තලා තියාගෙන ඉන්නවා. ඒ වගේ දවසකට චිත්‍රපට පහකට මම පසුබිම් ගායනය කළා. ඒ හැම දෙනාම එළියේ මම එනකම් වාහන නවත්තගෙන ඉන්නවා. ප්‍රසංගවලටත් එහෙමයි. ඒ දවස්වල එක දවසකට ප්‍රසංග තුන හතර බාරගත්තු දවස් තිබුණා. ඒ කාලේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙත් සේවය කළා. ඉතින් රැකියාවත් එක්ක තමයි මම මේ හැම දෙයක්ම කළේ.

දැන් ඔබ මොකද කරන්නේ...?
අද වෙද්දී සංගීත ප්‍රසංගවලට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ නව පරපුරේ දරුවන්ටනේ... නමුත් අපේ හැකියාවන් තාම එහෙම වෙනසක් වෙලා නෑ. මම හිතන්නේ අපේ හඬ දැන් ඉස්සරටත් වඩා තවත් මුවහත් වෙලා කියලයි. මම දැන් රැකියාව හැටියට කරන්නේ ගුරු වෘත්තියයි. අපේ “රේඛා සංගීත ආශ්‍රමයේ අපි දරුවන්ට උගන්වනවා. තරගවලට යන දරුවන්ට උගන්වනවා.

පසුගිය කාලේ ඔබ ලංකාවේ හිටියේ නෑ නේද...?
ඔව්... අපේ පොඩි දුව ඉන්නේ කැනඩාවේ. ඉතින් අපි එයාව බලන්න යනවා. එයාට පුංචි දියණියක් ඉන්නවා. ඉතින් මායි වික්ටර් අපේ මිණිපිරියන්ට හරි ආසයි. ඉතින් අපි ගිහින් ඒ අයව බලලා එනවා.

විවේකීව ඉන්න වෙලාවට මොනවද කරන්නේ?
අපි අපට විවේකය තියෙන වෙලාවට අපි දෙන්නා ප්‍රැක්ටිස් කරනවා. තාමත් අපි පුහුණු වෙනවා. මම තාමත් පාඩම් කරනවා. විශ්ව සංගීතය පිළිබඳව මම අන්තර්ජාලයෙන් හදාරනවා. හැමදාම අලුත් දෙයක් ඉගෙනගත්තා. ඒ වගේම විනිසුරු මඩුළුවලට තාමත් යනවා.

ඔබ ගායනා කරපු බොහෝ ගීත අද තරුණ පරපුර ගායනා කරනවා. මේ තරුණ පරපුරේ හැකියාව ගැන මොකද හිතෙන්නේ?
තරුණ පරපුරේ ඉතාමත් දක්ෂ දරුවෝ දැන් ඉන්නවා. ඒ අය හොඳට ගායනා කරනවා. ඒ දරුවෝ ගීතවලට රැප් කරනවා. එක එක විදිහේ දේ කරනවා. මට අද වුණත් චිත්‍රපට පසුබිම් ගායිකාවන් විදිහට ඕනෑම ශෛලයේ ගීත ගයන්න පුළුවන්. ඒ නිසා මම ඒ දරැවන්ගේ වැරැද්දක් දකින්නේ නෑ. තමුන් තමුන්ගේ අනන්‍යතාවය තියාගෙන ගීත හදාගන්න දැනගන්න ඕන. දරුවෝ කීපදෙනෙක් ඉදිරියට ඇවිත් තියෙනවා. අද තරුණ පරපුරේ බොහෝමයක් මුලින් ගායනා කරන්නේ අපේ ගීත. ඒක ගැන වරදක් මම දකින්නේ නෑ. මගේ ගීත තරගවලට ගැයුවට කිසිම විරුද්ධත්වයක් නෑ. මගේ ගීත ඕන කෙනෙක් ගායනා කරන්න. එහෙම ගායනා කරලා සල්ලි හම්බකරලා ලස්සනට ජීවත් වෙනවානම් ඒක තරම් සතුටක් තෘප්තියක් මට තවත් නෑ. හැබැයි දරුවෝ මගේ ගීත ගැයුවට කමක් නෑ... හැබැයි ඒ ගීත පටිගත කරන්න එපා.. මොකද මම තාමත් ජීවතුන් අතර ඉන්න නිසා. ගායනා කරලා ඕන තරම් හම්බ කරගන්න. ඒක මට සතුටක්... 

► Text -Dishani / Pic- Sumudu