2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මහ වැස්සේ තෙමෙන්න මම අදටත් අාසයි...

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 240

මම සරෝජා කියලා කතා කරන්නද.. නිත්‍යවානි කියලා කතා කරන්නද..?
මම ඒ දෙකටම කැමතියි. ඉතින්... මොන නමින් කතා කළත් මම කැමතියි. කොහොමත් ගොඩක් දෙනෙක් අදටත් මාව දැක්කාම කතා කරන්නෙ සරෝජා කියලා තමයි.

එහෙමනම් අපි නිත්‍යවානි කියන්නම්කො... මොනවද මේ දවස්වල කරන්නෙ..?
මේ දවස්වල යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා. මම පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා. ඊට අමතරව මම රූපවාහිනි වැඩසටහන්වල නිවේදන කටයුතුවල නිරතවෙලා ඉන්නවා.

ඒ කියන්නෙ නිත්‍යවානි මේ දවස්වල රඟපාන්නෙ නැද්ද..?
නෑ.. ඉගෙනීම් කටයුතු නිසා මම රඟපෑමේ කටයුතු බාරගන්නෙ නෑ. ආරාධනා කිහිපයක්ම පහුගිය දවස්වල ලැබුණා. ඒත්... ඒවා බාරගත්තෙ නෑ. සතියේ දවස්වල මම යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා. සති අන්තයේ රූපවාහිනි නාලිකාවල නිවේදන කටයුතු කරනවා. ඒ නිසා රඟපාන්න යන්න අමාරුයි.

ආස නැද්ද ඉස්සර වගේ රඟපාන්න..?
ආසයි.. ආසයි.. හරි ආසයි. ඒත්.. ඉතින් බැහැනෙ මගේ ඉගෙනීම් වැඩත් එක්ක ඒ දේවල් බාරගන්න බැහැනෙ. ඉතින්.. මොනවා කරන්නද නේද..? පාසල් යන කාලේදි කීපයක්ම ලැබුණා. හැබැයි ඒවායේ චරිත ලොකු වැඩියි කියලා හිතුණු නිසා ගෙදරින් ඒවා කරන්න එපා කිව්වා.

නිත්‍යවානි ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මම පුංචි කාලේ ඉගෙන ගත්තෙ බම්බලපිටිය රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ.

මුලින්ම නිත්‍යවානි රඟපෑවේ සෝමරත්න දිසානායකයන්ගේ සරෝජා චිත්‍රපටයේ. මතකද ඒ කාලේ..?
ඔව්.. ඔව්. මට මතකයි. එතකොට මම ගොඩක් චූටියි. මම එක වසරේ ඉඳිද්දි තමයි ඒක කළේ. ඒ කාලේ මම හරිම ආස චිත්‍රපටයක් තමයි ඒක. ඒක පෙන්නන කාලේදි පාරේ යන්න බෑ, කට්ටිය ඇවිත් මාව වඩාගන්නවා. මගේ මූණ අතගානවා. ඒ කාලේ හරි ෂෝක් අනේ...

එතකොට ළඟකදී නිත්‍යවානි සරෝජා චිත්‍රපටය බැලුවේ නැද්ද..?
දැන් ඔය ටී.වී එකෙන් නිතර නිතර සරෝජා චිත්‍රපටය පෙන්නුවනේ. එතකොට මම චිත්‍රපටය බලනවා. මගේ යාළුවෙක් කෝල් කරලා කියනවා, ඔන්න ෆිල්ම් එක යනවා කියලා. එතකොට මම ටක්ගාලා ටී.වී එක දාලා බලනවා.

දැන් බලද්දි මොකද හිතෙන්නෙ..?
හිනාත් යනවා. ඒ ෆිල්ම් එක මාර ලස්සනයි. දන්නේ නැති කාලේ සෝමේ මාමයි, රේණුකා නැන්දයි කියලා දීපු විදිහට කරපු ඒ චිත්‍රපටයට තාමත් මම ආදරෙයි. සමහර වෙලාවට මටම හිතෙනවා ඒ සරෝජා වුණේ මමමද කියලත්.

ඔයා සරෝජා චිත්‍රපටයේ ආසම කරන දර්ශනය මොකක්ද..?
ම්.. සරෝජා චිත්‍රපටයේ මම ආසම තැන තමයි මායි ප්‍රමුදි අක්කයි අර වැස්සේ කුඩේ යටින් යන කොටස. එදා අපි කුඩේට තුරුලුවෙලා වැස්සේ තෙමිතෙමී කතාකරකර ගියානේ.. ඒ දර්ශනයට අදටත් මම කැමතියි. කොහොමටත් මම වැස්සේ තෙමෙන්න ආසයි. ඉතින්.. මායි ප්‍රමුදි අක්කයි එදා බොරුවටත් එක්ක වැස්සේ තෙමුණා. හැබැයි හැමවෙලේම සෝමේ මාමයි, රේණුකා නැන්දයි අපිව පරිස්සම් කළා.

සරෝජා චිත්‍රපටයෙන් පස්සෙ නිත්‍යවානිට තවත් නිර්මාණවලට දායක වෙන්න අවස්ථාවට ලැබෙනවනෙ..? 
ඔව්.. සරෝජා චිත්‍රපටයෙන් පස්සෙ මම පහ වසරේ ඉඳිද්දි පුංචි සුරංගනාවි චිත්‍රපටයේ රඟපෑවා. ඊටපස්සෙ චිත්‍රපටවලටනම් සම්බන්ධ වුණේ නෑ. හැබැයි ටෙලිඩ්‍රාමා කිහිපයක්ම කළා. ඊටපස්සෙ මම ඒලෙවල් කරද්දි ඒ හැමදෙයක්ම නතර කළා. ඔය කාලෙදි ටී.වී ප්‍රෝග්‍රෑම් එහෙමත් කරකර තමයි හිටියේ. හැබැයි ඒ හැමදෙයක්ම ඒලෙවල් කරද්දි මම නතර කළා. කැම්පස් ගියාට පස්සෙ මම ආයෙමත් මේක පටන් ගත්තා.

පුංචි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ කවුරු වෙන්නද..?
පුංචි කාලේ ඉඳන් මම ඉගෙනගන්න හරි ආසයි. ඉතින් පුංචි කාලේ ඉඳන් වෛද්‍යවරියක් වෙන්න ආස කළා. සරෝජා චිත්‍රපටය නිසාත් ඊටපස්සෙ මම කලාවටත් කැමති වුණා.

මේ දවස්වල නිත්‍යවානි ටිකක් විවේකීව ඉන්නවා කියලයි අපිට ආරංචි වුණේ..?
ඔව්.. ඔව්.. දැන් අපේ කැම්පස් එකේ නිවාඩුයි. ඉතින් මේ දවස්වල මම මගේ පවුලේ අයත් එක්ක, යාළුවොත් එක්ක පොඩ්ඩක් එළියට ගිහින් විනෝද වෙනවා. හැමදාමත් පොත්වල වැඩම කරකර පාඩම් කරකර ඉන්නම බැහැනෙ.

ඔහොම එළියට ගියාම අර ඉස්සර හිටපු පුංචි සරෝජාව මිනිසුන්ට මතකද..?
ඔව්.. ඔව්. තාමත් මිනිස්සුන්ට මාව මතකයි. සමහරක් කට්ටිය මා ළඟට ඇවින් ඔයා නේද සරෝජා කියලා අහනවා. තාමත් මිනිස්සුන්ට මාව මතකයි. සමහර කට්ටිය මා ළඟට ඇවිත් ඔයා නේද සරෝජා කියලා අහනවා. සමහර අය ළඟට ඇවිත් දැන් රඟපානවාද නැද්ද අහනවා. සමහරු මාත් එක්ක ෆොටෝ ගන්නවා. ඉතින්.. එදා වගේම අදටත් එයාලා සරෝජාට ආදරෙයි. මාත් එහෙමම තමයි.

ඔහොම කතා කරද්දි හිතෙන්නෙ නැද්ද ආයෙත් හොඳ නිර්මාණයකට දායක වෙන්න තිබුණනම් හොඳයි කියලා..?
මොකක් හරි දෙයක් කරනවනම් ඒක උපරිමයෙන්ම කරන්න ඕනනෙ. ඒත් මේ කාලේදි ඉගෙනීම් කටයුතු නිසා රඟපෑමට යොමුවෙන්න ටිකක් අමාරුයි. නිවේදන කටයුතුවලට මම ගොඩක් ආසයි. ඒ නිසා මේ දවස්වල ඉගෙනීමයි. නිවේදන කටයුතුයි කරගෙන යනවා.

► Text - Jayamali / Pic - Internet